IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සගයාගේ නිසල සිරුර ළග මේජර් වැලපෙයි

 


අලිමංකඩට එළැඹි යක්ෂයාගේ හෝරාව ඉතිරි කොටස

 

තිතක් වී නොපෙනී යන හෙලිකොප්ටරය දෙස ගුවන්පථය අවට  සිටි  සෑම   අෙයකුම බලාසිටින්නට වූයේ, අපේක්ෂා-භංගත්වයෙන් යුතුවය. දෙවන අණදෙන නිලධාරී හැරුණුවිට එහි තුවාල ලැබූ තවත් භටපිරිසක් ද වූහ. ඔවුන් ද බොහෝ අපහසුතා මැද පසුවූ නමුත්, බරපතළ තත්ත්වයේ සිටි පුද්ගලයා වූයේ දෙවන අණදෙන නිලධාරීය. එබැවින් ගුවන්යානයක් ගොඩබැස්සවීමට නොහැකිවීමේ අවාසනාව සෘජු ලෙසම බලපෑවේ ඔහුටය. උද්ගතව ඇති වාතාවරණය හමුවේ ලුතිනන් රමේෂ් තුළින් දක්නට ලැබුණේ බෙහෙවින් ව්‍යාකූල බවකි. දෙවන අණදෙන නිලධාරීව සමීපව නිරීක්ෂණය වන කෙනා ලෙස තම දෑත් මතම හිඳිමින් ඔහු අපහසුතාවයෙන් පෙලෙන අයුරු ඔහුට බලා සිටිය නොහැකි විය. මේ අතර යළිත් ගුවන්යානයක් පැමිණීමේ කිසිදු ඉඩක් නොපැවති හෙයින්, තවදුරටත් ගුවන් පථයේ රැඳී සිටීම නිෂ්ඵල විය. එබැවින් තුවාලකරු යළි වෛද්‍ය මධ්‍යස්ථානය කරා රැගෙන යාම හැර, අන් විකල්පයක් ඔවුනට නොවීය.

මේ අතර, ගුවන් පථයෙහි රඳවා සිටි දෙවන අණදෙන නිලධාරිගේ තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙමින් තිබිණ. ලුතිනන් රමේෂ් එහි සිටි කිහිපදෙනකුගේ සහායෙන් වහා ඔහුව යළි ජීප් රථයට ඔසවා තබන්නට වූයේ, වෛද්‍ය මධ්‍යස්ථානය කරා යාමේ අදහසිනි. නමුත් එහිදී ඔහුට දැනුණේ අමුත්තකි. වික්ෂිප්තභාවයට පත්වූ ඔහුට, තවදුරටත් ඒ පිළිබඳව විපරම් කරද්දී, සිදුව ඇති දෙය අවබෝධ කරගැනීමට අපහසු නොවීය. උදරයේ අභ්‍යන්තර ලේ වහනය හේතුවෙන් , ඒ වන විටත් දෙවන අණදෙන නිලධාරී ජීවිතයෙන් සමුගෙන තිබිණ. අවසාන මොහොතේ පවා ජීවත්වීම පිළිබඳ බලාපොරොත්තු දල්වා සිටි ඔහු, එලෙස අවාසනාවන්ත ලෙස තම දෑස් ඉදිරිපිටදීම මියයාම, ලුතිනන් රමේෂ්ට ඉහිලුම් නොදෙන්නක් විය. හෙතෙම වෛද්‍ය මධ්‍යස්ථානය කරා පැමිණෙන අවසන් අවස්ථාවේදී ද යළි අහස දෙස බැලුවේ, හාස්කමකින් හෝ එහි හෙලිකොප්ටරයක් ගොඩබස්වනු ඇත්දැයි යන බලාපොරොත්තුවෙනි. 

මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න (එවකට අණදෙන නිලධාරි)


 

වෛද්‍ය මධ්‍යස්ථානයේ දී දෙවන අණදෙන නිලධාරීගේ සිරුර පරීක්ෂා කළ සැරයන් මේජර් ගොඩමුන්න, තවදුරටත් ඔහු වෙනුවෙන් කළ හැකි යමක් ඇත්දැයි විමසිලිමත් වූයේ, ඉමහත් ඕනෑකමකිනි. පෙර අවස්ථාවේ ඔහුව ප්‍රමාදයකින් තොරව රෝහලක් කරා රැගෙන යා හැකිව තිබුණේ නම්, නිසැකවම ඔහුගේ දිවි රැකගත හැකිව තිබුණා නොවේදැයි ඔහුට සිතිණ. නමුත් ඔවුන්ගේ සියලු උත්සාහයන් සුළඟට ගොස් තිබුණේ, එහි සිටි සැමගේ නෙතට කඳුළක් නංවමිනි. ඒ සමගම යළි ඒකක මූලස්ථානයට ගිය විධායක අධිකාරී ජීප් රථයෙන්ම බසිත්ම, ඔහුගේ බලාපොරොත්තු රහිත හැඟීම්බර මුහුණ අණදෙන නිලධාරී දුටුවේය. බිම බලා ගත් වනම සිටි ඔහුගේ ඉරියව් මතින් සිදුව ඇත්තේ කුමක්දැයි වටහා ගැනීමට අණදෙන නිලධාරිට අපහසු නොවීය.“මොකද වෙලා තියෙන්නේ රමේෂ්” ඔහු තත්ත්වය සැක හැර දැනගැනීම පිණිස ඇසුවේය. එහිදී, මඳ වේලාවක් නිහඬව සිටි ඔහු පවසා සිටියේ, දෙවැනි අණදෙන නිලධාරී තවදුරටත් ජීවතුන් අතර නොමැති බවය.
තම සහායක නිලධාරියා එලස අවාසනාවන්ත ලෙස දිවි හැරයාම අණදෙන නිලධාරී තුළ ඉමහත් කම්පනයට හේතුවිය. පසුගිය කාලසීමාව මුළුල්ලේ තමා හා උරෙන් උර ගැටෙමින් ත්‍රස්තවාදීන්ට මුහුණ දෙන්නට දෙවන අණදෙන නිලධාරී ලබාදුන් ජවය හා සහාය, අණදෙන නිලධාරීට කිසිවිට අමතක නොවේ. විශේෂයෙන් පෙරදින අලුයම වනතෙක් ඔහු තමා ඇතුළු පිරිස සමග ක්‍රියාන්විත මැදිරියෙහි ගතකර නික්මගිය අයුරු පවා ඔහුට මෙනෙහි විය. එසැණින්ම සිය ජීප් රථයේ නැගි ඔහු ,වෛද්‍ය මධ්‍යස්ථානය කරා යන්නට වූයේ, රෙජිමේන්තු සැරයන් මේජර්වරයා ද සමගය. තම සගයාගේ දිවි බේරාගත නොහැකිවීම පිළිබඳ ඔහු පසු වූයේ වේදනාව හා කෝපය මුසු හැඟීමකිනි.

මේජර් ලලිත් බුද්ධදාස සිය 
දියණිය සමග


 

කුමාරි බුද්ධදාස 
(මේජර් බුද්ධදාසගේ බිරිඳ)


 

වෛද්‍ය මධ්‍යස්ථානය කරා ගිය අණදෙන නිලධාරී දුටුවේ මේජර් බුද්ධදාසගේ සිරුර අසල ඒ වනවිටත් කිහිපදෙනකුම රැඳී සිටින අයුරුය. ඔහු එහි පහත් වී තම සහෝදර නිලධාරියාගේ සිරුර බදාගන්නට වූයේ බොහෝ සේ හැඟීම්බරවය. කොතරම් සිර කරගෙන සිටිය ද, එහිදී ඔහුට කඳුළු සඟවාගෙන සිටිය නොහැකි විය. කෙසේ වුවද, තවදුරටත් කිසිවක් වෙනුවෙන් තැවෙන්නට කාලයක් ඔහුට එහි ඉතිරි නොවීය. ඒ වනවිට ද තැන තැන සටන් පැවතීම ඊට හේතුවයි. මේ සියල්ල අතරේ යළි ක්‍රියාන්විත මැදිරියට පැමිණි අණදෙන නිලධාරී, කඳවුරේ තත්ත්වය පිළිබඳ විපරමක යෙදුණේය. දෙවන අණදෙන නිලධාරීගේ වෙන්ව යාම හරහා ඔහුගේ හදවතේ වූ පසුතැවීම ඒ වනවිට එලෙසින්ම පැවතිණ. කෙසේවුවද, ඔහු තුවාල ලබා ඇති බව මිස මියගොස් ඇති බවක් ඉහළ මූලස්ථාන වෙත නොදන්වන්නට අණදෙන නිලධාරී පරිස්සම් විය. ඊට හේතුව වූයේ, කෙසේ හෝ ගුවන්යානයක් ගෙන්වා දෙවන අණදෙන නිලධාරියාගේ සිරුර හෝ ඔහුගේ ළඟම ඥාතීන් වෙත භාරදීමට ඔහුට තිබූ බලවත් උවමනාවයි. 

