IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


යාල වනපෙතේ සැඟවුණු පුරාණ මාගම රාජධානිය

යාල ජාතික වනෝද්‍යානය තිස්සමහාරාම චෛත්‍යය හා කෙත් යාය

 

  • එදා රාජධානියේ තිබූ ගම්මාන වෙළෙඳ මධ්‍යස්ථාන කර්මාන්ත ශාලා වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ යාල මහ වනයෙන් වැසී ගිහින්   
  • නිධන් ලෙස යම් වස්තුවක් තැන්පත් කිරීමක් පුරාණයේ පැවතුණේ නෑ   

 

 

 

“ග්‍රහලෝක සහ ගුප්ත ශාස්ත්‍ර විසින් ලංකාවේ පුරාවිද්‍යාවට අපල සිදුකර ඇත. නමුත් අප දන්නා සියලු‍ රටවල් අතරින් අශෝක යුගයේ සිට අද දක්වා ක්‍රමයෙන් ව්‍යාප්ත වූ බෞද්ධ ස්මාරක සියල්ල අඩුවක් නැතිව දක්නට ඇත්තේ මේ කුඩා දිවයිනේ පමණි. මහාවංශය ඇතුළු වංශ කතාවන්හි ලියැ වී ඇති මුල් කාලීන ගොඩනැගිලි පිහිටවූ කාලය සහ ඒවායේ අරමුණු සෑහෙන නිවැරදිතාවකින් යුතුව දැනගත හැකි තරම් විස්තර හා විශ්වාසය තැබිය හැකි ඉතිහාසයක් තිබෙන්නේ ද ලංකාවට පමණි. මේ ගොඩනැගිලිවල නෛසර්ගික වැදගත් කම හැරුණු විට නිශ්චිත වශයෙන් ම දන්නා මේ අඛණ්ඩ ඉදිකිරීම් මාලාව නොපැහැදිලි අවිනිශ්චිත ප්‍රශ්න බොහොමයක් පහදා දෙයි.” යනුවෙන් 1876 දී ‍ශ්‍රීමත් ජේම්ස් පර්ගසන් විසින් සටහන් කර ඇත.   


ඒ මෙරට අඛණ්ඩ ඉතිහාසයේ දක්නට ඇති නෂ්ටාවශේෂ පිළිබඳ විදෙස් විද්වතුන් තැබූ අපූරු සටහනකි.   
මෙය සත්‍යයකි. අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය පමණක් නොව මහනුවර රාජධානිය දක්වාම හමුවන සෑම පෞරාණික නටබුන් ස්ථානයක් ම සාක්ෂි දරන්නේ එයයි. 

 
මෙරට පමණක් නොව ඉන්දියාවේ පවා පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ඉතාමත් දීර්ඝකාලයක් පර්​ෙ‌ය්ෂකයකු ලෙස කටයුතු කරමින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ද කලක් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කළ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසන්නේ අපේ රටේ අපට පෙනෙන සහ මතුකරගෙන ඇති ප්‍රධාන ගොඩනැගිලි සමූහයට වඩා අති විශාල නටබුන් සමූහයක් තවමත් පොළොව යට සහ වන ගහනයෙන් වැසී පවතින බවයි.   


ඔහු ඒ පිළිබඳ මෙසේ කීවේය.   


