සමාජ සබඳතා ඔප්


මේ බක් මාසයයි. සෞභාග්‍යයෙන් හා සශ්‍රීකත්වයෙන් යුතු සමාජ වටපිටාවක් දැකිය හැකි බක් මහ බෙහෙවින්ම භාග්‍යවන්ත කාලයකි. තුරුලතා මල්ඵලවලින් බරව විසිතුරු සියොතුන්ගේ මිහිරි නාදයෙන් නෙත සිත පිනවන සුවබර සමයත් බක්මහ උදාවත් සමඟම ආරම්භ වුණි. වගා කළ කෙත්වතුවල අස්වනු නෙළා නිම කළ ගොවීහු ද බක්මහ වනවිට අටුකොටු පුරවා නිවෙස් තුළ ඉමහත් සැනසිල්ලෙන් ජීවත් වෙති. 

වෙනසකට මුල පිරීමක්


බක්මහේ අලු‍‍ත් අවුරුද්ද උදාවන්නේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශිය දක්වා සංක්‍රමණය වීම හේතුවෙනි. සිංහල බෞද්ධ හා හින්දු භක්තිකයින් අවුරුදු උදාව සැමරීමට එක්වනුයේ ඉමහත් උනන්දුවකින් හා ඇල්මකින් යුක්තවයි. අලු‍‍ත් අවුරුද්ද සූර්යයා මුල්කරගෙන පවත්වන උළෙලක් වන හෙයින් මෙකල එයට ‘සූර්ය මංගල්‍යය’ යන නම ද ව්‍යවහාර කෙරෙයි. එහෙත් අපගේ පුරාතන උත්සව බොහොමයක් යෙදී තිබෙනුයේ චන්ද්‍ර මාස ක්‍රමය අනුවයි. සූර්යයා මුල්කරගෙන පවත්වන එකම උළෙල මෙම බක්මහ උළෙලයි. අනෙකුත් උත්සවවලට වඩා මෙහි ඇති තවත් විශේෂ වෙනසක් නම් සමාජ ප්‍රතිසංස්කරණ උත්සවයක් හෙවත් මුළු‍‍ සමාජයම යම් වෙනසකට මුලපුරන උත්සවයක් වීමයි.   
බෞද්ධ සංස්කෘතිය උරුමව පවත්නා අප රටට බෙහෙවින්ම ගැළපෙන චාරිත්‍ර මුසු වූ උත්සවයක් ලෙස මෙය හැඳින්විය හැකිය. මෙහිදී ක්‍රියාත්මක කෙරෙන සංස්කෘතික වටිනාකම් සහිත ක්‍රියාකාරකම් දෙස විමසිලිමත්ව බැලීම තුළින් එය මනාව පැහැදිලි වෙයි.  


අවුරුදු නැකැත්   


අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු 23 වැනි දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් 23 වැනි දිනද නව සඳ බැලීම යෝග්‍ය බව ජ්‍යෝතිෂයෙහි සඳහන්ය.   
නව අවුරුදු උදාවට පෙර දිනය පැරැණි අවුරුද්ද ලෙස හඳුන්වයි. ඒ අප්‍රේල් 13 වැනිදාය. මෙවර පැරැණි අවුරුද්දට කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරීම නිර්දේශිතව පවතියි. මෙවර අලු‍‍ත් අවුරුද්ද උදාවන්නේ අප්‍රේල් 14 ප.ව. 2.59ටයි. සිංහල අවුරුද්දේ කිසියම් නැකතක් නොමැති වේලාව ‘නොනගතය’ ලෙස හැඳින්වෙයි. එහිදී සියලු‍‍ වැඩ කටයුතු අත්හැරීම චාරිත්‍රයයි. විහාරස්ථානවලට ගොස් ආගමික කටයුතුවල නිරතවීම පමණක් මෙහිදී සිදු කෙරෙන අතර එම නිසාම මෙය ‘පුණ්‍ය කාලය’ ලෙස ද හැඳින්වේ. මෙය එතරම් සුබ වේලාවක් නොවන නිසා මෙසේ පුණ්‍ය කටයුතුවල යෙදීම සුදුසු වන බව ජ්‍යෝතිෂයේ ඉගැන්වේ. මෙවර අප්‍රේල් 14 පෙ.ව. 8.35 සිට එදින ප.ව. 9.23 දක්වා මෙම පුණ්‍ය කාලය යෙදී තිබේ. එබැවින් අප්‍රේල් 14 පෙ.ව. 8.35 පෙර ආහාරපානාදිය ගෙන සියලු‍‍ වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අප්‍රේල් 14 ප.ව. 2.59 සිට ප.ව. 9.23 දක්වා නියමිත ඒ ඒ නැකැත් හෝරාවන් තුළ පහත සඳහන් චාරිත්‍ර සිදු කළ යුතු බවද ජ්‍යෝතිෂ විද්‍යාව තුළ උගන්වා තිබේ.  


