බයිබලයේ සඳහන් කතාවකට අනුව, නපුර රජ කළ යහගුණවලින් තොර ලෝකයේ ජීවත් වූ නෝවා, යහපත් චරිතයක් ඇත්තෙක් විය. නෝවා ගැන දෙවියන් තුළ තිබුණේ විශාල ප්‍රසාදයකි. පව්කාරයන්ගෙන් පිරුණු ලෝකය, පවිත්‍ර කර දැමීමට දෙවියන්ට ඕනෑ විය. දෙවියෝ නෝවාට උපදෙස් දුන්හ. නෝවා, ඔහු තම පුතුන් තිදෙනා සහ සෙසු පවුලේ සාමාජිකයන්ගේ සහාය ඇතිව, දේව වචනය පිළිගනිමින්, ලීවලින් දැවැන්ත නැවක් නිර්මාණය කළේය. නැව ඉදිකිරීමෙන් පසු, මිහි මත වෙසෙන සියලුම සත්තු, ගැහැනු සතෙකු සහ පිරිමි සතෙකු ආදී වශයෙන් ලී නැවට පැමිණෙන්නට වූහ. සතුන් මෙන්ම, නෝවා සහ ඔහුගේ පවුලේ උදවිය, නැව තුළ ආරක්ෂිතව සිටිද්දී, මහ වැසි ඇදහැලුණි. මහා ජල ගැල්මක් හට ගැනුණි. මිහි මත සියලු දේ ඒ මහා ජල ගැල්මට හසුවී විනාශ විය. ඒ මහා විනාශය අවසන් වෙද්දී, දිවි ගලවාගෙන ඉතිරි වූයේ නැවේ සිටි පිරිස පමණි. දේව උපදෙස් අනුව, නෝවා තම පවුලේ සාමාජිකයන් සහ සතුන් මිහි මත නව ජීවයක් ආරම්භ කළහ.
ස්වාල්බාඩ් බැංකුව ද එක්තරා ආකාරයකට නෝවාගේ නැවට සමානය. සාමාන්‍යයෙන් බැංකුවක් යැයි කී විට සිහියට නැගෙන්නේ මුදල් තැන්පත් කරන සහ මුදල් ගනුදෙනු සිදුවෙන තැනකි. එහෙත්, ස්වාල්බාඩ් බැංකුව මුදල් ගනුදෙනු කරන තැනක් නොවේ. ස්වාල්බාඩ් එක රටකට සීමාවූවක් ද නොවෙයි. මුළු ලෝකයම එක්වී ඉදිකළ බැංකුවකි. මෙම බැංකුවේ තැන්පත් කර ඇත්තේ බීජ (ඇට) වර්ගය. ස්වාල්බාඩ් බැංකුව යනු ගෝලීය බීජ බැංකුවය. ලොව සෑම අස්සක මුල්ලකම ඇති ශාකවල බීජ මෙම බැංකුවේ, අධිශීතකරණ තුළ ඉතාමත් සුරක්ෂිතව අසුරා තිබේ. ඒ, කවදා හෝ කොයි වේලාවේ හෝ ලෝකය විනාශ වුවහොත්, එම ලෝක විනාශයෙන් ඉතිරි වී දිවි ගලවා ගැනීමට සමත් වන මනුෂ්‍යයන්ට, යළි ලෝකය පණ ගන්වන්නට මෙම බීජ භාවිත කළ හැකි ආකාරයටය. ස්වාල්බාඩ් බීජ බැංකුව, බීජ සේප්පුව යන නමින්ද හැඳින්වෙයි.
ස්වාල්බාඩ් බීජ බැංකුව ඉදිකර ඇත්තේ එසේ මෙසේ තැනක නොවේ. අධික සීතල කාලගුණයක් පවතින උත්තර ධ්‍රැවයේ, නෝර්වේ රාජ්‍යය අයත් ස්වාල්බාඩ් දූපතේය. මෙම දූපත ඇත්තේ නෝර්වේ රාජ්‍යයේ සිට සැතපුම් 800 ක් පමණ දුරිනි. ඇමෙරිකන් ඩොලර් මිලියන 8.8 කට වඩා වැඩි මුදලක් වියදම් කරමින්, මෙම බීජ බැංකුව ඉදිකිරීම ආරම්භ වූයේ 2006 වසරේදීය.
ඉදිකිරීම් කටයුතු අවසන් වූයේ 2008 වසරේදීය. සදාකල් හිමෙන් වැසුණු භූමියේ, මීටර් 145 ක් පමණ දුරකට විහිදෙන උමගක් ලෙස මෙම බැංකුව ඉදිකර තිබේ. නෝර්වේ රාජ්‍යයට අයත් උත්තර ධ්‍රැවයේ, ස්වාල්බාඩ් දූපතේ මෙම ගෝලීය බීජ බැංකුව ඉදිකිරීමට කටයුතු යෙදුණේ කෙසේද?
