ඇෆ්ගනිස්තානයට භූමි කම්පාවක්: 150 ක් මරුට


ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමානයේ ඒකක 6.1ක් ලෙසිනි.

ඇෆ්ගන් මාධ්‍ය වාර්තා කළේ එරට වැසියන් 150 දෙනකු භූමි කම්පාව හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණු බවය. නිවාස සිය ගණනක් ද මුළුමනින්ම විනාශ වී ඇතැයි තලේබාන් රජය උපුටා දක්වමින් ඇෆ්ගන් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ.

අග්නිදිග ඇෆ්ගනිස්තානයේ කෝස්ට් නුවරට කිලෝ මීටර් 44 ක් දුරින්, කිලෝ මීටර් 51 ක් පොළොව ගැඹුරින් භූමි කම්පාව හටගෙන ඇති බව ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඇෆ්ගනිස්තානයේ සහ පාකිස්තානයේ භූමි කම්පා හට ගැනීම ස්වභාවිකය. ඊට හේතුව මෙම රටවල් පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි.

(එන්.ඩී.ටීවී.)