සද්දන්න කුලේ පින් ඇත්තන්ව බතික් වස්ත්‍රයෙන් හැඩ කරන උත්පලා


විචිත්‍ර වූ දළදා පූජාවන් අතුරින් ඇසළ පෙරහැර මංගල්‍ය හෙළයේ  මහා කලා මංගල්‍යය ලෙසින් පිළිගැනේ.  අලි ඇතුන් සියයකගේ සහ කලා ශිල්පීන් දහසකගේ සහභාගිත්වයෙන් දින දහයක් පුරා වීදි සංචිරයේ යෙදෙන මේ  පෙරහැර මංගල්‍යය හා සමාන වූ වෙනත් සංස්කෘතික මංගල්‍යයක් ලෝකයේ මුණ ගැසෙන්නේ නැත.  මේ කතා කරන මොහොත වෙන විට මහනුවර තව තවත් ලස්සන කරමින් ඇසළ මහා පෙරහර ආරම්භ වී තිබේ. මහනුවර ඇසළ පෙරහරේ වැදගත්ම අංගයක්වෙන හස්තීන්ගේ වස්ත්‍ර නිර්මාණය කිරීමේ භාග්‍ය කෙනකුට හිමි වේ නම් එය සැබවින්ම දුර්ලභ අවස්ථාවකි.

උතුම් වූ දළදා වහන්සේ වැඩම කරවන මංගල හස්තිරාජයාට සහ දෑලේ හස්තීන්ට පමණක් නොව ඇත් පන්තියේ කවුරුන් හෝ හස්තියෙකුට වස්ත්‍ර පූජා කරන්නට අවස්ථාවක් ලබා ගැනීම පහසු කටයුත්තක් නොවේ. මේ කතාව වසර හතරක් පුරාවට දළදා පෙරහැරේ ඇත්පන්තියේ හස්තින් වෙනුවෙන්  බතික් වස්ත්‍ර පූජාවන් කරන ලියක් පිළිබඳවයි.  නමින් අරුණි උත්පලා දිසානායක වෙන ඇය මෙවර ඇසළ පෙරහරට උඩරට බලා රැගෙන යන්නේ ඇයගේ දායකත්වයෙන් නිම වූ සිව්වැනි බතික් හස්ති වස්ත්‍රයයි. 

ලෝකයේ වඩාත් ජනප්‍රියතම සහ වැඩි වටිනාකමක් එකතු කරන විලාසිතාවක් ලෙස බතික් කලාවට අද හිමිව ඇත්තේ සුවිශේෂී තැනකි. ඒ අතරිනුත් සාමාන්‍ය බතික් නිර්මාණවලට එහා ගිය නව්‍යකරණය වූ මෝස්තර වර්ණ සහ රටා සහිත නිර්මාණවලට අපේ රටේ වගේම විදේශීය රටවලත් හිමි වෙන්නේ ඉහළ වටිනාකමකි. ඒ නිසාම දළදා පෙරහරට හස්ති වස්ත්‍ර පූජා කිරීම අතුරින් මෙම අවස්ථාව වඩාත් සුවිශේෂී වෙන්නේ එය දේශීය බතික් නිර්මාණයක් වීම නිසාමය. 

කොට්ටාව ප්‍රදේශයේ පදිංචි ඇය එම ප්‍රදේශයේම රජයේ ප්‍රසිද්ධ පාසලක ඉංග්‍රීසි ගුරිවරියක ලෙස කටයුතු කරන්නී වසර හතරක් පුරාවට සිදුකරන මෙම දුර්ලභ මහා පූජාකර්මය ගැන අත්දැකීම අප සමග බෙදාගත්තේ මෙලෙසිනි.

නොකඩවා සිව්වැනි වරටත් මෙවර දළදා පෙරහරට හස්තියෙකුට වස්ත්‍ර පූජා කරන්නට හැකි වූයේ මේ සියලු දෙනාගේම දායකත්වයෙන් බව ඇය පැවසූයේ නිහතමානී අඩම්බරකමකින්ය. පෙර වසරවල දී මෙන්ම තවත් නිර්මාණාත්මක බතික් වස්ත්‍රයක් හැකි උපරිම උසස් තත්වයෙන් නිර්මාණය කර මෙවරත් උඩරට ඇසළ පෙරහරේ හස්තියෙකුට පූජා කරන්නට ඇය වාසනාව උදාකර​ගෙන ඇත. ඒ අවසන් රන්දෝලී පෙරහරේ ගජනායක නිලමේ සමග පැමිණෙන හස්තියා වෙනුවෙනුයි. 

