
කොළඹදී ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම විසින් තමන්ට වඩාත්ම ඉහළින් සිටි තුර්ක්මෙනිස්ථානය ආසියානු කුසලාන (2027) නිර්දේශ තරග වටයේදී පරාජය කිරීමෙන් ලද ගෞරවය යළිත් දින කීපයකට පසුව අර්කාඩැග් නුවරදී උදුරා ගැනීමට තුර්ක්මෙනිස්ථානය සමත් වුණත් ජාත්‍යන්තර පාපන්දු තරග වාර්තා පොතට ශ්‍රී ලංකාව අලුතින් එක්වීමට එම සිදුවීම හේතු විය.
එයින් ශ්‍රී ලංකාව ලෝක පාපන්දු (පිරිමි - කණ්ඩායම්) ශ්‍රේණිගත කිරීම් අනුව 191 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් විය. එහිදී 207 තරම් මෑත කාලයේදී ඉතාම පහළ තැනක සිටි ශ්‍රී ලංකාව දශකයකට පමණ පසුව එම ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළම ස්ථානයකට පැමිණීමට සමත්ව සිටියි.
වසර 2026 මාර්තු 21 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු කුසලාන (2027 - සෞදි අරාබිය) පාපන්දු තරගාවලියේ අවසන් වටයට කණ්ඩායම් 24 සම්පූර්ණ කර ගැනීම සඳහා දැන් පැවැත්වෙන නිර්දේශ තෙවැනි වටය යටතේ ශ්‍රී ලංකාව ඩී කාණ්ඩයෙන් තරග වදියි. එහිදී මෙතෙක් පැවැති තරගවලදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරග ඉතිහාසයේ පළමු වතාවට තුර්ක්මෙනිස්ථානය පරාජයට පත් කිරීමට (1 - 0) සමත් විය. මෙම තරග වටයේදී මේ වන විට ශ්‍රී ලංකාව ප්‍රබල චීන - තායිපේ ගෝල 3 - 1 කින් පරාජය කිරීමටද සමත්ව සිටියි.
කොළඹදී තරගය පවත්වන විට ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව පසුවූයේ 197 වැනි ස්ථානයේය. එවිට තුර්ක්මෙනිස්ථානය එහි කල් ගෙවූයේ 138 ස්ථානය තරම් ඉහළම ස්ථානයකය. එසේ තිබියදී ඔවුන් පරාජය කිරීමෙන් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන (2027) ඩී කාණ්ඩයෙන් යම් බලාපොරොත්තු තබමින් ඉදිරියට පැමිණීමට සමත් විය.
එසේ වූවත් නැවැත දින කීපයකට පසුව පසුගිය අඟහරුවාදා (14) සිය අගනුවරදී දෙරට මුණ ගැසුණු තරගයෙන් ගෝල 2 - 1 කට ශ්‍රී ලංකාව ඔවුන්ට පරාජය විය. එයින් ශ්‍රී ලංකාවේ ලෝක තත්වයට සුළු බලපෑමක් එල්ල විය. ඒ ශ්‍රී ලංකාවට ලෝක ශ්‍රේණිගත කිරීම්හි 191 සිට 193 වැනි ස්ථානය දක්වා යළි සුළු බැස්මක් පෙන්නුම් කළේය. ෆීෆා ලෝක පාපන්දු ශ්‍රේණිගත (පිරිමි කණ්ඩායම්) මීළඟ යාවත්කාලීන කිරීම ලබන බදාදාට (22) යෙදී තිබේ.
කෙසේ වුවත් ශ්‍රී ලංකාව වත්මන් පුහුණුකරු කුවේට් ජාතික අබ්දුල්ලා අල් මුතායිරි මහතා යටතේ පසුගිය වසරක පමණ කාලය තුළදී ධනාත්මක නැගිටීමක් පෙන්නුම් කරයි. එකී කාලය යෙහිදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තරග 12 කට සහභාගි වෙමින් ඉන් තරග පහක් ජය ගෙන දෙකක් සම කර තිබේ. ඉතිරි තරග පහක් පරාජයවී තිබේ.
මෑත කාලීනව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරග බිමේ අත් කර ගත් ප්‍රගතිය විමසීමේදී ඒ සඳහා වන වැදගත් සාධක දෙකක් කෙරෙහි ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ වත්මන් සභාපති ජස්වර් උමාර් මහතාගේ අවධානය යොමු විය. එහි සාර්ථකත්වයක් මේ වන විට ලැබෙමින් පවතී. ඔහුගේ අදහස වූයේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරග පිටියේ ඉදිරියට යාමට නම් වැඩි ජාත්‍යන්තර තරග සහභාගිත්වයක් ලබා ගත යුතුය යන්නයි. දෙවැන්න වූයේ දියුණු පාපන්දු ක්‍රීඩාවක් පවතින විශේෂයෙන්ම යුරෝපයේ ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කිරීමයි.
එහිදී ජස්වර් මහතාගේ අවධානය දිනා ගත්තේ යුරෝපා රටවල ලීග් ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික සම්භයකින් යුත් ද්විත්ව පුරවැසිලාභී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්‍් ය. ඒ අනුව ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතයේ මේ වන විට කල් ගෙවන ක්‍රීඩකයන් බහුතරයක්ම එවැනි විදේශ රටවලින් ගෙන්වා ගත් අය වෙති.
මේ නිසා බැලූ බැල්මටම ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ශ්‍රී ලාංකික බවකට වඩා පෙනෙන්නේ කිසියම් විදේශීය මුහුණුවරක්ය. ක්‍රීඩකයන්ගේ පෙනුමෙන් මෙන්ම නම්වලින්ද එවැනි හැගීමක් කෙනෙකුට ඇතිවීම පුදුමයට කරුණක් නොවේ.
සමහරු වත්මන් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ සමූහ ඡායාරූපයක් දුටු විට එවැනි කතා කීමට පෙලඹී සිටිති. එම තත්වය දෙස වෙනත් ආකල්පයකින් දකින පාපන්දු ප්‍රවීණයෝද වෙති. ඔවුන් පවසන්නේ එයින් මෙරට ක්‍රීඩා සමාජ වලින් ජාතික කණ්ඩායමට එක්වීමට බලා සිටින ආධුනික ක්‍රීඩකයන්ගේ අවස්ථාව අවම වෙමින් පවතින බවයි.
එසේවූවත් ජස්වර් මහතාගේ ජාතික පාපන්දු කණ්ඩායම ප්‍රවර්ධනය කිරීමේ ඉහත සංකල්පය සාර්ථකවී ඇතිවා සේම එහි වරදක්ද නොපෙනෙන බව බොහෝ පාපන්දු විචාරකයන්ගේ අදහසයි.
මෙය පාපන්දු ක්‍රීඩාවට පමණක් නොව පොදුවේ බොහෝ ක්‍රීඩාවලට විශේෂයෙන්ම දියුණු ක්‍රීඩාවක් පවතින ඇමරිකාව ඇතුළුව යුරෝපා රටවල් මෙන්ම වෙනත් දියුණු රටවල් අනුගමනය කරන ක්‍රම වේදයකි.ඒ සදහා විශාල වියදමක්ද දැරිය යුතුව ඇත.
කෙසේ වුවත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ජාත්‍යන්තරව නගා සිටුවීම සදහා මෙතෙක් කලක් අනුගමනය කළ ක්‍රියාමාර්ග සියල්ලටම වඩා ජස්වර් උමාර් මහතාගේ සංකල්පය ඉදිරියට පැමිණ තිබෙන තත්වයක් තුළ එය පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පෙලඹී සිටියි.
නාමල් පතිරගේ


