වැඳ ඉටු දෙවියන් නිසි ලෙස සුරුකෙමු අපි සැම නිරතුරු


‘ඉෂ්ටකාමි දෙවියන්’ හෙවත් ‘ඉටු දෙවියන්’ වන්දනාමාන කිරීම අතීතයේ පටන්ම අප සමාජයේ පැවැති චාරිත්‍රයකි. නිවැරැදි අයුරින් ඉටු දෙවියන් වන්දනාමාන කර පිහිට ලබාගන්නේ කෙසේද යන්න විමසා බැලීමේ අරමුණින් තැබෙන සටහනකි මේ.

ප්‍ර ඉෂ්ටකාමි දෙවි කෙනෙක් කියන්නේ කවුද කියන කාරණාව මුලින්ම පැහැදිලි කරගත්තොත්?

“ඇත්තෙන්ම අපි අදහන සහ වඳින පුදන දෙවි දේවතාවුන් වහන්සේලා කිහිප දෙනෙක්ම ඉන්නවා. යම් කිසි කෙනකුගේ ඉටු දෙවියන් තීරණය කරද්දී සලකා බලන මූලිකම කාරණාත් කිහිපයක්ම තිබෙනවා. එතැනදී උපන් වේලාව, හෝරාව, නැකැත, නවාංශකය සහ අදාළ කෙනාගේ ලග්නය කියන කාරණා විශේෂයෙන්ම සලකා බලනවා. ඒ ඒ කාරණා අනුව පුද්ගලයන්ගේ ඉෂ්ටකාමි දේවතාවුන් වහන්සේලා වෙනස් වෙනවා.

ඒ වගේම සසර පුරාම අප සමග ගමන් කරන ඉෂ්ටකාමි දේවතාවුන් වහන්සේලාත් බොහෝ සෙයින් ඉන්නවා. ඇත්තෙන්ම ඒ අය අල්පේශාක්‍ය දේව කොට්ඨාස විදිහට තමා හඳුන්වා දෙන්න පුළුවන්. බොහෝ විට ඒ උදවිය සසර පුරාම අප හා ගනුදෙනු කරන අපේ මවුපියන් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම අපේ ඥාතීන් සහ ගුරුවරුන් වගේම ඇතැම් සාංසාරික කල්‍යාණ මිත්‍රයන් ද අපේ ඉටුදෙවියන් විදිහට පෙනී ඉන්න තැන් තියෙනවා.

ඒ වගේම අපි කුසල් දහම් වඩද්දී, එහෙමත් නැත්නම් පින්කම්වල වැඩි වශයෙන් නිරත වෙද්දීත් අපට දේවාකර්ෂණය ලැබෙනවා. විශේෂයෙන්ම දේවතා බලි දෙන තැනැත්තන්ට ඉෂ්ටකාමි දෙවියන්ගේ රැකවරණයට අමතරව අප විසින් වඳින පුදන හා අදහනු ලබන මහේශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණය හිමි වෙනවා. විෂ්ණු, කතරගම, සමන්, පත්තිනි, ගම්බාර සහ විභීෂණ කියන දෙවි දේවතාවුන් වහන්සේලා අදහනවා නම් ඒ ඒ දෙවිවරුන්ගේ අන්තේවාසික දේවතා කොට්ඨාස නිරතුරුවම අදාළ තැනැත්තාට ආරක්ෂාව සලසනවා. එතැනදී ඒ ඒ ලග්නයට අදාළ ඉටු දෙවියාගෙන් සැලසෙන රැකවරණයට වඩා සුවිශේෂි පිහිටාශීර්වාදයක් සැලසෙන බව තමා බොහොමයක් උදවිය විශ්වාස කරන්නේ. මීට අමතරව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවත් සමග සිදු කරන හිරු දෙවියන් හෙවත් සූර්ය දෙවියන් වන්දනාමාන කිරීමත් එක්තරා විදිහකට ඉෂ්ටකාමි දෙවියන් ඇදහිල්ලක් හෙවත් වන්දනාමාන කිරීමක් විදිහටත් හඳුන්වා දෙන්න පුළුවන්.”

ප්‍ර ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට පින් දීම මොන ආකාරයට ද කළ යුත්තේ?

