ඔහු පුදබිම් සොයා යෑම ආරම්භ කළේ නේපාලයේදීය. පසුව එය ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය හා තිබ්බතය කරා විහිදිණි.
නේපාලය පසුගියදා ආණ්ඩු විරෝධි අරගලයෙන් ගිනි වැදුණේය. ප්‍රබල දේශපාලකයන්ට සිය තනතුරු දමා පලා යාමට සිදුවිය.
ඒ අතරින් අපට ඇසෙන්නේ අපූරු කතාවකි. ඒ නේපාලයේ ප්‍රදීප් කනාල් නමැති උපාධිධරයා වසරක් ඇතුළත රටවල් 6 ක පුදබිම් 450 ක් වැඳ පුදා වාර්තාවක් පිහිටුවීමය. ප්‍රදීප් දැන් සූදානම් වෙන්නේ එම වාර්තාව ගිනස් වාර්තාවක් දක්වා ගෙනයෑමටය.
2024 වසරේ ප්‍රදීප් ශ්‍රී ලංකාවට පැමිණ මා හමුවූයේ සංචාරකයකු හැටියටය. දින අටක කාලයක් තුළදී ඔහුට මා හමුවන්නට වෙලාවක් සොයාගැනීමට පවා අසීරු විය.
අන්තිමේදී අපි වැල්ලවත්තේ අයිශ්වර්යා ලක්ෂ්මි අම්මාන් කෝවිලේදී හමුවීමු. ඔහු සමග තවත් කීපදෙනෙක් වූහ.
“ඇයි හදිසියේම ලංකාවට ආවේ?”යි මා ඇසූ විට ඔහු පිළිතුරු දුන්නේ පුදබිම් අටක් නැරඹීමට පැමිණි බවය. පුදබිම් නරඹා එම විස්තර ඇතුළත් ග්‍රන්ථයක් සම්පාදනය කිරීම ඔහුගේ අරමුණ විය. ඔහු ලංකාවේ පුදබිම් අටක නම් කියාගෙන ගියේය.
සංචාරකයකු සංචාරක ස්ථාන නැරඹීමට යෑම අරුමයක් නොවේ.
මේ දින අටට ඔහු මහනුවර දළදා මාලිගාව, ත්‍රිකුණාමලයේ පිහිටි ශන්කර් දේවි මහා ශක්ති කෝවිල. ලක්ෂ්මි නාරායන් පෙරුමාල් කෝවිල සහ භද්‍රකාලී කෝවිල යාපනයේ නල්ලූර් කන්දසාමි කෝවිල, නයිනතිව්හි ශ්‍රී නාගෙපුෂාන් කෝවිල, නුවරඑළියේ සීතා අම්මාන් කෝවිල, කොළඹ අයිෂ්වර්යා ලක්ෂ්මී අම්මාන් කෝවිල නරඹා තිබිණ.
ඔහු පුදබිම් නැරඹීම ආරම්භ කළේ තම උපන් රට වූ නේපාලයේ කත්මණ්ඩු නුවර පිහිටි පශුපතිනාත් කෝවිලෙනි. ඉන්පසු එම සංචාරය ඉන්දියාව, තිබ්බතය, බංග්ලාදේශය, පාකිස්ථානය හා ශ්‍රී ලංකාව දක්වා විහිදිණි.
2023 ජූනි 22 දා ඇරඹි මේ සංචාරය ඔහු අවසන් කළේ 2024 ජූනි 24 දාය. ඒ ඉන්දියාවේ මනිකාරන් ශිව කෝවිල නැරඹීමෙනි.
මේ අනුව ප්‍රදීප් කනාල් ඉන්දියාවේ පුදබිම් 329 ක්, නේපාලයේ 80 ක්, පාකිස්ථානයේ 18ක්, බංග්ලාදේශයේ 12 ක් තිබ්බතයේ 5 ක් සහ ශ්‍රී ලංකාවේ 8 ක් වශයෙන් පුදබිම් සංචාරය කර ඇත.
‘ඇයි මේ වගෙ සංචාරයක් ආරම්භ කරලා වාර්තාවක් පිහිටුවන්නට හිතුවෙ..?’
“ලෝක සාමය වෙනුවෙන් මේ පුදබිම් අතරට හින්දු ආගමික ස්ථාන, සික් ආගමික ස්ථාන පමණක් නෙමෙයි බෞද්ධ සිද්ධස්ථාන වූ නේපාලයේ ලුම්බිණි, ඉන්දියාවේ බුද්ධගයාව, සාරානාත්, කුෂිනගර් මෙන්ම ශ්‍රී ලංකා දළදා මාලිගාව ඇතුළත් වුණා. මගේ බලාපොරොත්තුව මේ සෑම ආගමික ස්ථානයක් සමගම ජාත්‍යන්තර සබඳතා ගොඩනැගීමයි’ ප්‍රදීප් පවසයි.
ප්‍රදීප් ඉපදුණේ නැගෙනහිර නේපාලයේ අයිලාම් ප්‍රදේශයේය. එය ගැමි පෙදෙසකි.
