ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ සුපිරිතම කෙටි ධාවන ශූරිය ලෙස සැලකෙන සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කම දිනා පසුගිය සැප්තැම්බර් 28 වැනිදාට වසර 25 ක් පිරුණි.
වසර 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී ඇය මීටර 200 (කාන්තා) ඉසව්වෙන් තත්පර 22.45 කට ලෝකඩ පදක්කම දිනා ගත්තේ කෙටි ධාවන ඉසව්වකින් ආසියාවෙන්ම ඔලිම්පික් පදක්කමක් දිනා ගත් පළමු ක්‍රීඩිකාව වෙමිනි. එහි රිදී ජුබිලි සංවත්සරය සමරන අදටත් එය වෙනස් නොවී පැවතීමෙන් සුසන්තිකාගේ එම සුපිරි දක්ෂතාවය තවදුරටත් ලඝු නොවේ.
වසර 2000 සැප්තැම්බර් 28 වැනිදා සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී ඇය විසින් මීටර 200 (කාන්තා) ඉසව්වෙන් හිමි කර ගත්තේ ලෝකඩ පදක්කමක් වුවත් එයින් වසර 10 කට පසුව ඇයට එහි රිදී පදක්කම හිමි කර ගැනීමේ භාග්‍යය හිමි වූවාය. සුසන්තිකා සමග එදින තරග වැදුණු එම ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් ඇමැරිකානු සුපිරි ධාවන ශූරී මේරියන්ස් ජෝන් තහනම් උත්තේජක භාවිත කරමින් සිඩ්නි ඔලිම්පික් උළෙලට තරග වැදුණු බවට විමර්ශනවලදී අනාවරණය වීමෙන් එහි මීටර 200 (කාන්තා) ඉසව්වේ නිල ප්‍රතිපලය සංශෝධනය කිරීම මෙම තත්ත්වයට හේතු විය.
එහෙත් ඒ පිළිබඳව වැටහීමක් ක්‍රීඩා අමාත්‍යාංශයට හෝ ජාතික ඔලිම්පික් කමිටුවට නොතිබුණු බව ඔවුන්ගේ නිහඬතාවයෙන් පැහැදිළි විය.
එහි ඇති ඉතාම කනගාටුදායක තත්ත්වය වන්නේ සුසන්තිකා ආසියාවේ කළු වෙළඹ ලෙස එදා අන්වර්ථ නාම ලබන විට ඒ මොහොතේ විදුලිපුර විදුලි ධාවකයා ලෙස ආසියාවේම අවධානය දිනා ගත් ඇගේ සමකාලීනයෙකු වන සුගත් තිලකරත්න ක්‍රීඩා නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මෙවැනි ලඝු තත්ත්වයක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ප්‍රකට වීමය.
ශ්‍රී ලංකාවේ තත්ත්වය මෙය වුවත් සුසන්තිකා මේ වන විට පදිංචිව සිටින ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී සමරු උත්සවයක් සංවිධානය කිරීමට එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවට ආදර්ශයක් ලබා දුන්නාය.
ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර කොලොම්බාර් තානායම් පරිශ්‍රයේදී එය සංවිධානය කළේ Lions Club Plenty Valley සමග සුසන්තිකා ජයසිංහ මිතුදම් (Friendship Group)) සංවිධානය සහ Australian -Sri lankan Community විසිනි. සුසන්තිකා පුහුණුවීම් මෙහෙයවKnox මලල ක්‍රීඩා සමාජයේ සභාපති Brad Krawczyk ඇතුළු ශ්‍රී ලාංකිකෙයා් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
මේ වන විට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ක්‍රීඩා වැඩසටහන් නිෂ්පාදකවරියක වන ශ්‍රී ලංකා ජාතික කබඩි (කාන්තා) කණ්ඩායමේ හිටපු නායිකාවකද වන කුමාරි මානෙල් හා ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු ලේකම්, අයි.ටී.එන්. මාධ්‍ය ජාලයේ හිටපු ක්‍රීඩා වැඩසටහන් නිෂ්පාදක චතූක දිවසර මහතා මෙම සමරු උත්සවය මෙහෙය වූහ.
‘‘මට හොඳටම සලකපු එකම ශ්‍රී ලාංකිකයා ශම්මි සිල්වායි’’ - සුසන්තිකා
මගේ ජීවිතයේ සාර්ථකත්වය මගේ අම්මා-තාත්තයි. ඒ දෙන්නම පසුගිය අවුරුද්දකුත් මාස දෙකක වගේ කාලයක් ඇතුළත නැති වුණා. පසුගිය කාලයේදී රටේ මට ලොකු තැනක් ලැබුණෙත් නෑ. මෙහෙම මේ කාලයේ මෙහාට එන්න වෙයි කියලා හිතුවෙත් නෑ.
මම ඇමැතිවරු 11 දෙනෙකුගේ උපදේශකවරයෙකු වෙලා හිටියා. ඒත් ඔවුන් මගෙන් ගත්ත උපදේශයක් නෑ. ලබන දෙසැම්බර් 17 වැනිදාට මට අවුරුදු පනහක් වෙනවා. හොඳට කන් ඇහෙන, ඇස් පේන කාලයේ රටට මට සේවයක් කරන්න කාලයක් ලැබුණේ නෑ. අවුරුදු 22 ක් ක්‍රීඩා කරලා අන්තිමේදී රට අත්ඇරලා එන්න වුණා.