ඊට හේතු කීපයකි. මුහුදු මට්ටමින් මීටර් 130 ක උසකින් ස්වාල්බාඩ් දූපත පිහිටයි. සාගර ජල මට්ටම ඉහළ ගියත්, මෙම බීජ බැංකුවට අනතුරක් සිදු නොවේ. බීජ දිගු කාලයක්, එනම් වසර දහස් ගණනක් ගබඩා කිරීමට හැකි පරිසරයක් තිබීම තවත් හේතුවකි. බීජ බැංකුව සහිත උමං මාර්ගයට ඉහළින් වැලි තට්ටුවක් යොදා ඇති අතර, විකිරණවලින් ආරක්ෂා වීමට එය හේතුවක් වෙයි. කෘෂි බෝග බීජ මිලියන 4 කට වැඩි ගණනක් මෙම බැංකුවේ මේ වෙනවිට තැන්පත් කර ඇති බවද පැවසෙයි. ජාන තාක්ෂණය අනුව ජාන වෙනස් කිරීම්වලින්, විවිධ පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දිය හැකි විදියට සකස් කළ නව බීජ වර්ග පවා මෙම බැංකුවේ තැන්පත් කර තිබීමද විශේෂත්වයකි.
ස්වාල්බාඩ් බැංකුව ඉදිකර ඇත්තේ බීජ ආරක්ෂා කරගැනීමට පමණි. ලෝක විනාශයක් සිදුවුවහොත් එයින් පෘථිවියේ ජීවීන් එනම් ක්ෂීරපායීන්, පක්ෂීන්, උරගයන්, මත්ස්‍යයත් ආදිය ආරක්ෂා කර ගන්නේ කෙසේද? නව තාක්ෂණය භාවිතයට ගනිමින්, පෘථිවි ජීවීන්ගේ සෛල ඒවා ආරක්ෂිතව ගබඩා කර, යම් දිනෙක එම සෛලවලින් ක්ලෝන තාක්ෂණය ඔස්සේ එම ජීවීන්ට පණ දීමේ වැඩපිළිවෙළක් ඇමෙරිකාවේ ස්මිත්සෝනියන් ජාතික සත්වෝද්‍යානය සහ ‘කොන්සවේෂන් බයොලොජි ඉන්ස්ටිටියුට්’ විද්‍යායතනය එක්ව සැලසුම් කර තිබේ. ඔබ පුදුමයට පත්වෙන කාරණය නම්, මෙම සෛල තැන්පත් කරන බැංකුව ඉදිකෙරෙනු ඇත්තේ කොතැන ද යන්න සම්බන්ධයෙනි.
විද්‍යාඥයන් ඒ මෙම සෛල බැංකුව ඉදිකිරීමට තෝරාගෙන ඇත්තේ පෘථිවියේ සිට සැතපුම් 2,38,855 ක් පමණ දුරින් පිහිටා ඇති සඳ මතුපිට හෝ සඳ අභ්‍යන්තරයේය. මෙය අද හෙට සිදුවන්නක් නොවන නමුත්, මිනිසා සඳ ජය ගනිමින්, සඳේ ජනාවාස පිහිටුවා ගැනීමෙන් පසු මෙය සැබැවින්ම යථාර්ථයක් වෙනු ඇති බව ‘කොන්සවේෂන් බයොලොජි ඉන්ස්ටිටියුට්’ විද්‍යායතනයේ විද්‍යාඥයෝ පැහැදිලි කරති. ඇමෙරිකාවේ නාසා ආයතනය යළි සඳ ගවේෂණය කිරීමේත්, සඳ මතුපිට ජනාවාස පිහිටුවීමේත් අරමුණින් ‘ආටිමිස්‘ යන නමින් දැනටමත් චන්ද්‍ර මෙහෙයුම් සැලසුම් කර ඇත. එම මෙහෙයුම් 2025 වසරෙන් පසු අදියරෙන් අදියර ආරම්භවීමට නියමිතය. ස්මිත්සෝනියන් ජාතික සත්වෝද්‍යානය සහ ‘කොන්සවේෂන් බයෝලොජි ඉන්ස්ටිටියුට්’ විද්‍යායතනයේ මෙම සෛල බැංකුව ඉදිකිරීමේ සැලැසුම් ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකන් බිලියනපති ඉලොන් මස්ක් වැනි ව්‍යාපාරිකයන් ද සම්බන්ධ වී සිටින බව පැවසෙයි.
සෛල බැංකුව සඳ මත ඉදිකිරීමේ වාසි රැසකි. ගෝලීය උණුසුම ඉහළ යෑම හෝ ග්‍රහකයක් පෘථිවියේ ගැටීම නිසා හෝ පෘථිවිය සම්පූර්ණයෙන් විනාශ වුවහොත්, සෛල බැකුව සඳ මත පවතින බැවින්, ඊට කිසිදු හානියක් සිදු වන්නේ නැත.
සඳ මත සෛල බැංකුව ඉදිකිරීමට මනුෂ්‍ය වර්ගයා සමත්වීම යනු, මනුෂ්‍ය වර්ගයා අභ්‍යවකාශය ජය ගැනීමට සමත්වීමය. විශ්වයේ ඈතට යා හැකි ආකාරයේ අභ්‍යවකාශ යානා ඒ වෙනවිට මනුෂ්‍යයන් සතුව තිබෙනු ඇත. එහෙයින්, විශ්වයේ වෙනත් ඈත පෘථිවියට සමාන ලොවක පෘථිවියේ ජීවය යළි ආරම්භ කළ හැකි වෙයි. ඊට අමතරව සඳ මතුපිට සෛල බැංකුවේ ශීතකරණ පද්ධති පවත්වාගෙන යෑමට විදුලිය වැයවීමක් සිදු වන්නේ නැත. හේතුව සඳ සීතල තැනක් බැවිනි. සෛල සියල්ල හොඳින් ශීතකරණය කොට පහසුවෙන් ගබඩා කිරීමට හැකියාව ඇත.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි