සෝභිත හිමි අද සිටියානම්


(අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ 80 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙනි)


යුගකාරක මෙහෙවරක් උදෙසා අපේ යුගයේ බිහිවූ අසමසම යතිවරයාණන් වහන්සේ නමක් ලෙස මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේව මම දකිමි. බෞද්ධ භික්ෂුවගේ කාර්යභාරයද, ජාතික සහ සමාජයීය කටයුතු ආරභයා යතිවරයෙකුගේ කාර්යභාරයද, මැනවින් ඉෂ්ට කළ උන්වහන්සේ අපේ කාලයේ මහා සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූහ.


උන්වහන්සේගේ මුළු මහත් ජීවිත කාලයම වෙන් වූයේ වඩාත් ශිෂ්ටසම්පන්න, ගුණගරුක, ප්‍රජාතන්ත්‍රවාදී රටක් සහ සමාජයක් බිහි කිරීමටයි.


විශේෂයෙන්ම උන්වහන්සේගේ සමාජ මැදිහත්වීමේ භූමිකාව අන්ධකාර 80 දශකයේ දී තීරණාත්මක තලයකට පැමිණියේය.


එකල සෝභිත හිමියන් මව්බිම සුරකීමට සහ ප්‍රගතිශීලී සටන්වලට එඩිතරව නායකත්වය දුන් සටන්කාමී මහා යති රුවනකි.


අසූ වැනි ජන්ම දිනය සමරන මොහොතේ සිහිපත් වන කාරණයක් වන්නේ උන්වහන්සේගේ හැත්තෑ වන ජන්ම දිනය සැමරූ උත්සවය අවස්ථාවේ කළ සුවිශේෂී ප්‍රකාශයයි. බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේ පැවති උත්සවයේදී උන්වහන්සේ ප්‍රකාශ කළේ තමන් වහන්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා, ජීවිතයේ ඉදිරි කාලය වැය කරනවා කියා ය. එම අභීත ප්‍රකාශය එදාට වඩා අද අවශ්‍යයෙන්ම සුවිශේෂී වුවමනාවකි. ඒ ප්‍රකාශය පදනම්කොට ගෙන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය බිහි විය. එතෙක් තැන් තැන්වල හුදෙකලාව කෙරෙමින් තිබූ සටන් එක මිටකට ගොනුකළ හැකි ව්‍යාපාරයක් හදමු යැයි මේ ලියුම්කරු විසින් සෝභිත නාහිමියන් වෙත ගෙන ආ යෝජනාවට උන්වහන්සේ වඩාත් සුබදායක ලෙස ප්‍රතිචාර දැක්වූහ. ඉන් පසු සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ආරම්භ වූ අතර එහි මුල් සාමාජිකයන් වූයේ සුළු පිරිසකි. එහෙත් එය ඉතා කෙටි කලක් තුළ මෙරට බිහිවූ අතිශයින්ම සාධනීය සහ සක්‍රීයම ජාතික ව්‍යාපාරය බවට පත්විය.


රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කොට පළාත් සභා සියල්ල එකෙන් එක ජයග්‍රහණය කරමින් රට ඉතාම නරක ඒකාධිපති තැනකට තල්ලු‍ කරමින් යනවිට, ඊට එරෙහිව ගොඩනැගූ බලසම්පන්නම ව්‍යාපාරය සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විය. ඊට මේ රටේ පක්ෂ පාට ආගම් ජාති භේදයක් නොතිබුණු අතර සියලු‍ම ජන වර්ග එහි නියෝජනය විය. එමතු නොව, සියලු‍ම ජන වර්ගවලට උන්වහන්සේගේ පන්සල විවෘත ස්ථානයක් විය. ඒ හරහා ගොඩනැගුණු පුළුල් ජාතික බලවේගය 2015 පරිවර්තනය උදෙසා සුවිශේෂීම දායකත්වය සැපයීය.