“අනුරාධපුරය හා පොළොන්නරුව ගත්තොත් අපේ සාමාන්‍ය ජනතාව දකින්නේ බලන්නේ ප්‍රධාන ඇතුළු නගරය හා ඒ අවට ගොඩනැගී තිබූ විශාල ගොඩනැගිලි සහ සිද්ධස්ථාන සමූහයක් පමණයි. නමුත් රජරට ශිෂ්ටාචාරය කියන්නේ ඊට වඩා පුළුල් අතිවිශාල භූමියක් පුරා පැතිරගිය ජන සමාජයක නෂ්ටාවශේෂ. තවමත් ඒ වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ පොළොව යට. අනුරාධපුරය පූජා නගරයේ සිට කිලෝ මීටර් 50ක අරයක කරපු පර්​ෙ‌ය්ෂණවලින් අපි පුරාවිද්‍යා ස්ථාන 8000ක් පමණ වාර්තා කළා. අපි පුරා විද්‍යා ස්ථාන කියන්නෙත් යබොර කොටස්, මැටි වළං කැබලි හමුවන ස්ථාන ද ඇතුළත්ව. ඒ මානව ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් නිසා. එවැනි සෑම ස්ථානයක්ම පුරාවිද්‍යා ස්ථානයක් ලෙස සලකනවා. මේ ස්ථාන 8000 තුළ පැරණි ගොඩනැගිලි 1500ක් පමණ තිබෙනවා. කුඩා දාගැබ් හා පිළිමගෙවල් 1000ක් පමණ තිබෙනවා. මේ වපසරිය ගත්තාම ‍මෙය අතිවිශාල සංඛ්‍යාවක්.”   


මහාචාර්ය ගුණවර්ධන මහතා පවසන්නේ රජරට ශිෂ්ටාචාරයට සමගාමීව රුහුණේ මාගම රාජධානිය ද දියුණු වී පැවැති බවයි. අනුරාධපුර මුල් යුගයේ පටන් මාගම රාජධානියේ රජ පෙළපතක් හා වෙළෙඳ පවුල් ජීවත්වූ බවට සෙල්ලිපි සාධක පවා පවතින අතර වංශකතා සාධකවලින් ද මාගම රාජධානියේ ශ්‍රී විභූතිය පැහැදිලි වෙයි. ඔහු පවසන්නේ අනුරාධපුර රාජධානිය තරමට ම මාගම රාජධානියත් දියුණු වී පැවැති බවයි.   
“අනුරාධපුරය හා සමාන දියුණුවක් රුහුණේ තිබුණා. මාගම රාජධානිය වළවේ ගඟ, කුඹුක්කන් ඔය සිට මහවැලි නදිය දක්වාත් වර්තමාන ත්‍රිකුණාමලය දක්වාත් විහිදිලා තිබුණා. දැනට කිරිඳි ඔය සහ වළවේ ගංඟා නිම්නයේ යම් තරමකින් පුරාවිද්‍යා ගවේෂණ සිදුකරලා තිබෙනවා. ඒ වගේම තිස්සමහාරාමය කේන්ද්‍ර කරගෙනත්, මොණරාගල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකත් පුරාවිද්‍යාත්මක ගවේෂණ සිදුකර තිබෙනවා. අද අපි මේ තිස්සමහාරාමය කේන්ද්‍ර කරගෙන දකින්නේ මාගම රාජධානියේ තිබුණු අනුරාධපුරයේ ඇතුළු නුවර වගේ ප්‍රධාන කොටස පමණයි. තැන තැන තිබූ වෙළෙඳ මධ්‍යස්ථාන, ගම්මාන, කර්මාන්ත සිද්ධස්ථාන වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ යාල මහා වනාන්තරයෙන් වැසී ගිහින්. ඒවා අතර කුඩා ප්‍රමාණයේ නගර පවා තිබිය යුතුයි. යාල වනාන්තරයේ තිබෙන අතහැර දමා ඇති පැරණි ලොකු කුඩා වැව්වලින් ම සනාථ වෙනවා මේ රාජධානිය කොතරම් විශාලව පැතිරී තිබෙන්න ඇති ද, ඒ වගේම කොතරම් නෂ්ටාවශේෂ ප්‍රමාණයක් අද සැඟවී ඇතිද යන්න. අපිට මේ සියලු‍ දේ පුරාවිද්‍යාත්මකව මතුකරන්නවත් ප්‍රතිසංස්කරණය කරලා යළි සාමාන්‍ය පරිදි වන්දනා මාන කටයුතු සඳහා භාවිත කරන්නත් බැහැ.”   


