කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අලුත් පනතක් ඇයි?

 

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ආරම්භ කර මේ වනවිට දසක හතරක කාලයක් ගෙවී ගොස් ඇත. ආරම්භයේදී එය ආරක්ෂක අභ්‍යාස ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වූ අතර පසුව උපාධි පිරිනමන ආයතනයක් දක්වා උසස් කෙරිණි. ඉන්පසු විශ්වවිද්‍යාලයක තත්ත්වය දක්වා උසස් කෙරුණු අතර සිවිල් සිසුන් ඇතුළත් කරගැනීමද සිදු විය. මේ දිනවල කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අධ්‍යාපනික හා දේශපාලන කේෂ්ත්‍රයේ කතාබහට ලක් වන මාතෘකාවක් වී තිබෙන්නේ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති 2021 අංක දරණ ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත නිසාය. මේ පනත් කෙටුම්පතේ ඇතුළත් විධිවිධාන කීපයක් මේ දිනවල දැඩි කතාබහට ලක් ව ඇති නිසා අපි ඒ ගැන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා සමග සාකච්ඡා කළෙමු. මේ එහි සටහනයි.   


ප්‍රශ්නය: උපකුලපතිතුමා, මේ වෙන කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 2021 අංක දරණ ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ගැන අධ්‍යාපන කේෂ්ත්‍රයේ දැඩි කතාබහක් ඇති වෙලා තියෙනව. ඇත්තටම මේ පනත් කෙටුම්පතේ අරමුණ මොකක්ද? 

 
පිළිතුර: 1981 අංක 68 දරණ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක අභ්‍යාස ආයතන පනත මගින් තමයි වර්තමාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ආරම්භ කළේ. මුලදි මේක පටන් ගත්තෙ ආරක්ෂක අභ්‍යාස ආයතනයක් විදියට. ඒ මුල් පනතට 1988 දී ගෙනාපු සංශෝධන පනතේ විධිවිධාන අනුව උපාධි ප්‍රදානය කිරීමේ බලය මේ ආයතනයට ලබා දී තියෙනවා. නමුත් ඒ පනතේ කිසිම තැනක මේ ආයතනය විශ්වවිද්‍යාලයක් වශයෙන් පවත්වා ගෙන යෑම ගැන කිසිවක් සඳහන් වෙලා නෑ. ඊට පස්සෙ ගෙනාපු 2007 අංක 50 දරණ සංශෝධන පනත මගින් මේ ආයතනය විශ්වවිද්‍යාලයක් වශයෙන් නම් කරලා තියෙනවා. නමුත් ඒ පනතිනුත් මේ ආයතනයේ ව්‍යුහය විශ්වවිද්‍යාලයක් වශයෙන් සකස් කරලා තිබුණෙ නෑ. යුද සමයෙ වගේම යුද්දෙන් පසු කාලයෙත් රටේ ජාතික ආරක්ෂාවට වගේම ජාතික සංවර්ධනයට දායක විය හැකි පුරවැසියන් බිහිකිරීමේ අවශ්‍යතාව තදින්ම මතු වුණා. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත හැම අවුරුද්දකම වගේ ලක්ෂ දෙකකට වැඩි පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබුවත් එයින් බඳවා ගන්නේ 30000 කට ආසන්න පිරිසක් කියලා අපි දන්නවා. මේ ආණ්ඩුව බලයට ආවට පස්සෙ ඒ ගණන 42000 දක්වා වැඩි කරලා තියෙනවා. මේ තත්ත්වය මත ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළු විය නොහැකි ළමයින්ට උපාධි අධ්‍යාපනයක් ලබා දීමේ වගකීම අපේ ආයතනයටත් තියෙනවා. ඒ අනුව තමයි අපි ශිෂ්‍යයන් බඳවා ගැනීම ආරම්භ කළේ. මේක කරගෙන යන්න නම් අනිත් රාජ්‍ය විශ්වවිද්‍යාල පවත්වා ගෙන යන ආකාරයේ පීඨ මණ්ඩල, සනාථන සභාවක් ආදී ව්‍යුහයන් මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයටත් අවශ්‍ය වෙනවා. මේ ව්‍යුහය ඇති කිරීමටත් තිරසාර සංවර්ධනයට ළඟා කරගැනීමටත් සන්නද්ධ අංශවලට අවශ්‍ය සියලුම වෘත්තිකයන් බිහිකිරීම සඳහාත් තමයි අපි මේ පනත් කෙටුම්පත සකස් කළේ. මේ මූලික ව්‍යුහ ඇති කරනවාට අමතරව මේ ආයතනය ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් වශයෙන් පවත්වාගෙන යෑමට හැකි වන අයුරින් අවශ්‍ය නීතිමය රාමුව මේ මගින් අපි නිර්මාණය කරලා තියෙනවා.   