එකී බලාපොරොත්තු සඵල කිරීමට එවක පාලනය මොන තරම් අවංක වූවා ද යන්න පිළිබඳව ගැටලු ඇතත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට සෝභිත හිමියන් අප්‍රමාණ වෙහෙසක් ගත්හ.
වරක් උන්වහන්සේ ඒ උදෙසා පාර්ලිමේන්තු මහ පාරේ වාඩි වූහ. දහනම වැනි ව්‍යවස්ථාව සම්මත වනතුරු නොනැගිටින බව උන්වහන්සේ පැවසූහ.


උන්වහන්සේ තුළ වූ උදාර ප්‍රජාතන්ත්‍රවාදී අරමුණු ඉටුකිරීම උදෙසා මජර දේශපාලන ක්‍රමවේදය විසින් බොහෝ අවහිරතා සිදු වූ අතර ඒ සියල්ල දරාගෙන උන්වහන්සේ ස්වකීය උදාර අපේක්ෂාවන් වෙනුවෙන් කැපවූහ. අසනීප තත්ත්වයෙන් සිටියදී පවා උන්වහන්සේ ඒ වෙනුවෙන් කැපවූ අතර 19 වැනි සංශෝධන ව්‍යවස්ථාව සම්මත කර ගැනීම උදෙසා වූ පෙළපාළියට උන්වහන්සේ එක්වූයේ ඇවිදීමට පවා අසීරු තත්ත්වයක් තුළය.


රටේ ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් උන්වහන්සේගෙන් කළ මෙහෙවර සදානුස්මරණීය ය.


2019 බිහිවූ ආණ්ඩුව සෝභිත හාමුදුරුවන්ගේ බලාපොරොත්තු සියල්ල කණපිට හරවමින් ඉතාම නරක සහ අවලස්සන ලෙස විසිවන සංශෝධනය ගෙන ආ අතර රටට හඳුන්වා දුන් සියලු‍ම ප්‍රජාතන්ත්‍රවාදී ගුණධර්මයන්, නිදහස් කොමිෂන් සභා, නිදහස් අධිකරණය යන ආදී ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සියල්ල ඒ හරහා කණපිට පෙරළුනි. මේ සියල්ල උඩු යටිකුරු කර නැවත වතාවක් බලය ඒකාධිපති පාලකයෙකුට ලබා දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස අද මේ රටේ ජනතාව අපා දුක් විඳිමින් භුක්ති විදී.


සෝභිත හාමුදුරුවන් අද වැඩ සිටියා නම් මේ රට මේ වගේ තැනකට තල්ලු‍ වන්නේ නැත. මේ සමාජය මීට වඩා හොඳ තැනක් බවට පත් කරන්නත්, රට ගොඩනගන්නත්, උන්වහන්සේ අදත් කැපවනු ඇත. අද ප්‍රජාතන්ත්‍රවාදය වල් වැදී ඇති අතර ඒකාධිපති වියරුවක් රට තුළ හොල්මන් කරමින් සිටී. ඒ රට නැවත ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම උදෙසා රටේ අවාසනාවකට සෝභිත හිමියන් අද නැත.


උන්වහන්සේ අවුරුදු දහයකට කලින් කළ ප්‍රාර්ථනය නැවත වතාවක් මල්ඵල ගන්වන්න අවස්ථාවක් මේ රටේ ජනතාව අබියසට පැමිණ තිබේ. ඒ විධායක ජනාධිපති ධුරය අහෝසි කොට රට ප්‍රජාතන්ත්‍රීකරණයට ලක් කිරීමයි.


හෙට දවස පිළිබඳව අපේක්ෂාවන්ද, සිහින ද ප්‍රාර්ථනාවන් ද වියැකී ගිය අන්ධකාර රටක් බවට අපේ රට පත්ව ඇති මේ මොහොතේ නැවත නැවතත් සිහිපත් වන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන් නැති අඩුව ය.
ඉහත කිසිදාක මැකිය නොහැකි මහා හිස් තැනකි.


නීතිඥ රවි ජයවර්ධන
සභාපති, මාදුළුවාවේ සෝභිත ගුණානුස්මරණ පදනම