විශ්ව ශක්තිය ජීවිතයට අද්දවන ’මුතු’


සඳු කෙතරම් සෞම්‍ය ද? සඳෙන් ගෙනෙන කිරණ අපගේ සිත කය නිවන බවක් ඔබට දැනී තිබේද? එය හාස්කමක්. ඒ වගේ සඳු තරම්ම සෞම්‍ය ‘මුතු’ ජීවිතයට ගෙනෙන හාස්කම් පිළිබඳවයි මේ කතාව. ජීවිතයේ නොයෙකුත් ක්‍රියාකාරකම් හමුවේ නොසන්සුන්භාවයට පැමිණෙන සිත් සන්සුන් කර ගැනීමේ අතිමහත් හාස්කමක් ඇති වස්තුවක් ලෙස  හඳුන්වන ‘මුතු’   තුළින් ජීවිතයට ලබාදෙන විශ්ව ශක්තිය පිළිබඳවයි  ඉරණම විශේෂාංගය තුළින් අද කතාබහ.

 


අඩි එකසිය විස්සකට වඩා ගැඹුරු මුහුදේ මුතු බෙල්ලා ලෙස ජීවත් වෙන සත්වයා තුළ සොබා දහමින්ම නිර්මාණය වන මුතු ලෝකයේ මිල කළ නොහැකි  තරමේ වටිනාකමින්  යුක්තයි. මීට වසර දහස් ගණනකට පෙර  සිටි රජවරු පවා කිමිදීමට වෙනම කණ්ඩායමක් යොදවා මුහුදු පතුලේ මුතු සෙව්වේ සොබාදහම විසින් නිර්මාණය කරන මේ අති අනර්ඝ මුතුවල ඇති අතිවිශාල වටිනාකම සහ දුර්ලභකම නිසාමයි. ස්වාභාවික මුතු කියන්නේ ඉතාම දුර්ලභ දෙයක්. මිලිමීටර් එකක දෙකක මුතු ඇටයක් හට ගන්නේ මුතු බෙල්ලන් දාහකින් එකක වගේ. එය මිලි මීටර් පහක පමණ මුතු ඇටයක් නම් එය ලෝකෙටම මහඟු වස්තුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. 


සාමාන්‍යයෙන් කැරට් එකක පමණ මුතු කැටයක් රුපියල් ලක්ෂ පහළොවක් පමණ වෙනවා වගේම එක එක කාල සීමාවන් අනුව මිල ගණන් වෙනස් වෙනවා. 
වටිනා සම්පත් ලෙස සැලකෙන මැණික්වලට සමානම අධික වටිනාකමක් ඇති ‘මුතු’  මුතුබෙල්ලා නමැති සත්වයාගේ කටුවත් මස් වැදැල්ලත් අතරින් ලබාගන්නා දෙයක්. මේ කියන මුතු  ඉන්දියන් සාගරය, අරාබි මුහුද සහ දකුණු මුහුද ආදියෙහි හමුවනවා වගේම  අපේ රටේ මන්නාරම මුහුදු තීරයේ මුතු හලාවතින් හමුවූ මුතු ලෝකයේ ලස්සනම මුතු ලෙස පිළිගැනෙනවා. ඒ වගේම අද වෙනකොට පරිසර දූෂණය හේතුවෙන් ගැඹුරු මුහුදේ මුතු බෙල්ලන් සියල්ල පාහේ වඳවීමේ තර්ජනයට මුහුණ දී  තියෙනවා.  අද වන විට ස්වාභාවිකව වැඩෙන මුතු දුර්ලභ නිසා ලෝකයේ කෘත්‍රිම ලෙස මුතු බෙල්ලන් වගා කිරීමෙන්ද මුතු ලබාගැනීම සිදුවෙනවා. එහෙත් වඩාත් ගුණාත්මක වැඩි වටිනාකමක් තියෙන්නේ ස්වභාවිකව මුහුදු පත්ලේ වැඩෙන බෙල්ලාගේ මුතුවල. මුතු වගා කරන වතුර දෙකක් තිබෙනවා. ඒ නම්  හොඳ මිරිදිය වතුරේ සහ අනෙක ලුණු වතුරේ. මේ අතරේ මුතු වගා කරන රටවල් බොහොමයක් තිබෙනවා. ඒ අතරින් ඇමෙරිකාවේ, නෙදර්ලන්තයේ, බෙල්ජියමේ, ප්‍රංශයේ, ජර්මනිය, අයර්ලන්තය, ඕස්ට්‍රේලියා, ඩෙන්මාර්ක් මේ වගේ රටවල් ගණනාවක මුතු කර්මාන්තයක් විධියට වගා කරනවා. නමුත් මේ කියන කෘත්‍රිමව හදන මුතු වටිනාකමින් බොහෝ අඩු වගේම ඒවා අලංකාරයට පැලඳුවත් අපල සඳහා පැලඳීම හෝ විශ්ව ශක්තියේ ආශිර්වාදය සඳහා පැලඳීම සුදුසු වන්නේ නැහැ.


‘මුතු’ වල විශ්ව ශක්තිය ඔබේ ජීවිතයට බලපාන්නේ 
කෙසේද ?


