කේන්ද්‍ර සටහන යනු අපගේ අනාගතය පිළිබඳව කියැවෙන ග්‍රහ පිහිටීම් සහිත ලේඛනයකි. මෙකී කේන්දරය තුළ විවිධ ග්‍රහ ස්ථානයන්හි විවිධ ග්‍රහයන් පිහිටා තිබීම මත එම ග්‍රහයන්ගේ බලපෑම වෙනස් වෙනස් අයුරින් කේන්දර හිමියාට බලපාන බව ජ්‍යෝතිෂයේ සදහන් වේ. මේ ආකාරයට ග්‍රහ මණ්ඩලයේ රැජිණිය නැතහොත් පවුලේ මව ලෙස විරුදාවලිය ලබන සඳු/ චන්ද්‍රයා ඔබේ කේන්දරයේ පිහිටා ඇති කොටුව අනුව ඔබ ගැන පූරෝකථනයන් ඉදිරිපත් කළ හැකිය. කේන්දරයෙහි සඳුගේ පිහිටීම දක්වා ඇත්තේ “ච” අකුරෙනි. ඒ අනුව කේන්දරයේ කොටු දොළහ තුළ ච අකුර සඳහන් වන එක් එක් කොටුව අනුව ඔබ පිළිබඳ ඔබේ අනාගතය පිළිබඳ ප්‍රකාශ කෙරෙන කරුණු කිහිපයකි.
- පළමු කොටුවේ පිහිටීම
සිතුවිලි වලට අධිපති සඳු පළමු කොටුවේ පිහිටීමේ දී එම ජන්ම පත්‍රය හිමි ඔබ සෞන්දර්යාත්මක, ලස්සන, පහසුවෙන් ජීවත් විය හැකි චරිතයක් බවට පත්වේ. සෙලවෙන - චංචල චර ගති ලක්ෂණත්, ස්ථීර ප්‍රතිපත්තියක රඳා සිටීමේ නොහැකියාව සහිත ගති ලක්ෂණත් සඳු පළමු කොටුවට පැමිණීම තුළින් එම ජන්ම පත්‍රය හිමි පුද්ගලයා තුළ දක්නට ලැබෙයි. චන්ද්‍රයා පළවෙනි කොටුවේ පිහිටීම ඉතාමත් හොඳ ලක්ෂණයක්. ඊට ප්‍රධාන හේතුව අනෙකුත් සාධකවල බලපෑමෙන් එය වෙනස් නොවුණහොත් මෙම පිහිටීම තුළින් පුද්ගලයකුට සැහැල්ලුවෙන්, සතුටින්, විනෝදයෙන් ජීවත්වීමේ පහසුකම් සහිත වටපිටාවක් බොහෝ විට නිර්මාණය වීමයි. සඳුගේ පිහිටීම තුළ තවත් විශේෂ ලක්ෂණයක් ලෙස යම් මාසයක 1, 10, 19, 28 යන දිනවල උපන් අයෙක් මෙම පිහිටීම වඩාත් උචිත වේ. එයට හේතුව වන්නේ 1 10 19 28 යන දිනවල උපන් පුද්ගලයින් සූර්යාගේ දරුවන් ලෙස හඳුන්වන අතර මෙම පුද්ගලයින් තුළ උප්පත්තියෙන්ම හිමි වෙත් රළු ගතිය සමනය කිරීම තුළින් තරමක සෞම්‍ය පුද්ගලයෙක් කිරීමේ හැකියාව සඳු පළමු කොටුවේ පිහිටීම තුළින් හිමිවන නිසාවෙනි.