 


ප්‍රශ්නය:  මේ පනත් කෙටුම්පතේ 1 කොටසේ 2 ව්‍යවස්ථාවේ දැක්වෙනවා 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභා පනතේ කුමක් සඳහන් වූවත් ඒවා නොතකමින් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පිහිටුවිය යුතුයි කියලා. ඒ වගේම මේ පනත් කෙටුම්පතේ තව තැන් කීපයකම සඳහන් වෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදන නොතකමින් කටයුතු කළ හැකි බව. ලංකාවේ තියෙන රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කෙරෙන්නෙ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතින්. මගේ ප්‍රශ්නය වෙන්නෙ ඒ පනතෙ තියෙන ප්‍රතිපාදනවලට එපිටින් ගිහින්ද මේ කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පිහිටුවන්නෙ කියන එක? 

 
පිළිතුර: 1981 අංක 68 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක අභ්‍යාස ආයතන පනතෙත් ඔය වගන්තිය ඒ ආකාරයටම සඳහන් වෙලා තියෙනවා. කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් බඳවා ගැනීමේ කටයුතු හැර අනෙක් සියලුම දේවල් සිද්ධ වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති විධිවිධාන අනුව. කථිකාචාර්යවරුන් බඳවා ගැනීම, ඔවුන්ට උසස්වීම් ලබා දීම, විෂය ධාරා හා අධ්‍යයන පාඨමාලා කරගෙන යෑම මේ ආදී සියලුම කටයුතු කරගෙන යන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් නිකුත් කර ඇති චක්‍රලේඛ හා උපදෙස් අනුව. නමුත් කැඩෙට්ස්ලා හා සිවිල් සිසුන් බඳවා ගැනීමේදී අපි වෙනස් පිළිවෙතක් අනුගමනය කරනවා. ඒ අනුව ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීමේදී අපි පළමුවෙන්ම සලකා බලන කාරණය තමයි උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබීම. ප්‍රතිඵල ලේඛනයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් සපුරා තිබේද යන කොටසේ ඔව් යනුවෙන් මුද්‍රණය වී ඇති ශිෂ්‍යයන්ට විතරයි කොතලාවල විශ්වවිද්‍යාලයට ඇතුළු විය හැක්කේ. කැඩේට් ශිෂ්‍යයෙක් බඳවා ගැනීමේදී අපි සම්මුඛ පරීක්ෂණ තුනක් පවත්වනවා. පළවැනි එකේදි හමුදාවට බැඳීමට අවශ්‍ය සුදුසුකම් පරීක්ෂා කරනවා. රටට වැඩදායි විනයගරුක පුද්ගලයන් බිහිකිරීම තමයි අපේ අරමුණ. දෙවනුව නිලධාරී යෝග්‍යතාව මැන බැලීමේ පරීක්ෂණයකුත් පැවැත්වෙනවා. ඒ පරීක්ෂණයෙදී ඉංග්‍රීසි, බුද්ධි පරීක්ෂණ, විෂය සමගාමී දැනුම සහ සාමාන්‍ය දැනුම වශයෙන් ප්‍රශ්න පත්‍ර හතරකට ශිෂ්‍යයන් උත්තර ලියන්න ඕනෑ. ඒවයෙන් ලබා ගන්නා ලකුණු ප්‍රමාණය ශිෂ්‍යයන් ඇතුළත් කරගන්නා අධ්‍යයන අංශවලට යවනවා. කෙඩෙට් ශිෂ්‍යයන් බඳවා ගැනීමේදී ඒ අයගේ කායික වගේම මානසික යෝග්‍යතාව සලකා බැලෙනවා. වෙන විශ්වවිද්‍යාලවල නැති අපේ විශ්වවිද්‍යාලයේ විතරක් තියෙන මානසික යෝග්‍යතා තත්ත්වය මැන බැලීමේ පරීක්ෂණයකටත් ඒ ශිෂ්‍යයන් ලක් කරනවා. උසස් පෙළ විභාගයේ ඉතා ඉහළ ලකුණු ප්‍රමාණයක් ඇති ළමයෙක් වුණත් මේ මානසික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් නම් එවැනි ශිෂ්‍යයන්ව අපේ විශ්වවිද්‍යාලයට බඳවා ගන්නෙ නෑ. මේ කරුණු කාරණා මත තමයි යූ.ජී.සී. (විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම) පනතේ ඇතැම් වගන්තිවලට යටත් නොවී අපේ විශ්වවිද්‍යාලයට කටයුතු කිරීමේ හැකියාව මේ පනත් කෙටුම්පතෙන් ඇති කරලා තියෙන්නෙ. අපේ විශ්වවිද්‍යාලය විතරක් නෙවෙයි සාගර විශ්වවිද්‍යාලය, භික්ෂු විශ්වවිද්‍යාලය, බෞද්ධහා පාලි විශ්වවිද්‍යාලය සහ වෘත්තීය තාක්ෂණ යන විශ්වවිද්‍යාල පිහිටුවලා තියෙන පනත්වලත් ඔය කියන විධිවිධානය තියෙනවා.   