කිරි ඉතිරවීම   


ලිප ගිනි මෙලවීමෙන් අලු‍ත් අවුරුද්ද උදාවෙයි. අප්‍රේල් 14 ප.ව. 3.29ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරැසී දකුණු දිසාව බලා ලිප් බැඳ ගිනි මෙලවීම සිදුකළ යුතුය. නියමිත නැකැත් හෝරාවට කලින් ලිප තුළ ගිනි අඟු‍රු තබා ගැනීම සිදු නොකළ යුතුය. මෙසේ දැල්වූ ලිපෙන් කිරි ඉතිරවීමද මෙහි දී සිදු කෙරේ. මේ සඳහා පොල්කිරි හෝ එළකිරි යොදා ගැනෙයි. මීට භාවිත කරනුයේ නැවුම් මුට්ටියකි. කිරි උතුරා යාම සෞභාග්‍යයේ හා සශ්‍රීකත්වයේ සංකේතයක් වන හෙයින් මෙම චාරිත්‍රය වාසනාව ගෙට කැඳවාගෙන ඒමක් ලෙස විශ්වාස කරයි. කිරි ඉතිරවීමෙන් පසු ආහාර පිසීම සිදු කෙරේ.  


ආහාර අනුභවය   


අප්‍රේල් 14 ප.ව. 5.05ට විචිත්‍ර වර්ණ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරැසී දකුණු දිසාව බලා සියලු‍ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මෙවර සිදුකළ යුතුවේ. ආහාරය සත්වයාගේ ප්‍රධානතම අවශ්‍යතාවකි. එය ජීවය ගෙන දෙන ප්‍රධාන සාධකයකි. එබැවින් නව වසරේ චාරිත්‍ර අතර මෙම ආහාර අනුභවයට ද ප්‍රමුඛත්වයක් ලැබෙයි. බිම පැඳුරු එළා ඒ මත වාඩි වී ආහාර අනුභව කිරීම පුරාණ චාරිත්‍රයයි. එහෙත් දැන් ඒ වෙනුවට ‘අවුරුදු කෑම මේසය’ යොදා ගැනෙයි. එහි කිරිබත සේම විශේෂයෙන් කැවුම්, කොකිස්, අතිරස, කෙසෙල් ගෙඩි යනාදිය තබා තිබේ. මෙම කෑම මේසය ඉඳුල් කිරීම සඳහා ගමේ සත් ගුණවත් ප්‍රභූවරයකුට ආරාධනා කෙරෙයි. ගනුදෙනු කිරීමේ චාරිත්‍රයේදීද බොහෝ විට සිදුවන්නේ ආහාර අනුභවය සඳහා ආරාධනා ලැබූ ප්‍රභූවරයා අතින්ම මූලික ගනුදෙනුව සිදුවීමයි. පසුව ගනුදෙනු හුවමාරු කර ගන්නේ පවුලේ සාමාජිකයින් අතරය. වැඩ ඇල්ලීමේ චාරිත්‍රයේදී කිරි ගහකට කෙටීම සිරිතක් වන අතර පුරාණ චාරිත්‍රයට අනුව උදැල්ලක් ගෙන හේනේ ගෙවත්තේ හෝ කුඹුරේ වැඩ ඇල්ලීම සිදුකරයි.  