පළමු වසරේ දී කහ වර්ණයෙන් ද, දෙවැනි වසරේ දී තැඹිලි සහ සුදු වර්ණයෙන් ද, තෙවැනි වසරේ දී රතු මිශ්‍රව විචිත්‍රවත් වර්ණයන්ගෙන් සහ මෙවර නිල් සහ සුදු මිශ්‍රිත ඉතා ආකර්ෂණීය වස්ත්‍රයක් නිර්මාණය කරන්නට ඇය ඇතුඵ ඊට සම්බන්ධ වූ සියලු දෙනාට අවස්ථාව ලැබුණි. 

බතික් කලාව යොදාගෙන ඇඳුම් නිර්මාණය කිරීමට ඇයට තිබුණේ විශාල සිහිනයකි. ඒ අනුව අරුණිට අවශ්‍ය වූයේ තමන් කරණා කටයුත්ත ඉතා අනර්ඝ ලෙස සිදු කිරීමටයි. 

රාජා හස්තියාගෙන් පස්සේ ඇසළ පෙරහරේ හිත් ඇඳගන්නාසුලු හොඳම බතික් වස්ත්‍රයක් දැක ගන්නට ලැබුණේ ඉතාමත් කලාතුරකින්ය. ඒ නිසා බතික් නිර්මාණ ශිල්පිනියක් විදිහට පෙරහැරේ යන හස්තියකුට ඉස්තරම්ම විදිහේ බතික් වස්ත්‍රාභරණයක් පූජා කරන්න මට තිබුණේ පුදුම ආසාවක් වගේම ඒක හීනයක්’’. ඇය ඒ ගැන පැවසුවේ එලෙසයි.            

“මම බතික් කාලවට ආපු කාලේ ඉඳලාම මහනුවර පෙරහරේ ඇතුන් වෙනුවෙන් ඇඳුමක් නිර්මාණය කරන්න ලොකු හීනයක් තිබුණා. මේ කටයුත්ත ආරම්භ කරන මුල්ම වතාවේ දී සමහරු කිව්වා ඒක හිතන තරම් ලේසි කාරණයක් නෙවෙයි, අදහස අත්හැරගන්න කියලා. අන්තිමට දැඩි අධිෂ්ඨානය සහ මේ පිංකම කිරීමට තිබුණු ආසාවේ ප්‍රඵලයක් ලෙස මම ඒ මහා කුසල කර්මයට අතගැහුවා.”

ඇය තමන්ගේ ආත්ම විශ්වාසය පිළිබඳව තිබූ අසීමිත සතුට වචන බවට පෙරළුවේ ඒලෙසිනි . ‘‘එදා පටන් එක දිගට මම වසර හතරක් මේ කටයුත්ත සිදු කළා’’.  

“මෙවැනි සිතුවිල්ලක් පහළවීම වගේම එවැනි කටයුත්තක් සිදු කිරීම ද පහසු කාර්යයක් නෙමෙයි. ඒ සඳහා විශාල කැප කිරීමක් අවශ්‍යයි. ඇතුන්ට ඇඳුම් නිර්මාණයේ දී ඇතාගේ නිවැරදි මිමි හරියටම ලබාගත යුතුයි. ඇඳුමේ වර්ණ, විචිත්‍රවත් බව, උසස් බව තිබිය යුතුයි. ඒ නිසා ඇත්තටම මේ කාර්ය පහසු නැහැ. මම ආස කළේ පෙරහරේ දාතුන් වහන්සේලා ගෙන යන මඟුල් ඇතෙකුට මේ නිර්මාණය කරන්න. එවැනි අවස්ථාවක් ලබා ගැනීම පහසු කටයුත්තක් නොවෙයි. ඒක ලොකු වගකීමක් සහ භාරදූර කටයුත්තක්. මේ අවස්ථාව ගන්න මම උස්සාහ කරන වෙලාවේ කීප දෙනෙක්ම මට කිව්වා එහෙම කරන්න දෙන්නේ නැහැ. ඔයා ගෑනු ළමයෙක්. මහනුවර පෙරහරේ අලි ඇතුන්ට ඇඳුම් නිර්මාණය කරන්න පුළුවන් පාරම්පරික ඇඳුම් නිර්මාණ ශිල්පින්ට පමණයි කියලා. ඒ එක වචනයකින් වත් මම මගේ අදහස අත හැරියේ නැහැ. 

නමුත් මහනුවර පෙරහරේ  ඇතෙකුට ඇඳුමක් නිර්මාණය කරන්න ලැබුණු අවස්ථාව  ගැන මට තියෙන්නේ කියන්න බැරි තරම් සතුටක්. මේ වැඩේට අවසර ලැබුණු ගමන් මම මාළිගාවේ සංකෘතියට අදාළ චිත්‍ර අධ්‍යයනය කරලා  ඒ රටාවන් ගැන හොඳ හැදෑරීමක් කළා.  පස්සේ ඒවා එක්ක සංකලනය කරලා අපිටම ආවේණික වෙනස්ම බතික් රටාවන් මම නිර්මාණය කළා. 

