වසර 36ක් “නොටවුට්” මානිගෙ තීරුවේ සුන්දර මහත්තයාගේ සුන්දර මතක


  • කසාද බැන්දෙත් ගාල්ලෙන්, පුතා ඉපදෙන්නෙත් ගාල්ලෙ
  • ඊරියගොල්ලගෙ අධ්‍යාපන ප්‍රතිපත්‍තිය විවේචනය කර ලියලා පාසලේ කරපු පත්තරේ තහනම් වුණා
  • 71 කැරැල්ලෙ දී පාසල් වැහුවාම දවස පත්තරේ රස්සාවට ගියා
  • මානි ගෙ තීරුව ඉස්සෙල්ලාම ලියුවෙ දිවයිනේ

 

ලංකාවේ පුවත්පත් තීරු ලිපි කලාවෙහි අඛණ්ඩව ම වසර 36ක් රැඳී සිටීම ලේසි පහසු කාරණාවක් නොවේ. එවන් දිගු ඉතිහාසයක් ඇති තීරු ලිපියක්   නිසැකවම ගරු බහුමානයට පාත්‍ර වෙන සුන්දර තීරු ලිපියකි. 

පුවත්පත් ලෝකයේ එවැන්නක් පවතී. එය නම් “මානිගෙ තීරුව” යි. 

1989 වසරේදී “දිවයින ඉරිදා සංග්‍රහයෙන්” අරඹා, පසුව 1994වසරේ දී “ලක්බිම ඉරිදා සංග්‍රහය”ට එක් වූ මානිගේ තීරුව - 2019 වසරේ සිට මේ දක්වා ලියැවෙන්නේ “ඉරිදා අරුණ” පුවත්පතේ ය.

ෙජ්‍යෂ්ඨ පුවත්පත් කලාවේදියකු, ප්‍රවීණ ලේඛකයකු වන සුන්දර නිහතමානී ද මැල් - මානිගෙ තීරුවෙහි අයිතිකරුවා ය. පසුගියදා සරසවි ප්‍රකාශනයක් ලෙස දොරට වැඩියේ ඔහු විසින් 2018වසරේ සිට2025 දක්වා රචිත තීරු ලිපි 80ක් අඩංගු වූ “නොට් අවුට් 36” කෘතිය යි.

මොරටුව උපන් ගම වුව ද, සුන්දර මහත්තයා වඩාත් නෑකම් කියන්නේ ගාල්ලට ය. ඒ තම පියා වූ ප්‍රවීණ ගත්කතුවරයකු වූ ලාල් ප්‍රේමනාත් ද මැල්ට ගාල්ලට ස්ථාන මාරුවක් ලැබීම හේතුවෙනි . ඒ ගාල්ලේ අලු‍තෙන් ආරම්භ කරන ලද එම්.ඩී. ගුණසේන සමාගමේ කළමනාකාරවරයකු ලෙසය. වයස අවුරුදු හයේ දී ගාල්ලට සේන්දුවන සුන්දර මහත්තයාගේ ජීවිතයේ සුන්දරම කාලය ගෙවෙන්නේ ද ගාලු‍ නගරයේ ය.

“අම්මයි තාත්තයි ඇරුණම අපේ පවුලෙ හිටියෙ අයියයි, මල්ලි යි. මල්ලි ඉපදෙන්නෙත් ගාල්ලෙ තමයි. මම කසාද බැන්දෙත් ගාල්ලෙන් නිසා වගේම මගේ පුතා ඉපදෙන්නෙත් ගාල්ලෙ. නිසා අදටත් ගාල්ල ගැන තියෙන්නෙ සුන්දර මතකයක්. මට මතකයි අපි ඉස්සර වෙලාම ගාල්ලට ඇවිත් පදිංචි වුණේ ටවුන් එක කිට්ටුව තියෙන වලව්වත්ත කියන ප්‍රදේශයේ. පස්සෙ කාලෙක සරෙන්තුකඩේ හන්දියෙත් හිටියා. ඇත්තටම මගේ ළමාවිය ගෙවෙන්නේ ඒ පරිසරයේ. ඒ කාලෙ මේ ප්‍රදේශ අද තරම් ගොඩක් ජනාකීර්ණ නැහැ.”

සුන්දර මහත්තයා අධ්‍යාපනය ලබන්නේ ගාල්ලේ මහින්ද විදුහලේය. සිංහල බෞද්ධ සංකල්පයන්ට මුල් තැන ලබාදෙමින් අධ්‍යාපනය මෙන්ම සාහිත්‍ය කලාවට ද නම් දැරූ මහින්ද විදුහල ඔහුගේ ජීවිතයෙහි අලු‍ත් පිටුවක් පෙරළන්නට සමත් වන්නේය.

