සිය වස් සපුරන කොළඹ නූතන තක්සලාව


ලොව බිහිව ඇති ප්‍රථම ජනතා පුස්තකාලය ලෙස සැලකෙනුයේ ප්‍රකට මහා ප්‍රාඥයකු වූ බෙන්ජමින් ප්‍රැන්ක්ලීන් විසින් සිය සගයින්ගේ සහාය ඇතිව 1731 දී ෆිලඩෙල්පියාවේ අරඹන ලද පොදු පුස්තකාලයයි. 

පුස්තකාල සංකල්පයක් අප රට තුළ රෝපණය වන්නේ ඊට සියවසකටත් වඩා පසුවය. රජයේ සිවිල් සහ හමුදා නිලධාරීන්ගේ පරිහරණය සඳහා කොළඹ කොටුවේ පැවති ගොඩනැගිල්ලක 1813 දී අරඹන ලද එක්සත් සේවා  පුස්තකාලය මෙරට ප්‍රථමයෙන්ම බිහිවූ එවැන්න විය. ඉන් අනතුරුව කොළඹ  පිටකොටුව පුස්තකාලය අරඹන්නට එකල ප්‍රබල ජන කොටසක්ව සිටි බ(ර්)ගර්වරුන් 1829 දී කටයුතු කර තිබුණි.

මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පියාණන් වූ එයුජින් විල්ප්‍රඩ් ජයවර්ධන විනිසුරුවරයකු වූ අතර, ඔහු නීතිඥ ඊ.ඩබ්ලිව්. ජයවර්ධන ලෙස කටයුතු කළ සමයේ කොළඹ ජනයා වෙනුවෙන් පුස්තකාලයක් පිහිටුවන ලෙස නගර සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි. 1924 දී එම යෝජනාව අනුව මෙරට භාර යටත් විජිත ලේකම්වරයා වූ සිසිල් ක්ලෙමන්ට් ඉහත කී පුස්තකාලද්වයේ ග්‍රාහකයින් කැඳවා එම අවශ්‍යතාව ගැන සාකච්ඡා කර තිබේ. එහිදී කොළඹ නගර සභාව යටතේ වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස පවත්වාගෙන යාම සඳහා මහජන පුස්තකාලයක් බිහි කළ යුතු බවට එකඟව  ඔවුන් සතු පොත්පත් ඒ සඳහා ලබාදීමට එම පාර්ශ්වයන් තීරණය කර ඇත.

ඒ අනුව 1925 අගෝස්තු 10දා ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ වත්මන් පුරපති නිල නිවස පිහිටි ‘සිරි නිවස’ නමැති මන්දිරයෙහි මෙම පුස්තකාලය ආරම්භ කර තිබේ. මෙම ගොඩනැගිල්ල සයිමන් ප්‍රනාන්දු ශ්‍රී චන්ද්‍රසේකර මුදලිඳු නම් දානපතියකු ඒ සඳහා පරිත්‍යාග කර තිබුණි.

මොරටුව හොරේතුඩුවේ සිංඤොඅප්පු බාස් උන්නැහේ නමින් මුලින් හඳුන්වා ඇති ඔහු තේ අසුරන පෙට්ටි නිපදවා තේ වතුවලට සපයා ධනවතෙක් බවට පත්ව මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත. පාලක පක්ෂය ඔහුට මුදලි නාමයක් පවා ලබා දී තිබුණු අතර සයිමන් ප්‍රනාන්දු ශ්‍රී චන්ද්‍රසේකර මුදලිඳු නමින් ප්‍රකටව  සිටියේ මේ සිංඤොඅප්පු බාස් උන්නැහේ ය.

කියවීම් ශාලාවකින්, විමර්ශන අංශයකින් සහ බැහැර දෙන අංශයකින් මෙම ආරම්භක මහජන පුස්තකාලය සමන්විත විය. පොත් 16,000ක් පැවති අතර පුස්තකාල සාමාජිකයින් 94 ක් මුලින්  සිට ඇත. පුස්තකාලයාධිපති එච්.සී. බ්ලොක් මහතා ඇතුළු 7දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සේවයේ යෙදී සිට ඇති අතර බ්ලොක්ගෙන් අනතුරුව ඩී.සී. අබේවික්‍රම පුස්තකාලයාධිපති තනතුරට පත්ව තිබේ.