එදා මම පුහුණුවට ඇමැරිකාවේ යන කොට මට ඉංග්‍රීසියෙන් බඩගිනියි කියලා කියා ගන්න තරම්වත් ඉංග්‍රීසි දැනුමක් මට තිබ්බේ නෑ. මම රටට ආදරේ වුණාට රටට සේවය කරන්න මට ඉඩ ලැබුණේ නෑ. මගේ පුතා කොළඹ රාජකීය විදුහලට දාන්න මාස තුනක් පුතාව ගෙදර තියාගෙන බලා ගෙන ඉන්න වුණා. දුව කොළඹ විශාඛා විදුහලට දාන්න මාස හයක් බලා ගෙන ඉන්න වුණා.
මෙහෙම මම ඉන්නකොට දේශපාලනයට ගිහිල්ලාවත් බලමු කියලා දේශපාලනයට ගියාම ඒකෙන් තියන එකත් මට නැති වුණා. මෙහෙම මට අවුරුදු 45 ක් වෙනකන් මගෙන් රට වැඩක් ගත්තේ නෑ. අපරාදේ අපි නිකන්ම මැරිලා යනවා නේද කියලා හිතුනා. ක්‍රීඩා ඇමැතිවරු යනවා එනවා. නමුත් වැඩක් නෑ. මොකද ඔවුන්ට නිසි මගපෙන්වන්නන් හිටියේ නෑ.
රටේ දක්ෂයෝ ඉන්නවා. ඇමැතිවරු මාරු වෙනවා දකිනවා. නමුත් කිසි දවසක රටේ වැඩක් නිවැරදිව සිද්ධ වෙනවා දැක්කේ නෑ. ටෝනි කැම්බල් මහතා මට ආදරයෙන් පුහුණුවීම් කළා. ඒ වුණාට ලංකාවේ පුහුණුකරුවන් ගන්න. ඔවුන් ඇඳගෙන ඉන්න විදියේවත් පිළිවෙළක් නෑ. කලින් දවසේ රෑ පාටියට ගිය සුවඳ ඊළඟ දවසේ ඔවුන්ගේ ඇගෙන් දැනෙනවා. දුවනකොට ඒ අය ළමයින්ට කතා කරන්න දන්නේ නෑ. පහත් විදියට ඕයි කියලත් කතා කරනවා. අපේ බොහෝ පුහුණුකරුවන්ගේ තත්ත්වය ඕකයි.
ගමට ක්‍රීඩාව ගෙනියන්න කතා කරනවා. නමුත් දැන් මිනිස්සුන්ට තේරෙනවා රටේ මොනවද වෙන්නේ කියල. පිස්සුවටද දුවන්නේ අර සුසන්තිකාට මොකද වෙලා තියෙන්නේ කියලා රටේ ජනතාවම කියනවා. අද රටේ ක්‍රිකට් ගහන්න තිබෙන උනන්දුව විතරයි. ඒත් ඒක හැමෝටම කරන්න බෑ. ක්‍රිකට් ගැන කියන කොට මට කියන්නම වෙනවා, මට හොඳම වටිනාකම දුන්න එකම ශ්‍රී ලාංකිකයා ශම්මි සිල්වා යි.
ඔහු මට ලක්ෂ පහක පඩියක් දුන්නා. මට හිතා ගන්න බෑ. ඔහු හරිම වටිනාකමක් මට දුන්නා. පඩි දුන්නා. තෙල් දුන්නා. අත්සන් කරන්න මට වෙලාවක් දාලා තිබ්බෙ නෑ. අඩු තරමින් මගේ වටිනාකමට පිළිගැනීමේ නිලධාරිනියක් ලෙසවත් මට එදා ක්‍රීඩා අමාත්‍යාංශයේ රැකියාවක් ලැබුණේ නෑ. එහෙම වුණා නම් ඒ රැකියාවේ මට කරන්න දෙයක් නැතිවුණත් අඩු තරමින් එහි යන එන අයට හෙලෝ අයි ඈම් ඔලිම්පික් මෙඩ්ලිස්ට් කියලාවත් ඒ අයට මට කියන්න තිබුණා.
දැන් මගේ ඔලිම්පික් පදක්කමට වසර 25 ක් වෙනවා. අඩු තරමින් ඔලිම්පික් කමිටුව මට මේ වෙනකන් වතුර වීදුරුවක් දීලා නෑ. ලංකාවේ දැන් ජීවත් වෙන එක හිතා ගන්නවත් බෑ. මම ඇද කියන්නේ නෑ. දැන් මට ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ උදව් කරනවා. මගේ අධිෂ්ඨානය තමයි ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකික ළමයින්ට හොඳ පුහුණුවක් ලබාදීලා ඔවුන්ට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදින්න අවස්ථාව උදා කර දීම.
නාමල් පතිරගේ