ග්‍රහ පවුලේ මව ලෙස හඳුන්වන සඳු ග්‍රහයාට හිමි වස්තුව ලෙස ද අපි හඳුන්වන්නේ  මුතු. එසේම සඳු යනු සිතට අධිපති ග්‍රහයායි. විශේෂයෙන් සඳුගේ අපලය සඳහා මැණික් විද්‍යාවේ මුතු පැලඳීම කරන අතර ඕනෑම කෙනෙකුට මුතු ළඟ තබා ගැනීමෙනුත් නරකක් වන්නේ නැහැ. මුතු පැලඳීමෙන් කායික මානසික සහනය අනිවාර්‌යයෙන්ම ළඟාවෙනවා. ඒ වගේම මුතු පැලඳීමේ දී රිදී ලෝහයෙන්  මුතු මුදුවකට ඔබ්බවා එය ශරීරයේ ස්පර්ශ වන ලෙස පැලඳීමෙන් ස්නායු දුර්වලතා නැතිවීම, අංශභාගය වැනි රෝග සුවවීම, උමතු ගති නැතිවී යෑම වැනි රෝග රැසකට ගුණ ලැබෙනවා.


ඒ වගේම කාන්තාවගේ රුව වැඩි කිරීම හා මුහුණේ පැහැපත් බව රැකීම මුතු ඇටයේ විශ්ව ශක්ති බලය වේ. මුතු පැලඳීම තුළ රූප ස්වභාවය වැඩිවනවා සේම රාජ රාජ මහාමාත්‍ය ඇසුර, පිළිගැනීම, දකින්නන්ට ප්‍රිය උපදවීම සිදුවේ. එපමණක් නොව අරාබිකරයේ රටවල සෞභාග්‍යයේ සංකේතය ලෙස මුතු පැලඳීම සහ ළඟ තබාගැනීමට ඔවුහු වඩාත් ප්‍රිය කරති.  මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මුතුවල පවතින බලය පුරුෂ පක්ෂයට වඩා කාන්තා පාර්ශ්වයට ඉතා හොඳින් ලබාගත හැකිවීමයි. කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ ඇති දෝෂ මඟහරවා ගැනීමටත් මෙය ඉතාම ගුණදායක වෙනවා.  එහෙත් ආවාට ගියාට මුතු පැලඳීම සුදුසු නොවන අතර එය ජ්‍යොතිෂ උපදෙස් මත නිසි ලෙස සිදුකිරීම වැදගත් වෙනවා.


එහිදී මුතුවලට අධිපති ග්‍රහයා වන සඳු අදාළ ජන්මියාගේ භාව කේන්දරයේ සිටින ස්ථානය ගැන සලකා බලා මුතු පැලඳීමට නිර්දේශ කිරීම ඉතාම වැදගත්. ඒවගේම සඳු ග්‍රහයා භාව කේන්දරයේ උච්ච ස්වක්ෂේත්‍ර හෝ මිත්‍ර බලයෙන් සිටී නම් හෝ එම සඳු ජන්මියාගේ යෝගකාරක ග්‍රහයා වී නම් මුතු පැලඳීම තුළින් බොහෝ සුබපල අත්කර  ගැනීමේ හැකියාව පවතිනවා සේම සඳු ග්‍රහයා වෘෂභ, කටක, සිංහ, කන්‍යා වැනි රාශියක වේ නම් ඉහත සඳහන් සියලු සුබපල අඩුවක් නොමැතිව හිමිකර ගැනීමේ වාසනාව හිමිවෙනවා.  එමෙන්ම මුතු පැලඳීමෙන් එය හිමි පුද්ගලයාගේ ධනය, වත්කම තව තවත් වැඩි කරවනවා සේම මානසික නිරවුල්තාව ඇතිකරදෙන බවත් සමාජයේ මුල් බැසගෙන ඇති විශ්‍වාසයයි. 

“එංගලන්තයේ එළිසබෙත් රැජින, ඩයනා කුමරිය ආදී රාජ කුමාරිකාවන් සහ එළිසබත් ටේලර් වැනි ධන කුවේරයන්  මුතු පැලඳීමේ රුචිකත්වයක් දැක්වීම ද මුතුවල විශ්ව ශක්තිය මනාව පිළිබිඹු වනු ඇත”. ඒ වගේම මුතුවල පාට  වර්ණයන් ගණනාවක්  තියෙනවා,


සුදු, කළු මුතු , (රත්රන් පැහැති) චොකලට් පර්ල්ස්, දම් පැහැය,


ලැවෙන්ඩා පාට මුතු, එතකොට සිල්වර් පර්ල්ස්, ඒ වගේම කට්ට කළු, නිලට හුරු කළු, කොළ පාටට හුරු කළු වැනි වර්ණවලිනුත් මුතු  දැකගන්න ලැබෙනවා. 
බොහෝ රටවල තම ආදරවන්තයා ආදරවන්තියට පිදෙන නම්බුකාර තිළිණය ලෙස ද මුතු එබ්බවූ ආභරණයක් ප්‍රදානය කිරීම මුතු හා බැඳි සුවිශේෂි කරුණක්. එහෙත් ස්වාභාවික කැරට් එකක පමණ මුතු කැටයක් සොයාගැනීම කළුනික සොයාගන්නවාට වඩා දුර්ලභ කාර්යයක් වනු ඇත.

 

 

■ නදීශා අතුකෝරළ

 

 

 අදහස් - මැණික් පිළිබඳ උපදේශක සහ විශේෂඥ
මිලින්ද එදිරිසිංහ