ජේ.ආර්.ජයවර්ධන, ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, විජයානන්ද දහනායක, ජී.බී. සේනානායක වැනි දිවි ගමනේ ඉහළට නැගි ප්‍රකට පුද්ගලයන් රැසක් එකල මෙම පුස්තකාලය පරිශීලනය කළ බවට බැහැර දෙන අංශයේ සාධක  ඇත.  

මහජන පුස්තකාලයේ තෙවැනි ප්‍රධානියා බවට පත්වන්නේ පේරාදෙණිය සරසවියෙන් ප්‍රථම උපාධිය ද ලන්ඩන් සරසවියේ පුස්තකාල සහ ලේඛනාගාර පාසලෙන් පශ්චාත් උපාධිය ද ලබා සිටි ඊෂ්වරී කොරයා මහත්මියයි. 1978 සමයේ ඇය ප්‍රධාන පුස්තකාලයාධිපති ලෙස කටයුතු කරමින් සිටියදී මහජන පුස්තකාලයේ ප්‍රථම කාර්යාලය පරිපාලන නිලධාරි ලෙස පත්ව පැමිණීමේ මාහැඟි වරම මට හිමිව තිබිණ. එහෙයින් ශ්‍රවණාගාර, ප්‍රදර්ශන ශාලා ඇතුළු නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත අභිනව පුස්තකාල ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීම සඳහා ඇය දැරූ අපරිමිත උත්සාහය සියැසින් දැකගන්නට මට හැකි විය. පුරපතිවරයා, නාගරික කොමසාරිස්, ඉංජිනේරුවන්, සැළසුම් ශිල්පීන් හමුවෙමින් සහ සංවාද කරමින් තම අදහස් මස්තකප්‍රාප්ත කරගන්නට ඇය සිහින මැව්වාය.

වැඩි ඉඩකඩ සහිත බැහැර දෙන අංශයක්. විමර්ශන අංශයක්, විශේෂ පුස්තක එකතුවක්, ළමා අංශයක්, පුවත්පත් අංශයක්, වාර සඟරා අංශයක්, කියවීම් ශාලාවක්, අධ්‍යයන ශාලාවක්, ජංගම පුස්තකාල සේවාවක්, පොත් මිලදී ගැනීම්, බැඳීම්, සැකසුම් ආදිය සිදුකරන අංශ, පොත්කැටි ගබඩා අංශ, පුස්තකාල පරිපාලන කාර්යාලයක්, ඡායාපිටපත් මධ්‍යස්ථාන, ආපන ශාලා ආදිය ස්ථානගත කිරීම්ද පළල් ආලින්ද සහ කොරිඩො ආදි ඇය කටු සටහනින් සැලසුම් කළාය. බැහැර දෙන අංශය අසල මෙන්ම ප්‍රධාන ප්‍රවේශය දෙපසත් පුස්තකාලය ඉදිරිපසත්  මනරම් කැටයම් සහ මුර්ති නිර්මාණ ඉදිකර ගැන්මට මෙන්ම සියලු අවශ්‍යතා සපුරා ලිය හැකි පොදු ශ්‍රවණාගාරයක් ස්ථාපනය කරගන්නටත් ඇයට අවශ්‍ය විය. ඇයගේ සිහිනය බවට පත්වන්නේ අගනගර ලලනාවට පැලඳවූ මණිමේඛලාවක් වන්ව නවීකරණ හා පුළුල් වූ සේවාවන්ගෙන් සමන්විත අභිනව මහජන පුස්තකාල සංකීර්ණය 1980.12.17දා විහාරමහදේවි උද්‍යානය  කෙළවරක උත්සවාකාරයෙන් විවෘත වීමත් සමගය. 

පොත්පත් සහ රාක්ක ආදිය වත්මන් ගොඩනැගිල්ල ගෙන යාම වෙනුවෙන් එක් දිනක් හෝ පුස්තකාලය වසා තබන්නට පුස්තකාලයාධිපති  එකඟ වූයේ නැත. ඒ පාඨකයන්ට බාධා නොවනු පිණිස ය.

