සෞදියේ කෝටිපති කුමාරයා


 

  • ලෝකයේ බොහෝ රාජකීය චරිත සහ ප්‍රභූ චරිත මෙන්ම ලෝ ප්‍රකට චරිත ඔහුගේ ‘‘මිතුරු’’ ලැයිස්තුවේ සිටිනවා.  
  • ලෝකයේ රටවල් 50කට ආසන්න සංඛ්‍යාවක් වෙතින් මේ දක්වා ගෞරවනාම සහ නම්බු නාම පිරිනමා තිබේ.
  • මැද පෙරදිග ව්‍යාපාර ලෝකයේ ‘රන්තරුව’ වූ චරිතය ඔහුයි.

 

රුසියානු ඒරෝෆ්ලෝට් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවේ රඳවා තබා ගැනීම නිසා වූ සිදුවීමක් සමග ගුවන් යානා ගැන බොහෝ දෙනාගේ අවධානය​ නතුවූ මොහොතකි. ප්‍රකට සමාගම් ලොව දිනු හැටි විශේෂාංගය ඔස්සේ ලෝකයේ පුද්ගලයකු සතු වටිනාම ගුවන් යානය ගැන සහ ඔහුගේ ව්‍යාපාර මොනවාද යන්න ගැනත්, කරුණු විස්තර කිරීමටයි අද අපේ සූදානම. පෞද්ගලික ගුවන් යානා සහ හෙලිකොප්ටර යානා සතු ලෝක ධනවතුන් අතරින් මිල අධික අති සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත ගුවන් යානයක් සතු මේ මහා ධනවතා සහ ව්‍යාපාරිකයා කවුද? ඔහු අන් කවරකුවත් නොවේ, සවුදි රාජකීය රජ පවුලට අයත් ලෝක ව්‍යාපාරිකයකු, ආයෝජකයකු මෙන්ම මහා දානපතියකු වන ‘‘අල් වලීඩ් බින් තලාල් අල් සවුද්’’ කුමරුය. ලෝකයේ ප්‍රකට සමාගම් මෙන්ම විවිධ අංශවලට විහිදී පැතිරී ගිය ව්‍යාපාර ක්ෂේත්‍රවලට ආයෝජනය කර ඇති මේ කුමරු සවුදි අරාබියේ කිංඩම් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයාය.   

අල් වලීඩ් බින් තලාල් කුමරු

කුමරුගේ සම්පූර්ණ නාමය වන්නේ අල් වලීඩ් බින් තලාල් අල් සවුද්ය. 1955 මාර්තු 7 වැනිදා ඔහු උපත ලැබුවේ සවුදි අරාබියාවේ ‘ජෙඩා’ නගරයේදීය. මේ උපත සමග සවුදි අරාබියේ රාජකීය රජ පවුල හැඳින්වෙන මාළිගය වන සවුද් මන්දිරයේ, සාමාජිකයකු වූ බව සඳහන් කළ හැකිය. සවුදි අරාබියේ ප්‍රථම රාජකීයයා, නොඑසේ නම් රජු වූ ඉබන් සවුද් රජුගේ මුණුපුරා මේ කුමරු වේ. එමෙන්ම සවුදි අරාබියේ අවසන් රජු ලෙස හැඳින්වෙන, අබ්දුල්ලා සවුද් රජුගේ බෑණනුවන් වේ. කුමරුගේ මව මොනා අල් ලෝල් කුමරිය ලෙබනන් රාජ්‍යයේ පළමු අගමැතිවරයාගේ දියණිය වූවාය. 1960 දශකයේදී සවුදි අරාබියානු රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත්තේ මේ කුමරුගේ පියාය. වාර්තාවල සඳහන් වන පරිදි අල් වලීඩ් කුමරුගේ මව්පියන් වෙන්වූයේ කුමරු හට වයස අවුරුදු 7 දී පමණය. ඉනික්බිතිව ඔහු මව සමග ලෙබනනයේ ජීවත් වූ බව සඳහන් වේ. පළමුව ලෙබනනයේ බීරුට් නුවර පයින්වුඩ් පාසලෙන් කුමරු අධ්‍යාපනය ලබා තිබේ. කුමාරයකු වුවද ළමා කාලයේදී තරමක දඟකාරයකු වූ ඔහු එකල සතියේ දිනක් හෝ දෙකක්, නිවසේ වෙනුවට නිදා ගත්තේ මෝටර් රථයේ යැයි වාර්තාවල සඳහන් වේ. රියාද්හි යුද හමුදා විද්‍යායතනයට බැඳීමට පෙර එසේ කළ බව සඳහන් වේ. පසුව නැවත ලෙබනනයට ගිය ඔහු එහි සිට බීරූට්හි ප්‍රධාන පාසල් දෙකකින් අධ්‍යාපනය ලබා තිබේ. පසුව 1979 දී කැලිෆෝනියාවේ මෙන්ලෝ උසස් අධ්‍යාපන පාසලෙන්, ව්‍යාපාර පරිපාලනය පිළිබඳව උපාධිය නිම කළේය. පසු කලෙක සයිරකුස් සරසවියෙන් සමාජ විද්‍යාව සම්බන්ධ ගෞරව ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමට සමත් විය. කුමරු ව්‍යාපාර ක්ෂේ‍ත්‍රයට පැමිණ ඇත්තේ ඉනික්බිතිවය. 1980 දී ඔහු ව්‍යාපාරික ගමන ඇරඹියේ 'Kingdom Holding' සමූහ ව්‍යාපාර ජාලය ඇරඹීමට මූලික පියවර තබමිනි.   

 

ව්‍යාපාරය ඇරඹියේ පියා ලබාදුන් ඩොලර් 30,000 න්

තෙල් සම්පත නිසා සවුදි අරාබිය මෙන්ම සවුදි රාජකීය පවුල ධනයෙන් පොහොසත් වුවද අල්වලීඩ් කුමරු ව්‍යාපාරික ක්ෂේත්‍රයේදී කෙටි මාර්ග සෙවූ අයෙක් නොවීය. ව්‍යාපාරය ආරම්භ කළේ ඒ රටේ හැටියට සුළුවෙනි. එය ඔහුගෙන් ගත හැකි හොඳ ආදර්ශයකි. මහා ලොකුවට ආයෝජනය නොකළ ඔහු තම පියා විසින් ලබා දුන් ඩොලර් 30,000 (තිස් දහසක) මුදල වැය කොට රියාද් නුවරදී ව්‍යාපාර ස්ථානය ආරම්භ කළේ ඉතා කුඩා ගොඩනැගිල්ලකය. එය කුඩා ප්‍රමාණයේ කාමර දෙකකින් සමන්විත වූ අතර, මුලින්ම ඔහුගේ සන්නිවේදන කටයුතු උදෙසා කාර්යාලයේ එක් සේවකයකු සිටි බව වාර්තාවල සඳහන් වේ. පියා ලබා දුන් මුදල් වැය වීමෙන් අනතුරුව, සවුදි ඇමරිකන් බැංකුවෙන් ඩොලර් ලක්ෂ තුනක ණයක් ලබාගෙන ඇත. රිදී හැන්දෙන් රන් කිරි කට ගෑ වුවද, කුමරු හට අනාගත දැක්මක් සතුවිය. එනිසා ඔහු ඒ ගමන පැමිණියේ පියවරෙන් පියවර අරමුණු ඇතිවය. මැද පෙරදිග කලාපයේ ධනවත්ම චරිතයක් බවට ඔහු පත් වූයේ, උපතින්ම ගෙනා රාජකීය පවුලේ වාසනාවට වඩා, සුඛෝපභෝගිත්වයට වඩා, වැඩි යමක් ප්‍රායෝගිකව තමා හට කිරීමට හැකි යැයි ඔප්පු කළ නිසාය. කිංඩම් හෝල්ඩින් සමාගම නිසා මුළු මැද පෙරදිග කලාපයේ සහ සවුදි ජනතාව අතර ප්‍රකට චරිතයක් වූවේ ඔහු සතු ව්‍යාපාරික දැක්මට එහා ගිය දර්ශනය නිසාමය. කිංඩම් හෝල්ඩින් සමූහ බහුවිධ ව්‍යාපාරය ඇරඹියේ දේපළ වෙළඳාම් අංශයෙනි. පසුව සංචාරක, මාධ්‍ය, ඛණිජ හා රසායන, ගුවන් සේවා, සත්කාරක සේවා ඇතුළු විවිධ අංශ වෙත විහිදී ගිය සමූහයක් බවට පත් කරවීමට අල් වලීඩ් කුමරු සමත් විය.  
ඉනික්බිතිව මුල්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ අභාවයට යමින් තිබූ යුනයිටඩ් සවුදි කොමර්ෂල් බැංකුව අත්පත් කර ගැනීමත් සමගය. පසුව මෙම බැංකුව තවත් බැංකු ආයතන හා ඒකාබද්ධ කරමින්, මැද පෙරදිග කලාපයේ හොඳම මූල්‍ය ආයතනයක් බවට පත්කරවීමට ඔහු සමත් විය. සිටිකෝප් මූල්‍ය සමාගමේ කොටස් මිලදී ගැනීමත් සමග 1991 දී සිටිබෑන්ක්හි කොටස් මිලදී ගන්නේ ඩොලර් බිලියන 550 කට පමණය. අද වන විට සිටි ගෲප් සමූහයේ කුමරු සතු කොටස්වල වටිනාකම ඩොලර් බිලියනහතක් පමණ වේ යැයි සඳහන් වේ. ලෝ ප්‍රකට ටයිම් සඟරාව විටෙක පෙන්වා දුන්නේ නිව්ස් කෝපරේෂන් මාධ්‍ය ජාලයේ කොටස් ද කුමරු සතු බවය. එයින්ද නොනැවතී මේ කුමරු ලෝකයේ ප්‍රකට සමාගම් රැසක කොටස් ආයෝජනය කර තිබේ. ඇපල් කෝපරේෂන්, ඊස්ට්මන් කොඩැක්, ෆෝර් සීසන් හොටෙල්ස් ඇතුළු ලෝකයේ ප්‍රකට ආයතන ඊට අයත්ය. ලන්ඩනයේ ප්ලාසා 2005 දී මිලදී ගත් බව සඳහන්ය. ලෝ ප්‍රකට ට්විටර් (Twitter) සමාජ ජාලය වෙනුවෙන්, ඩොලර් මිලියන 300ක විශාල මුදලක් ආයෝජනය කර තිබීමද විශේෂයකි. පසුව වාර්තාවල සඳහන් වූයේ එහි වටිනාකම ඩොලර් බිලියන 8ක් වශයෙනි. මෙලෙසින් ඔහු සතු වත්කම් ගැන වෙනම පොතක් ලිවීමට තරම් කරුනු තිබේ.  