මෙම පුරාවිද්‍යාත්මක ස්ථාන බොහොමයක් වර්තමානය වනවිට විනාශ වී ගොස් තිබේ. මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසන්නේ ශ්‍රී ලංකාව පුරාම හමුවන පුරාවිද්‍යාත්මක ස්ථානවලින් 99%ක් ම නිධන් සෙවීමේ අරමුණින් විවිධ කාලවල දී විනාශ කර දමා ඇති බවයි.   


එයට හොඳම උදාහරණයක් වන්නේ සීගිරිය ආසන්නයේ පිදුරංගල ඇති සැතපෙන බුදුපිළිමයයි. එහි ශීර්ෂය කඩා බිඳ දමා ඇත්තේ 1900 දී පමණය. නිදන් සොයා පුරාවස්තු විනාශ කිරීම අද ඊයේ සිදුවූවක් නොවේ. නිධන් කිරීම පිළිබඳව ද විවිධ සාධක හා මත කිහිපයක් මෙරට මුල්බැසගෙන තිබේ.   


ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය අනුව නිධන් යනු ආරක්ෂාකර තැබිය යුතු ධනය වේ.   


වර්තමානයේ නිධන් සොයා යන බොහෝ දෙනෙක් අතීතයේ ජීවත් වූ ජනතාව අනාගත පරපුරේ ප්‍රයෝජනය සඳහා රන්, රිදී, මුතු, මැණික් වැනි වටිනා දේ තැන්පත් කර ඇතැයි සිතති. නමුත් මෙරට අතීත තොරතුරු අඩංගු කිසිදු ලේඛනයක, අභිලේඛනයක හෝ සාහිත්‍ය කෘතියක හෝ එවැනි නිධන් තැන්පත් කිරීමේ සිරිතක් ගැන සාක්ෂි හමුවන්නේ නැත.   


මහාචාර්ය ගුණවර්ධන පවසන්නේ 19 වැනි සියවසේ අග භාගයේ පටන් අද දක්වාම මෙරට සෑම ප්‍රදේශයක ම පුරාවිද්‍යාත්මක කැණීම් සිදුකර ඇතත් දස දහස් ගණනක් වූ එවැනි කැණීම් කිසිවකින් තැන්පත් ධනයක් සොයාගෙන නැති බවයි. නමුත් බොහෝ ස්ථානවලින් පුරාවස්තු හමුවන බවත් ඒවා මිල කළ නොහැකි යැයි පවසන්නේත් එහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම නිසා මිස රුපියල් ශත හෝ ඩොලර් අගය මත නොවන බව ද හෙතෙම පවසයි.   


“පුරාවිද්‍යාත්මක ස්මාරක ලෙස බොහෝ නිධන් සොයන්නන් විසින් හාරණ දාගැබ්, බුදුගේ ඇතුළු ගොඩනැගිලිවල එවැනි නිධන් තැන්පත් කර තිබෙනවා නම් හොර රහසේ මහා කලබලයකින් ඒවා හාරන නිදන් හොරුන්ට වඩා මාස ගණනක් විධිමත් කැණීමක් කරන අපිට ඒවා හමුවෙන්න ඕනෑ. නමුත් පුරාවිද්‍යාඥයන්ට කිසිම තැනකින් එවැනි තැන්පත් වටිනා වස්තු ලැබී නැහැ. එසේ නොලැබෙන්නේ අතීතයේ එලෙස ධනය තැන්පත් කිරීමේ සිරිතක් මෙරට තිබුණේ නැති නිසයි.   
එසේ වුවද මිසරය, ඊජිප්තුව වැනි ශිෂ්ටාචාරයන් හි රජවරුන්ගේ සොහොන්කොත්වල මහා ධනස්කන්දයක් තැන්පත් කර ඇති ඉතිහාසයක් තිබේ. එවැන්නක් ඒ ශිෂ්ටාචාරයන් හි සිදුකර ඇත්තේ ඔවුන්ගේ මුල්බැසගත් ආගමික විශ්වාස හා අභිචාර විධික්‍රම අනුවය.   

