මෙම අගෝස්තුවේ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායම සිම්බාබ්වේ තරග සංචාරයක නිරත වන අතර. ඉනික්බිතිව පාකිස්ථානය සමග තරගාවලියකට සහභාගී වීමට නියමිතය. ඒ අතරවාරයේදී දේශීය ක්‍රිකට් තරගාවලිය හෙවත් ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වේ.
එයින් පසුව ආසියානු කුසලාන T-20 තරගාවලිය සහ WORLD CUP T-20 තරග 20 ක් පමණ ලාංකීය භූමියේදී පැවැත්වීමට නියමිතය. එම ලෝක කුසලාන තරගාවලිය අවසන ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලියකින් පසුව, එළැඹෙන ජනවාරියේදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙහි පැමිණීමට නියමිතය. මෙකී සියලු තරග වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සූදානම මොන වගේ ද? ක්‍රීඩක පෙළ ගැස්ම නියමාකාරයෙන් සිදුවේවි ද? බොහෝ ප්‍රවීන විචාරකයින්ගේ මතය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට්, එක්දින, සහT-20 තරග රටා අනුව ක්‍රීඩක පෙළගැස්ම නිසියාකාරව තවමත් යොදා නොගන්නා බවය. තරගාවලියක් ජයග්‍රහණය කිරීමට නම් ඒ ඒ තරගාවලි ස්වභාවය අනුව නිසි සැලැස්මක් තිබිය යුතුය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ලෝ ප්‍රකට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය සතු සැලැස්ම මොන වගේ විය හැකි ද? ඒ ඉරිදා ලංකාදීපය ඔහු සමග කළ පිළිසඳරකි මේ.
Q තරගාවලි කීපයක්ම ඉදිරියේදී පෙල ගැසී තිබෙනවා. අපි සිම්බාබ්වේ සංචාරයෙන් පටන් ගනිමු, කොහොම ද මොන වගේ සැලැස්මක් ද තියෙන්නෙ?
සිම්බාබ්වේ සංචාරය කණ්ඩායමක් හැටියට අපි හොඳට කළ යුතුය කියන තැන තමයි අපි සිටින්නෙ. පසුගිය බංග්ලාදේශ සංචාරයෙන් පසුව අපි නැවතත් ඒ පුහුණුවීම් කටයුතු කරගෙන ගියා. සෑම තරගාවලියකටම යන්නෙ හොඳ සුදානමකින්. මේ තරගාවලියට යන්නෙත් ඒ විදිහටයි.
Q ඔබ බලාපොරොත්තු වන හොඳම දේ කණ්ඩායමෙන් ලැබෙනව කියලා හිතනව ද?
බංග්ලාදේශ තරගාවලිය පුරාම ක්‍රීඩකයින්ගෙන් ඒ සහයෝගය ලැබුණා. අඩු පාඩුත් තිබුණා. අන්තිම තරග දෙක පරාජය වීම තමයි මම දකින ඒ අඩුපාඩුව. ටෙස්ට් තරගාවලිය වගේම එක් දින තරගාවලිය අපි හොඳට කළා. අපට හදා ගන්න ඇති තැන් තියෙනවා. ඒ අඩු පාඩු හදා ගනිමින් ඉස්සරහට යන ගමනක්. අපි වැඩි පුර කතා කරන්නෙත් අඩු පාඩු වෙන තැන් සහ දුර්වල වෙන තැන් ගැනයි. ඒ වෙනුවෙන් පුහුණුවීම් කරලා ඒවා හදා ගන්න වැඩ වෙනවා.
Q පසු ගිය කාලයේදී ක්‍රීඩකයින් පිතිකරණයෙන් දක්ෂතා පෙන්වද්දී පන්දු යවන්නන් දුර්වල වුණා, මේ අංශ දෙකම හොඳ වෙද්දී පන්දු යැවීම දුර්වල වුණා. බොහෝ විචාරකයින් පසුගිය කාලයේදි එය මතු කළ කාරණයක්, ඇයි මේ සියල්ල හොඳම විදිහට නැත්තෙ? ඇයි ඒ විදිහට දුර්වල වෙන්නෙ?
