IMG-LOGO

රන්වලටත් වඩා වටිනා රත්තරන් දරුවෝ

විදුහල්පතිනිය හා උප විදුහල්පති අතින් ප්‍රසාද තිළිණ ලබමින්...

 

 

නෑනාගේ විවාහ මංගල්‍යයට පැලඳගෙන ගිය රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා රන් භාණ්ඩ ගලවා ඒවා දමාගත් පසුම්බිය නැති වී ඇති බව දැනගත් මොහොතේ දනුෂිකා මධුරංගනීගේ හිතට දැනුණේ කියන්න බැරිතරම් මහත් වේදනාවකි. ඇය දන්න කියන හැම තැනකම සොයා බැලු‍වත් රන් භාණ්ඩ සහිත පසුම්බිය හමු නොවූ නිසා පිහිට පතා ගියේ මීගලෑව පොලිසිය වෙතටය.


රන්මාලයක්, බ්‍රේස්ලට් එකක්, කරාබු ජෝඩු තුනක් සහ රන්මුදු දෙකක්නැති වී ඇති බවත් මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 5ක් පමණ වෙන බවත් ඇය පැමිණිල්ලේ සඳහන් කළාය. මීගලෑව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක ආර්.එම්.එල්.බී. උදයංග මහතා, මධුරංගනී ගේ  පැමිණිල්ල ලියාගෙන සොයා බලා මේවා හමුවුණොත් දැනුම් දෙන බව දන්වා ඇත. යම් මුදල් ප්‍රමාණයක් ද එහි තිබී ඇත.


පොලිස් පැමිණිල්ලක් දැම්ම ද, මෙපමණ වටිනාකමක් ඇති රන් භාණ්ඩ කිසිවකු විසින් හෝ අහුලාගතහොත් එය නැවත ලබා නොදෙනු ඇතැයි ඇය සිතුවාය. උප පොලිස් පරීක්ෂක උදයංග මහතා මධුරංගනී ගේ ජංගම දුරකථන අංකයට ඇමතුමක් ලබා දී පාසල් සිසුවියන් දෙදෙනෙකු විසින් රන් භාණ්ඩ සහිත පසුම්බිය අහුලාගෙන එය පොලීසියට භාරදී ඇති බව දැනුම් දුන්නේ පැමිණිල්ල දැමූ දිනට පසු දිනය.


රන් භාණ්ඩ සහිත මෙම පසුම්බිය මධුරංගනීගේ අතට පත් කරනු ලැබුවේ මීගලෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඩබ්ලිව්.ටී.එස්. සපුගස්වත්ත මහතා විසිනි. මෙම රන් භාණ්ඩ සහ මුදල් සහිත පසුම්බිය අහුලාගෙන එය පොලිසියට භාරදීමට සලස්වා තිබුණේ මීගලෑව මහවැලි ජාතික පාසලේ දහවැනි වසරේ ඉගෙනුම ලබන එන්.පී. තිසුරි යුවනිකා සහ ඒ.ඩබ්ලිව්.ජී. සඳුනි ඉමල්කා ජයසූරිය යන සිසුවියන් දෙදෙනාය. මේ සිසුවියන් දෙදෙනා පදිංචිව සිටින්නේ  මීගලෑව තම්මිට ගම්මානයේය.
මෙම රන් භාණ්ඩවල අයිතිකාරිය වෙන මීගලෑව පදවිගම පදිංචි ධනුෂිකා මධුරංගනී රණතුංග මහත්මිය ඉරිදා ලංකාදීපයට මෙසේ පැවසුවාය.

 


“මමයි මගේ අක්කයි මල්ලි පැදවූ යතුරු පැදියෙන් මංගල්‍යය පැවති දිනට පසු දින නගරයේ පිහිටි ඔසුහල ළඟට ඇවිත් ලංගම බස් රථයකට ගොඩ වුණා. මගේ පෞද්ගලික වැඩකට ගල්ගමුවට යන්නයි බස් එකට නැග්ගෙ. කොන්දොස්තර මහත්තයට බස් ටිකට් එකට සල්ලි දෙන්න බලද්දි මම ඇඳ සිටි කලිසම් සාක්කුවේ දමාගෙන සිටි රන් භාණ්ඩ සහිත පසුම්බිය නැතිවී ඇති බව දැනගත්තේ. මගේ හිත හොඳටම අවුල් වුණා. අතරමගදී මම බස් රථයෙන් බිමට බැහැලා රන් භාණ්ඩ සහිත පසුම්බිය හොයල බැරිම තැන තමයි ගිහින් පොලිසියට පැමිණිලි කළේ.


 පොලිසියට ගිහින් පැමිණිල්ල කරලා ගෙදරට ඇවිත් කල්පනා කර කර හරිම වේදනාවකින් සිටියා. මගේ මහත්තයාගේ නංගිගේ විවාහ මංගල්‍යයේ දෙවෙනි ගමන වෙනුවෙන් පැවැත්වෙන උත්සවයට මම මේ නිසාම සහභාගි වුණේ නැහැ. ඒ තරම් ලොකු වේදනාවකින් තමා මම හිටියේ.


නැතිව තිබූ මගේ රන්භාණ්ඩ බාර ගන්න පොලිසියට ගිය අවස්ථාවේ එම රන්භාණ්ඩ අහුලාගත් එක සිසුවියක් ඇයගේ මව සමග පොලිසියට පැමිණ සිටියා. මම ඇයට මුව නොසෑහෙන සේ ස්තුති කර පසුව මට පුළුවන් ආකාරයට තෑග්ගක් දුන්නා. “තෑගි බලාගෙන නෙමේ මේ වගේ දෙයක් කළේ” කියා ඇය මා සමග කිව්වා. ඊට පස්සේ තමා මම දැනගත්තේ තවත් සිසුවියක් එක්ක ඉස්කෝලේ ඉවරවෙලා යනකොට දෙන්නම මගේ රන් භාණ්ඩ සහිත පසුම්බිය දැකලා අහුල ගෙන තිබෙන්නේ. මම ඒ සිසුවිය හමුවෙන්න යනවා.


