IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ලොව විශාලතම සැප නැව

 

අතමිට සරු නම්, අත දිගහැර විසි කිරීමට මුදල් ඇති නම්, සැප නැවක නැගී, ලෝකය වටා සංචාරය කිරීම තරම් තවත් අපූරු දෙයක් නැත. සැප නැව්වල නැගී දින ගණනක් හෝ මාස ගණනක් හෝ මුහුදේ ගත කිරීමට ජීවිතයේ සැඳෑසමය ගතකරන බටහිර රටවල වැඩිහිටියන් පමණක් නොව, තරුණ තරුණියෝ පවා ප්‍රිය කරති. සංචාරක නැව් Cruise Ships  කර්මාන්තයෙන්, ගෝලීය ආර්ථිකයට ඇමෙරිකන් ඩොලර් බිලියන 75 කට වඩා වැඩි මුදලක් හිමිවෙයි. සංචාරක ක්ෂේත්‍රයේ, ඉතාමත් වේගයෙන් වර්ධනය වෙන අංශයක් ලෙස සංචාරක නැව් කර්මාන්තය හැඳින්විය හැක.


ලොව විශාලතම සැප නැව, එසේත් නැතිනම් ලොව විශාලතම සංචාරක නෞකාව, ‘අයිකන් ඔෆ් ද සීස්’ (Icon of the Seas)  පසුගිය දා සිය මංගල ගමන ආරම්භ කළේය. ඒ, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ මියාමි නුවරිනි. අයිකන් ඔෆ් ද සීස් යනු, රෝයල් කැරිබියන් ගෲප් සමූහයට අයත්, රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් (RCI ) සංචාරක නැව් සමාගමේ, නවතම සුඛෝපභෝගී සංචාරක නෞකාවය. අයිකන් ඔෆ් ද සීස් නෞකාව ලොව විශාලතම සුඛෝපභෝගී නෞකාව වෙන්නේ එහි දිග මීටර් 365 ක් සහ බර ටොන් 250,800 ක් වීම නිසාය. ගිල්ලන්න බැරි යැයි පුරසාරම් දෙඩූ, අයිස් කන්දක හැපී 1,500 ක පිරිසක් සමඟ මුහුදේ ගිලී ගිය ටයිටැනික් නෞකාව මෙන් පස් ගුණයක් විශාලය.
නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ගණන 2,350 කි. සාමාන්‍යයෙන් සංචාරක මගීන් 5,610 කට ඉඩ පහසුකම් ඇත. අවශ්‍ය නම් එම ප්‍රමාණය 7,600 ක් දක්වා ඉහළ දැමිය හැක. මහල් එසේත් නැතිනම් තට්ටු 20 කින් සමන්විත, අයිකන් ඔෆ් ද සීස්, පිහිනුම්තටාක හතකින් සමන්විතය. ජල ක්‍රීඩාංගන හයකි. මීටර් 16 උස කෘත්‍රිම දිය ඇල්ලක් ද නැව තුළ ඇත. ඊට අමතරව, අවන්හල් සහ තැබෑරුම් 14 කි.

 


අයිකන් ඔෆ් ද සීස් නෞකාව ඉදිකිරීමට වැයවී ඇති මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන දෙකක් යැයි පැවැසෙයි. අයිකන් ඔෆ් ද සීස් නැව, මියාමි නුවරින් දියත් කිරීමේ අවස්ථාව පුවත් මැවීය. නැව දියත් කිරීමේ අවස්ථාවට ලෝක ශූර ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී සහභාගී විය. මංගල ගමන කැරිබියන් දූපත් ආශ්‍රිතව සිදුවෙයි. ඇමෙරිකාවට අයත් වර්ජින් දූපත්, ශාන්ත කීට්ස්, නෙවිස්, චාලොට් අමාලි යන කුඩා දූපත් ආශ්‍රිත මුහුදේ අයිකන් ඔෆ් ද සීස් නෞකාව මේ වෙනවිට යාත්‍රා කරමින් සිටී.
අයිකන් ඔෆ් ද සීස් නැවත් ඇතුළත්ව රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් සමාගම සතු සංචාරක සැප නැව් ගණන 28 කි. ඉදිරි වසර කීපයේ දී තවත් නැව් හතරක් දියත් කිරීමට ද රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් සූදානම් වෙයි. රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් අතීතයේ හැඳින්වූයේ රෝයල් කැරිබියන් කෲස් ලයින් (Royal Caribbean Cruise Line (RCCL) යනුවෙනි. රෝයල් කැරිබියන් කෲස්ලයින් ආරම්භය සිදුවූයේ 1968 වසරේදී නෝර්වේ රාජ්‍යයෙනි. අද රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් සමාගමේ මූලස්ථානය ඇත්තේ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ මියාමි නගරයේයි.


