
(අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ දහවන ගුණ සැමරුම නොවැම්බර් මස අටවන දිනට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)
“බහුජන හිතාය - බහුජන සුඛාය” යන බුද්ධ දේශනාව ඔපවත් කළ අපේ සඟ පරපුරේ වැඩ සිටි මුළු මහත් ජාතියේම අභිමානයට, ආදරයට ලක් වූ අතිවිශිෂ්ටතම සංඝ පීතෘවරයෙකු වූ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ දැයෙන් සමුගෙන මෙම නොවැම්බර් මස 08 වන දිනට පුරා දස වසරක් සම්පූර්ණ වේ.
සෝභිත නාහිමියන් සාරවත් වූ මහා දැනුම් සම්භාරයකින් පෝෂණය වූ බුද්ධිමහිමයෙන්ද, කරුණා ගුණයෙන්ද පෝෂණය වූ උත්තම චරිතයකි. ඒ බව උන්වහන්සේගේ ජීවිත කාලයෙහි කළ ධර්මචාරිකාව ගැන සිතන විට එය ප්‍රත්‍යක්ෂ වේ. ජනතාව සුඛිත මුදිත කිරීමේ මූලික අඩිතාලමක් වූ බුද්ධ දේශනාව උන්වහන්සේ එය සිය ධර්ම මණ්ඩපයෙහිදී භාවිතයට ගත්හ. එම ධර්ම මණ්ඩපයේදී විවිධ සමාජ මැදිහත්වීම් ගැන විචාරාත්මකව කරුණු ඉදිරිපත් කළහ.
මාදුළුවාව වැනි දුප්පත් ගම්මානයක ඉපිද, ගමේ පාසලෙන් අත් පොත් තබා, පින් මහිමය නිසා සසුන්ගත වී පිරිවෙන් අධ්‍යාපනයෙන් පසුව විද්‍යෝදය, විද්‍යාලංකාරය වැනි සරසවිවලින් ශාස්ත්‍රපති, ආචාර්ය උපාධි ලබා උගත්කමේ හිනි පෙත්තටම පැමිණීමේ වාසනා ගුණය සෝභිත නාහිමියන්ට තිබුණි. උන්වහන්සේ නිරන්තරයෙන් ප්‍රකාශ කළ කරුණක් වූයේ තම සියලු කටයුතුවලට මාර්ගය පෑදුණේ විද්‍යාලංකාර සරසවියෙන් බවයි. ඒ ලැබූ ආභාෂය ඉතා විශාලය. එහිදී ශිෂ්‍ය සංගම්වලට නායකත්වය දෙමින් ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කළ ආකාරය එහිමියෝ නිරන්තරයෙන් ප්‍රකාශ කළහ. මේ සියලු කටයුතුවලදී පූජ්‍ය කොටහේනේ පඤ්ඤාකීර්ති, බඹරැන්දේ සිරි සීවලී, යක්කඩුවේ පඤ්ඤාරාම, කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර වැනි උත්තමයන් වහන්සේලාගෙන් ලද ආභාෂයද උන්වහන්සේ සිහිපත් කළහ. ඒ ලැබූ ආභාෂය ජීවිතයට මහත් ශක්තියක් වූ බව උන්වහන්සේ නිහතමානීව සඳහන් කළ අවස්ථා එමටය. ශිෂ්‍ය සටන් කරන කාලයෙහිදී සියලුම තරුණ භික්ෂූන් වහන්සේලාට දී ඇති අවවාදය වූයේ සියල්ල කළ යුත්තේ මහණකමද ආරක්ෂා කරගනිමින් බවය.
විචිත්‍ර ධර්ම දේශකයකු වශයෙන් මේ ලක්තලයේ උන්වහන්සේ නොවැඩිය ධර්ම මණ්ඩපයක් නොමැත. සෝභිත හිමියන් වඩින බව දැන ගැනීමෙන් ශ්‍රාවකයෝ සිය දහස් ගණනින් එම ස්ථානවලට එක් රොක් වූහ.

සෑම මොහොතකම උන්වහන්සේගේ සිතෙහි තහවුරු වූ කරුණක් වූයේ දිළිඳුකමින් පීඩිතව සිටින ජනතාවට සහන සැලසීමය. මට සිහිපත් වෙන එක් සුවිශේෂ කරුණක් වන්නේ සුනාමි ව්‍යසනයයි. එම අවස්ථාවේදී පාත්‍රයක් අතැතිව උන්වහන්සේ පිණ්ඩපාත චාරිකාවේ යෙදුණහ. එයට සහායට බෙල්ලන්විල විමලරතන නාහිමියෝද එක්වූහ. ලැබූ ආධාර ලක්ෂ ගණනක් විය. ඒ සෑම මුදලක්ම සුනාමි ව්‍යවසනයෙන් අසරණ වූ අහිංසක ජනතාවගේ නිවාස සකස් කර දීමට යෙදවූහ. විවිධ පිංකම්වලදී ලැබෙන සියලු පුද පූජා ඒකරාශී කර අවුරුද්දකට එක් වරක් හෝ දෙවරක් ඒ සියල්ල අහිංසක ගම්මානවල ජනතාවටත් ඒ ගම්මානවල විහාරස්ථානවල වැඩ සිටින මහා සංඝයා වහන්සේලාටත් බෙදාදීම සිරිතක් විය. ඒවා උන්වහන්සේගේ පරිත්‍යාගශීලී ගුණය පෙන්නුම් කරන අවස්ථා හැටියට සඳහන් කළ හැක.