“මට මතකයි මම පහේ පන්තියේ ඉගෙන ගන්න කාලෙ අතින් ලියපු සඟරාවක් කළා ‘%සිසුමිණ’ කියලා. ඒ කාලෙ ඉඳලම මට ලේඛනය ගැන පුදුම උනන්දුවක් තිබුණේ. ඒ සඟරාව පාසල ඇතුළේ හරියට ජනප්‍රිය වුණා. ඒ විතරක් නෙමෙයි මමත් ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. මොකද එක ගුරුවරයෙක් ඒ සඟරාව අරන් ගිහින් හැම පන්තියකටම පෙන්නුවා. එදා ඒක මට මහා ශක්තියක් වුණා”.

අතින් ලියූ සඟරාවෙන් මහින්දය ඇල්ලූ සුන්දර මහත්තයා පාසලේ සාහිත්‍ය සංගම්වල මෙන්ම සෙසු සංගම්වල ද ජනප්‍රිය වන්නේ තමා සතු වූ තමන්ටම ආවේණික ලේඛන ශෛලිය නිසාය. වයස දහසයේ දී විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමයට එක්වී ‘%පබළු’ නමින් පුවත්පතක් නිර්මාණය කර එහි කර්තෘත්වය ද දරන්නේ පුවත්පත් කලාවට පාසල් මට්ටමින් අගනා දායාදයක් එක්කිරීමේ මහඟු‍ පරමාර්ථය පෙරදැරි කරගෙනය.

“ඒ කාලෙ අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළේ අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහත්තයා. මම මේ පත්තරේ කර්තෘ වාක්‍යය ලියුවා එතුමා ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය විවේචනය කරලා. මම හිතුවෙත් නෑ මේක පත්තු වුණා. අන්තිමට මේ පත්තරේ තහනම් කරන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දුන්නා. හොඳම කතාව තමයි ඒ කාලෙ තිබුණු ’ජනදින’ කියන පත්තරේ ලීඩ් එක වුණේ මේ කාරණය. මේ සිද්ධිය නිසා මම පාසලේ තවත් ජනප්‍රිය වුණා වගේම පාසලේ දි ප්‍රශ්නය දුරදිග අරන් යන්න ගුරුවරු ඉඩ දුන්නේ නැහැ. ඒ අය ඒකෙ වැරැද්දක් නොදුටුව එක මට හොඳ අවස්ථාවක් වුණා. පස්සෙ කාලෙක මහින්ද - රිච්මන්ඩ් බිග් මැච් එකේ සමරු කලාපය හදන්නත් පැවරුණේ මට. මම හිතන්නේ ඒ කාලෙ ලැබුණු ඒ අත්දැකීම් තමයි මට පසුකාලීනව පත්තර රස්සාවට හයියක් වුණේ.”

සුන්දර මහත්තයා උසස් පෙළ හදාරන කාල සීමාව රටේ වාතාවරණය තිබුණේ ඒ තරම් යහපත් තත්ත්වයක නොවේ. ඒ හැත්තෑ එකේ කැරැල්ල හේතුවෙනි. දේශපාලනික මතවාද හමුවේ විවිධ පෙළගැස්වීම් මත අඩාළ වූ ජන ජීවිතය උඩුයටිකුරු වූ අතර සමස්ත පාසල් පද්ධතිය ද වැසුණේ නැවත විවෘත කරන දිනයක් පෙනෙන තෙක් මානයක නැතැයි යන අනතුරු ඇඟවීමත් සමගය.

“අපිට හිතාගන්න බැරිවුණා මොකක්ද කරන්නෙ කියලා. උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න සිටි කාලෙ තමයි හැත්තෑ එකේ කැරැල්ල ආවෙ. අපි හිතුවෙත් අවුරුද්දකටවත් පාසල් අරින එකක් නෑ කියලා. ඒ කාලෙ පත්තර කලාවෙ ඉහළින්ම තිබුණෙ දවස පුවත්පත. මම ඒ පත්තරේ වැඩට ගියා. ඒ ගිහින් මාස දෙකක් යද්දි නැවතත් රට යථා තත්ත්වයට පත්වෙලා පාසල් ඇරියා. මම දවසෙන් ඇවිත් ආයෙත් ඉස්කෝලෙ ගියා.”