අයිකන් (Icon) යන නාමය යටතේ, සුඛෝපභෝගී සංචාරක නැව් දෙකක් ඉදිකිරීමේ කටයුත්තට, සුප්‍රකට රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් සමාගම යොමුවූයේ ෆින්ලන්තයේ මෙයියර් ටුර්කු  Meyer Turkuනැව් තනන්නන් සමඟ හවුලේය. එක් නැවක් 2023 වසරේ තුන්වැනි කාර්තුවේදී සාදා අවසන් කිරීමටත් අනෙක් නැව 2025 වසරේ දී සාදා නිමකිරීමටත් ගිවිසුම් අත්සන් කෙරුණි. ඒ අනුව, අයිකන් නාමය යටතේ පළමු අධි සුඛෝපභෝගී නෞකාව එළිදැක්වීම සිදුවිය. අයිකන් ඔෆ් ද සීස් නෞකාව ඉදි කිරීමේ දී, විල්සන් බට්ලර් ආකිටෙක්ස් ත්‍රීඩ්‍යුලක්ස්,  සහ ස්කයිලැබ් ආකිටෙක්චර් යන වාස්තු විද්‍යා සමාගම් ද සිය දායකත්වය සපයා ඇත.

 


අයිකන් ඔෆ් ද සීස් නෞකාව සම්බන්ධයෙන් ගැටලු‍ සහගත තත්ත්වයක් ද මතු වී ඇත. ඒ, නෞකාව, ඉන්ධන ලෙස භාවිතයට ගන්නේ, සාමාන්‍ය නෞකාවල භාවිතයට ගන්නා ඉන්ධන නොවීම ගැටලු‍වක් වී තිබේ. අයිකන් ඔෆ් ද සීස් නෞකාව, ඉන්ධන ලෙස භාවිතයට ගන්නා LNG ස්වභාවික වායු සම්බන්ධයෙනි. නෞකාව මෙම LNG ස්වභාවික වායුවලින් බල ගැන්වෙද්දී, හරිතාගාර වායුවක් වෙන මීතේන්, වාතයට මුදා හැරෙන බවත් එය අහිතකර තත්ත්වයක් බවත් පරිසරවේදීන් පෙන්වා දී ඇත. මීතේන් වායුව, කාබන්ඩයොක්සයිඩ්වලට වඩා තීව්‍ර හරිතාගාර වායුවකි. රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් නැව් සමාගම දිගින් දිගටම පැහැදිලි කර ඇත්තේ, පරිසරවේදීන් බිය පළ කරන තරමට පරිසරයට හානියක්, නෞකාව LNG  ස්වභාවික වායු භාවිතය හරහා සිදු නොවනු ඇති බවය. කෙසේ නමුත්, 2035 වසරේ දී එළිදක්වන නෞකා සියල්ලටම භාවිත කෙරෙන්නේ පරිසර හිතකාමී ඉන්ධන වර්ග පමණක් බව රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් නැව් සමාගම පැහැදිලි කර ඇත.

 

 

■ ලු‍සිත ජයමාන්න
බීබීසී ඇසුරිනි



අදහස් (0)

ලොව විශාලතම සැප නැව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 209 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 381 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 385 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site