 

කුමන තත්ත්වයක් යටතේ වුව, තම ස්වාමියා යහතින් සිටිනු ඇති බවට වූ විශ්වාසය බිරිඳ කුමාරි තුළ විය. මෙලෙස බොහෝ නොඉවසිල්ලෙන් දවස ගතකරන අතරේ ඇය නිරන්තරව උත්සාහ දැරුවේ, ස්වාමියා පිළිබඳව වැඩිදුර තොරතුරක් දැනගැනීමටය. එසේම, කෙසේ හෝ ඔහුව එහි සිට ගුවන් මගින් රෝහලක් කරා රැගෙන එනු ඇතැයි ද, ඇය මග බලා සිටින්නටද වූයේ හැඬූ කඳුළිනි.

 

ඒ අතර කාලසීමාවේ දී ද හෙලිකොප්ටර් යානා එහි පැමිණීමට උත්සාහ දරමින් තිබිණ. ටිරෝන් ප්‍රනාන්දුපුල්ලේ නම් ගුවන් නියමුවකු ද අණදෙන නිලධාරී හමුවේ දන්වා සිටියේ, තමා කෙසේ හෝ තුවාලකරුවන් රැගෙන යාම සඳහා එහි පැමිණෙන බවකි. විශේෂයෙන්ම ඔහු මේජර් ලලිත් බුද්ධදාසගේ මෙන්ම අණදෙන නිලධාරීගේ ද සමීප හිතවතකු වූ නිසාම, ඔහු එම අවදානම දැරීමට සූදානමින් පසුවිය. නමුත්, එයද නිශ්ඵල කටයුත්තක් වූයේ, ත්‍රස්තවාදීන්ගේ 5.0 වර්ගයේ බරඅවි ප්‍රහාර නිරන්තරව ගුවනට එල්ල වීම හේතුවෙනි.

දෙවන අණදෙන නිලධාරීගේ බිරිඳ නමින් කුමාරි බුද්ධදාස විය. ඇය තම තුන් හැවිරිදි දියණිය සමඟ පදිංචිව සිටියේ කුරුණෑගලය. 1991 ජූලි මස 19 වන දින පෙරවරුවේ ඇයට  දුරකථන ඇමතුමක් ලැබිණ. ඒ කොළඹ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ සේවයේ නියුතු තම මාමා කෙනකුගෙනි. එහිදී ඔහු කියාසිටියේ, අලිමංකඩ කඳවුරට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයක් හේතුවෙන් මේජර් ලලිත් බුද්ධදාස තුවාල ලබා ඇති බවය. ඒසේම, ඒ ආසන්න වේලාවකදී අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය හරහාද ඈ වෙත ලද පණිවුඩයකින් කියවුණේ, තම ස්වාමියා අලිමංකඩ කඳවුරේ දී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් තුවාල ලබා ඇති බවය. ලද එම තොරතුරු හමුවේ බිරිඳ කුමාරි බෙහෙවින් කලබල වූවාය. ඒ වනවිටද උතුරෙහි පැවති අවිනිශ්චිත වටපිටාව පිළිබඳ අවබෝධයෙන් පසුවූ ඇය, නිරන්තරව ඔහු වෙනුවෙන් බෝධි පූජා හා බාරහාර සිදුකරමින් සෙත් පතන්නට වූයේ, ඔහු උතුරේ රාජකාරී ඇරඹූ දා සිටමය. එවන් පසුබිමක් තුළ ලද මෙම අනපේක්ෂිත තොරතුර ඈ බෙහෙවින් පෙලන්නට වූවාය. ඕ තම දියණිය ද තුරුලු කරගනිමින් හඬන්නට වූයේ, තම ස්වාමියාගේ තත්ත්වය සැක හැර දැනගැනීමේ අධික ඕනෑකමිනි.