“මූලිකවම කළ යුත්තේ තමන්ට අදාළ ඉෂ්ටකාමි දෙවියන් කවුද කියන එක නියමාකාරයෙන් හඳුනාගැනීම. ඉන් අනතුරුව සාංසාරිකව හෝ ලග්නාරූපීව හෝ තමන්ට අදාළ වන ඉටු දෙවියාට පින් දිය යුතුයි. මෙතැනදී තමන් විසින් කරනු ලබන පින්කම් හා විවිධ කුසල ක්‍රියාත් අදාළ කරගන්න පුළුවන්. එකී කුසල් තම තමන්ගේ ඉෂ්ටකාමි දෙවි දේවතාවුන් වහන්සේලාගේ නාමය සිහිපත් කරමින්ම අනුමෝදන් කිරීම ඉතා වැදගත්.

එසේ පුණ්‍යානුමෝදනා එක්කාසු කිරීමෙන් අනතුරුව තම තමන්ගේ ජීවිත වගේම අන් අයගේ ජීවිතත්, රැකී රක්ෂාදිය මෙන්ම තම තමන්ගේ බව භෝගාදියත් රැක දෙන්න කියලා ඒ දෙවියන්ට කන්නලවුවක් කරන්න පුළුවන්. ඒක තමා සාමාන්‍ය ක්‍රමවේදය.”

ප්‍ර හරියාකාරයෙන් දේවතානුස්මරණය කරමින් පුද පූජා පවත්වන විදිහ ගැනත් යමක් පැවැසුවොත්?

“ඒ ඒ දෙවිවරුන්ට අදාළ දින වගේම සිද්ධස්ථානාදියත් තියෙනවා. ඒ විදිහට යම් නිශ්චිත තැනක් තෝරාගෙන නිශ්චිත දිනෙක ඒ ඒ දෙවිවරුන්ට අදාළ පලතුරු, රසකැවිලි, සළුපිළි මෙන්ම යාගහෝමාදියත් සම්බන්ධ කරගෙන ඉෂ්ඨ දේවතානුස්මරණය කරන්න පුළුවන්. එමෙන්ම, මල් පැලක් සකසා අබ තෙල් හෝ එළඟි තෙල් හෝ යොදාගෙන පහනක් දල්වා සිතැඟි පරිදි මේ කටයුත්ත කරන්නත් හැකියි. 

මේ ආලෝක පූජාව නොඉඳුල් පහන් පූජාවක් විය යුතුයි. එයට සුදු හඳුන් තෙල් ස්වල්පයකුත් එකතු කරගැනීම වඩාත් සුදුසුයි. මේ සඳහා පාට පහකින් යුත් මල් වර්ග, සුවඳ කූරු, සුවඳ දුම් හා කපුරු ආදියත් යොදාගන්න පුළුවන්. මෙතැනදී අදාළ යහනට වඩින්නැයි දෙවියන්ට ආරාධනා කර රසකැවිලි පූජාවක් ද පවත්වනවා නම් ඒ පූජාව සාර්ථක වගේම අංගසම්පූර්ණ එකක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. කිරිබත්, කිරියා, දොදොල් සහ කැවුම් ආදි රසකැවිලි මෙවන් පුද පූජා සඳහා බහුලවම භාවිත කරන බවත් පෙනෙන්නට තිබෙන කාරණාවක්.”

ප්‍ර නිසි ලෙස මෙවන් පූජාවක් තැබීමේ වැදගත්කම පිළිබඳවත් යමක් පැවැසුවොත්?

“මේකේ වැදගත්කම අපට කිහිප ආකාරයකින්ම පෙන්වා දෙන්න පුළුවන්. මෙහි වැදගත්කම කතා කරද්දී මූලිකවම පෙන්වා දෙන්න පුළුවන් දෙයක් තමා, අපට උන්වහන්සේලාගෙන් තියෙන ප්‍රයෝජනය කියන කාරණාව. යම් හෝ කරදරයක් වගේම බාධාවක් වැනි දෙයක් ඇති වීමට නියමිත නම් ඉෂ්ටකාමි දෙවි දේවතාවුන් වහන්සේලා සිහිනෙන් පෙනී සිටිමින් ඒ බව අපට දැනුම් දෙනවා. උන්වහන්සේලා සමග නිවැරැදිව ගනුදෙනු කරද්දී නිරතුරුවම අප හා රැඳී සිටිමින් අප යන එන ගමන බිමනට පවා රැකවරණය සලසන බවත් විශේෂයෙන්ම කියන්න ඕනෑ. යම් හෝ කරදරයක් අපට සිදු වීමට නියමිත නම්, මනුෂ්‍යයකුගෙන් හෝ උදව් උපකාර සපයමින් ඒ ඒ අයවලුන් ආරක්ෂා කිරීමටත් ඉෂ්ට දේවතාවුන් වහන්සේලා කටයුතු කරනවා.

