තලාවේ අනතුරින් 46කට තුවාල- සිසුවෙක් මරුට


(බී.ජී.චතුරංග, ඩී.ඩබ්ලිව් ධර්මකීර්ති, උපුල් හේරත් සහ දයාරත්න ඇඹෝගම)

තලාව  411 ගම්මානයට ගමන් කරන ජයගඟ මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් අද දහවල් අඩි විස්සක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 46 තුවාල ලබා ඇති බව තලාව පවසයි.

අනතුරින් මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තලාව ජාතික පාසලේ ඉගෙනුම ලැබූ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට නියමිතව සිටි 411/4 හඟුරන්කෙත ගම්මානයේ පදිංචි කේ.එම්. පසිඳු දිල්ෂාන් නන්දසේන නමැති දාසය හැවිරිදි පාසල් සිසුවෙකි.

තලාව බස් නැවතුම්පළෙන් ගමන් ආරම්භ කර 411 ගම්මානය බලා ධාවනය කෙරෙමින් තිබූ මෙම පෞද්ගලික බස් රථය මුදුනේගමට නුදුරින් 409 තම්මැන්නාව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ඇල මාර්ගය අසල  ප්‍රපාතයකට පෙරලී ගොස් තිබූ බව පොලිසිය සඳහන් කළේය.

මෙම බස් රථය මාර්ගය ඉදිරියට ගමන් කරමින් තිබියදී මාර්ගය ඉදිරියෙන් අපරික්ෂාකාරී ලෙස පැමිණි අතුරු පැදියකට ඉඩ දීමට යාමේදී එම යතුරු පැදිය බස් රථයේ ගැටී බස් රථයේ පල්ලමට පෙරළී ගිය බව එහි රියදුරා සඳහන් කළේය.

බස් රථයේ ගැටුණු බව කියන යතුරු පැදිකරු එම ස්ථානයෙන් පලා ගොස් තිබූ අතර අනතුරට සම්බන්ධය යතුරු පැදිකරු සොයා විමර්ශනයක් ආරම්භ කළ බව තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ රථවාහන අංශ නිලධාරියෙක් මෙහිදී සඳහන් කළේය.

එම බස් රථය 12.15 තලාව ප්‍රධාන බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කර විනාඩි 15ක් පමණ ගත වූ පසු මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කලේය.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 60කට ආසන්න පිරිසක් ගමන් කර ඇති අතර, එම මගින් අතර උසස් පෙළ විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයට මුහුණ දී නිවෙස් කරා යන සිසු සිසුවියන්, සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණයකට සහභාගි වී නිවෙස් කරා යන සිසු සිසුවියන් , දෛනික කටයුතු සඳහා තලාව, තඹුත්තේගම සහ අනුරාධපුරයට පැමිණ යමින් සිටි වැඩිහිටියන් ඇතුළු පිරිසක් ගමන් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

--------------------------------------------------------------