 

නටබුන්


ශ්‍රී ලංකාවේ එවැනි සිරිතක් පැවති බවට සාධක නැත. ඉබ්බන්කටුව වැනි පැරණි ප්‍රාග් සුසානභූමි කැණීම් කළ අවස්ථාවන්හි දී පබළු වැනි කොටස් කිහිපයක් හමුව ඇත්තේ එම මියගිය පුද්ගලයන් භාවිත කළ ආභරණ ලෙස විනා තැන්පත් කළ ධනයක් ලෙසින් නොවේ. මෙරට රජවරුන් ආදාහනය කළ ස්ථාන යැයි විශ්වාසකරමින් කැණීම් සිදුකළ තැන්වලින් හෝ එවැනි තැන්පත් ධනයක් හමුවී නැත.   
නමුත් මෙරට ජන සමාජයේ නිධන් පිළිබඳ බලවත් විශ්වාසයක් මුල් බැසගෙන තිබේ.   
මෙරට ඉතිහාසයේ තැන්පත් කිරීම් පිළිබඳ පැරණිතම ලිඛිත සාක්ෂිය ලැබෙන්නේ අනුරාධපුරයේ අභයගිරි විහාරයේ කැණීමකින් ලැබුණු සෙල්ලිපියකිනි. ක්‍රිස්තු වර්ෂ 164-192 කාලයේ රජකළ මළුතිස හෙවත් කණිට්ඨතිස්ස රජු විසින් කරවන ලද මේ ශිලා ලිපියේ රජුගේ මව් වූ සිරිබියගේ ධාතු සහ රජුගේ බිසව වූ මිතගේ ධාතු මෙහි තැන්පත් කර ඇතැයි දක්වා තිබේ.   
නිධන් වස්තු පිළිබඳ බොහෝ දෙනකුගේ විශ්වාසය ඇති වී තිබෙන්නේ මහනුවර යුගයේ අවසන් භාගයේ දී ලියැවුණු නිධන් වදුල නම් ග්‍රාමීය පුස්කොළ ලියැවිලි සමූහයක් හේතුවෙනි. ඒවායේ එන බොහෝ කරුණු පැරණි ග්‍රාම නාම සම්භවයන්, මාර්ග, මායිම් බෙදීම් හා කුලගොත් පිළිබඳ කරුණු ඇතුළත් කඩඉම් ලකුණු හා සමපාත වන්නකි. එබැවින් බොහෝ දෙනා විශ්වාස කරන්නේ මේ නිධන් වදුලේ ඇත්තේ තැන්පත් කර ඇති මහා ධනයක් පිළිබඳ විස්තර බවය.   


ගල්වල කොටා ඇති ශිලා ලේඛනවල අකුරු කියවාගත නොහැකි ඇතැම් පුද්ගලයෝ එතැන නිධාන ඇතැයි සිතා ඒවා පුපුරුවා ගල් පලා ධනය සොයති. මෙරට පැරණි ජනාවාස පැවැති අතැම් පෙදෙස්වල ගල්වල කොටා ඇති සලකුණු දක්නට ලැබෙන බව සත්‍යයකි. පහසුවෙන් සටහන් කළ හැකි ඉර, හඳ, දුන්න, ඊතලය, ඇත් අඩි, හරක් කුරය, කඩුව, හක්ගෙඩිය, වටාපත සහ විවිධ ආකාරයෙන් සත්ත්ව රූප මෙලෙස ගල් මත දක්නට ලැබෙයි. නමුත් ඒවා නිධන් ලකුණු නොවේ.   
වර්තමානයේ ග්‍රාම නිලධාරී මායිම්, ඉඩම් මායිම්, දිස්ත්‍රික් හා පළාත් මායිම් මෙන් එකල පත්තු, කෝරළ, මණ්ඩල, රට්ඨ වශයෙන් තිබූ එක් එක් පරිපාලන කොට්ඨාස වෙන්කිරීමට යෙදූ මායිම් සලකුණු බව බොහෝ දෙනකු දන්නේ නැත. මෙවා කඩඉම ලකුණු ලෙස හඳුන්වයි.   
ඇතැම් තැන්වල දී සෙල්ලිපියකින් යම් විධානයක් සිදුකර එම විධානය ඉර හඳ පවතිනා තාක් තිබිය යුතු බව පැවසීමට ඉර හඳ සලකුණු කොටයි.   


