(සුජිත් හේවාජුලිගේ  සහ අංජුල මහික වීරරත්න)

ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ  ඇමරිකානු ඩොලර්  ලක්ෂ 25 ක  ණය මුදලක්    සයිබර් අපරාධකරැවන් පිරිසක්   වංචා කිරීමේ  සිද්ධියට අදාළ  රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  වාර්තාව පිළිබඳ  සභාව කල්තබන අවස්ථාවේ  විවාදයක්  ලබන මස 5 වැනිදා  පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වේ.    

විවාදය  සඳහා මෙම යෝජනාව  ඉදිරිපත් කරනු ලබන්නේ විපක්ෂය විසිනි.  

මේ අතර  පාර්ලිමේන්තුව අගෝස්තු 4 සිට 7 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්  නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම්වලදී මෙම තීරණය  ගැනිණි.

අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති අගෝස්තු 5 බදාදා හැර අන්  සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00දක්වා කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා  සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පෙ.ව 10.00 සිට 11.00 දක්වා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00  සිට 11.30 දක්වා කාලය වෙන් කර අත්තේ  ස්ථාවර නියෝග  27(2) යටතේ වන ප්‍රශ්න සඳහාය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ පරිපූරක ඇස්තමේන්තුව සහ විගණකාධිපතිගේ වැටුප නිශ්චය කිරීම,අගෝස්තු 4  අගහරුවාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා  විවාදයට ගැනීමෙන් අනතුරුව  අනුමත කිරීමට නියමිතව තිබේ.


ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන  අවස්ථාවේ යෝජනාව විවාදයට  ගැනේ.

අගෝස්තු 05 බදාදා පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා  කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත.  පෙ.ව 10.00 සිට පෙ.ව 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව 10.30 සිට පෙ.ව 11.00දක්වා කාලය වෙන් කර ඇත්තේ   ස්ථාවර නියෝග  27(2) යටතේ වන ප්‍රශ්න සඳහාය.

අගෝස්තු 06 බ්‍රහස්පතින්දා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) සහ සත්ත්ව (සංශෝධන) යන පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ (මෙම පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් නොවුවහොත්) දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.