උගන්ඩාව ගිනිකොන දෙසින් වික්ටෝරියා විලට මායිම්ව නැගෙනහිර අප්‍රිකාවේ සමකය ආශ්‍රිතව පිහිටි දේශයකි. උගන්ඩාවට උතුරින් දකුණු සුඩානය බටහිරින් කොංගෝ ප්‍රජාතන්ත්‍රවා දී ජනරජය, නැගෙනහිරින් කෙන්යාව, දකුණින් රුවන්ඩාව සහ ටැන්සානියාව යන රාජ්‍යයන් මායිම් වේ.

 

 

 

 

උගන්ඩාව ව.කි.මී 241,551 ක වපසරියකින් යුක්ත වන අතර ජනගහනය මිලියන 34.8ක් වේ. විවිධ සංස්කෘතීන් සහිත ගෝත්‍ර 50කට අධික සංඛ්‍යාවක් උගන්ඩාවේ ජීවත් වෙති. උගන්ඩා ජාතිකයන් ඕනෑම උත්සවයක් හෝ විශේෂ අවස්ථාවක් සැමරීම පිණිස නර්තනය උපයෝගී කර ගනී. සෑම ගෝත්‍රයකටම තමන්ගේ සම්ප්‍රදායික නැටුම් විලාශයන් සතුය.

 
අතීතයේ උගන්ඩාව අප්‍රිකාවේ මුතු ඇටය ලෙස හඳුන්වනු ලැබිණි. ඒ වනජීවි, දිය ඇළි, ඇළ දොළ ගංගා, දේශගුණය පමණක් නොව, ඊට සාපේක්ෂව විවිධ ප්‍රදේශවල මිනිසුන්ට උරුම වූ අතිශය සුන්දර සංස්කෘතික කලාංග නිසාවෙනි. රට ස්වභාවික ලක්ෂණ රැසකින් සමන්විතය. එහි භූ දර්ශනය හිමෙන් වැසී ගිය කඳු, අලංකාර විල් සහ ඝන වනාන්තරවලින් සපිරි සොබා දහමේ අසිරිය මූර්තිමත් කරවන සුළුය. රටේ උසම ස්ථානය වන්නේ ස්ටැන්ලි කන්දේ (මීටර් 5,110) මාගරිටා කඳු මුදුනයි. එය රුවෙන්සොරි නම් මනරම් ජාතික වනෝද්‍යානය පසුබිමේ පිහිටියේය. අනෙකුත් කැපී පෙනෙන කඳු අතරට ස්පෙකේ, කියන්ජා, ගෙස්සී යන ගිරි කුළු ඇතුළත් වේ.


ජින්ජා දිස්ත්‍රික්කයේ වික්ටෝරියා විල ඉස්මත්තේ කඳුකරයෙන් දැකුම්කළු රිපන් දිය ඇල්ල නිර්මාණය කරමින් සිය ගමන අරඹන නයිල් නදිය උගන්ඩාවේ ස්වභාව සෞන්දර්යට ලබා දෙන්නේ අනූපම වූ දායකත්වයකි. ලොව දිගම ගගංගාව ලෙස සැලකෙන නයිල් නදිය, උගන්ඩාව සශ්‍රීකවත් කරමින් කි.මී 6550 ක ගමන් මග නිමා කරමින් මධ්‍යධරණී මුහුදට එක්වේ. උගන්ඩාවේ විශාලතම නගරය සහ අගනුවර කම්පාලා වේ. එරට නිල භාෂාව ඉංග්‍රීසි වන අතර ලුගන්ඩා, ස්වහීලී අනෙකුත් ප්‍රධාන දේශීය භාෂා වේ. සොබා අසිරියෙන් අනුන වුව ද, උගන්ඩා දේශයේ පාලන තන්ත්‍රය ඈත අතීතයේ මෙන්ම මෑත යුගයේ ද අඳුරු තද කළු පැල්ලම් වලින් වැසී පවත්නා බව ජාත්‍යන්තර පිළිගැනීමයි.

 


1984 වසරේ සිට බ්‍රිතාන්‍ය ආරක්ෂක ප්‍රදේශයක්ව පැවති උගන්ඩාව 1962 ඔක්තෝ්බර් 9 වැනි දින බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගත්තාය. උගන්ඩාව මහජන කොංග්‍රසයේ නායක ආචාර්ය මිල්ටන් ඇපලෝ ඔබෝටේ ප්‍රථම අගමැති සහ රජයේ ප්‍රධානිය බවට පත්විය.