ඔහුට සහෝදරියන් දෙදෙනෙකි. එක් සහෝදරයෙකි. ප්‍රදීප් පවුලේ වැඩිමලාය. ප්‍රදීප්ගේ පියා පුෂ්පලාල්ය. සේවය කළේ ඉන්දියානු හමුදාවේය. මව මේනකා දේවිය. පියාගේ හමුදා රැකියාව නිසා ඔවුන්ට ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවලට යෑමට සිදුවිය. ඒ නිසා ප්‍රදීප් ඇතුළු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල පාසල්වලදී සිදුවිය. ඒ නිසා ඔහු වරෙක ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ඇසෑම් ප්‍රාන්තයේය. තවත් වරෙක මනිපූර් ප්‍රදේශයේය. තවත් කාලයක නාගලන්ඩ් ප්‍රාන්තයේ පාසලකය. මේ බොහෝ පාසල් උතුරු ප්‍රදේශයේ පිහිටා ඇත.
ඒ කාලෙ බොහෝ නේපාල ජාතිකයන් ඉන්දියානු හමුදාවේ සේවය කළා. පියාගේ රැකියාව නිසා මේ
සංචාරය කිරීම මට අමුත්තක් වුණේ නෑ...’ ප්‍රදීප් කියයි.
ඔහු උපාධිධරයකු වූයේ ඇසෑම් ප්‍රාන්තයේ පිහිටි ගුහාති සරසවියෙනි. ඉන්පසු පශ්චාත් උපාධිය ලද්දේ නේපාලයේ ට්‍රිබුවාන් සරසවියෙනි. තමිල්නාඩුවේ මදුරෙයි නගරයේ යුනිවර්සල් ටැමිල් විශ්වවිද්‍යාලය ඔහුට සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමුවේය.
‘වසරක් ඇතුළත පුදබිම් 450 ක් නැරඹීම වාර්තාවක් වෙන්නේ කොහොමද?
සමහර ආගමික පූජකවරුන් කියන විදියට මීට අවුරුදු 500 කට පෙර ගුරුනායක් මේ තරම් විශාල පුදබිම් ප්‍රමාණයක් වැඳපුදාගෙන වාර්තාවක් තබා තිබෙනවා. ඒ සඳහා වසර 21 ක් ගත වී තිබෙනවා. ඒ වගේම ගුරු ආදිසංකරාචාර්යත් විශාල සංඛ්‍යාවක් ආගමික ස්ථාන වැඳ පුදාගෙන තිබෙනවා. ඒත් ඒ සඳහා කොයිතරම් කාලයක් ගත වුණාද කියල වාර්තාවක් නෑ. ආගමික ගුරුන් පවසන්නේ වසරක් ඇතුළත මෙතරම් පුදබිම් ප්‍රමාණයක් නැරඹීම ලෝක වාර්තාවක් බවයි.’
‘අවුරුද්දකට තියෙන්නේ දවස් 365 යි. මේ තරම් ප්‍රමාණයක් 2023 – 24 ඇතුළත වන්දනා කළේ කොහොමද?
කාලය ගතවූණේ එම ස්ථානවලට ළඟාවීමට. ඇතැම් දවස්වල දවසකට පුදබිම් 6 ක් 7 ක් නරඹපු අවස්ථා තිබෙනවා. මේ නිසා වසරක් ඇතුළත පුදබිම් 450 කට ළඟාවීම අපහසුවක් වුණේ නෑ.’
මේ වාර්තාව සාර්ථකව අවසන් කළ පසුව ආගමික පූජකවරුන් විශාල ප්‍රමාණයක් මට සුබ ප්‍රාර්ථනා කළා. මම කියන්නේ නෑ මම ලෝක වාර්තාවක් තැබුවා කියලා. ඒත් ඉන්දියාවේ බොහෝ ආගමික ගුරුන් පවසන්නේ එය ලෝක වාර්තාවක් බවයි.’
ප්‍රදීප් විවාහකයෙකි. ඔහුගේ බිරිඳ දීපාලි ශර්මාය. එකම පුතු අධ්‍යයෙයි නම් වෙයි. නේපාලයේ කත්මණ්ඩු නුවර කල්කි ප්‍රදේශයේ වාසය කරන ප්‍රදීප් සංස්කෘතික හා ආගමික ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරයි. එමෙන්ම නේපාල මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙසද ක්‍රියා කරයි.
මේ සංචාරය සඳහා ශිව ශක්ති සංගමයේ මන්ශේෂ් භගවත්, බිනිටා ලෙප්සා, සුනීතා මජුම්දාර්, සුශාන්ත් සිං දුන් සහයෝගය මට අමතක කරන්න බෑ. මම මේ සංචාරය සඳහා වැය කළේ මගේ පෞද්ගලික මුදල්. ඒ වගේම නේපාල ජාත්‍යන්තර මිත්‍රත්ව සංගමයේ සිර්ජිනා ටිම්සිනා විජේකුමාර් මට සහාය දුන්නා. මගේ ඊළඟ උත්සාහය ලෝකයේ සුප්‍රසිද්ධ සෑම ආගමික ස්ථානයක්ම වැඳ පුදා ගැනීමයි’ ප්‍රදීප් පැවසීය.
රොඩ්නි විදානපතිරණ