ප්‍රශ්නය:  මේ පනත් කෙටුම්පතේ අන්තර්ගතය සම්බන්ධයෙන් එල්ල වෙන තව ප්‍රධාන චෝදනාවක් තමයි කොතලාවල විශ්වවිද්‍යාලයෙ ව්‍යහුය මිලිටරීකරණයට ලක්කර තිබෙනවාය යන්න. විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් පත් කළ යුත්තේ සන්නද්ධ සේවාවන්වල ජ්‍යෙෂ්ඨ නිලධාරියකු බවටත් මේ පනත් කෙටුම්පතේ සඳහන් වෙනවා. මේ ගැන ඔබට කුමක්ද කිව හැක්කේ?   


පිළිතුර: කොතලාවල විශ්වවිද්‍යාලය කියන්නෙ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයට. එතකොට මේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල සංකල්පය ලංකාවේ විතරක් ක්‍රියාත්මක වෙන එකක් නෙවෙයි. ලෝකයේ රටවල් හැටකට වැඩි ප්‍රමාණයක මේක ක්‍රියාත්මක වෙනවා. ඒ සෑම ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයකම උපකුලපතිවරයා වශයෙන් කටයුතු කරන්නෙ ඒ රටවල්වල සන්නද්ධ හමුදාවල ඉහල නිලධාරීන්. ඒ ධුරය සිවිල් නිලධාරියකුට දරන්න බෑ. මොකද මේ විශ්වවිද්‍යාල විශේෂයෙන් පුහුණු කරන්නෙ කෙඩෙට් නිලධාරීන්. ඒ වගේම අපි කතා කරන්නෙ ජාතික ආරක්ෂාව ගැන. ඒ විෂයයන් ගැන දැනුම තියෙන්නෙ ආරක්ෂක නිලධාරීන්ට.   


ඊළඟට මිලිටරීකරණය කරනවා කියන චෝදනාව ගැන කතා කළොත් මේකෙ අමුතුවෙන් මිලිටරීකරණය කරන්න දෙයක් නෑනෙ. මොකද මේක ආරක්ෂක විශ්වවිද්‍යාලයක්. අනිවාර්යයෙන්ම මේ විශ්වවිද්‍යාලය ඇතුළෙ තියෙන්නෙ හමුදා විනය. කොතලාවල විශ්වවිද්‍යාලය පිහිටුවපු පනත වගේම දැන් ඉදිරිපත් කරලා තියෙන පනත් කෙටුම්පතේ තියෙන විධිවිධාන අදාළ වෙන්නෙ කොතලාවල විශ්වවිද්‍යාලයට විතරයි. මේ පනත්වලින් වෙන කිසි තැනක් පාලනය කරන්නෙ නෑ.   


ප්‍රශ්නය:  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතියක් නැතිව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විදේශ විශ්වවිද්‍යාල සමග ගිවිසුම්ගත වීමේ බලයකුත් මේ පනත් කෙටුම්පත හරහා විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බවට චෝදනා නැගෙනවා.   


පිළිතුර: ඒක ඕනම විශ්වවිද්‍යාලයකට තියෙන අයිතියක්. යූ.ජී.සී. එක යටතේ තියෙන විශ්වවිද්‍යාලත් එවැනි ගිවිසුම්වලට එළැඹෙනවා. ඒක අපිත් කරනවා. ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල අපේ විශ්වවිද්‍යාලය සිටින්නෙ පහළ ස්ථානවල. ඒ නිසා විදේශ විශ්වවිද්‍යාල සමග සහයෝගිතා ගිවිසුම්වලට අස්සන් කර ඒවා සමග කටයුතු කිරීම වැදගත්. ඒ මගින් අපේ විශ්වවිද්‍යාලවල පර්යේෂණ කටයුතු ඉහළ මට්ටමකින් කරගෙන යෑමේ හැකියාව ලැබෙනවා. මේක ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදයක්.   