1971 ජනවාරි 25 වැනි දින ඔබෝටේ බලයෙන් පහ කළ ඉඩි අමීන් බලයට පත් වූයේ ත්‍රස්තවාදී දැවැන්ත පීඩාකාරී යුගයක් ආරම්භ කරමිනි. වසර 8ක් වූ මෙම අඳුරු කාලයේ උගන්ඩාවේ ආර්ථිකය විශාල ලෙස කඩා වැටුණි. රාජ්‍ය මූල්‍ය අවභාවිතය සහ අනාරක්ෂිත භාවයේ අඳුරු තිමිර පටලයෙන් මුළු මහත් උගන්ඩාවම වැසී ගියේය. ඉඩි අමීන්ගේ කුරිරු පාලන සමයේ දී උගන්ඩා ජාතිකයන් 300,000කට ජීවිත අහිමි විය. A state of Blood නම් කෘතියෙහි හෙන්රි කයෙනබා නම් ලේඛකයා සඳහන් කරන්නේ ඉඩි අමීන් තම සතුරන් මරා ඔවුන්ගේ මළ සිරුරුවල අක්මාව, වකුගඩු, තොල්, ලිංගික අවයව සහ ශරීර කොටස් අනුභව කළ බවය. අමීන් මනුෂ්‍ය මස් අනුභව කරන බවට නිතර පුරසාරම් දෙඩූ බව ද එම ග්‍රන්ථයේ සඳහන් වේ. ඉඩි අමීන්ට ප්‍රධාන භාර්යාවන් පස්දෙනෙක් සහ දරුවෝ 50ක් සිටියහ. ඊට අමතරව තරුණ ළඳුන් 30ක් රඳවා සිටි අන්තඃපුරයක් මෙන්ම වදකාගාරයක් ද ඔහු සතුව පැවති බැව් පැවසේ. අමීන්ගේ ප්‍රියතම බිරිඳ වූයේ සාරා කේයෝලාබා නමැත්තියයි. ඇය සමග අනියම් සබඳතා පැවැත් වූ පෙම්වතා ගෙල සිඳ මරා ඔහුගේ හිස වසර ගණනාවක් සිය අධි ශීතකරණයේ තැන්පත් කර තිබූ බව ද වාර්තාවේ. ඉඩී අමීන් කක්වා ගෝත්‍රිකයෙකු වූ අතර මෙම ගෝත්‍රයේ මිනිසුන් අතර ලේ පානය කිරීම සම්ප්‍රදායික සිරිතක් විය. 1975 දී ඩෙනිස් හිල්ස් නම් බ්‍රිතාන්‍ය ලේඛකයා ඉඩි අමීන් විසින් ප්‍රාණ ඇපයට තබා ගෙන ඔහුට මරණීය දණ්ඩනය ලබා දෙන ලදී. ප්‍රාණ ඇපකරුවකු ලෙසින් සිටිය දී තබන ලද සටහන් වලින් ඉඩි අමීන් ගේ අසීමිත කෲරත්වය මැනවින් ලොවට අනාවරණය විය. ඔහු ඉඩි අමීන් ආසාදිත හා උමතු පුද්ගලයෙකු ලෙස විස්තර කර ඇත.


1979 වර්ෂයේදී උගන්ඩා - ටැන්සානියා යුද්ධයේ දී උගන්ඩාව පරාජය කර ඉඩි අමීන් බලයෙන් නෙරපා හරින ලදී. අමීන් ලිබියාවට පිටුවහල් කරන ලද අතර දින කිහිපයකට පසු ඔහු සෞදි ආරාබිය බලා පිටත්ව ගොස් මිය යන තුරුම එහි ජීවත් විය.


වර්තමානයේ උගන්ඩා රාජ්‍ය නායක වයි.ටී. කගුටා මුසවේනිය. ඔහුගේ පාලනය යටතේ විදේශ රාජ්‍යයන්ට රිසිසේ තම අසීමිත ධන සම්පත් උගන්ඩාව වෙත ගෙන ඒමට අවස්ථාව සලසා දී ඇති බැව් නිරීක්ෂණ වේ. ඕනෑම විදේශිකයෙකුට කුමන හෝ ව්‍යාපාරයක් පටන් ගැනීමටත් විවිධ දේපල මිලදී ගැනීමටත් කිසිදු නීතිමය බාධකයක් රටතුළ දිස් නොවේ.


එරට ශ්‍රී ලංකිකයන් සැලකිය යුතු සංඛ්‍යාවක් සේවයෙහි නිරතව සිටිති. උගන්ඩාවේ ශ්‍රී ලංකිකයෙකු Cafe Ceylon නමින් ප්‍රකට හෝටලයක් පවත්වා ගෙන යන බව ද අනාවරණය වේ. මෙරට අගමැති ඇතුළු මැති ඇමැතිවරුන් එම භෝජනාගාරයෙහි ආහාර ගනිමින් සිටින අවස්ථා දැක්වෙන ඡායාරූප මේ දිනවල නිරන්තරයෙන් ම සමාජ වෙබ් අඩවිවල සංසරණය වෙමින් පවතී.


මුදල් විශුද්ධිකරණය වැනි මූල්‍ය අපරාධ ඵලදායි ලෙස වැළැක්විය හැකි පියවර ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම නිසා උගන්ඩාවේ මූල්‍ය ව්‍යාපාර ජාත්‍යන්තර පද්ධති අසාදු ලේඛනගත කිරීමේ අවදානමක් මේ වන විට මතුව ඇත. ගෝලීය අන්තර් රාජ්‍ය සංවිධානයක් වන මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බළකායේ (FATF) ඉල්ලීම මත මුදල් විශුද්ධීකරණය මැඩපැවැත්වීය හැකි ප්‍රතිපත්ති සකස් කිරීමෙහිලා කැනඩාව ප්‍රංශය ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන G7 හා සබැඳි රටවල් ජාලය නියැලී සිටින බැව් වාර්තා වේ.


ලංකාවේ දේශපාලනික ප්‍රභූ පවුල් අයථා අන්මින් උපයා ගත් සුවිසල් ධනස්කන්ධයක් මේ වන විට උගන්ඩාවේ සුරක්ෂිත ලෙස තැන්පත් කර ඇති බවට සුවිසල් ජන මතයක් ජනගත වෙමින් පවතී.

 

සටහන
ආචාර්ය ගාමිණී කාරියවසම්