සුනාමියක් නැතිව මුහුද ගොඩ ගැලූ දා


 

මුහුද ගැන බොහෝ දෙනකුගේ සිතේ ජනිත වන්නේ ආදරණීය හැඟීමකි. කලාකරුවෝ මුහුදේ ගුණ වයති. පෙම්වතුන් තෙරක් නොමැති ක්ෂිතිජය දෙස බලා පෙම්බස් මුමුණන්නට මුහුදු වෙරළට යන්නේ ඒ චමත්කාරජනක හැඟීම් නිසාම විය යුතුය.  

 
ළපටි වියේ පසුවන්නෝ ද දරු මුණුපුරන් සිටින වැඩිහිටියෝ ද මුහුදු වෙරළේ රළ පාගන්නට එක සේ ඇළුම් කරති.   
නමුත් මුහුද යනු සැඟවී සිටින අතිශය බියකරු රකුසකු වැනියැයි දන්නේ මුහුදුකරයේ ජීවත්වන ජනතාව පමණි.   


2004 දෙසැම්බර් මස 26 වැනි දා සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවේ 32,000කට අධික පිරිසකට ජීවිත අහිමිකරමින් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට උන්හිටි තැන් අහිමිකරමින් ගොඩ ගැලූ මහ මුහුද ඉන් පසු වසර 18ක් ම නිසොල්මන්ව සිටියේය. බොහෝ දෙනකුට සුනාමියේ බිහිසුණු බව ක්‍රම ක්‍රමයෙන් අමතකව ගොස් තිබිණි.   
නමුත් පසුගිය සෙනසුරාදා (02) සුනාමිය යළි සිහිපත් කරමින් මුහුද ගොඩ ගැලු‍වේය. හම්බන්තොට සිට පුත්තලම දක්වා වූ මුහුදු තීරය හදිසියේ ම ප්‍රචණ්ඩ වූයේය.   
මේ මුහුද ගොඩගැලීමෙන් ගාල්ලේ තරුණයකුත්, කඩවත තරුණියකුත් සිය ජීවිත අහිමිකරගත්හ. වෙරළ තීරයේ සංචාරක හෝටල් ඇතුළු දේපළ රැසකට හානි සිදුවිය. මුහුදු වෙරළේ නවතා තිබූ බෝට්ටු රැසක් ගොඩබිමට පැමිණ මීටර් ගණන් දුර ගොස් නැවතී තිබිණි. මුහුද වෙරළ ආසන්න පහත් බිම් සියල්ල මුහුදු ජලයෙන් පිරී ගිය අතර ගාල්ල වරායේ ගුදම් සහ රේගු කාර්යාලය පවා මුහුදු ජලයෙන් මොහොතකින් යටවී ගියේය.   


මොහොතකට මුහුදුබඩ ජනතාව බියෙන් තැතිගත්තේ කොහේ හෝ භූමිකම්පාවක් සිදුවී යළි සුනාමියක් එනු ඇතැයි බියෙනි. ශ්‍රී ලංකාවට සුනාමි බලපෑමක් ඇතිවිය හැකි කිසිදු භූමිකම්පාවක් වාර්තා වී තිබුණේ නැත.   
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ප්‍රකාශ කළේ මෙය දැඩි සුළං තත්වයත් සමඟ ඇති වූ උදම් රළ බවයි.   

 


මේ ගැන ඊට දින කිහිපයකට පෙර සිටම කාලගුණ වාර්තා අනාවැකිවලින් අනතුරු අඟවා තිබිණි. එය සාමාන්‍යයෙන් නිතර සිදුවන්නකි.   
නිරිත දිග මෝසම් සුළං ආරම්භයත් සමඟ වයඹ, බස්නාහිර සහ දකුණු වෙරළ තීරයේ මුහුදු ඛාදනය දරුණු වීම සාමාන්‍ය සංසිද්ධියකි. එය සෑම වර්ෂයකම සිදුවන්නක් වන අතර මේ කාලයේ දී හික්කඩුව අකුරළ සිට අම්බලන්ගොඩ දක්වා ගාල්ල කොළඹ පාරටත්, ගාල්ලේ සිට මාතර දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ ගාල්ල මුහුදු මාර්ගයටත් මුහුදු වතුර වැලි සමඟ පැමිණීම ඒ මාර්ගයේ ගමන්කරන කිසිවෙකුට අමුත්තක් නොවේ.   
නමුත් මෙවර සිදුවූයේ ඊට වඩා දරුණු තත්වයකි.   