ප්‍රශ්නය:  විශ්වවිද්‍යාලය ඇතුළෙ පවතින යම් තත්ත්වයක් ජාතික ආරක්ෂාවට අහිතකර බවට ආරක්ෂක ඇමැතිවරයාට හැඟෙන විටෙක එවැනි තත්ත්ව පාලනය කිරීම සඳහා පාලක මණ්ඩලයට විධාන දිය හැකි බවටත් මෙහි දැක්වෙනවා. සාධාරණ ශිෂ්‍ය ගැටලු උද්ඝෝෂණ ආදිය මැඩපැවැත්වීමේ උත්සාහයක් ද මේ?   


පිළිතුර: මුලින්ම කියන්න ඕන මේ පනත අදාළ වෙන්නෙ කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයට විතරයි. මේක ආරක්ෂක විශ්වවිද්‍යාලයක්. 1981 ආරම්භ කරපු දවසේ ඉඳන් ශිෂ්‍ය උද්ඝෝෂණ ආදී කිසිදෙයක් මේ විශ්වවිද්‍යාලයේ සිදු වෙලා නෑ. මොකද අපේ විශ්වවිද්‍යාලයෙන් අපි බිහිකරන්නෙ විනයගරුක නායකත්ව හා කළමනාකාරීත්ව හැකියාවන්ගෙන් පිරිපුන් ශිෂ්‍යයන්. අපේ විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගන්න ළමයින්ට ප්‍රශ්න නෑ. ප්‍රශ්න විසඳීමේ ක්‍රියාවලියක් අපේ විශ්වවිද්‍යාලයේ තියෙනවා. නියමිත උපාධි කාලසීමාව ඇතුළත අනිවාර්යයෙන්ම උපාධිය ලබා දෙනවා. ඒ වගේම තමයි ඉගෙන ගන්නා කාලය අතරතුර වෙන දේවල්වලට යොමු වෙන්න තරම් ළමයින්ට අමතර කාලයකුත් නෑ. මොකද විෂය ක්‍රියාකාරකම් දවස පුරාම සිදු වෙනවා. මේ නිසාම සිවිල් සිසුන් ඇතුළත් කර ගැනීමේදී අපිට ලොකු අභියෝගයකට මූණ දෙන්නත් සිදු වෙලා තියෙනවා. මොකද අපේ විශ්වවිද්‍යාලයට තියෙන ඉල්ලුම හැම වසරකම වැඩි වෙලා තියෙනවා. වාර්ෂිකව ඉල්ලුම් කරන මුළු සිසුන් ප්‍රමාණයෙන් සියයට දහයක්වත් අපි බඳවා ගන්නෙ නෑ. නෑ බෑ කියන වදන් අපි ළමයින්ගෙ වාග්කෝෂයෙන් අයින් කරලා තියෙන්නෙ.   


ප්‍රශ්නය:  කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අදාළව ඉදිරිපත් කරලා තියෙන මේ පනත් කෙටුම්පත මගින් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ වැඩසටහන තවත් ශක්තිමත් කර තියෙනවා කියලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරනවා. ඒ ගැන කිව හැක්කෙ කුමක්ද?   


පිළිතුර: ලංකාවේ නිදහස් අධ්‍යාපනය යටතේ රජයේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා එක් ළමයෙක් වෙනුවෙන් ආණ්ඩුව විශාල මුදලක් වැය කරනවා. අපේ විශ්වවිද්‍යාලෙ කැඩෙට් නිලධාරීන් පුහුණු කරන්නෙත් රජයෙන් ලැබෙන මූල්‍ය ප්‍රතිපාදනවලින්. නමුත් අනිත් ශිෂ්‍යයන්ට අපේ විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා දෙන්නෙ සාධාරණ මුදලක් අය කරලා. ශිෂ්‍යයන්ගෙන් මුදල් අය කිරීම කරන්නෙ අපේ විශ්වවිද්‍යාලය විතරක් නෙවෙයි. හොඳම උදාහරණය විවෘත විශ්වවිද්‍යාලය. තව ලංකාවේ තියෙන බොහොමයක් විශ්වවිද්‍යාල පශ්චාත් උපාධි සඳහා මුදල් අය කරනවා. බාහිර උපාධි පාඨමාලා සඳහා රජයේ විශ්වවිද්‍යාලවලිනුත් මුදල් අය කරනවා. විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් දියුණු කරගන්න නම් මුදල් අවශ්‍ය වෙනවා. මේ මාර්ගවලින් තමයි මුදල් උපයන්න පුළුවන් වෙන්නෙ. ළමයෙක්ට අධ්‍යාපනය විතරක් දීලා මදි. තව ගොඩක් දේවල් ලබා දෙන්න ඕන. එහෙම දුන්නොත් තමයි ඒ අයට රැකියා හොයා ගන්න පහසු වෙන්නෙ. අපේ විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න ළමයින්ට අපි ඉංග්‍රීසි භාෂා දැනුමත් විශේෂයෙන් ලබා දෙනවා. අවසානයෙදි එළියට යන්නෙ හැම අංශයකින්ම පරිපූර්ණ වෙච්ච ළමයි පිරිසක්.   