විචාරකයින් සහ ඔබ එහෙම කියන්නෙ ඇයි කියලා නම් මම දන්නෙ නැහැ, හැබැයි පන්දු යැවීම වගේම පන්දුවට පහරදීම හරියට වුණේ නැත්නම්, තරගයක් සහ තරගාවලියක් ජයග්‍රහණය කරන්න අමාරුයි. පන්දු රැකීමත් ඒ හා සමානවම හොඳින් තිබෙන්න ඕනෑ. ඒ සියලු දේ කිරීමට මූලිකව කළ යුතු දේවල් ටිකක් පිතිකරුවන්ට, පන්දු යවන්නන්ට වගේම, පන්දු රකින්නන්ට තියෙනවා. ඒවා ඔවුන් සමග කතා කරගෙන අපි කටයුතු කරනවා. හොඳට කළ දවස් වගේම අඩු පාඩු වෙච්ච දවස් එහෙමත් තිබුණා. හැබැයි අපට ගොඩාක්ම වැරදුණේ නැහැ. ඒත් වැරදීම් වෙන අවස්ථා තියෙනවා. සියල්ලම බොහෝ විට සියයට සීයක්ම හොඳින් නොවෙන්න පුළුවන්, ඒත් අපි උත්සාහ ගන්නෙ ඒ අඩු පාඩු හදා ගනිමින් ඉස්සරා හට යන්න.
Q කණ්ඩායමේ පිතිකරු පෙළ ගැස්ම ගැන ස්ථාවරත්වයක් නැහැ වගෙයි පෙනෙන්නෙ? නිතරම පිතිකරු ලැයිස්තුවේ පෙළ ගැස්ම වෙනස් වෙන අයුරු දකින්නට ලැබෙනවා. අංක තුන අංක හතර වගේ ස්ථානවලත් පසු පෙළ ස්ථාන වලත් මේ ස්ථාවර බවක් පෙනෙන්න නැහැ. ඔබ කොහොම ද ඒ ගැන හිතන්නෙ?
ස්ථාවර අවස්ථාවක් තිබුණෙ නැහැ කියලා කියන්න බැහැ. එක්දින තරගවලදී ආරම්භක පිතිකරුවන් අපි ඒ විදිහටම යොදා ගන්න කටයුතු කළා, ටෙස්ට් තරගවලදී වගේම විස්සයි විස්සෙ තරගවලදීත් එහෙමයි. අනවශ්‍ය විදිහට එකිව් එකට මාරු කරගෙන ගියේ නැහැ. ක්‍රීඩකයින්ට තමුන්ගේ තැන හදාගෙන ඉදිරියට යන්න අවස්ථාව දුන්නා. ඒ විදිහට තමයි පසුගිය කාලයේදී කටයුතු කළේ. තේරීම් කමිටුව පවා ක්‍රීඩකයින්ට ඔවුන් ක්‍රීඩා කරන තැන ස්ථාවර වෙන්න ඉඩ දීලා තිබුණා.
Q පසුගිය කාලයේදී පැමිණි විදෙස් පුහුණුකරුවකු අදහස් දක්වා සිටියේ, ලාංකීය ක්‍රිකට් හැකි ඉක්මනින් වෙනස් මාවතකට යා යුතුය කියලයි, ඉක්මනින්ම ඒ වෙනස් වීම කළ යුතුය කියලා ඔහු කියා තිබුණා නේද? මොකක්ද අපි කළ යුතු වෙනස? කොතැනින් ද වෙනස් කරන්න වෙන්නෙ?
මම නම් දන්නෙ නැහැ කවුද එහෙම කිව්වෙ කියලා, පසුගිය කාලයේදී අපි ගෙන්නුවේ පන්දු රැකීමේ අංශය සහ පන්දු යැවීමේ අංශය පුහුණු කිරීමට වගේම වේග පන්දු යවන්නන් පුහුණු කිරීමට. මෑතකදී විස්සයි විස්සේ තරග වෙනුවෙන් විශේෂඥ පුහුණුව වෙනුවෙන් ගෙන්නුවා. ඒ වගේ විශේෂඥයින්ගෙන් අපට බොහෝ දේ ලැබුණා. අපි ඒවා ඉගෙන ගනිමින්, වෙනස් කළ යුතු දේ කර ගෙන යනවා. ඒ හැරත් වෙනස් කරන්න කියලා මහා ලොකුවට කළ යුතු දේ නැහැ. මේ ක්‍රීඩකයින් කාලයක් තිස්සේ ක්‍රීඩා කළ අය. අඩු පාඩු හදා ගැනීමට ක්‍රීඩකයින්ට පොඩි පොඩි වෙනස්කම් කරන්න තියෙනවා. ක්‍රීඩකයින්ට ආත්ම විශ්වාසය දීලා ක්‍රීඩකයින්ගෙන් ප්‍රයෝජන ගැනීම තමයි කරන්න තියෙන්නෙ.
Q ඒ වෙනස් කම් කරගෙන යාමේදී ක්‍රීඩකයින් ඔබට අවනත ද?
අවනතවීම නෙවෙයි වැදගත් වෙන්නෙ, ලංකාවේ ක්‍රිකට් හරිම විදිහට හදා ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට ගෙනයාමයි වැදගත් වෙන්නෙ. ඒ ගැන ළමයින් එක්ක කතා කරලා අපි එයාලට තේරුම් කරලා දීලා තියෙන්නෙ. ඒ අනුව එයාලා කටයුතු කරගෙන යනවා. එයාලට අපි විශ්වසනීයත්වයක් දීලා තියෙන්නෙ. ඒක හරි වැදගත්. ඒ කන්ෆිඩන්ස් එකත් එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට ගෙන යන්න කටයුතු කරගෙන යනවා. මිලියන විසි දෙකක් සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරය ශ්‍රී ලංකා ක්‍රීකට් වලට ආදරෙයි. ඒ ආදරය තේරුම් ගෙන සියයට සීයක්ම ක්‍රීඩකයින් එයාලගේ දායකත්වය කැපවීම ලබා දෙනවා.
Q දේශිය තරගවලදී ඔවුන් ක්‍රීඩා කරන විදිහ ගැන ඔබ තෘප්තිමත් වෙනවද? එල් පී එල් තරගවලදී ක්‍රීඩා කරන විදිහ ගැන එහෙම?
එල් පී එල් (LPL) එක්ක මම වැඩිය සම්බන්ධ නැහැ. නමුත්, එල්පීඑල් වේවා ප්‍රැන්චයිස් තරගාවලි. ඒ නිසා ලාංකීය ක්‍රීඩකයින්ට වැඩිපුර අවස්ථා ලැබෙන තැනක්. ඒ විදිහට අවස්ථා ලැබීම මම දකින්නෙ හොඳ දෙයක්
Q මොන විදිහට කතා කළත් විස්සයි විස්සෙ T-20 තරගවලදී අපි බොහොම පල්ලෙහායින් ඉන්නෙ කියලා කිව්වොත්?
අපි හොඳ තැන්වලත් ඉන්නවා සමහර අවස්ථාවලදී පල්ලෙහාට ගිය අවස්ථාත් තියෙනවා, පල්ලෙහාට ගියාම උඩට එන්න අපි මහන්සිවෙලා වැඩ කරනවා. අපි එක් දින තරගවලදී කොතැනද ඉන්නෙ කියලා ඔබ දන්නව ද? අපි ඉන්නෙ තුන්වැනි තැන. ඉතින් අපි ඒ ගැනත් කතා කළොත් හොඳයි. අපි ඒ විදිහට තුන්වෙනි තැනට ආවේ අන්තිම පල්ලෙහා ඉඳලා. චැම්පියන්ස් ශූරතා තරගාවලියට පවා අපි නොතේරුණ අවස්ථා තිබුණා. ලෝක කුසලානයට යන්න සුදුසුකම් ලැබීමේ තරග පවා ක්‍රීඩා කරන්න අපට සිදු වුණා. එහෙම හිටපු අපේ කණ්ඩායම අට වැනි තැන ඉඳලා තුන්වැනි තැනට ආවා. ඒ වගේ අපේ වැරදි හදා ගෙන අපි හොඳම දේ කරමින් ඉදිරියට යන ගමනක් තියෙන්නෙ. ඔබ අපෙන් වැඩිපුරම ඇහුවේ අපේ වැරදි පැත්ත ගැන. අපේ තියෙන වැරදි පැති හදාගෙන අපි ඉදිරියට යනවා.
Q අපි ඔබෙන් ඇහුවේ T-20 තරග පල්ලෙහාට යාම ගැනයි. ඒ හැරත් අඩු පාඩු පෙන්වාදීම අපේ වගකීමක් ?