අහුලාගත් මේ රන් භාණ්ඩ ටික මේ දෙන්නට බෙදාගන්න ඕනෑ තරම් හැකියාව තිබුණත් ඔවුන් එසේ කළේ නැහැ. මම බලාපොරොත්තු අතහැර සිටිය රන් භාණ්ඩ ආපසු ලැබුණේ මේ සිසුවියන් දෙදෙනා ළඟ තිබෙන අවංක කම හා ගුණනගරුක කම නිසා බව පවසනවා” යැයි මධුරංගනී පැවසුවාය.


සඳුනි සිසුවියගේ පියා ඇය කුඩා කාලයේ මියගොස් ඇති බවත් මව කොළඹ ප්‍රදේශයේ කම්හලක රැකියාවක් කරන බවත් මීගලෑව මහවැලි ජාතික පාසලේ විදුහල්පතිනි ඩබ්ලිව්.බී.එම්. ලීලාන මංගලිකා වීරසේකර මහත්මිය පැවසුවාය. සඳුනි සිසුවිය ඇතිදැඩි වෙන්නේ ඇයගේ ආච්චි සහ සීයාගේ රැකවරණය ලබමිනි.
තිසුරිගේ පියා ද ගොවිතැන් කර පවුලේ අය නඩත්තු කරන අයෙක් බවත් මෙම සිසුවියන් දෙදෙනාම ඉගෙනීමට දස්කම් දක්වන, දැඩි ආර්ථික අපහසුතාවලින් පෙළෙන පවුල්වල අය බවත් විදුහල්පතිනිය වැඩිදුරටත් කීවාය.


“මේ සිසුවියන් දෙදෙනා අපේ පාසලට කීර්තියක් අත්කර දී තිබෙනවා. ඒ විතරක් නොවේ, රටටම ආදර්ශයක් ද දී තිබෙනවා. මා ඇතුළු විදුහලේ ආචාර්ය මණ්ඩලයේ අය මෙන්ම සියලු‍ම සිසු සිසුවන්ගේ ගෞරවය මේ සිසුවියන් දෙදෙනාට පිරිනමනවා”  යැයිද විදුහල්පතිනිය පවසන්නීය


“ඉස්කෝලෙ ඉවරවෙලා අපි දෙන්නා ගෙදර යද්දි පසුම්බියක් වැටිලා තිබෙනවා දැක එය අහුලා ගෙන ගෙදර අයටත් පෙන්නුවා. රත්තරන් බඩු වගයක් සහ යම් මුදලක් එහි තිබෙනවා අපි දැක්කා. ඊට පස්සේ අපි මීගලෑව පොලීසියට ගිහින් මෙහි අයිතිකරුවෙක් සොයා බාර දෙන්න කියා පොලිසියට බාර දුන්නා. මේ රන් බඩු ටික අපි දෙන්නට බෙදා ගන්න ඕනෑ තරම් ඉඩකඩ තිබුණා. නමුත් අපි එහෙම කළේ නැහැ. කොච්චර අග හිඟකම් තිබුණත් අපිට එහෙම කරන්න අවශ්‍ය නැහැ. අන් සතු දේවල් ගන්න එපා කියලා අපේ අම්මලා තාත්තාලා, ගුරු මහත්ම මහත්මීන් කුඩා කාලයේ ඉඳලා අපිට කියා දී තිබෙනවා. දහම් පාසලේ දීත් මේ බව අපිට කියලා දී තිබෙනවා.


රන් බඩුවල අයිතිකාරිය සොයාගෙන ඒවා ඇයට බාර දුන් බව දැනගත් මොහොතේ අපි දෙන්නාට කියන්න බැරි තරම් ලොකු සතුටක් ඇතිවුණා. අපේ ගෙවල්වල අයත් හරියට සතුටු වුණා.” යැයිද එම සිසුවියන් දෙදෙනා පැවසූහ.


මෙම සිසුවියන් දෙදෙනා කළ ඒ උතුම් මෙහෙවර පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉතා ඉහළින් අගයකර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සපුගස්වත්ත මහතා විදුහල්පතිනි මංගලිකා වීරසේකර මහත්මිය වෙත ලිපියක්ද යවා ඇත.


විදුහල්පතිනිය, ආචාර්ය මණ්ඩලය ඇතුළු සිසු සිසුවියන්ද මේ සිසුවියන් දෙදෙනා කළ ඒ මහඟු‍ සත්ක්‍රියාව අගය කිරීමට අමතක කළේ නොමැත. විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියන්ගේ ද සහභාගිත්වය ඇතිව තිසුරි සහ සඳුනි යන සිසුවියන් දෙදෙනා පසුගිය4 වෙනිදා විදුහලේදී මහත් හරසරින් පිළිගෙන උපහාර පුදනු ලැබූහ. මේ අවස්ථාවට තිසුරිගේ සහ සඳුනිගේ පවුලේ අයද සහභාගී වී ඇත. මෙම සිසුවියන් දෙදෙනාට විදුහල්පතිනිය සහ නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන පරිපාලන) එස්.එම්. කරුණාරත්න මහතා විසින් ත්‍යාග පිරිනැමීම ද සිදු කර තිබේ.

 

■ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය



අදහස් (0)

රන්වලටත් වඩා වටිනා රත්තරන් දරුවෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 235 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 758 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1179 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site