දින දෙකක පමණ සිට දැඩි සුළං තත්වයක් නිරිත දිග ප්‍රදේශයට බලපා තිබූ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද පවසා තිබුණේ පැයට කිලෝ මීටර 60කට ආසන්න වේගයකින් හමන දැඩි සුළං තත්වයක් ඇතිවිය හැකි බැවින් ධීවර හා නාවික කටයුතුවලින් ඈත්ව සිටින ලෙසයි. මෙවැනි සුළං තත්ත්වයක් පවතින විට දී මුහුදු රළ මීටර 2.5 ත් 3.5ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි ද දැනුම් දී තිබිණි.   
‍පසුගිය සෙනසුරාදා (02) පස්වරුවේ ඒ සියල්ල පෙර පැවසූ ආකාරටම සිදුවිය.   
කොරල් පරයක් මත ඉදිකර ඇති දැවැන්ත ගාලු‍ කොටු පවුර අවට මුහුද කවදත් නිසසලය. එය ඕනෑම අවස්ථාවක දී ආරක්ෂිතව දිය නෑ හැකි ප්‍රදේශයකි. නමුත් එදා හිටි හැටියේම චණ්ඩ වූ මුහුදු රළ කොටු පවුරට උඩින් මුහුදු ජලය නැග එන තරමට උදම් රළ උස්ව ආවේය. එ ඉතිහාසයේ කිසි දිනක නොවූ විරූ ආකාරයෙනි.   
ගාල්ල වරායේ ජැටිය පරයමින් නැගී ආ රළ පහර සමස්ත ගාල්ල වරායම මොහොතකින් ජලයෙන් යටකර දැමූ අතර වරාය ආසන්නයේ පිහිටා ඇති වරාය පොලිසිය ද ජලයෙන් යට විය.   
රූමස්සල කන්ද අසළ දෙවට වෙරළ තීරයේ තිබූ ධීවර බෝට්ටු සහ ගාල්ල සමුද්‍ර මාවතේ වෙරළ අයිනේ නවතා තිබූ යාත්‍රා ගාලු‍ මාතර ප්‍රධාන මාර්ගයට මුහුදු ‍රළ විසින් ගෙනවිත් දැමිණි.   


මේ දැවැන්ත රළ පුත්තලම, මීගමුව, උස්වැටකෙයියාව, පානදුර, දෙහිවල, කළුතර, ඉඳුරුව, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, වැලිගම, මිරිස්ස, දික්වැල්ල දක්වා මුහුදු බඩ ප්‍රදේශවලට දැවැන්ත හානියක් කළේය.   
කළුතර නිවාස 15කට පමණ අලාභහානි සිදුව තිබූ අතර ඉඳුරුව මහපැලෑනේ සිට අහංගම ගොයියාපාන දක්වා ප්‍රදේශ ගණනාවක දී කොළඹ කතරගම මාර්ගයට මුහුදු ජලයත්, මුහුදු වැලි සහ ගල් බොරලු පතිත කරමින් වාහන ධාවනයට ද බාධා සිදුවිය. අවසානයේ අම්බලන්ගොඩ මාදම්පේ සිට හික්කඩුවේ අකුරණ දක්වා මාර්ගය වසා දැමීමට ද පොලිසියට සිදුව තිබිණි.   
සංචාරක සේවා සපයන හෝටල් රැසක් ජලයෙන් යටවී තිබිණි.   


ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත කොඩිප්පිලි මහතා කියා සිටියේ පුත්තලම සිට දික්වැල්ල දක්වාම මුහුදු තීරයට විශාල බලපෑමක් එල්ල වී ඇති බවයි. එබැවින් ඒ අවට පදිංචිකරුවන් වඩාත් ආරක්ෂිතව සිටිමට දැනුම් දී ඇති බව ද හෙතෙම කීවේය.   