පසුගිය ත්‍රස්තවාදී ක්‍රියා නිසා විනාශ වී ගිය ඇලපත්ගම ගම්මානය පිළිසකර කිරීමට සෝභිත හිමියන් ගත් මහන්සිය විශාලය. එම ගමේ ජීවත් වූ ජනතාව යළි එම ගම්මානයේ පදිංචි කරවීමට උන්වහන්සේ කටයුතු කළහ. නමුත් උන්වහන්සේගේ අපවත් වීම නිසා එම කාර්යය අවසන් කළ නොහැකි විය. සෝභිත හිමියන්ගේ ජාතික ව්‍යාපාරයන්හි මූලිකත්වය ගෙන කටයුතු කළ, හිතවත්ව ක්‍රියා කළ එවකට හිටපු කථානායක කරු ජයසූරිය මහතා එම ග්‍රාමය අංගසම්පූර්ණ ග්‍රාම වරයක් බවට පත්කරදීමට කටයුතු කළහ. එතුමා ඉන්දීය රජයත් සමඟ සාකච්ඡා කර සෑම නිවාස ලාභියෙකුටම ස්ථිර නිවසක් හා ඉඩමක් ලබාදීමට කටයුතු කළේය. මෙය සියලු පහසුකම්වලින් පූර්ණ වූ ග්‍රාමවරයක් විය. එතුමා විසින් කරවන ලද එම කාර්යය සෝභිත හිමියන්ට කරන ලද මහත්ම ගෞරවයක් වශයෙන් සඳහන් කළ යුතුය.
අප අතර නිරන්තර හමුවීම් ඇති විය. ඒ සෑම අවස්ථාවකදීම සාකච්ඡා වූයේ රටේ ඇති තත්ත්වය ගැනය. ඒ යුගයේ තිබූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමය පිළිබඳ අපතර සාකච්ඡා ඇති විය. විශේෂයෙන්ම සාකච්ඡා කළේ , රටට මහා ව්‍යවසනයක්ව පැවති විධායක ජනාධිපති ක්‍රමය රට වෙනුවෙන් අවසන් කළ යුතු බවය. ඒ බව පුන පුනා ප්‍රකාශ කළහ. ඒ සඳහා ජාති හිතෛෂී කීප දෙනෙකු සමග සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ආරම්භ කර, වැඩපිළිවෙළක්ද ආරම්භ කළහ. ඒ බව උන්වහන්සේගේ හැත්තෑවන ජන්ම දිනය නිමිත්තෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයේදී අභීතව ප්‍රකාශ කළ අතර, ඒ සඳහා සෑම ජන කොට්ඨාසයක්ම ඒකරාශි කරගත්හ. රට පුරා යමින් ජන මතයක්ද ගොඩනැගූහ. එහි ප්‍රතිඵලය වූයේ 2015 දී ජනතා වෙනසක් ඇති වීමය. නමුත් එහිදී මූලිකව හඬ නැගූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නොහැකි විය. මේ සම්බන්ධව සෝභිත හිමියන්ට දැඩි කනස්සල්ලක් ඇති විය.
ආදර්ශවත් ගුරුවරයෙකු, පරිවේනාධිපතිවරයෙකු වශයෙන්ද උසස් අධ්‍යාපනයට සේවයක් ඉටු කරමින් තරුණ පරපුර මත්රකුසාගෙන් බේරා ගැනීම සඳහා අමද්‍යප තරුණ සංවිධාන ඇති කිරීමෙන් ද කළ සේවය අගය කළ යුතු ය. නිහතමානීත්වයේ ප්‍රතිමූර්තියක් වූ, ජීවිත කාලයේම පරිත්‍යාගශීලීත්වයට කැපවූ මහා උත්තම චරිතයක් වූ මානව හිතවාදීත්වයෙන් පරිපූර්ණ වූ අප මහත්සේ ගෞරවයෙන් සැලකූ අතිපූජ්‍ය සෝභිත නාහිමියන් වහන්සේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ අයුරින් මෙයට දසවසරකට ඉහතදී දෙනෙත් පියා ගත්හ.
ගෞරවාර්හ සෝභිත නාහිමියනි, ඔබ වහන්සේ වැනි උදාර ගති ඇති, ප්‍රතිපත්තිගරුක සංඝ පීතෘවරයෙකු වර්තමානයේ ශ්‍රී ලංකාවට අවශ්‍යය. එවැනි හඬක් අදටද වැදගත් වේ. සංසාර භාවයේ හැටියට ඔබ වහන්සේට නිවන් සුව පතමි.
නීතිඥ රවී ජයවර්ධන,
සභාපති, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ගුණානුස්මරණ පදනම