“පත්තර රස්සාව තරම් සුන්දර රස්සාවක් මට නම් තවත් නෑ. හැබැයි ඒක එහෙම වෙන්නත් හේතුවක් තිබුණා. ඒ මගේ බිරිඳ. සමහර දවසට පත්තරේ වැඩ ඉවර කරලා ගෙදර එන්නේ පහුවදා. මගේ බිරිඳ පත්තර රස්සාව හොඳින් තේරුම් අරන් තිබුණේ. මම සාමාන්‍යයෙන් ගෙදර වැඩ මොනවත් දන්නෙ නැහැ. මගේ බිරිඳ තමයි ඒ සියල්ල කරන්නේ. මම කරන්නේ බිරිඳ කරනකම් බලන් ඉන්න එක. හැබැයි කවදාවත් ඇය දොස් නගලා නැහැ. ඒක තමයි මම මගේ ජීවිතේ ලබපු ලොකුම වරප්‍රසාදය.”

කලා විෂය ධාරාවෙන් උසස් පෙළට මුහුණ දෙන සුන්දර මහත්තයා උසස් අධ්‍යාපනය ලබන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙනි. වෙනත් රැකියාවකට යන්නට හිත නොදෙන ඔහුගේ සිතෙහි ගැවසෙන්නේම පුවත්පත් කලාවය. එහෙයින් ඔහු හා පුරා කියා රැකියාව ලෙස තෝරා ගන්නේ එවකටTime Of Ceylon  සමාගම විසින් පවත්වාගෙන ගිය ’ලංකාදීප’ පුවත්පතයි. පසුව ඔහු මල්ටිෆැක්ස් ආයතනය විසින් ආරම්භ කරන ලද ’ඉරිදා’ පුවත්‍පතට එක්වූ අතර, එහි කර්තෘත්වය දරන්නේ පසු කාලයේ ’ලක්බිම’ පුවත්පතේ කතුවරයා ලෙස ද කටයුතු කළ කිත්සිරි නිමල් ශාන්තය. අනුර සොලමන්ස්, ජයන්ත චන්ද්‍රසිරි වැනි ​ෙජ්‍යෂ්ඨ පුවත්පත් කලාවේදීන් සුන්දර මහත්තයාට මුණගැසෙන්නේ ද එම පුවත්පතෙනි.

“මම ඊට පස්සෙ ’දිවයින’ පුවත්පතට සම්බන්ධ වුණා. ’දිවයින ඉරිදා සංග්‍රහයේ’ තමයි මුලින්ම මානිගෙ තීරුව ලියන්න පටන් ගත්තේ. ඉස්සෙල්ලාම මම ලියුවෙ විශ්‍රාමිකයන් ගැන. හැබැයි ඉතින් ලියපු ගමන් ඒක පාඨකයා වැලඳගත්තේ නෑ. මාසයක් විතර ගියාම මම ලියුවා ඒ කාලෙ අපේ රටේ ඉඳලා ගිය ඉන්දියන් හමුදාව ගැන ප්‍රශ්න - උත්තර විදියට කොලමක්. එතැනින් තමයි බොහෝ අය මානිගෙ තීරුව අල්ලා ගත්තේ. ඒ මතකය නම් තියෙනවා. හැබැයි මම ඒ ලිපි එකක්වත් එකතු කරලා නෑ. මගේ ඉස්සර පාඨකයෙක් වූ දැන් මිත්‍රයෙක් තමයි ඒවා එකතු කරලා මට දුන්නේ පොත් ගහන්න. දැන් ඒ ටිකත් නෑ. මොකද මම ඕවා මුද්‍රණය කරන්න අරන් ගිය තැනක අමතක වෙලා ඇවිත්. අන්තිමට එකතු කරපු කෙනාටත් නෑ. මටත් නෑ.”

දිවයින ඉරිදා සංග්‍රහයේ විශේෂාංග කර්තෘවරයා ගේ විදෙස් සංචාරයක් හේතුවන් මාස තුනක් පමණ එම තනතුරේ වැඩ බලා පදම් වූ සුන්දර මහත්තයා පසුව නවතින්නේ ’ලක්බිම’ පුවත්පතේ විශේෂාංග කර්තෘවරයා ලෙසිනි. එවකට ’ලක්බිම ඉරිදා සංග්‍රහයේ කර්තෘත්වය දැරුවේ ​ෙජ්‍යෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ බන්දුල පද්මකුමාර ය. සුමති පුවත්පත් ආයතනය ලක්බිම දිනපතා පුවත්පත ආරම්භ කිරීමට අඩිතාලම දැමූ සැණින් සුන්දර මහත්තයාට ලක්බිම ඉරිදා සංග්‍රහයේ කර්තෘ පුටුව හිමි වෙන්නේ පුවත්පත් කලාවෙහි නව පිටුවක් පෙරළමින් බව නොකියාම බැරිය. සමාජ මාධ්‍ය අහලකවත් නොතිබූ කාල සීමාවක පුවත්පතට හිමිවූ සුවිශේෂ ස්ථානය අඛණ්ඩව රැක ගනිමින් ලක්බිම පුවත්පත ඉහළම තලයට ඔසවා තබා තරගකාරී පුවත්පත් රැසකට අභියෝගයක් කරලීමට සමත් වූයේ වසර 13ක් ඉරිදා ලක්බිම මුල් පුටුව හෙබවූ සුන්දර මහත්තයා ය.