මෙරට බුද්ධ ශාසන පරිහානිය පැවැති මහනුවර යුගයේ ඉන්දියානු බ්‍රාහ්මණ බලපෑමද වැඩි වී තිබිණි. එකල මෙරට සිටි බ්‍රාහ්මණයෝ මෙරට සමාජයේ මිථ්‍යා මත ප්‍රචාරය කළහ. නිධන් වදුලේ භාෂාව අධ්‍යයනය කරනවිට පෙනී යන්නේ නිධන් වදුල යනු බ්‍රාහ්මණයන්ගේ අභාසයෙන් නිර්මාණය වූ දෙයක් බවයි. ඒ බව එම වදුල් පොත්වල ම දැක්වෙන්නේ “රාමද්‍රසී බ්‍රාහ්මණයාගේ වඳුරු ශාස්ත්‍රයයි”, “කාල නම් ඍෂිවරයා පැවසූ වඳුරු ලක්ෂණ ශාස්ත්‍රයයි” වැනි වැකිවලින් ම එය තහවුරු වෙයි. මෙය හින්දු බලපෑමෙන් වූවක් බව ඉන් පැහැදිලි වෙයි.   

මුහුදු මහා විහාරය  මාගම රාජධානියේ සිද්ධස්ථානයකි

පැරණි දාගැබක් පිහිටි ස්ථානයක් නිදන් හොරුන් විසින් හාරා විනාශ කර ඇති ආකාරය

 


මේ වදුලු‍ පොත් පිළිබඳ අධ්‍යයනය කළ විට පෙනී යන්නේ ඔවුන් කඩඉම් ලකුණු භාවිත කරමින් ඒවා නිධානයක සලකුණු බවට ව්‍යාජ අර්ථයක් දෙමින් මන්ත්‍ර ශාස්ත්‍ර හා පූජා ක්‍රම ඔස්සේ ජීවත්වීමටත්, තම ආගම ජනතාව අතර ප්‍රචලිත කිරීමටත් නිධන් වදුල ගොතා ඇති බවයි.   
නිධන් පිළිබඳ මෙරට ජනතාව අතර යම් මතයක් ඇතිවීමට ඉවහල් වූ තවත් කරුණක් වන්නේ 1887 අංක 17 දරන පැරණි නිදන් වස්තු ආඥා පනතයි. මේ පනතට සිංහල බසින් භාවිත වූ ‘නිධන් වස්තු ආඥා පනත’’ යන්න ම මෙරට පුරාවිද්‍යා ස්මාරක ආශ්‍රිතව මහා නිධානයන් ඇති බවට මතයක් ජනතාව අතර මුල්බැස ගැනීමට හේතුවක් වී තිබිණි.   