 

විවාහ

අල් වලීඩ් කුමරු විවාහ කීපයක් කළ බැව් වාර්තාවල සඳහන්ය. මුලින්ම විවාහ වූයේ රාජකීය පවුලකට අයත් කුමරියක සමගය. ඉනික්බිතිව ඒ විවාහයට සමුදී අමීරා අල් ට්වීල් කුමරිය විවාහ කර ගත්තේය. එම විවාහයද 2013 දී අවසන් වූ බව වාර්තාවල සඳහන් වේ. මුල් විවාහයෙන් ලද දරුවන් දෙදෙනෙකු කුමරුට සිටියි.  

පරිත්‍යාගශීලීත්වය හා දානපතිභාවය  

මේ කුමරු ඉතාම පරාර්ථකාමී චරිතයක් ලෙස බොහෝ දෙනා හඳුන්වති. දරිද්‍රතාවය සහ ස්වභාවික විපත්තිවලට ගොදුරු වූ පවුල්වල උදවියට සහ සමාජයේ විවිධ ගැටලුවලට මුහුණ දුන් මිනිස් ප්‍රජාවේ සුබසාධනය සහ දිරිගැන්වීම් වෙනුවෙන් විශාල ධනයක් පරිත්‍යාග කළ චරිතයකි. අධ්‍යාපනය දිරිගැන්වීමේ අරමුණ ඇතිව ශිෂ්‍යත්ව ප්‍රදානයන් වෙනුවෙන් සහ අධ්‍යාපන අංශයේ තවත් බොහෝ දේ වෙනුවෙන් ඩොලර් මිලියන ගණනින් පරිත්‍යාග කර තිබේ. 2004 සුනාමි ව්‍යසනය නිසා විනාශයට පත් පවුල්වල උදවියගේ සුබ සාධනය වෙනුවෙන් යුරෝ මිලියන 17කට ආසන්න ප්‍රමාණයක් පරිත්‍යාග කළ කුමරු මැද පෙරදිග සහ ඊශ්‍රායලය අතර ඇති දේශපාලන හා යුද ගැටුම් හේතුවෙන් පීඩාවට පත් පලස්තීන ජනතාවට යුරෝ මිලියන 19ක් පමණ පරිත්‍යාග කර ති​බේ. ලෝ ප්‍රකට 'BBC' නාලිකාව ප්‍රකාශ කළ පරිදි අල් වලීඩ් කුමරු සමාජයයේ සුබ සාධනය උදෙසා මේ දක්වා ඩොලර් බිලියන 32 ක පමණ මුදලක් පරිත්‍යාග කළ අයෙකි. ඔහු මොන තරම් පරාර්ථකාමී චරිතයක්ද යන්න එයින් පැහැදිලි වේ. මැද පෙරදිග කාන්තාවගේ, අයිතිවාසිකම් වෙනුවෙන් නිර්භයව පෙනී සිටි රාජකීය පරපුරේ කුමරෙකු ලෙස අල් වලීඩ් කුමරුගේ නාමය සඳහන් වේ. ‘‘සෞදි අරාබියේ කාන්තාවන්ට රිය පැදවීමට කාලයයි’’ යනුවෙන් ඔහු ට්විටර් (Twitter) හි තැබූ සටහන විටෙක ආන්දෝලනයක් ඇති කළේය. මැද පෙරදිග කාන්තාවකට ගුවන් නියමු බලපත්‍රය හිමිකර දීමට මෙන්ම කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂිත කිරීමට පෙනී සිටි ගෞරවයට පාත්‍ර වූ කුමරෙකු ලෙස අල් වලීඩ් කුමරුගේ නාමය සඳහන් කළ හැකිය. උපතින්ම