ප්‍රශ්නය:  සිවිල් මිලිටරි සහයෝගීතාව පිළිබඳ සංකල්පය ක්‍රියාත්මක වන ආකාරයගැන පැහැදිලි කිරීමක් කළොත්?   


පිළිතුර: කොතලාවල ආරක්ෂක අභ්‍යාස ආයතනය 1981 දී පටන් ගත්ත තැන ඉඳලා 2012 වෙනකන් කැඩේට් නිලධාරීන් පුහුණු කරන එක විතරයි කළේ. ත්‍රිවිධ හමුදාවන් අතර සාමූහිකත්වය ඇති කරන්නයි මේක ආරම්භ කළේ. මේ විශ්වවිද්‍යාලයේ එකට ඉගෙන ගැනීමෙන් පසු ඒ අය යුද, ගුවන් සහ නාවික හමුදාවලට සේවයට යනකොට ඔවුන් එකිනෙකා දැන හැඳිනගෙන තියෙනවා. යුද ක්‍රියාන්විතයෙදිත් අපි දැකපු දෙයක් තමයි ඔවුන් අතර තිබූ ඒ සහයෝගය දැනහැඳුනුම්කම යුද්ධය සාර්ථකව අවසන් කරන්න හේතුවක් වුණාය කියන එක. ඒ සහයෝගය මිලිටරිය හා සිවිල් සමාජය අතර එතරම් හොඳ තත්ත්වයක නැති බවත් අපිට නිරීක්ෂණය වුණා. ඒ නිසා තමයි අපි මේ සංකල්පය දියුණු කළේ. සන්නද්ධ හමුදා හා සිවිල් සමාජය අතර ඒ විදියට ඇති වෙන එකමුතුකම ඉතාම වැදගත්. ලෝකයේ ගොඩක් රටවල විශ්වවිද්‍යාලවල සිවිල් මිලිටරි සහයෝගීතාව කියලා විෂයක් තියෙනවා. ලෝකයෙ සමහර රටවල ඒ සඳහා වෙන් වුණු බැටෑලියන් තියෙනවා. 
ඒ සංකල්පය අනුව යමින් අපි හිතුවා කොතලාවල විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගන්න කැඩෙට් සිසුන් සමග සිවිල් සිසුන්ද සම්බන්ධ කළහොත් විශ්වවිද්‍යාලයේදී ඔවුන් අතර ගොඩනැගෙන සහයෝගීතාව දැනහැඳුනුම්කම රටේ ජාතික ආරක්ෂාව හෝ වෙනත් පොදු කටයුත්තකදී හමුදාව හා සිවිල් සමාජය සම්බන්ධ වී කටයුතු කිරීමට සිදු වන අවස්ථාවලදී ප්‍රයෝජනවත් වෙයි කියලා. රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කර ගැනීමට තිරසාර සංවර්ධනය ළඟා කර ගැනීමට ඒ ආකාරයේ සහයෝගීතාවන් බෙහෙවින් වැදගත් වෙනවා. හමුදාව හා සිවිල් සමාජය එකට එකතුවී වැඩ කළොත් තමයි මේ රට දියුණු කරන්න පුළුවන් වෙන්නෙ. ඒ සඳහා තමයි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් අපි මේ සිවිල් මිලිටරි සහයෝගිතාව පිළිබඳ සංකල්පය අභ්‍යාස කරන්නෙ. අපි ඇත්තටම මේ හරහා කරන්නෙ මිලිටරීකරණයක් නෙවෙයි සිවිල් මිලිටරි සහයෝගීතාව ඇති කරන එක.  

 

 

සාකච්ඡා කළේ - උපුල් වික්‍රමසිංහ   
ඡායාරූප - ගයාන් අමරසේකර