නියෝජ්‍ය පුස්තකාලයාධිපති ඇම්.ඩී.එච්. ජයවර්ධනගේද සහාය ඇතිව මෙම විවෘත කිරීමට සමගාමිව පාසල් සිසු කථික, රචනා, චිත්‍ර  තරග ආදිය පවත්වා ජනාධිපති තුමන් අතින් ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීමක්ද සිදු කරන ලදි. සර්ව ආගමික චාරිත්‍ර සහ මහ පිරිත්  දෙසුමක්  පවත්වා සංඝගත දානයක් පිරිනැමීමෙන් අනතුරුව ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා, පුරපතිතුමා ප්‍රමුඛ සම්භාවනීය පිරිස සහභාගි වූ මහා උත්සව සභාවක් පවත්වා නව ගොඩනැගිල්ල ජනතා පරිහරණයට පත් කරන ලදී.

නව ගොඩනැගිල්ලට පැමිණීමෙන් අනතුරුව අලුතින් අරඹන ලද අංශ අන්ධ  ජනසේවා මණ්ඩලයේ සහාය ඇතිව සාමාජික  ගාස්තුවෙන් නිදහස් දෘශ්‍යාබාධිත පුස්තකාල අංශය සහ ශ්‍රව්‍ය දෘශ්‍ය පුස්තකාල අංශය ප්‍රධාන තැනක් ගත්තේය. ලෝක ආහාර කෘෂිකර්ම සංවිධානයේ පොත්පත් ව්‍යාපෘතිය සහ යුනිසෙෆ්  ආධාර ඇතිව  අරඹන ලද අඩු ආදායම් සහිත  පැල්පත් වාසීන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ පොත් පෙට්ටි ව්‍යාපෘතිය තවත් එවන් අංගයන් විය.

1986 ඇය සේවයෙන් විශ්‍රාම ගිය අතර ඉන් අනතුරුව ඇම්.ඩී.එච්. ජයවර්ධන, පී. කරුණාවතී, එස්. කුසුම්මුල්ල යන පුස්තාලයාධිපතිවරුන් යටතේ පාලනය විය. පුස්තකාලයාධිපති වරුණි ගඟබඩ ආරච්චි මහත්මිය පත්වන්නේ ඉන් අනතුරුවය.

80 දශකයේදී නගරයේ අහුමුලු පීරමින් ධාවනය කරනලද කුඩා ජංගම පුස්තකාල රථය වෙනුවට වැඩි ඉඩකඩ සහිත පුස්තකාල බස්රථයක් සහ වෑන් රථයක් ජංගම සේවා දෙකක් සඳහා යොදවන්නට තරම් දියුණුවකට මේ  වනවිට පත්ව ඇත. පුස්තකාල ශ්‍රවණාගාරය ප්‍රසිද්ධ රැස්වීම්, උත්සව ආදිය පවත්වන මෙරට ජනප්‍රියතම ශාලාව බවට පත්ව තිබේ. මේ වනවිට මිලියන දෙකක් පමණ වන පමණ වන පාඨක සහ සාමාජික පිරිසක් සිටින මෙම පුස්තකාලය මෙරට ඇති විශාලතම මහජන පුස්තකාලයද වෙයි. විරල ග්‍රන්ථ ඇතුළු සිංහල, දමිළ සහ ඉංගිරිසි බසින් ලියැවුණු දස ලක්ෂයක පමණ පොත් ප්‍රමාණයක්ද කොළඹ මහජන පුස්තකාලය සතුය. ඒ අතර කොරියානු, වියට්නාම් සහ ජපන් කවුළු  විශේෂ තැනක් ගත් අංශයන් බවට පත්ව ඇත.

කිරුළපන, මට්ටක්කුලිය, කොටහේන, ඛෙත්තාරාම, මිහිඳුමාවත, එළියට් පෙදෙස, කෙහෙල්වත්ත සුචරිතය, වැල්ලවත්ත පීටර්සන් පටුමග, අලුත්කඩේ බෙල්මන්ට් පාර, ගුණසිංහ උද්‍යානය, හෙන්රි පේද්‍රිස් උද්‍යානය, මෝදර බොනවිස්ටා උද්‍යානය ආදි ශාඛා පුස්තකාල ජාලයකින්ද  නගරවාසීන්ට දැනුම බෙදාහරිමින් සිටියි.

2016 දී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපදෙස් ඇතිව පුස්තකාල කළමනාකරණ පද්ධතිය ස්වයංක්‍රිය කරන්නට වත්මන් පුස්තකාලයාධිපතිනිය කටයුතු  කර තිබේ. මාතෘ ආයතනය වන කොළඹ මහනගර සභාවේ සමායෝජනය ඇතිව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයේ සහාය ලබාගෙන වත්මන් සුහුරු ලෝකයට ගළපාලන ඩිජිටල් ව්‍යාපෘතිය 2017 දී අරඹා 2019 දී නිලවශයෙන් ඩිජිටල් පුස්තකාල  සංකල්පය පණගන්වන්නට ඇය කටයුතු කර ඇත. ශ්‍රී ලකා විවෘත විශ්වවිද්‍යාලයේ  මගපෙන්වීම යටතේ පුස්තකාල පද්ධතිය නවතම අනුවාදයන් වෙත  උත්ශ්‍රේණි ගත කරගන්නට ද ඇය සමත්ව ඇති බව ප්‍රකටය. මේ අනුව මෙය දකුණු ආසියාවේ ඇති ප්‍රමුඛතම මහජන පුස්තකාලවලින් එකක් බවට පත්වෙමින් පවතියි. 

කාර්යාල වේලාවෙන් බැහැරව පවා සේවයේ යෙදෙමින් පුස්තකාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් මහඟු මෙහෙයක් ඇය ඉටු කරමින් සිටියි. මනා විනයක් සහිත වෘත්තියභාවයෙන් පිරිපුන් කාර්ය මණ්ඩලයක් ඇති ආයතනයක් බවට පත් කරනු සඳහා ඇය දරන උත්සාහය අගය කළ යුතුය. 80 දශකයේ අරඹන ලද දෘශ්‍යාබාධිත අංශය සහ ශ්‍රව්‍ය දෘශ්‍ය අංශය ගතව ඇති දශක ගණනට සාපේක්ෂව ප්‍රමාණාත්මක දියුණුවක් ලබා ඇති බව විද්‍යමාන නොවන හෙයින් ඒවාට නව මුහුණුවරක් දෙන්නට පුස්තකාලයාධිපතිනිය පියවර ගන්නවාට සැක නැත.

සියවස් පිරීම අරභයා සමස්ත කාර්යමණ්ඩලයේ සහ පුස්තකාල සුබසාධක සංගමයේද විශ්‍රාමික පුස්තකාල නිලධාරීන්ගේ සංසදයේ ද සහාය ඇතිව සර්වරාත්‍රික මහා පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා ශතාධික මහා සංඝයා වහන්සේ වෙනුවෙන් සාංඝික දානයක් පිරිනැමීම ඇතුළු වැඩසටහන් ගණනාවක් දියත් කරන්නට ප්‍රධාන පුස්තකාලයාධිපතිනිය කටයුතු කර ඇත. 

දැනුම පිපාසයෙන් පෙළෙන රටවැසි දූ පුතුන්ගේ ඕනෑකම් සපුරමින් ඔවුන් ජාතිය ඔසවා තබන්නට සමත් සම්පත් දායකයන් බවට පත් කරලන වඩාත් ඵලදායි ආයතනයක් බවට මෙම මහජන පුස්තකාලය පත්වනු දැක්ම 2025දී සියවස සපුරන මොහොතේ මහජන පුස්තකාලයට ඇළුම් කරන පුස්තකාල කාර්ය මණ්ඩලය, විශ්‍රාමික පුස්තකාල නිලධාරි සංසදය, පාඨක , සාමාජික සහ නගරවාසි හැමගේ අපේක්ෂාව ය.

සිරි සිංගප්පුලි

කාර්මික අධිකරණයේ විනිශ්චක මණ්ඩල සාමාජික, කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රථම පරිපාලන නිලධාරි.