(අංජුල මහික වීරරත්න)

එක්සත් රාජධානියේ Flexicare Group සමාගමට පූර්ණ අනුබද්ධ බණ්ඩාරගම, රයිගම ප්‍රදේශයේ ස්ථාපිත Flexicare Lanka (Pvt) Ltd. ආයතනයේ නවීන වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද නිරීක්ෂණය කළේය.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව වෛද්‍ය උපකරණ සහ වෛද්‍ය පරිභෝජන ද්‍රව්‍ය (Medical Devices / Medical Consumables) නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනයක් වන Flexicare Lanka, මෙරට වෛද්‍ය නිෂ්පාදන කර්මාන්තයේ විදේශ ආයෝජන, තාක්ෂණ හුවමාරුව සහ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් සිටී. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අභියෝගාත්මක වූ සමයේදී ඉදිකිරීම් අවසන් කර මෙහෙයුම් ආරම්භ කළ මෙම අති නවීන කර්මාන්ත ශාලාව අද වන විට ඔක්සිජන් මස්ක් (Oxygen Mask), නේසල් කැනුලා (Nasal Cannula), නෙබියුලයිසර් කට්ටල, නිර්වින්දන (Anaesthesia) සහ ශ්වසන (Respiratory) ප්‍රතිකාර සඳහා භාවිත කරන උසස් තත්ත්වයේ වෛද්‍ය උපකරණ සහ පරිභෝජන ද්‍රව්‍ය රැසක් නිෂ්පාදනය කරමින් ලෝක වෙළෙඳපොළට සැපයෙන වැදගත් මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.

මෙම කර්මාන්ත ශාලාව සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15කට අධික සෘජු විදේශ ආයෝජනයක් සිදුකර ඇති අතර, ශ්‍රී ලංකාව තුළ මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ වෛද්‍ය උපකරණ නිෂ්පාදන පහසුකමක් ස්ථාපිත කළ ප්‍රථම අවස්ථාව ලෙස ද මෙය සැලකේ.