ධීවර වරායවල සහ වෙරළේ ඔරු තොටවල්වල නවතා තිබූ ධීවර යාත්‍රා සිය ගණනකට මේ උදම්රළ පහරින් අලාභහානි සිදුව තිබේ. මේ ලිපිය ලියන මොහොතවන විටත් එම අලාභහානි ගණනය කරමින් සිටින බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.   


මුහුද ගොඩගලද්දී එය සුනාමියක් නොවන බව දැනගත් බොහෝ දෙනකු මේ සිදුවීම නැරඹීමට මුහුදු වෙරළට යන ආකාරයක් ද දිස්විය. කුඩාවැල්ල ප්‍රදේශයේ දී සිය විවාහය ලියාපදිංචි කළ ඉංජිනේරුවරයකු ද තම ඥාතීන්, හිතමිතුරන් සහ කුඩා දරුවකු ඇතුළු 05 දෙනකු සමඟ මෝටර් රථයකින් වෙරළේ ඉදිකර තිබූ දියකඩනයක ගමන් කර තිබුණේ මේ අරුමය දැකීමට විය යුතුය. නමුත් උස්ව ආ රළ ඔවුන් ගිය මෝටර් රථය මුහුදට පෙරළා දැමුවේය. වාසනාවකට සියලු‍ දෙනාගේ දිවි බේරාගත හැකිවුව ද පැය ගණනක් යනතුරු මෝටර් රථය සොයාගත නොහැකි විය.   

 


රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ ගාල්ලේ තල්ගම්පල පදිංචි 22 හැවිරිදි පංකජ ජයෝද නමැති තරුණයාගේ ජීවිතය එදින සවස අහිමිවිය. ඔවු තවත් මිතුරන් පිරිසක් සමඟ බෙලිවත්ත, සීතගල්ල ස්වභාවික මුහුදු තටාකයේ දිය නාමින් සිටිය දී පැමිණි උදම් රළ නිසා මුහුදට ගසාගෙන ගොස් තිබිණි. එහි සිටි දෙදෙනකුගේ ජීවිත බේරාගෙන තිබූ අතර පංකජ අතුරුදන්විය. පැය ගණනාවක මෙහෙයුමකින් පසු ඔහු සොයාගන්නා විට ප්‍රාණය නිරුද්ධ වී තිබිණි.   
උස්වැටකෙයියාවේ ‍හෝටලයක පැවති උත්සවයකට සහභාගී වීමට ගිය තරුණියක් මුහුදු රළ පාගමින් සිටියදී විශාල රළපහරකට හසුව මුහුදට ගසාගෙන ගොස් මියගියාය. ඇය කඩවත බියන්විල පදිංචි 30 හැවිරිදි තරුණියකි.   


පසුගිය ඉරිදා සහ සඳුදා දින දෙකේම ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ නගර සභා, ප්‍රාදේශීය සභා සියල්ල මුහුදු රළ ගොඩබිමට ගෙන ආ වැලි ගල් සහ විවිධ අපද්‍රව්‍ය ඉවත් කිරීමට වෙහෙස විය.   

 

තවමත් මුහුද නිසසල නැත. සෑම වර්ෂයක ම නිරිත දිග මෝසම් සුළං කාලයේ මෙන් මුහුද ප්‍රචණ්ඩව තිබේ. කවර මොහොතක හෝ නැවත එහි උදම් රළ නැගෙනු ඇතැයි විද්‍යාඥයෝ කියති. කෙසේ වෙතත් මුහුදේ රළ, සුළං සහ සුනාමි යන හදිසි ආපදා අපට වෙනස් කළ නොහැක. කළ හැකි එකම දේ ජීවිත බේරාගැනීමත් සිදුවන හානිය අවම කරගැනීමත් පමණි. ඒ සඳහා අප අවධානයෙන් සිටිය යුතුමය.

 

 

සටහන සහ ඡායාරූප 
සජීව විජේවීර