- දෙවන කොටුවේ පිහිටීම
සඳු කෙනකුගේ කේන්ද්‍ර සටහනෙහි දෙවන කොටුවෙහි පිහිටා තිබේ නම් ඔහුට හෝ ඇයට ප්‍රියමනාප මුහුණක්, ලාලිත්‍යමය කතා ස්වරූපයක්, ළගන්නා සුළු කටහඬක් බොහෝ විට උරුම වෙයි. එහිදී මුදල් ලැබීම් මෙන්ම යහපත් පවුලක් පවුල් ජීවිතයක් හිමිවීමේ වාසනාවත් මෙම පිහිටීම තුළින් හිමි වේ. යම් මාසයක 2, 11, 20 හෝ 29 උපන් අයෙකුගේ කේන්ද්‍ර සටහනෙහි සඳු දෙවන කොටුවෙහි පිහිටීම ප්‍රශස්ත පිහිටීමක් ලෙසින් ජ්‍යෝතිෂයේ අර්ථකථනය කෙරෙයි. එවැනි පුද්ගලයින්ට උපතින් හිමිවනු ලැබීම් භාගය තවත් තීව්‍ර ලෙසින් ලැබෙන අවස්ථාවක් ලෙසින් මෙම පිහිටීම දැක්විය හැකියි.
- තෙවන කොටුවෙහි පිහිටීම
මුල් කොටු දෙකෙහි මෙන්ම චන්ද්‍රයා තුන්වෙනි කොටුවෙහි පිහිටන ජන්ම පත්‍ර ලාභියාත් ඉතාමත් සුන්දර සිරුරකට හිමිකම් කියන ප්‍රියමනාප පුද්ගලයෙක් ලෙසින් දැක්විය හැකිය. ඔහුට හෝ ඇයට ආකර්ශනීය පෞරුෂයක් හිමියි. උසස් ඉගෙනීමක් සහිතයි. සමාජයේ පිළිගැනීමක් සහිත චරිතයක් ලෙසින් සමාජයේ කැපී පෙනීමට හිමිකම් ලබයි. නමුත් මේ පිහිටීම තුළත් ඔබට සෙම් රෝග, උමතු රෝග ආදී රෝග වැලඳීමේ ඉඩකඩක් ඇත.
- සිව්වන කොටුවෙහි පිහිටීම
ජන්ම පත්‍රයේ සඳු පිහිටන්නේ ඔබගේ සිව්වන කොටුවෙහි නම් ඔබ බොහෝ දේපළ ලබන අයෙකි. විශේෂයෙන් මව් පාර්ශ්වයේ ලැබීම් හිමිවන හොඳ පිහිටීමක් ලෙසින් මෙය දැක්විය හැකියි. මෙහිදී ලැබීම් භාගය තවත් තීව්‍ර ලෙසින් ලැබෙන අවස්ථාවක් ලෙසට ඔබ යම්කිසි මාසයක 1 10 19 28 යන දිනවල හෝ 4, 13, 22, 31 දිනවල උත්පත්තිය ලබා තිබීම දැක්විය හැකියි. එවිට ඔබ මෘදු කාරුණික චරිතයක් බවට පත්වේ. උපතින් ලැබෙන රළු බව පාලනය වී සමබර ජීවිතයක් ගත කිරීමේ හැකියාව හිමි වේ.
- පස්වන කොටුවෙහි පිහිටීම
සඳු පස්වන කොටුවට පැමිණීමේ දී ඔහු හෝ ඇය හික්මීමක් සහිත ඉවසීමක් සහිත බොහොම විචක්ෂණශීලී බවක් හිමි පුද්ගලයක් වේ. එම පුද්ගලයා බොහෝ ආශාවන් බහුල අයෙකි. ඉගෙනීමට උපතින්ම දක්ෂකම් හිමි පුද්ගලයෙකි. එමෙන්ම මුල් කොටු හතර තුළ සඳුගේ පිහිටීම ඉතාමත් යහපත් ප්‍රතිඵල ගෙන දුන්නත් පස්වන කොටුවෙහි සිට එය තරමක වෙනස් වන අතර මෙහිදී ආමාශය ආශ්‍රිත රෝගාබාධ විවිධ කාලවලදී ඇතිවීමේ ඇතිකිරීමේ හැකියාවක් මෙම ග්‍රහ පිහිටීම තුළ පවතින බව ජ්‍යෝතිෂයෙහි මෙන්ම අංක විද්‍යාව තුළත් අර්ථකථනය කෙරෙයි. මෙම පිහිටීමත් කෙනෙකුගේ උපන් දිනය අනුව සුබ විය හැකි ආකාරයක් පවතී. එනම් ඔබ යම් මාසයක 5, 14, 23 යන්න දිනවල උත්පත්තිය ලබා ඇත්නම් ඔබ ඉගෙනීමේහි දක්ෂයෙකි. විධිමත් හෝ අවිධිමත් අධ්‍යාපන ඥානයන් බොහෝ සෙයින් ලබන අයෙකි.