වාසනාව කරපින්නාගෙන ආ මේ කුමරු ඒ වාසනාවට අරුතක් ගෙන දී ඇත්තේ ජාති - ආගම් භේදවලින් තොර සමාජ පරාර්ථකාමී බව නිසාය. මෙකී මානුෂීය ගුණාංග සහ දානපති පරිත්‍යාගශීලීත්වය වෙනුවෙන් ඔහු මෙතෙක් කළ කී දේ වෙනුවෙන් දෙස් විදෙස් වශයෙන් ලැබූ ගෞරවණීය සම්මාන ඇගයීම් ප්‍රශංසා බොහෝය.  

 

ජීවිතයට අරුතක් දුන් කුමරුගේ සුඛෝපභෝගී උරුමය  

ලෝකයේ 65 වැනි විශාලතම සුපිරි යාත්‍රාවක් ඔහු සතුය. ජේම්ස්බොන්ඩ් චිත්‍රපට මාලාවේ නෙවර් සේ නෙවර් අගේන් චිත්‍රපටයේ රූගත කිරීම්වලට මෙම සුපිරි යාත්‍රාව යොදාගෙන තිබේ. මෙම යාත්‍රාව සෑදූ සමාගම මුලින්ම මෙය අලෙවි කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනපති හටය. ට්‍රම්ප් කුමරිය ලෙස එදා එය නම්කර තිබිණි. 1980 දී පමණ මුල්‍ය අර්බුද හමුවේ ‘‘ට්‍රම්ප්’’ මෙම සුපිරි යාත්‍රාව අල්වලීඩ් කුමරුට විකුණා ඇත. ඊට අමතරව ඩොලර් මිලියන 500ක් පමණ වටිනා සුපිරි යාත්‍රාවක්ද ඔහු සතුය.  

සුපිරි ගුවන් යානා 

අල් වලීඩ් කුමරු සතුව සුපිරි ගුවන් යානා කීපයක්ම අැතැයි සඳහන් වේ. බෝයිං 747, එයාර් බස් 321, හෝකර් සිඩෙලි 125 සහ එයාර් බස් 'A380' සුපිරි යානය ඔහු සතු යැයි සඳහන් වේ.  
ලෝකයේ මිල අධිකම ගුවන් යානය සතු පුද්ගලයා මෙම අල් වලීඩ් කුමරු යැයි වාර්තාවල සඳහන් වේ. එය එයාර්බස් 'A380 කස්ටම්’ වර්ගයේ යානයකි. එහි විකුණුම් මිල ඩොලර් මිලියන 400ක් වුවද, අමතර උපාංග යොදා තවත් පහසුකම් සැලසීම වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 100ක් කුමරු වැය කළ බව සඳහන් වේ. ඒ අනුව එහි වටිනාකම ඩොලර් මිලියන 500 කි. ඊටත් වඩා මිල අධික, එනම් ඩොලර් මිලියන 617 කින් යුතු බෝයිං 747 රෙෆිට් යන යානය ප්‍රකෝටිපතියකු මිලදී ගෙන ඇතැයි සඳහන් වුවද ඔහු කවුද යන්න හෙළිදරව් කර නැත. ඒ නිසා පුද්ගලයකු සතු ලෝකයේ මිල අධිකම ගුවන් යානය මේ අල්වලීඩ් කුමරුට අයත් බව සඳහන් වන්නේ, ඩොලර් මිලියන 617 වුවත් යානයෙහි අයිතිකරුගේ නම සඳහන් නොවන බැවිනි. 

 

කුමරු සතු A380 එයාර්බස් යානයේ පහසුකම්  

• ග්‍රෑන්ඩ් පියානෝව තැබිය හැකි ප්‍රසංග ශාලාවේ 10 දෙනෙකුට ඉඩ ඇත.  
• මාබල් ඇතිරූ ස්ටීම් රූම් සහ ස්පා එක  
• ගුවන් යානය ගමන් කිරීමේදී ගමන් මගට අදාල සියලු භූමි දර්ශන දැකගත හැකි පැතලි තිර සහිත ටී.වී. කාමරය.  
• ප්‍රධාන නිදන කාමර පහක් ඇති අතර, ඒ සියල්ලට වෙන් වෙන් වශයෙන් නාන කාමර ඇතුළත්ය.  
• කුඩා ප්‍රමාණයේ කාමර 20ක් අයත්ය.  
• ප්‍රධාන නිදන කාමරයට යා හැකි පරිදි විදුලි තරප්පු පෙළ සාදා ඇත. හදිසියකදී යානයෙන් පිටව යා හැකි ළඟම ස්ථානයට එය සම්බන්ධකර ඇත.  
• ත්‍රිමාණ දර්ශන ලබාදෙන තාක්ෂණයෙන් යුතු ටෙලිවිෂන් තිර සහ පහසුකම්වලින් සාකච්ඡා කාමරය සමන්විතය.  
• ආගමික වතාවත්වල යෙදීමට වෙනමම ස්ථානයක් ඇත. එහිදී වාඩිවීමේ අසුන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන්නේ ශුද්ධ වූ මක්කම දේවස්ථානයට මුහුණලා වීම විශේෂත්වයකි.  
• කුමරුහට විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද රෝල්ස් රොයිස් අධි සුපිරි මෝටර් රථය සහ තවත් මෝටර් රථ ගෙනයාමට යානයෙහි පහසුකම් ඇත.  


මෙලෙසින් යානය සතු තවත් සුඛෝපභෝගී පහසුකම් බොහෝය. මෙම සුපිරි යානය නම් කර ඇත්තේ ෆ්ලයිං පැලස් හෙවත් ‘පියාඹන මන්දිරය’ ලෙසය. සැබැවින්ම එය සිහිනයක් නොවූ යථාර්ථයක් වූ පියාඹන මන්දිරයකි.  


අල් වලීඩ් බින් තලාල් අල් සවුද් කුමරුහට සුඛෝපභෝගී මාළිගා තුනක් ඇත. ඊට අමතරව ලෝකයේ විවිධ රටවල ඔහු සතු දේපළ බොහෝය. රියාද් කුමරු ඔහු වෙසෙන වැලි පැහැයෙන් යුතු මාළිගය ඩොලර් මිලියන 130 ක වටිනාකමින් යුතු යැයි සඳහන් වේ. කාමර 300කට එහා ප්‍රමාණයකින් යුතු මෙය මිහිපිට ඇති දිව්‍ය විමානයක් යැයි සඳහන් වේ. පැයක දැනුම් දීමකට අනුව අමුත්තන් 2000 (දෙදහසකට) ආහාර පාන පිළියෙළ කිරීමට මෙහි සිටින සූපවේදීන් සමත්ය. කුමරු සතු තවත් මාළිගයක විලක් සහිත උද්‍යානයක් මෙන්ම සතුන් වත්තකින්ද සමන්විත යැයි සඳහන් වේ.  


මෙලෙසින් අල් වලීඩ් බින් තලාල් අල් සවුද් කුමරු සෑබෑ ලෙසම කුමාර දිවියක් ගත කළද, ඒ ජීවන රටාව හිස් නොවන්නේ සහ අරුත්බර වී ඇත්තේ ‘ඔහු’ මනුෂ්‍යත්වය කෙරෙහි පරාර්ථකාමීව සහ වඩාත් මානුෂීයව හිතා කටයුතු කරන මානව හිතවාදී චරිතයක් වන නිසාය.

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ  
[email protected]