සියලු වත් පිළිවෙත් කරලා,  පවුලේ හැමෝම නිර්මාංශ වුණා. ඒ වෙනුවෙන් වෙනම ස්ථානයක් සූදානම් කළා. පිරිත් නූල් වලින් වියනක් බැඳලා උස් ස්ථානයක හස්තියාගේ වස්ත්‍රයට අදාළ රෙදි තැන්පත් කළා. 

බතික් කිරීමේ දී රෙදි තම්බන එක තමයි ගොඩාක්ම අමාරු වුණේ. වස්ත්‍රය නිර්මාණය කරන රෙදි ප්‍රමාණය ඉතා විශාල නිසා රෙදි බතික් කරන්න දවස් ගණනාවක් ගියා. රෑ එළිවෙනකම් වැඩ කරපු දවසුත් තිබුණා.’’ 
ඇසළ පෙරහරේ හස්තියකුගේ ඇඳුම නිර්මාණය කිරීමේ දී තමන්ට කැමති ලෙස එය නිර්මාණය කළ නොහැකියි. ඒ සඳහා විශේෂිත වූ බොහෝ කරුණු කාරණා තිබෙනවා. වර්ණ සංකලණයන් සහ ඒ සඳහා යොදා ගන්නා මොස්තර, මේ සියල්ල හොඳින් නිරීක්ෂණය කළ යුතුයි. 

මම මුලින්ම මාළිගාවේ ඇත් පන්තිය භාර  වෛද්‍ය මියනපළාව ව හමු වුණා. හමු වෙලා ඔහු මා කළ අනෙක් බතික් නිරීක්ෂණය කළා.  බතික් ‘මොඩන් ආර්ට්’ පැත්තට බර කරලා තමයි මම මේ හස්තීන්ට ඇඳුම් නිර්මාණය කරන්නේ.’’ 

ඇය දැරූ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මීට වසර හතරකට පෙර ඇයට ලැබුණු මෙම වටිනා අවස්ථාව නොකඩවා එක දිගට කරගෙන යන බව ඇය පැව සූයේ ඉමහත් වූ භක්තියකිනි. මේ වෙන විට මේ හස්ති බතික් වස්ත්‍රයේ වැඩ අවසන් කර දළදා මාළිගාවට භාර දී අවසන්ය. ඒ වෙනුවෙන් සෑම පැත්තෙන්ම උදවු වූ ඇයගේ පවුලේ උදවිය, හිතවතුන් සහ කාර්ය මණ්ඩලය ඇතුඵ සියලුම දෙනාවම ඇය ආදරයෙන් සහ ස්තූති පූර්වකව සිහිපත් කළාය.

මුලින්ම බොහෝ අපහසුතාවලට මුහුණ දෙන්න සිදුවුණා. විශාල ප්‍රමාණයේ රෙදි නිසා එවැනි එකකට සිතුවම් යෙදීමේ දී අභියෝග මතුවුණා. විශේෂයෙන් පළමු සහ දෙවැනි නිර්මාණවල දී රෙදි සහ තීන්ත අපතේ ගියා. මොකද, එකවරම වර්ණ හදා ගන්න අමරු වුණ නිසා සාම්පල් කිහිපයක්ම කරන්න සිදු වුණා. රෙදි කැපීමේ ඉඳලා අන්තිමට අවසන් වෙනකල්ම මේක ලොකු අභියෝගයක්.

විශේෂයෙන් මේ නිර්මාණවල දී අපේ සංස්කෘතිය, සිංහල අනනන්‍යතාව සුරැකීම ඉතාම වැදගත්. මෝස්තරවල තිබෙන සංකීර්ණ බව නිසා ඒවා සාරියක් නිර්මාණ කරනවා වගේ පහසුවෙන් නිම කරන්න බැහැ. අඩි එකොළහේ එකොළහේ වගේ රෙද්දක් එහාට මෙහාට කරගන්න අමාරුයි. මොකද, ඩිසයින් කළාට පස්සේ මේ රෙද්ද හරි බරයි. ඒ නිසා මේ නිර්මාණය කරද්දී ලොකු වෙහෙසක් දරන්න සිදු වෙනවා. බතික් කරද්දි විවිධ ගැටලු මතු වෙනවා. ඒ සියල්ලට මුහුණ දෙමින් තමයි මේ කටයුත්ත සිදු කළේ.

නයනා උදයංගනී