හවාය් දුපතේ කුරුල්ලන් බේරගන්න මදුරු හමුදාවක්


ඇමෙරිකාවේ, හවායි දූපත්වලට අයත් කුවායි දූපත මිහිපිට පාරාදීසයකි. සුන්දර මුහුදු වෙරළ තීරයකින් වට වුණු කුවායි දූපතේ නිවර්තන කලාපීය ලස්සන මල් වර්ග, ලස්සන කුරුල්ලන් දකින්න ලැබේ. ඒත් දශක ගණනාවක් තිස්සේ කුවායි දූපත පමණක් නොව, සෙසු හවායි දූපත්වලට ද තර්ජනයක් පවතී. ඒ ලොව බිහිසුණු සත්ත්වයා ගෙනි. මේ සත්ත්වයා මදුරුවාය. මදුරුවන් නිසා කුවායි දූපත්වාසීන්ට පමණක් නොව, දූපතේ වාසය කරන කුරුලු‍ විශේෂවලට ද තර්ජනයක්ව පවතී. මදුරුවන් නිසා කුරුල්ලන් අතරේ මැලේරියාව පැතිරේ. කුරුලු‍ විශේෂ වඳ වීමේ අවදානමක් පවතී. පරිසර පද්ධතියට හානි නොවන ලෙස, පරිසර පද්ධතිවල සමබරතාව රැක ගනිමින් කුරුල්ලන් රැකගැනීමේ නව වැඩ පිළිවෙළක් හවායි බලධාරීන් ක්‍රියාවට නංවා ඇත.

පසුගියදා කුවායි දූපතේ වනාන්තර ප්‍රදේශවලට ඉහළින් කුඩා ඩ්‍රෝන යානා සැරිසරන්නට විය. සෑම ඩ්‍රෝන යානාවක්ම කුඩා මල්ලක් රැගෙන විත් තිබුණි. මෙවැනි මලු‍ ගුවනේ සිට වනාන්තරයේ තැනින් තැනට හෙළන ලද්දේ, සතුරු යානා බෝම්බ හෙළන ආකාරයට ය. මේ කුඩා මලු‍ නිර්මාණය කර තිබුණේ පහසුවෙන් විවර වන ආකාරයටය. පහළට වැටෙද්දී විවර වුණු ඒවා තුළ වූයේ මදුරුවන්ය. මෙවැනි මලු‍ දුසිම් ගණනක් වනාන්තරයේ තැනින් තැනට පතිත කළ අතර, එක් මල්ලක් තුළ මදුරුවෝ 1,000 ක් සිටියහ. මදුරුවන් ගෙන් දැඩි ලෙස තර්ජනයට ලක්වුණු කුවායි දූපතට තවත් මදුරුවන් මොකට ද? වනාන්තරවලට මෙසේ මදුරුවන් දහස් ගණනින් මුදාහැරීමට බලධාරීන් කටයුතු කළේ ඇයි?

මුදා හරින ලද මේ මදුරුවන් එසේ මෙසේ මදුරුවන් නොවෙයි. ජාන වෙනස් කරන ලද පිරිමි මදුරුවන්ය. මදුරුවන් ගැන කතා කරද්දී, ලේ උරා බීම සිදු කරන්නේ ගැහැනු මදුරුවා පමණි. ඒ, බිත්තර දැමීමේ අරමුණින් ය. ඒ, බිත්තර දැමීමට ප්‍රෝටීන ලබා ගැනීමටය. පිරිමි මදුරුවා ලේ උරා නොබොන අතර, උන් මල් පැණි ආදිය ආහාර ලෙස උරා බොයි. හවායි බලධාරීන්, විද්‍යාඥයන් සමග එක් වී, වනාන්තරයට මුදා හැරියේ ජානමය වශයෙන් වෙනස් කරමින් පර් යේෂණාගාරවල නිර්මාණය කළ පිරිමි මදුරුවන්ය. මේ මදුරුවන් දෂ්ට නොකරන අතර, මොවුන්ගේ සිරුරේ බැක්ටීරියා විශේෂයක් වර්ධනය කරයි. පිරිමි මදුරුවන් ගැහැනු මදුරුවන් සමග එක් වී, ගැහැනු මදුරුවන් බිත්තර දැම්මත්, ඒ බිත්තර පුපුරා කීටයන් බිහිවන්නේ නැත. මදුරුවකුගේ ජීවන චක්‍රය වන්නේ බිත්තර, කීටයා, පිලවා සහ මදුරුවාය.  පිරිමි මදුරුවෙකු ගේ ආයු කාලය දින තුනත් පහත් අතර කාලයකට සීමා වන අතර, ගැහැනු මදුරුවකු ගේ ආයු කාලය දින අනුවකි. පර් යේෂණාගාරවල නිර්මාණය කර, වනාන්තරවලට මුදා හරින ලද පිරිමි මදුරුවන් නිසා මදුරු ගහණය අඩු කිරීමට හෝ පාලනය කිරීමට බලාපොරොත්තු වෙයි.

