වසර බිලියන 4.5 ක් තිස්සේ අප පෘථිවියට සගයෙක් සිටී. මේ සගයා වෙන කවුරුවත් නොව අපගේ සඳ නැතිනම් චන්ද්‍රයාය. පෘථිවියේ ස්වාභාවික චන්ද්‍රිකාව ලෙස සැලකෙන්නේ ද චන්ද්‍රයාය. චන්ද්‍රයා පෘථිවිය වටා කැරකෙයි. පෘථිවියේ අපට චන්ද්‍රයාගේ බලපෑම එල්ල වෙයි. වඩදිය-බාදිය ගලන්නේ චන්ද්‍රයාගේ බලපෑමෙනි. එය මුහුදු පරිසර පද්ධතිවල සමතුලිතතාව පවත්වා ගැනීමට උපකාරී වෙයි. උදාහරණයක් ලෙස වෙරළබඩ කලාපවල ජීවත් වෙන සමහර සතුන්ගේ ප්‍රජනන චක්‍රය සහ ජීවන රටාව එමත රඳා පවතී.
චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලය පෘථිවියේ භ්‍රමණ අක්ෂයේ ඇලවීම ස්ථාවර කිරීමට දායක වෙයි. පෘථිවිය ඍතු චක්‍රය ස්ථාවරව පවතින්නේ මේ නිසාය. සඳ නොමැති නම් පෘථිවියේ අක්ෂය අස්ථායීව, විශාල ලෙස එහා මෙහා වීමට ඉඩ ඇතැයි යන්න විද්‍යාඥයන්ගේ පැහැදිලි කිරීමය. එය විපරීත දේශගුණික විපර්යාස ඇති කරනු ඇති බවත් පෘථිවියේ ජීවය පැවැතීමට නුසුදුසු තත්වයක් නිර්මාණය කරනු ඇති බවත් පැවැසෙයි.
චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලය, පෘථිවියේ දෛනික භ්‍රමණ වේගය ක්‍රමයෙන් අඩු කරයි. ඈත අතීතයේ පෘථිවියේ එක් දවසක් පැය 6ක් පමණ වූ බවත් චන්ද්‍රයාගේ බලපෑම නිසා එය දැන් පැය 24ක් දක්වා වැඩි වුණු බවත් විද්‍යාඥයන්ගේ අදහසය. චන්ද්‍රයා සූර්යාලෝකය පරාවර්තනය කරන බැවින් රාත්‍රී අහස දීප්තිමත් වෙයි. අතීතයේ සිටම මිනිසාට සහ අනෙකුත් සතුන්ට රාත්‍රී කාලයේදී දිශානතිය තීරණය කිරීමට සහ ගමන් බිමන් යාමට මෙය උදවු විය.
සඳ හෙවත් චන්ද්‍රයාගේ ඇති වැදගත්කම එයයි. දැන් අපි අපේ කතාවට යමු. විද්‍යාඥයන්ගේ අලුත් සොයා ගැනීමකට අනුව අප පෘථිවියට තවත් චන්ද්‍රයෙක් සිටී. මේ චන්ද්‍රයා ද අපේ ප්‍රධාන චන්ද්‍රයා සේම වසර ගණනාවක් තිස්සේ (වසර බිලියන ගණනක් නම් නොවෙයි) පෘථිවිය සමඟ සිටින බව විද්‍යාඥයන්ගේ අදහසය. ඒත් රෑ අහස දෙස බලද්දී අපට චන්ද්‍රයන් දෙදෙනකු කිසි දිනක දකින්නට ලැබී නැත.
මෙම දෙවැනි චන්ද්‍රයා සොයා ගැනීම කළේ ඇමෙරිකාවට අයත් හවායි දූපත්වල පිහිටි පෑන් ස්ටාර්ස් නිරීක්ෂණාගාරයයි. විද්‍යාඥයන් මෙම නව චන්ද්‍රයා නම් කර ඇත්තේ ‘2025 පීඑන්7’ යන කේත නාමයෙනි. මේ චන්ද්‍රයා පෘථිවිය සමඟ සිටින්නේ 1960 දශකයේ සිට යැයි විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත. ‘2025 පීඑන්7’ නමැති මෙම චන්ද්‍රයා ක්වාසි-චන්ද්‍රයෙකි. සාමාන්‍යයෙන් පියවි ඇසින් දැකිය හැකි අපගේ චන්ද්‍රයා මෙන් නොව අලුතින් හමුවුණු ‘2025 පීඑන්7’ ක්වාසි චන්ද්‍රයා දැක ගත හැක්කේ හොඳ දුරේක්ෂයක් හරහා පමණි.