“පත්තර රස්සාව තරම් සුන්දර රස්සාවක් මට නම් තවත් නෑ. හැබැයි ඒක එහෙම වෙන්නත් හේතුවක් තිබුණා. ඒ මගේ බිරිඳ. මම සමහර දවසට පත්තරේ වැඩ ඉවර කරලා ගෙදර එන්නේ පහුවදා. මගේ බිරිඳ පත්තර රස්සාව හොඳින් තේරුම් අරන් තිබුණේ. මම සාමාන්‍යයෙන් ගෙදර වැඩ මොනවත් දන්නෙ නැහැ. මගේ බිරිඳ තමයි ඒ සියල්ල කරන්නේ. මම කරන්නේ බිරිඳ කරනකම් බලන් ඉන්න එක. හැබැයි කවදාවත් ඇය දොස් නගලා නැහැ. ඒක තමයි මම මගේ ජීවිතේ ලබපු ලොකුම වරප්‍රසාදය.”

මේ වෙද්‍දී මානිගෙ තීරුවට වසර 36කි. සාමාන්‍යයෙන් සැමරුම් උලෙළක් පවත්වන්නේ යම් කේන්ද්‍රීය තැනකය. තිස් හය වැනි සැමරුම ද ඊට හාත්පසින්ම වෙනස් ලකුණකි.

“මම මානිගෙ තීරුව ලියන්න ගත්තෙ වයස අවුරුදු තිස් හයේ දි. ඉතින් මේ අවුරුද්දට ලියන්න පටන් අරගෙනත් අවුරුදු තිස් හයයි. ඒ නිසා තමයි ලිපි එකතුව පොතක් කරන්න හිතුවේ. මේ පොත එක්ක මානිගෙ තීරුව කෘති හතරක් පළ කරලා තියෙනවා. ඒගැන හිතේ තියෙන්නෙ වෙනස්ම හැඟීමක්.”

සුන්දර මහත්තයා ගේ ලියැවිල්ල තීරු ලිපියකට සීමා නොවිය යුතු යැයි බොහෝ පාඨකයන් ගේ හැඟීමයි. එයට හේතුව වන්නේ ඔහු ගේ එකම පුතු ගේ නවකතා එකතුවයි. පියකු ගේ හැකියාව පුතකුට උරුමවීම සාමාන්‍ය කාරණාව වුවත් පුතකුගේ හැකියාව පියකුට උරුමවීමට ද බැරිකමක් නැත.

“පුතත් කියනවා දැන් නවකතාවක්, කෙටිකතාවක් ලියන්න කියලා. ඇත්තටම මම ලියන්න හරි කම්මැළියි. සමහර වෙලාවට හිතෙනවා මානිගෙ තීරුව ලියපු වෙලේ නවකතා, කෙටිකතා ලියුවා නම් ඉවරයි කියලත්. මොකද අපේ පවුලෙ හැමෝටම ලියන්න පුළුවන්. අපේ තාත්තා පොත් ගණනාවක් ලියා පළ කළ ලේඛකයෙක්. මගේ පුතත් දැන් මටත් වඩා රටම දන්න ලේඛකයෙක්. මගේ අම්මා අවුරුදු හැත්තෑවෙදිත් පොත් ලියුවා. ඇය ලියූ ජීවන අත්දැකීම් හිතාගන්නවත් බෑ. මගේ අයියයි, මල්ලියි වෙනත් ක්ෂේත්‍ර දෙකක වුණත්, ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළ පොත් ලියා තියෙනවා. කොහොම වුණත් ඉදිරියේ දි මානිගෙ තීරුව පොත් අතරට වෙනත් පොතක් එකතු කරන්න යම් බලාපොරොත්තුවක් තියෙනවා.”

සිහින ඇත්තේ සැබෑ කරගන්නටය. ඒ සිහින සුන්දර වන්නේ එවිට ය.

සුජිත් ප්‍රසංග