හවායි බලධාරීන් මෙවැනි දෙයක් කළේ ඇයි? හවායි වැසියන් ගේ ආරක්ෂාවට ද? නැත. ඔවුන් මෙසේ කළේ හවායි දූපත්ලට, විශේෂයෙන් කුවායි දූපතට පමණක් ආවේණික කුරුලු‍ විශේෂ ආරක්ෂා කර ගැනීමටය. වනාන්තරවල දී මදුරු ගැහැනු සතුන් මෙම කුරුල්ලන් ගෙන් ලේ උරා බීම සිදු කරයි. මදුරුවන් ගෙන් පැතිරෙන වයිරස හේතුවෙන් කුරුලු‍ ගහණයට ලොකු තර්ජනයක් එල්ල වී ඇත. විශේෂයෙන් පැණි බොන කුරුලු‍ විශේෂ වඳවීමේ තර්ජනයට ලක් වී ඇත. අතීතයේ කුවායි දූපතේ වනාන්තරවල මෙවැනි කුරුලු‍ විශේෂ 50 කට වැඩි ගණනක් දකින්න ලැබුණත්, අද එයින් ඉතිරි වී ඇත්තේ විශේෂ 17 කි. සෙසු විශේෂ මදුරු තර්ජන හේතුවෙන් සඳහටම ලොවෙන් වඳ වී ගිය බව පැවැසෙයි. පසුගිය වසරේ සිදු කළ සංගණනයක දී අකීකි නමැති අළු පැහැති පුංචි කුරුලු‍ විශේෂයට අයත් කුරුල්ලන් ද මුළුමනින්ම වඳ වී ගිය බව තහවුරු විය. ඊට අමතරව, කහ කොළ අකෙයිකේ නමැති පුංචි කුරුල්ලන් 100 තෙක් අඩු වී ඇති බවට ද අනාවරණය විය.

“කුවායි දූපතේ කුරුලු‍ ගහණයට වනාන්තර විනාශයත් යම් ආකාරයකට බලපෑමක් කරනවා. ඒත් මදුරුවන් තමයි ප්‍රධානතම සාධකය. මදුරු දෂ්ටන නිසා කුරුලු‍ මැලේරියාව කුරුල්ලන් අතරේ ව්‍යාප්ත වෙනවා.” මෙසේ පවසන්නේ, ඇමරිකානු පක්ෂි සංරක්ෂණ සංවිධානයේ හවායි දූපත් සම්බන්ධයෙන් කටයුතු කරන ආචාර්ය ක්රිස් ෆාමර්ය. “අපට වනාන්තර වලට ගිහිල්ලා මදුරු නාශක දියර ඉසින්න බැහැ. ඒවා නිසා පරිසර පද්ධති විනාශ වෙන්න පුළුවන්. දිය මැස්සන්, පලතුරු මැස්සන් ආදී කෘමි සතුන් විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා ජාන වෙනස් කළ මදුරුවන් යොදාගැනීම තමයි ආරක්ෂිත ක්‍රමය. පරිසර පද්ධතියේ සමතුලිතතාව රැක ගැනීමට මෙම ක්‍රමය උදවු වෙනවා.” යැයි ආචාර්ය ක්රිස් ෆාමර් වැඩි දුරටත් පැහැදිලි කරයි.

පර් යේෂණාගාරවල බෝ කරන මදුරුවන්ගේ සිරුරු වලට ආසාදනය කරන්නේ, නැතිනම් ඇතුළු කරන්නේ වොල්බැකියා නමැති බැක්ටීරියාව ය. වොල්බැකියා බැක්ටීරියාව අපට ද ආගන්තුක නැත. 2019 වසරේ අප රටේ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් පවතිද්දී, වොල්බැකියා බැක්ටීරියාව මෙරටට ගෙන ඒම සිදුවිය. වොල්බැකියා බැක්ටීරියාව මදුරුවාට හානිකර නොවන නමුත්, එය මදුරුවන් ගේ ප්‍රජනන ක්‍රියාවලිය වෙනස් කරයි. වොල්බැකියා ආසාදිත පිරිමි මදුරුවකු, වොල්බැකියා ආසාදිත නොවන ගැහැනු මදුරුවෙකු සමග එක් වූ විට, ගැහැනු මදුරුවා දමන බිත්තර පුපුරා යෑමක් සිදු නොවෙයි. මදුරු ගහණය ඒ අනුව අඩු කර ගැනීම කළ හැකිය.
හවායි දූපතේ කුරුල්ලන්ට පමණක් නොව, ලෝකයේ බලවතා වන අප මනුෂ්‍ය වර්ගයාට ද වින කරන පුංචිම පුංචි සතා මදුරුවාය. මිනිස් ශිෂ්ටාචාර බිඳ දැමීමට, දස දහස් ගණනකගේ ජීවිත අහිමි කිරීමට, රටක ආර්ථිකය කඩා වැටීමට සැලැස්වීමට මදුරුවන්ට පුළුවනි.  

ලු‍සිත ජයමාන්න
සී.එන්.එන්. ඇසුරිනි