ගෙවුනු දින එනම්, ජූලි මස 09 වන දින රාත්‍රියේ ද සුපුරුදු ලෙස ඔහු අලිමංකඩ කඳවුරේ සිට තමා වෙත දුරකථන ඇමතුමක් ලබාදුන් අයුරු කුමාරිට සිහිවිය. රාත්‍රී දහයද ඉක්මවූ වේලාවක එම ඇමතුම ලබාදුන් අතර, ඔහුගේ ඉල්ලීම පරිදි එතෙක් නින්දේ පසුවූ දියණිය පවා අවදි කරවා ඔහු හා කතාබස් කරවීමට ද ඇය කටයුතු කළාය. ඒ වනවිට ඔහු නිවසින් දුරස්ව මසක් ඉක්මවා තිබූ අතර, ජූලි මස 17 වන දිනට යෙදෙන දියණියගේ තෙවැනි උපන් දිනය වෙනුවෙන් නිසැකවම පැමිණෙන බව ද ඔහු කුමාරි හමුවේ පවසා තිබිණ. එලෙස ඔහු හා කතාකොට දවස් භාගයක් ගෙවෙන්නටත් මත්තෙන්, තම ස්වාමියා පිළිබඳ ඇසුණු එම අසුබ ආරංචිය ඈ තුළ පුදුමයට මෙන්ම තිගැස්මට හේතුවිය. 

කුමන තත්ත්වයක් යටතේ වුව, තම ස්වාමියා යහතින් සිටිනු ඇති බවට වූ විශ්වාසය බිරිඳ කුමාරි තුළ විය. මෙලෙස බොහෝ නොඉවසිල්ලෙන් දවස ගතකරන අතරේ ඇය නිරන්තරව උත්සහ දැරුවේ, ස්වාමියා පිළිබඳව වැඩිදුර තොරතුරක් දැනගැනීමටය. එසේම, කෙසේ හෝ ඔහුව එහි සිට ගුවන් මගින් රෝහලක් කරා රැගෙන එනු ඇතැයි ද, ඇය මග බලා සිටින්නටද වූයේ හැඬූ කඳුළිනි. නමුත්, සිදුවූයේ  අනෙකකි. එනම්, එදිනට හවස් යාමයේ ඇය වෙත ලැබුණු පණිවිඩය වූයේ ඇය කිසිසේත් අපේක්ෂා නොකළ දෙයකි. තුවාල ලද තම ස්වාමියා ගුවන් මගින් රෝහලක් කරා ගෙනයාමට දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ වී තිබූ පසුබිම තුළ ඔහු අවාසනාවන්ත ලෙස අලිමංකඩ කඳවුර තුළදීම අවසන් හුස්ම හෙළා ඇති බවය.

1991 ජුලි මස 09 වන දින මධ්‍යම රාත්‍රියේ පටන් ඇරඹි අලිමංකඩ ප්‍රහාරයට ඒ වනවිට දින කිහිපයක්ම ගෙවී තිබුණි. එම කාලසීමාව තුළ අඩු වැඩි වශයෙන් පැවති එම සටන් හමුවේ දස දෙනකුට ආසන්න පිරිසක් මියගොස් තිබූ අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 20 දෙනකුට වැඩි විය. එලෙස තුවාල ලැබූවන්ට එහි වූ වෛද්‍ය මධ්‍යස්ථානය හරහා හැකි උපරිම ප්‍රතිකාර කටයුතු සිදුකෙරුණ නමුත්, බරපතළ ගැටලුව වී තිබුණේ, මියගිය අයගේ සිරුරු නරක්වීම හරහා උද්ගතවූ තත්ත්වයයි.


ඉතිරි කොටස ලබන සතියේ

 

 



අදහස් (0)

සගයාගේ නිසල සිරුර ළග මේජර් වැලපෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 171 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2060 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site