හිසතෙල් ගෑම   


අවුරුදු චාරිත්‍ර අතර හිස තෙල් ගෑමටද ප්‍රමුඛස්ථානය හිමිවෙයි. මනා ශරිර සෞඛ්‍යයකින් ජීවත්වීමට හා මිනිස් ජීවිතයට හිස ප්‍රධාන වන හෙයින් ඊට යෝග්‍ය සෞඛ්‍ය සත්කාර සිදු කිරීම මෙහි අරමුණයි. එබැවින් මෙම හිස තෙල් ගෑමේ චාරිත්‍රය පුරාතනයේ පටන් සුබ නැකතින් ඉතා භක්තිමත්ව සිදුකළ කාර්යයකි. මේ සඳහා හිසට උඩින් එල්ලීමටත්, පයට පෑගෙන සේ තැබීමටත්, විවිධ ඖෂධීය ගුණයෙන් යුත් කොළ වාර්ග ඒ ඒ වසර අනුව වෙනස්වෙමින් යොදා ගැනෙයි. මෙම වසරේ එය සිදුකළ යුත්තේ අප්‍රේල් 16 පෙ.ව. 9.41ටය. මෙවර ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කරන ලෙස සම්මත කොට තිබේ. එසේම හිසට ඉඹුල්පත්ද පයට නුග පත්ද තබා රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරැසී දකුණු දිසාව බලා මෙවර හිසතෙල් ගෑම සිදුකළ යුතුය. මෙම චාරිත්‍රය බොහෝ විට ගමේ විහාරස්ථානයේදී භික්ෂුන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන්නකි. මෙකල හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය රටේ ජනාධිපතිවරයාගේද සහභාගිත්වයෙන් තෝරාගත් යම් ස්ථානයකදී පැවැත්වීම තුළින් ප්‍රකට වනුයේද මෙම චාරිත්‍රයෙහි ඇති වටිනාකමයි.  


රැකි රක්ෂා සඳහා පිටව යාම   


සියලු‍ අලු‍ත් අවුරුදු චාරිත්‍ර නිමවා පෙර සේ යළිත් සිය සුපුරුදු රැකි රක්ෂා කටයුතු සඳහා නික්ම යන්නේ ද සුබ නැකැත් හෝරාවක් තුළය. ගෙවී ගිය වසරේදී මෙන්ම ඉදිරි වසරේදී ද රැකියාව හා සම්බන්ධ සියලු‍ කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම මෙහි අදහසයි. මෙහිදී පළමුව තෙරුවන් වන්දනා කොට දෙවියන්ට පින්දී නියමිත වර්ණයෙන් යුතු ඇඳුම් ඇඳ රැකියාවට නික්මයාම සිරිතයි. මෙම වසරේ රැකි රක්ෂා සඳහා පිටත්ව යා යුත්තේ සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරැසී අප්‍රේල් 17 වැනිදා පෙ.ව. 6.28ට දකුණු දිසාව බලාගෙනයි.   
සමාජ සබඳතා ඔප් නැංවීමක්   


අද බොහෝ දෙනකු ගත කරනුයේ ඉතා කාර්යබහුල ජීවන රටාවක් වන හෙයින් එයින් මොහොතකට මිදී පවුලේ සාමාජික පිරිස හා අවට ඥාති හිතවතුන් සමඟ නිදහසේ සොම්නසින් කාලය ගත කිරීමට මෙම අවුරුදු චාරිත්‍ර බෙහෙවින්ම මහෝපකාරී වනු ඇත. මෙහිදී සිදු කෙරෙන තවත් වැදගත් කාර්යයක් නම් අසල්වාසීන් සමඟ යම් සුළු සුළු කරුණු මුල් කරගෙන පවත්නා අසමගි අමනාපකම් දුරුකර ගැනීමයි. ඒ සඳහා බුලත් අතක් දී ආචාර කිරීමෙන් සුහදතාව පළ කිරීම සිදු කෙරේ. එබැවින් පලු‍දු වී යන සමාජ සබඳතා ඔප්නංවාගෙන සුහදත්වයෙන් යුතුව කටයුතු කිරීමට ද මෙම අවුරුදු සමයේ අවස්ථාව උදාවෙයි.   


සංස්කෘතික වශයෙන් පමණක් නොව සමාජ විද්‍යාත්මකව විමසා බැලූ කල ද ඉතා වටිනා චාරිත්‍ර ලෙස අවුරුද්ද වෙනුවෙන් නැකතට එකාවන්ව එක්සිත්ව සිදුකරන කණ්ඩායම් ක්‍රියාකාරකම් පෙන්වාදිය හැකිය. මුළු රටවාසීන්ම එසේ එකමුතුව ක්‍රියාත්මක වුවහොත් එය රටට ද මහත් ආශිර්වාදයක් වනු ඇත.     

 

 

ඌරුගමුවේ අස්සජී හිමි