ක්වාසි-චන්ද්‍රයකු යනුවෙන් හැඳින්වෙන්නේ කුමන ආකාරයේ චන්ද්‍රයෙක්ද? මලලසේකර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයට අනුව ක්වාසි යන වදනේ අරුත අර්ධ, බොහෝ දුරට හෝ බැලූ බැල්මට යන්නය. ඇත්තටම කියනවා නම් ‘2025 පීඑන්7’ යනු ග්‍රහකයකි. නව චන්ද්‍රයෙකු සිටිනවා යැයි කියා රෑ අහස පියවි ඇසින් නිරීක්ෂණය කළොත් ඔබට මෙම චන්ද්‍රයා දකින්නට ලැබෙන්නේ නැත. මෙය ඉතා කුඩා ග්‍රහකයකි. අපේ චන්ද්‍රයා මෙන් මෙය පෘථිවිය වටා කක්ෂගතව නැත. මෙය පෘථිවියට සමානව සමාන මාර්ගයක් ඔස්සේ හිරු නැතිනම් සූර්යයා වටා කක්ෂගත වෙයි. සරලව කීවොත් යම් ග්‍රහලෝකයක් වටා කක්ෂගත වනවා සේ පෙනෙන අභ්‍යාවකාශ වස්තූන් හැඳින්වෙන්නේ ක්වාසි-චන්ද්‍රයන් යනුවෙනි.
තාරකා විද්‍යාඥයන්ට අනුව මෙම ක්වාසි-චන්ද්‍රයා මීටර් 19ක් (අඩි 62ක්) පමණ පළලය. මෙම ක්වාසි චන්ද්‍රයා ක්වාසි කක්ෂයක රැඳී සිටින්නේ වසර 60 ක් තිස්සේ බවත් එය තවත් වසර 60 ක් එසේ රැඳී සිටිනු ඇති බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති. දැනට හඳුනාගෙන ඇති අනෙකුත් ක්වාසි චන්ද්‍රයන් හයට ‘2025 පීඑන්7’ ග්‍රහකය ඇතුළත් වෙයි. එපමණක් නොවෙයි, කුඩාම මෙන්ම ස්ථාවරත්වයෙන් අඩු ක්වාසි චන්ද්‍රයා ලෙස ද ‘2025 පීඑන්7’ හැඳින්විය හැකි යැයි විද්‍යාඥයන්ගේ අදහසය. මෙය පෘථිවිය වටා කක්ෂගත වන බවක් පෙනුණත් මෙය පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයට බැඳී නැත. ‘2025 පීඑන්7’ පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 4.5 (සැතපුම් මිලියන 2.8) සිට කිලෝමීටර් මිලියන 59 (සැතපුම් මිලියන 37) දක්වා පුළුල් පරාසයක දුර ප්‍රමාණයක් පවත්වා ගනිමින් සිටී.
තාරකා විද්‍යාඥයන්ට අනුව මෙම ක්වාසි-චන්ද්‍රයා මීටර් 19ක් (අඩි 62ක්) පමණ පළලය. මෙම ක්වාසි චන්ද්‍රයා ක්වාසි කක්ෂයක රැඳී සිටින්නේ වසර 60 ක් තිස්සේ බවත් එය තවත් වසර 60 ක් එසේ රැඳී සිටිනු ඇති බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.
‘2025 පීඑන්7’ වැනි ක්වාසි චන්ද්‍රයන් ගැන තාරකා විද්‍යාඥයන් දැනුම්වත් වී සිටින්නේ 1991 වසරේ සිටය. විද්‍යාඥයන්ට පළමුවෙන් හමුවුණු ක්වාසි චන්ද්‍රයා නම් කෙරුණේ ‘1991 වීජී’ යනුවෙනි. මෙය ද කුඩා ග්‍රහකයකි. මෙය මුලින්ම සොයා ගත් අවස්ථාවේ විද්‍යාඥයන් සිතුවේ එය පිටසක්වළ ගවේෂණ යානයක් කියාය. වසර තිහකට වැඩි කාලයක් ගත වූ පසු මෙවැනි ක්වාසි චන්ද්‍රයන් ග්‍රහක ද බහුලව ඇති බව පැහැදිලි විය. මේවා ඇත්තේ පෘථිවියත් චන්ද්‍රයාත් අතර පිහිටන සූර්යයා වටා කක්ෂගත දෙවැනි ග්‍රහක පටිය යනුවෙන් හඳුන්වන කලාපයේය. විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබූ ක්වාසි චන්ද්‍රයන් අතරින් කැපී පෙනෙන චන්ද්‍රයකු වන්නේ කමෝඕලෙවාය. ‘2025 පීඑන්7’ මෙන් නොව කමෝඕලෙවාට වසර 381ක් පමණ පවතින පෘථිවි-ආශ්‍රිත කක්ෂයක් ඇත. ‘2020 එක්ස්එල්5’ ද තාරකා විද්‍යාඥයන්ට හමුවී ඇති ‘2025 පීඑන්7’ වැනි ක්වාසි චන්ද්‍රයෙකි. ‘2025 පීඑන්7’ කමෝඕලෙවා ‘2020 එක්ස්එල්5’ ආදිය පෘථිවියට අයත් ක්වාසි චන්ද්‍රයන් වුවත් අප සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහලෝකවලට ද ක්වාසි චන්ද්‍රයන් (කුඩා ග්‍රහක) සිටින බව පැවැසෙයි. සිකුරු ග්‍රහයාට එක් ක්වාසි චන්ද්‍රයෙක් සිටී. නෙප්චූන් ග්‍රහයාට ද එක් ක්වාසි චන්ද්‍රයෙක් සිටී. බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයන්ට ද ක්වාසි චන්ද්‍රයන් කීප දෙනෙක් සිටිති.
ලුසිත ජයමාන්න
ලයිව් සයන්ස් ඇසුරිනි