- හයවන කොටුවෙහි පිහිටීම
හයවන කොටුවෙහි චන්ද්‍රයාගේ පිහිටීම තරමක අසුභ පිහිටීමක් ලෙසින් ජ්‍යෝතිෂය තුළ දක්වා තිබෙයි. ඒ අනුව මෙම පිහිටීම තුළින් බාල කාලයේ නැතහොත් කුඩා කාලයේ ඇතිවන රෝගාබාධ නිසා මුල් කාලයේ තරමක දුක්ඛිත ජීවිතයක් ගත කිරීමට හිමිවේ. නමුත් මතක තබා ගත යුතු විශේෂ කරුණක් වන්නේ මෙම අනාවැකියන් ව්‍යතිරේකයන් මත තීරණය වීමයි. එනම් වෙනත් හේතු මත මේ තත්ත්වයන් වෙනස් විය හැකියි.
- හත්වන කොටුවෙහි පිහිටීම
හත්වන කොටුවෙහි පිහිටීම තුළින් අදාළ ජන්ම පත්‍ර ලාභියාට ඉක්මන් විවාහයක් හිමිවේ. එමෙන්ම සුභ විවාහයකට හිමිකම් කියයි. වාසනාවන්ත සහකරුවෙකු හෝ සහකාරියක හිමිවෙයි. විශේෂයෙන්ම අංක විද්‍යාවේදී කියවෙන විවාහයට යම් බාධාවක් සහිත යම් මාසයක 7, 16, 25 යන දිනවල උපන් අයට චන්ද්‍රයාගේ මෙම පිහිටීම තුළින් කලින් පැවති බාධාවන් සමනය කර ගනිමින් වාසනාවන්ත විවාහයක් ළඟාකරගත හැකියි.
- අටවන කොටුවෙහි පිහිටීම
සඳුගේ පිහිටීමේ නුසුදුසුම ස්ථානය නැතහොත් අයෝග්‍යමය ස්ථානය අසුභම ස්ථානය ලෙස සැලකෙන්නේ අටවන ස්ථානයයි. මෙය මාරක ස්ථානය ලෙසිනුත් හඳුන්වයි. ජන්ම පත්‍රයේ අටවැනි කොටුව ආයුෂ ගැන කියැවෙන, මරණය ගැන සහ මාරක ගැන කියැවෙන ස්ථානය ලෙසින් හැඳින්විය හැකියි. ඒ අනුව ඇතැම් අකල් මරණ මෙම පිහිටීම තුළින් පෙනේ. යම් පුද්ගලයෙකුගේ අටවන කොටුව තුළ සඳුගේ පිහිටීම හා ඔහුට අෂ්ඨම ඒරාෂ්ටකය ඇති වී ඇති වේලාවන්හිදී මේ අපල උපද්‍රව, දරුණු ලෙඩරෝග ආදී තත්ත්වයන් ඇති විය හැකියි. නමුත් චන්ද්‍රයා අටවන කොටුවෙහි පිහිටා ඔහු ඉන්නේ ස්වක්ෂේත්‍රව හෝ උච්ච අවස්ථාවක නම් මේ තත්ත්වයන් වෙනස් වේ. එමෙන්ම යම් මාසයක 8, 17 හෝ 26 යන දිනවල උත්පත්තිය ලැබූ අයෙකුගේ චන්ද්‍රයා 8වන කොටුවෙහි පිහිටා ඇත්නම් එම පුද්ගලයා වඩාත් පරෙස්සම් විය යුතු කෙනෙක් වන්නේය.
- නමවන කොටුවෙහි පිහිටීම
චන්ද්‍රයා නම වැනි කොටුවෙහි පිහිටීම ඉතා වාසනාවන්ත පිහිටීමකි. එනම් භාග්‍යස්ථානයට චන්ද්‍රයාගේ පැමිණීම වනාහි ඔහු භාග්‍යවන්ත පුද්ගලයෙක් වීමයි. මෙය පෙර පින් ඇති බව, පවට බය බව, ආගමික භක්තියක් ඇති බව, ලැජ්ජා බය හිමි චරිතයක් වීම, සසර දියුණු කර ගැනීමේ උපන් හැකියාවක් ඇති බව පෙන්වන පිහිටීමකි. මෙය ඇත්තෙන්ම වාසනාවන්ත පිහිටීමකි. මෙවැනි පිහිටීමක් ඇති ඔබට සුභ අනාගතයක් හිමියි.
- දහවන කොටුවෙහි පිහිටීම
චන්ද්‍රයා වනාහි සුබ ග්‍රහයෙක් වීම මත එය සුබ කේන්ද්‍රස්ථානවලට පිහිටීම තුළින් ඉතාමත් සුභ ප්‍රතිඵල ඇති කරගත හැකියි. ඒ අනුව දහවන කොටුවෙහි චන්ද්‍රයාගේ පිහිටීම හරහාත් හොඳ ලැබීම් භාග්‍යයක්, හොඳ රැකීරක්ෂාවන්, තමන්ට හොඳ ඉදිරියක් ඇති බවක්, තමන් වැඩ කරන තැන සේවා ස්ථාන තුළ දීප්තිමත් චරිතයක් හෝ පිළිගැනීමත් ලැබෙන ඉහළ උසස් වී ලබාගත හැකි උසස් පිහිටීමක් ලෙසින් මෙම අවස්ථාව විස්තර කළ හැකියි. එමෙන්ම දෙමාපියන්ට හිතවත්, වැඩිහිටියන්ට ගරු කරන, ගුරුවරුන්ට කීකරු හොඳ චරිතවත් පිහිටීමක් මෙලෙස චන්ද්‍රයා දහවන කොටුවෙහි ස්ථානගත වීම තුළින් හිමි වේ.
- එකළොස්වන කොටුවෙහි පිහිටීම
මෙකී පිහිටීම චන්ද්‍රයා අයස්ථානයේ පිහිටීම ලෙසින් හඳුන්වයි. එහිදී මෙම කොටුවෙහි චන්ද්‍රයාගේ පිහිටීම තුළින් තමන්ට සිතූ පැතූ සම්පත් ලබාගත හැකි වාසනාවක් ගෙන දෙයි. මේ ලැබීම් රැකියාවෙන්, පරම්පරා උරුමයෙන්, හදිසි ධනලාභයෙන් ආදී ඕනෑම ආකාරයකින් හිමි විය හැකියි. ඒ අනුව මෙම පිහිටීමෙන් කියවෙන්නේ තමන්ට ලැබීමට ඇති සාංසාරික උරුමයක් පිළිබඳවයි. ඒ අනුව සූර්යයා එකොළොස් වෙන ස්ථානයේ පිහිටීම මෙන්ම චන්ද්‍රයා එකොළොස්වන ස්ථානයෙහි පිහිටීමත් ඉතාම විශිෂ්ට ගණයේ පිහිටීම් ලෙසින් හඳුන්වන්නට පුළුවන.
- දොළොස්වන කොටුවෙහි පිහිටීම
චන්ද්‍රයා යම් කෙනෙකුගේ කේන්දරය තුළ දොළොස් වන ස්ථානයේ පිහිටීම සුභ පිහිටීමක් ලෙසින් හඳුන්වන්නේ නැත. හේතුව චන්ද්‍රයා දොළොස්වන කොටුවෙහි පිහිටන ඔබට දුෂ්කර වැඩවල යෙදීමට අවස්ථාව හිමිවේ. කොතරම් හොඳ දේවල් කළත් ඒ පිළිබඳ ඇගයුම්- ප්‍රශංසා හිමි නොවේ. නමුත් ඔබ සමාජ සේවයට ඉතා ප්‍රියයි. ගිලනුන්ට උපස්ථාන කිරීමට, දුප්පතුන්ට උපකාර කිරීමට වෙහෙස මහන්සි වේ. කෙසේ නමුත් ඔබටත් දුක් සහිත වැඩවල යෙදීමේ පිහිටීමක් මින් කියැවේ.
දුලක්ෂි ලියනගේ