ඔබ කී විදිහට අපේ නෙගටිව් පැති ගැන අපි අවදානය යොමු කරලා, ඒවාට ඇහුමකන් දීලා, අපි හැකිතාක් උත්සාහ ගන්නෙ ඒ අඩු පාඩු හදා ගන්න. අපේ ක්‍රිකට්වල ජයග්‍රහණ වෙනුවෙන්.
Q හරි, අපි එළැඹෙන සිම්බාබ්වේ තරගාවලිය ගැන අවධානය යොමු කරමු? සිම්බාබ්වේ නිජබිමට ගිහින් තරග කිරීමේ වෙනස මොන වගේද?
ලොකු වෙනසක් තියෙන්නෙ. අපට තරග කරන්න තියෙන්නෙ මුහුදු මට්ටමේ සිට මීටර පන්දහසක් විතර උසක ඇති භූමියක. අපි වගේ අයට ඒ වගේ ස්ථානවලදී හුස්ම ගැනීමේ අපහසුතා එහෙම ඇති වෙනවා. ඒ නිසා තරගාවලියට දවස් හයකට විතර කළින් අපි ඒ රටට යන්නෙ අවශ්‍ය පරිසරයට අනුගත වීමටයි. හැබැයි එහෙමයි කියලා අපි නිදහසට කරුණු කියන්නෙ නැහැ. ඒ ඕනෑම වටපිටාවකට, පරිසරයකට හුරුවෙලා, කණ්ඩායමක් හැටියට ඉතා හොඳින් තරග කළ යුතුම වෙනවා.
Q ඔබ දකින විදිහට සිම්බාබ්වේ ක්‍රිකට් අද මොන වගේ තැනක ද තිබෙන්නෙ?
අපි ගිය කාලයේදී වගේ නෙවෙයි. වර්තමානයේදී එයාලා තරග රාශියකට මුහුණ දීලා තියෙනවා. ඉස්සර අපි ක්‍රීඩා කළ කාලයේදී ඒ තරමට තරග තිබුණෙ නැහැ. ඔවුන් පල්ලෙහාට වැටිලා ඉඳලා උඩට එමින් සිටින්නෙ. මම ඒ ගැන හිතන්නෙ නැහැ. මට තියෙන වගකීම වෙන්නෙ මොන රටකට හෝ එරෙහිව තරග කරලා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට ගෙන යන එකයි.
Q ඒ විදිහට ඉදිරියට යාමේදී ඔබට අභියෝග තිබනවා නම්, ඒ මොනවගේ අභියෝග ද?
අභියෝග කියන දේ ක්‍රීඩාවට ආ දින සිට තිබෙන දෙයක්. දින්නත් මට අභියෝග තියෙනවා, පරාජය වුනත් මට අභියෝග තියෙනවා. ඒ හොඳ නරක සියල්ල වටහා ගෙන මේ සිටින අනෙක් පුහුණුකරුවන්ගේ උදවු අරගෙන, ලංකාවේ ක්‍රිකට් ඉදිරියටම ගෙන යාම තමයි මගේ ඒකායන අරමුණ. ලසිත් මාලිංගත් අපේ වේග පන්දු යවන්නන් වෙනුවෙන් විශේෂ පුහුණුවක් ලබා දෙන්න මෙහි ඇවිත් සිටිනවා. ඒ වගේ දේ එක්ක අපි හොඳම කරන්න උත්සාහ ගන්නවා. රට ඉදිරියට ගෙන යාම අපි හැමෝගෙම වගකීමයි.
Q ඇත්තම කියන්න තරග පරාජය වුනාම ඔබට කේන්ති යනවා නේ ද?
ඔව්, මට කේන්ති යන අවස්ථා තියෙනවා. ඒවා පාලනය කර ගන්නත් මම දැන ගන්න ඕනෑ.
Q වැඩියෙන්ම සතුටු වෙන්නෙ? ජයග්‍රහණවලදී ද? ක්‍රීඩක දක්ෂතා වලදී ද?
ඒ සෑම අවස්ථාවකදීම සතුටු වෙනවා. ඒ හැමෝම රට වෙනුවෙන් දෙයක් කළාම මට -අපට සතුටුයි. දිනන පරදින එක වෙනම දෙයක්. හැබැයි ක්‍රීඩකයින් තරගයක් වෙනුවෙන් සීයයට සීයක්ම තමුන්ගෙ රට සහ කණ්ඩායම වෙනුවෙන් කැපවීම තමයි වඩා වටින්නෙ.
සඳුන් ගමගේ