“මෙවන් පිටිසරේ - මේ දුගී පැලේ”
“මිහිකත නළවාලා - මඟ මල් ගන්වාලා”
”කෝකිලයන්ගේ - කෝකිල රාවේ”
“සුවඳ රෝස මල් නෙළා - මාලයක් ගොතාලා”
මෙවන් සොඳුරු රසාලිප්ත ගේය පද සමුදායක් 50/60 දශකයේ දී සිංහල මියැසියට හඳුන්වාදුන් කවියකු, ගත්කතුවරයකු හා හෙළ භාෂා විද්වතකු වූ හියුබත් දිසානායක සූරීන්ගේ යුග මෙහෙවර පැරණි රසවතුන්ට සදානුස්මරණීයය.
1916 ඔක්තෝබර් මස 14 දා ජාඇල වැලිගම්පිටියේ දී උපත ලදුව, වෑවල රෝමානු කතෝලික පාසලෙන් සහ කඳානේ ශා. සෙබස්තියන් විදුහලෙන් සිප්සතර හදාරා රාජ්‍ය සේවයට පිළිපන් දිසානායක තරුණයා හෙළ හවුලේ නියමුවර මුනිදාස කුමාරතුංගයන්ගේ ගුරු ඇසුරට ලොල් විය.
ජයන්ත වීරසේකර, අලෙව් ඉසි සැබිහෙළ, සුනිල් ශාන්ත, රැපියෙල් තෙන්නකෝන්, වෙල්ලාල ජයමහ, වෙ.වි. අබේගුණවඩු, අරීසෙන් අහුබුදු, ක. සූරසේන මෙන්ම දොස්තර නන්දදාස කෝදාගොඩ ඔහුගේ සමකාලිකයෝ වූහ.
දිසානායකයන් හෙළ බස නමැති සයුරෙහි නව අතු ඉති ගංගා පීරා යමින් ගැමි සංස්කෘතිය නමැති කෙම්බිමට පිවිස, එහි රස උරා බිව් කෙනෙකි. ඔහු සතු රස ජනන ශක්තිය සරල, සුගම, භාෂා විලාසයකින් සවන්පත් තුළට පිවිස නෙත් සිත් සනහාලීමට තරම් තීව්‍ර විය.
ගුණසේන ප්‍රකාශනයක් වූ මරු පහර (1945), නරි හිනාව (1947) යන ළමා කතා ඔස්සේ සාහිත්‍ය ලොවට පිවිසි ඔහු “කරුණාවට කරුණාවයි”, “කොණ්ඩ කිරිල්ලි”, “කපුටු හාමි” හා “ගලිවරය” යන කෘතිවලින් ළමා හදවත්හි ලැඟුම් ගත්තේය. ළමා ලෝකයට ඔහු තුළ වූ ආදරය අසීමිත විය.
එකිනෙකට වෙනස් අපූරු තේමා රැගත් ස්වතන්ත්‍ර, පරිවර්තන හා අනුවර්තන කෘති රැසකින් ද හියුබත් දිසානායකයන්ගේ සාහිත්‍ය කෝෂ්ඨාගාරය සපිරී ඇත. ඒ අතරින් “හිරෝශිමාවේ මල්”, “ඌව දනව්ව”, “සිංහල අත්පොත්”, “රවින්ද්‍රනාත් තාගෝර්” සහ “සුදු වත හැඳි කත” ආදී කෘතීන් කැපී පෙනෙයි. සරසවි ප්‍රකාශනයක් වූ “සමාජ පිළියම” සහ ගොඩගේ ප්‍රකාශනයක් වූ “නයිට්වරුන්ගේ වීර කතා”, “නල දමයන්ති”, “හැම්ලට්” යන කෘති අදටත් ජනප්‍රියතාවෙන් අනූනය.
තම ළමා කාලය සිහිගන්වමින් ඔහු ලියූ “ගිය මා ළමා කල” කෘතිය තුළ ලේඛකයාගේ ගැමි පසුබිම කැඩපතක සේ මනාව පිළිබිඹු වෙයි.
හෙළ බසේ වියරණ විධි හා ගත් වහරත් කට වහරත් සුසංයෝගීව යොදා ගැනීම පිළිබඳවත් අපූරු උදාහරණ ඔහුගේ නිර්මාණවලින් උකහා ගත හැකිය. කාව්‍යමය චින්තාවලිය මෙන්ම සංකේතාත්මක ගේය පද හරඹය පිළිබඳවත් ඔහු දක්වන කුසලතාව අනුපමේයය.
කොවුලා, සුළඟ, සිතිජය, සඳ, මල් සුවඳ, හිරු කිරණ වැනි සොබා සොඳුරු දායාදයන් පිළිබඳ හැඟුම් කලතා, පෙරා, නව ආරකින් ප්‍රණීත කර ඔහු සරල ගී, සිනමාව හා රෙදෙව්ව හරහා අප වෙත ජනනය කරයි.
“කෝකිලයන්ගේ කෝකිල රාවේ
හීන හඬින් හීන වගේ එයි නැගී”
ගත් වහර හා කට වහර සම්ශ්‍රව එහි දෙවැනි පෙළ එහි රසය තවත් තීව්‍ර කරයි.
“සමන් මලක් නෙළා මගේ බිසෝගේ
හිසේ ගසමි, අන්න මගේ විනෝදේ
එන්නැ අනේ, එන්නැ මගේ කුමාරි
සාදු කියා හාදු දෙකක් දෙන් සිරි
මගේ කිරිල්ලී, නදින් සුමීරි, ගයා අමා ගී”
ආනන්දයෙන් ප්‍රඥාව කරා රසිකයා ඔසවාලන නිර්මාණ සමුච්චයක් ඔහුගේ රචනා අතර වෙයි. ඒ සඳහා ඔහු යොදා ගත්තේ පරිසරයට ආදරය කරන භාවමය වාග් ශෛලියකි. “මෙවන් පිටිසරේ” ගීතයෙහි එන මෙම පදවල රැඳී ඇති “සෞන්දර්යවාදී ප්‍රේමය” පිළිබඳ වදන් බලන්න.
“සුවඳ තෙල් දමා
සමන් කැකුළු වළලු ලා
බෙදා වරල බැන්ද කලට
හඃ හහා හහා!”
ගැමි ලිය සොඳුරු වන්නේ පාරිසරික සොඳුරු බවද එක්වූ කලය. පරිසරය සුසැර වන්නේ පිවිතුරු ගැමි ලියන් නිසාය.
“ඕලු නෙළුම් නෙක මල් පිබිදෙන්නේ
අහෝ විලේ සිරියා
ජයම මලක් ඉන් නෙළාගනී ඈ...
හා... හා... කුමට ද ඒ?
සුරතලියේ ඔබෙ හදවත පතුලේ
පෙම්-මල-කා-සතු දෝ?”
හුදු පදමාලාවටම වහල් නොවී ඒ අතරින් ප්‍රහර්ෂණමය හැඟීම් උද්දීපනය කරන ශබ්ද හා නාද රටා යෙදීම හියුබත් නම් ගේය පද රචකයාගේ ලක්ෂණයයි.
අපූරු ගීත 85 කින් සමන්විත වූ සුනිල් ශාන්තයන් හා හියුබතුන් අතර තදනන්තර ඇසුර සම කළ හැක්කේ කාලිදාස කවියා හා කුමාරදාස කවියා අතර පැවති සමරිසි හැඟීම්වලට යැයි සිතෙන තරමටම ඔවුන්ගේ නිර්මාණ චින්තනය සොඳුරුය.
ඔවුහු එකම මලකට පෙම් කළ සොයුරන් තරමට ඒකමිතිකව සොඳුරු බවින් ලොව දෙස බලති.
“මිහිකත නළවාලා මග මල් ගන්වාලා
පාසල වෙත යන මේ
පිටිසර හෙළ ගුරු ලිය – සැරදේ
ගෙල වට මුතු මාලේ
දෝතේ වළලු සැලේ
පිරියා සපුරා - සිරියා පතුරා
යන සුරතල් ලීලා”
හුරුබුහුටි ගැමි ගුරු ලියකගේ දේහ විලාසය, ඇඳුම, ගමන් ලීලාව, සොඳුරු ගති පැවතුම්වලින් කවියා කොතරම් වශීකෘත වූ වාදයත් මග දෙපස මල් පිපෙන්නේත්, ගඟ ගලන්නේත්, මිහිකත නැලවෙන්නේත් ඇයට උපහාරයක් ලෙස යැයි සිතයි.
හියුබත් දිසානායකයෝ දවස පුවත්පත් විශේෂාංග කර්තෘවරයාව පුවත්පත් කලාවට කළ සේවය ඉමහත්ය. හෙළ සාහිත්‍ය කලාවට සේවය කරන අතරේ ඔහුගේ ඇඳුම වූයේ බටහිර ඇඳුමයි.
“මම හදවතින් සිංහලයෙක් වුණත් හැම සංස්කෘතියම අගය කරමි.” නිර්ව්‍යාජ, සුහදශීලී සිනා පොදකින් නිරතුරු සැරසුණු මෙම සාහිත්‍යවේදියා පැවසීය.
ළමා මනසත්, යොවුන් ලොවත්, වියතුන් සභාවත්, නව නිර්මාණවාදයත් එක ලෙස දිනාගත් හියුබත් දිසානායකයන්ගේ යුග මෙහෙය කාලයේ වැලි තලාවට වැසී යා නොදී රැකගනිමින් තවත් පරිශීලනය කළ යුතු වෙයි.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
යුද බිමේ දී උණුබත් කටක් ලැබීම ඉතා විරලය. දිගු ක්‍රියාන්විතවලදී කල් තබා ගන්නා ආහාරවලින් තොර යමක් නොවීය.
මීළඟ 2028 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උලෙළට ශ්‍රී ලංකාවෙන් අවම ක්‍රීඩකයන් දෙදෙනෙකු නිර්දේශ කර ගැනීම ගැන තමන් සහතික වන බව ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ නව සභාපති
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය 2-0 කින් ජයගත් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ජයග්‍රාහීව ටෙස්ට් තරගාවලිය නිමා කළේය.
ඇල්ප්ස් කඳුකරයේ, ඉතාලි ස්විට්සර්ලන්ත දේශසීමාවේ, ඉතාලියට අයත් භූමියේ පිහිටි අවන්හලක් සහ නිවාඩු නිකේතනයකි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පසුගිය බ්‍රහස්පතින්දා (26 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගය ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් තරගයක් බවට පත්ව තිබේ
“ක්‍රීඩාව යනු හුදු ජය හෝ පරාජය සම්බන්ධ කරුණක් නොවේ.එය ශිෂ්ට මිනිසෙක් තවත් එවැනිම ශිෂ්ට මිනිසෙක් සමග සුහදශීලි මානව සබඳතාවක් ගොඩනගාගැනීමේ අභ්‍යාසයකි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හෙළ මියැසිය සොඳුරු කළ හියුබත් දිසානායක