“මගේ සිහිනය මීටර් 1500 යොවුන් ඔලිම්පික් ජයග්‍රහණයයි”


ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා රන් පදක්කම්ලාභී ලහිරු අචින්ත

පසුගියදා බහරේන්වල දී පැවති 3වන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයට ඉදිරිපත් වී මීටර් 1500 ඉසව්ව මිනිත්තු 3යි තත්පර 57 කින් නිමාකර නව වාර්තාවක් තබා ලක් මාතාව රනින් බබලවන්නට සමත් වූ 16 වියැති යෞවනයාගේ නිවස සොයා යාමට අපි අදහස් කෙළෙමු.

තම පුහුණුකරු වන චමිල බෝතොට විදේශ රටක සිටියත් අවශ්‍ය උපදෙස් ජංගම දුරකථනය ඔස්සේ ලබාගනිමින් එම මඟ පෙන්වීම මත ඔහු මේ තරගයට ඉදිරිපත් විය. මෙම වසරේ අප්‍රේල් මස සෞදි අරාබියේ පැවති 6 වන යොවුන් ආසියාතික ක්‍රීඩා උලෙළේ දී මීටර් 1500 නියෝජනය කරමින් ඔහු ලෝකඩ පදක්කම දිනාගත්තේ ද එම අයුරින්මය. 

මේ වන විට ලහිරු අචින්තගේ නම බොහෝ අය දනිති.

රත්නපුර ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිරිඇල්ල ග්‍රාමයේ උපන් ලහිරු අචින්ත, සඳුනි උෂානි සහ සචිනි සත්සරනි යන සහෝදරියන්ගේ බාල සොහොයුරා ද වේ.

වසන්ති දිසානායක සහ පී.ඩී. උදය මව්පියන්ගේ බාලම පුත්‍රයා ඔහුය. ලහිරු අචින්ත තම ප්‍රාථමික අධ්‍යාපනය ඇලපාත ප්‍රාථමික විදුහලෙන් හදාරා ශිෂ්‍යත්වය සමත්වීමෙන් අනතුරුව රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලට ඇතුළත්වී දැනට 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

තමා පැමිණි ගමන ගැන දැඩි සතුටකින් අප සමඟ අදහස් දැක් වූ ලහිරු අචින්ත මෙසේ පැවසීය.

“අවුරුදු 15දී වැඩි වයස් අයගේ තරගයෙන් රන් පදක්කම ලැබුවා”

“මට යම් යම් දුෂ්කරතා, බාධක ගැටලු ආවත් ඒවාට මුහුණ දී ලක් මාතාවට කීර්තියක් ගෙන දීම තමයි මගේ එකම අධිෂ්ඨානය වුණේ. මම ඇලපාත විදුහලේ දී කණ්ඩායම් තරගවලට ඉදිරිපත්වී ජයග්‍රහණ ලබා ගත්තා. ඇලෝසියස් විදුහලේදී පළාත් මට්ටමේ පැවති මීටර් 800, 1500, 3000තරඟවලට එක්වී ජය ලැබුවා.

2024 වසරේ මීටර් 800 සමස්ත ලංකා මට්ටමේ වාර්තාවක් තැබුවා. බියගම පැවති 18 න් පහළ මීටර් 3000 තරගයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තා. අවුරුදු 15 දී මෙම වසරේ මුලදී කොළඹ පැවති වැඩි වයස් අය සඳහා පැවති කිලෝ මීටර් 8 ක් දුර මැරතන් තරඟයට ඉදිරිපත් වී ප්‍රථම ස්ථානය ලබා ගත්තා. 

මගේ පුහුණුකරු වන චමිල බෝතොට මහතා විදේශ රටක හිටියත් මට අවශ්‍ය සියලු‍ මඟ පෙන්වීම්, උපදෙස් ලබා දෙනවා. ඔහු මේ රටේ ඉන්නවා හා සමානයි. මගේ මීළඟ අරමුණ වන්නේ 2026 දී යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ දී රන් පදක්කමක් ලබා ගැනීමයි මගේ පාසලට මෙන්ම සබරගමුව පළාතටත් ලක් මාතාවටත් කීර්තියක් ගෙන ඒමට හැකි වේ නම් මට එය සතුටක්. මගේ ප්‍රාර්ථනාව මෙන්ම එකම අධිෂ්ඨානය එයයි”.

මෙම ක්‍රීඩකයාගේ මව වන වසන්ති දිසානායක අප සමඟ පුතුගේ ක්‍රීඩා දක්ෂකම් ගැන මෙසේ පැවසුවාය.

“පුතා පදක්කම රැගෙන ආවේ රෝහලේ ඉන්න තාත්තත් බලලයි”

“පුතාගේ ජයග්‍රහණය පවුලට පමණක් සීමාවූ එකක් නොවෙයි. එය රටටමයි. නොයෙක් ආර්ථික දුෂ්කරතා, ගැටලු මැද තමයි පුතා මෙම තැනට පත්වුණේ. මගේ එක දුවක් දැනට නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. අනෙක් දියණිය රත්නපුර සීවලි මැදි විදුහලේ විද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරනවා.

මම ඇඟලුම් ව්‍යාපාරයක කටයුතු කරනවා. නමුත් මගේ සැමියා  අසනීප තත්වයක් මත ප්‍රතිකාර ගන්නවා. පුතා රන් පදක්කම් ලබා නිවසට එනවිට රෝහලට ගොස් තාත්තේ සුවදුක් බලා තමයි නිවසට ආවේ. පුතා පාසලට උදේ 5.30 ට ගොස් සීවලි ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කර තමයි පාසලේ කටයුතුවලට යන්නේ. විශාල කැප කිරීමක් කරනවා.

තමාට උදව් උපකාර කළ අයට ද සිය ස්තුතිය පුදකරන බව පවසමින් ලහිරු අචින්ත ක්‍රීඩකයා මෙසේ ද පැවසීය.

“මුලින්ම මාගේ දෙමව්පියන්ට මා දිරිගැන්වීම ගැන ස්තුති කරන ගමන් මගේ පාසලේ විදුහල්පති ඩී.එම්. මද්දුම බණ්ඩාර ඇතුළු ආචාර්ය මඬුල්ලටත් මගේ ආර්ථික දුෂ්කරතා මඟ හරවාගැනීමට උදව් උපකාර කළ සියලු‍ දෙනාටත් මට පසුගියදා රත්නපුරයට එන ගමනේ දී රථ පෙරහරකින් ගෙන ඒමට සහාය දුන් විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ සියලු‍ නිලධාරීන්ටත්, රත්නපුර නගරාධිපති ඉන්දුජිත් කටුගම්පොල ප්‍රමුඛ සියලු‍ අයටත් මැණික් ව්‍යාපාරිකයන්ටත් ස්තුතිය පුද කරනවා.”

ගමෙන් බිහිවී ආර්ථික දුෂ්කරතා බාධක මැඬගෙන පරම අදිටනින් ඉදිරියට යන මෙවැනි යෞවන ක්‍රීඩකයන් හට ශක්තියක් වීම ලක්වාසී කාගේත් යුතුකමයි. 

රත්නපුර -  
ඒ.ජී. වික්‍රමසිංහ

ලහිරු ලැබූ පදක්කම් හා සහතික

ඇලෝසියස් විද්‍යාලයේ විදුහල්පති, මව හා සොයුරිය සමග

 

ඇලෝසියස් විදුහලේදී

ලහිරුගේ නිවස