“ජනතාව අතර තියෙන මේ මිථ්‍යා විශ්වාසය නිසා අපේ රටේ පුරාවස්තු බොහොමයකට විශාල වශයෙන් හානි සිදුවෙලා තියෙනවා. අපි දන්න තැන් වගේම නොදන්න තැන් පවා නිධන් සොයන පුද්ගලයන් විසින් විනාශ කරලා. ඇතැම් ‍ඒවා හාරලා, පෙරළලා දාලා. ඓතිහාසික ස්ථාන තේරුම්ගත නොහැකි ආකාරයෙන් අවුල් කර දමා තිබෙනවා. පුරාවිද්‍යාත්මක පැත්තෙන් බැලු‍වම කණ්ට්ඨතිස්ස රජ්ජුරුවන්ගේ සෙල්ලිපියේ සඳහන් වෙනවා වගේ යම් යම් ඓතිහාසික දේ තැන්පත් කිරීමේ සම්ප්‍රදායක් තිබුණා. දාගැබක් හදන විට බුදු පිළිමයක් ස්ථාපිත කර විට මේ විදියට දේවල් තැන්පත් කළා. අපිට පුරාවිද්‍යාත්මක කැණීම්වලින් එවැනි දේ තැන්පත් කළ යන්ත්‍ර ගල කියා කොටස් තිබෙනවා. ඒවායේ සර්වඥ ධාතු, රහතන්වහන්සේලාගේ ධාතු වැනි දේ තැන්පත් කළා. දාගැබ්වල ධාතු ගර්භයේ බුදු පිළිම වගේ දේවල් කුඩා කරඬුවල තැන්පත් කළා.” යැයි මහාචාර්ය ගුණවර්ධන පවසයි.   


“ඒ වගේම අපේ සංස්කෘතිය හා බැඳුණු සම්ප්‍රදායක් තිබෙනවා. අදටත් පින් කැටයට සල්ලි දානවා වගේ අතීතයේත් දාගැබ් ඉදිකරන විට තම තමන් සතුව තිබෙන යම් යම් ආභරණ වගේ දේවල් ඒ දාගැබට දමන්නට ඇති. අපේ පැරණි වාර්තාවකත් තිබෙනවා අනුරාධපුර පූජා භූමියේ තාප්පයක් හදමින් සිටින විට කාන්තාවක් ඇවිත් එයා කරබැඳි මාලය මේ තාප්පයට දැමූ සිද්ධියක්.   

වන මැද පැරණි ගොඩනැගිල්ලක් නිදන් හොරුන් විසින් හාරා ඇති ආකාරය

තිස්ස වැව ආසන්නයේ කැණීම් කළ ස්ථානය

 


“ශ්‍රී ලංකාවේ බුදු පිළිම හා කරඬු නිර්මාණය කිරීමේ තාක්ෂණයේ දී රත්‍රන් නිර්මාණ දක්නට නැහැ. රන්මුවා පිළිම, රන්මුවා කරඬු නැහැ. තියෙන්නේ තඹ හෝ වෙනත් ලෝහයකින් කරලා රන් ආලේපිත කළ ඒවා පමණයි. දැනටත් වාණිජ අරමුණු වෙනුවෙන් නිධන් කියන සංකල්පය අනුව ගිහින් ව්‍යාපාර කරන අය තඹ පිළිම හදලා රන් ආලේප කරලා නිධානයකින් ගත් රන් පිළිම කියලා විකුණන අවස්ථා වාර්තා වෙනවා. ඔවුන් මේවා අලු‍තෙන්ම හදලා විකුණන්නේ. මේක ජාවාරමක්.” යැයි ද මහාචාර්යවරයා පැවසීය.   
යාල වනෝද්‍යානයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ආකාස චෛත්‍යය නැමැති ස්ථානයක් ප්‍රතිසංස්කරණය කරන බවත් එතැනට නව මාර්ගයක් ඉදිකිරීමට යෝජනාවක් ඇති බවටත් මේ දිනවල විශාල ආන්දෝලනක් හටගෙන තිබේ.   


එහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් මාගම රාජධානියේ බොහෝ ස්ථාන නටබුන් බවට පත්වී යාල මහා වනාන්තරයට වැසී ගොස් ඇත. මේ මහ වනයේ මාගම රාජධානියේ ඇතුළු නුවරට අමතරව තැන තැන දියුණු වී තිබූ කුඩා නගර, වෙළෙඳ මධ්‍යස්ථාන, කර්මාන්තශාලා මෙන්ම ජනාවාසව තිබූ ගොඩනැගිලිද එම ශිෂ්ටාචාරයේ ගොඩනැගුණු වෙහෙර විහාර ද දහස් ගණනක් තිබෙන බව පුරාවිද්‍යාඥයන්ගේ විශ්වාසයයි. නමුත් ඒ සියල්ල දැනටමත් නිධන් පිළිබඳ මිථ්‍යාවකින් සිටින ජාවරාම්කරුවන් විසින් වනසා දමනු ලැබ තිබේ. අනාගතයේ දී ද ඉතිරිව ඇති කොටස් විනාශ වී යා නොදී රැකගැනීම අප සැමගේ යුතුකමකි.   
නිධන් ඇතැයි යන මිථ්‍යාවට නොරැවටී මෙරට සැබෑ ඉතිහාස කතාන්තර අප උකහා ගත යුතුය.   

 

 

සටහන සහ ඡායාරූප 
සජීව විජේවීර   

 



අදහස් (0)

යාල වනපෙතේ සැඟවුණු පුරාණ මාගම රාජධානිය

ඔබේ අදහස් එවන්න

 

 
 

තක්සලාව

බෙරගල කන්දේ වැඩසිටින රහතන් වහන්සේලා
2025 මැයි මස 08 35 0

ඒ උතුම් පංච අභිඤ්ඤාලාභී උතුමන් පස්නමම වැඩ සිටින්නේ එකට. උන්වහන්සේලාගෙන් දෙනමක් ලංකාවාසි වන අතර, තුන් නමක් ඉන්දියාවේ වාසය කරන අයයි.


ඉදිරි දහ අට මාසයේ පෙරළි බහුලයි
2025 මැයි මස 08 24 0

ලෝකය සහ සොබා දහමේ හට ගන්නා වෙනස්වීම් පුරෝකථනය කිරීම සඳහා වූ පැරණිතම විද්‍යාව වන්නේ Mundane Astrology හෙවත් ලෝකායන නක්ෂත්‍ර විද්‍යාව ය. යටත් පිරිසෙයින් එහි භාවිත


සූර්යවංශි, ක්‍රිකට් වංශකතාවේ යෝධයෙක් වෙයිද
2025 මැයි මස 08 24 0

මේ දිනවල ක්‍රිකට් හිතැති හැමදෙනාම කතා කරන්නේ වෛභව් සූර්යවංශි ඉන්දියානු යෞවනයා ගැන. ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වේගවත්ම ශතක ලැයිස්තුවේ දෙවැනි තැ


වෙසක් මස ග්‍රහ ගමන ඔබේ ලග්නයට කෙරෙන බලපෑම
2025 මැයි මස 08 33 0

මෙම මස ග්‍රහ ගමන් සිදුවෙන ආකාරය අනුව ඔබ උපන් ලග්නයට අදාළව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය පිළිබඳව කෙරෙන විග්‍රහය


සඳු කේන්දරයේ පිහිටන ආකාරය අනුව ඔබේ අනාගතය ගැන කියවෙන රහස්
2025 මැයි මස 08 12 0

කේන්ද්‍ර සටහන යනු අපගේ අනාගතය පිළිබඳව කියැවෙන ග්‍රහ පිහිටීම් සහිත ලේඛනයකි. මෙකී කේන්දරය තුළ විවිධ ග්‍රහ ස්ථානයන්හි විවිධ ග්‍රහයන් පිහිටා තිබීම මත එම


රජෝදර්ශන කාලයේදී ස්නානය සුදුසු ද
2025 මැයි මස 08 17 0

ගැහැනු ළමයකු ගේ දෙවන උපත ලෙස මල්වර වීම හඳුන්වන්න පුළුවන්. එය නව දිවියකට පා තබන සංක්‍රමණික අවධියක් වන්නා සේම, එහිදී දරුවකු ශාරීරිකව මෙන්ම මානසිකව ද යම් ය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 78 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1307 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 334 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site