ඒ වගේම මහේශාක්‍ය දෙවිවරුන්ට පින් දෙමින් අපේ කර්ම විපාක පවා වෙනස් කරගැනීමට යම් හෝ මග පෙන්වීමක් කිරීමේ හැකියාවක් ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට තියෙනවා. ඉෂ්ටකාමි දේවතාවුන් වහන්සේලා හරි විදිහට වන්දනාමාන කරන කෙනෙක් උදෙන්ම තමන්ගේ රැකියාවට යද්දී හෝ වෙනත් වැදගත් කටයුත්තක් කරන්න යද්දී හෝ නිරතුරුවම ආරක්ෂා වන බවට පවතින මතය කිසිසේත්ම බැහැර කළ නොහැක්කක්.”

ප්‍ර මේ විදිහේ පූජාවක් කරන්න වඩාත්ම සුදුසු තැන් විදිහට හඳුනාගත් තැන් එහෙමත් තියෙනවා ද?

“ඉෂ්ටකාමි දෙවි දේවතාවුන් වහන්සේලා අප විසින් දෙනු ලබන පින් අනුමෝදන් කරගන්න තැන් කිහිපයක්ම තියෙනවා. ඒ අතර ප්‍රධානතම තැනක් නම්, රුවන්වැලි මහා සෑය. එයට අමතරව ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ, කැලණිය චෛත්‍ය රාජයාණන් වහන්සේ සහ බෝධින් වහන්සේ, මහියංගණ මහා සෑය හා ශ්‍රී පාදස්ථානය ද ඇතුළු පූජනීයත්වයෙන් අනූන සියලු තැන්වලදීත් අපට මෙකී වන්දනාව කරන්න පුළුවන්. 

සොළොස්මස්ථානවලට අමතරව කතරගම, දෙවුන්දර, රත්නපුර හා නවගමුව කියන දේවාලවලදීත් මහේශාක්‍ය දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීමෙන් පමණක් නොනැවතී තම තමන්ගේ කුල දේවතාවුන් වහන්සේටත් පින් අනුමෝදන් කරන්න පුළුවන්.

තම තමන්ගේ නිවෙස්වලදීත් මේ කටයුත්ත කරන්න පුළුවන්. අදාළ දේවතාවුන් වහන්සේගේ රූපකායක් නැතත් උන්වහන්සේලා වෙනුවෙන් පහන් අලෝකයක් පූජා කරමින් වුණත් මේ කටයුත්ත කළ හැකියි. එහි කිසිදු වරදක් නෑ.”

ප්‍ර බෞද්ධයන් වශයෙන් සරණාගමනයට හෙවත් තෙරුවන් වන්දනාවට බාධාවක් නොවන ආකාරයට කොහොම ද මේ ඉෂ්ට දේවතානුස්මරණය කරන්නේ කියන එකත් පැහැදිලි කරනවා නම්?

“ඒක ඉතා පහසු කටයුත්තක්. පංචශීලය තුළ කියන්නෙත් ප්‍රාණඝාතය, අදත්ථාදානය, කාම මිත්‍යාචාරය, මුසාවාදය සහ සුරාමේරය කියන කාරණාවලින් බැහැර වෙන්න කියලයි. ඉෂ්ඨකාමි දේවතානුස්මරණයේදීත් අප කිසි විටෙකත් සත්ව බලිබිලි ආදිය භාවිත කරන්නේ නෑ. ඒ වගේම, සුරාව වැනි දෑත් ඊට යොදාගන්නේ නෑ.

ඒ වගේම, අනෙක් වැරැදිත් මෙතැනදී අප කරන්නේ නෑ. දෙවියන්ගෙන් යමක් ඉල්ලනවා නම්, අප විසින් එය කරනු ලබන්නේ බොරුවක් නොකියා ඇත්ත විතරක්ම පවසමිනුයි. ඒ විදිහට කරන දේවතානුස්මරණයේ පිහිටාශීර්වාදය නිරතුරුවම අපට ලැබෙනවා. එය බුදු දහම හෝ පන්සිල් හෝ ඉක්මවා යාමක් වෙන්නෙත් නෑ කිසි විටෙකත්.”

අමිල දොළපිහිල්ල