වසර 3 කට පෙර පෙන්වූ දස්කම මතකයට ගමු


සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තියුණු තරගයක් ලැබෙනු ඇතැයි අපි පසුගිය සතියේ කීවෙමු. එය සනාථ කරමින් සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට සුවිශේෂ තරගයක් ලබා දුන්නේය. තරග දෙකම අවසන් ඕවරය දක්වා ගමන් කෙරිණ. පළමු තරගය ශ්‍රී ලංකාව ජයගත්තේ අවසන් ඕවරයේ රාසාගේ කල්යල් බැලීම වැරදීමත් ඩිල්ෂාන් මධුෂංක එකම එල්ලයකට පන්දු යැවීමත් නිසාය. මේ නිසා ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්වල 11 වැනි ස්ථානයේ සිටින සිම්බාබ්වේ කණ්ඩායම තමන්ගේ රටේ දී ප්‍රබල බව යළිත් තහවුරු කළේය. 

මේ තරගාවලියෙන් පසුව විස්සයි20 තරගාවලිය ඇරඹුණි. පළමු තරගයෙන්  ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේ තියුණු තරගයක් ලබාදෙමිනි. මේ තරගයේ දී යළිත් පැතුම් නිස්සංක කැපී පෙනිණ. පැතුම් නිස්සංක විවේක ගන්වා කමිල් මිෂාර සමග ක්‍රීඩා කර නිස්සංක ආසියානු කුසලානයට සූදානම් කළ යුතු යැයි ලසිත් මාලිංග දමා තිබූ පෝස්ටුවක් සම්බන්ධයෙන් විශාල කතාබහ පැතිරිණ. එයට එක් හේතුවක් වූයේ ලසිත් දින කිහිපයකට කණ්ඩායම සමග කටයුතු කළ නිසාය. කෙසේ වුවද ලසිත් මාලිංගගේ යෝජනාවේ තාක්ෂණික ගැටලුවක් නැත. එය බොහෝ අවස්ථාවල සිදු කරන දෙයකි. එහෙත් ගැටලුව ඇත්තේ කණ්ඩායමේ මානසිකත්වයේය. ලසිත් නායකයාව සිටි සමයේ බොහෝ තරුණයන් අත්හදා බලන්නට ගොස් අවසානයේ ඔහුට නායකත්වය අහිමිවන තැනට කණ්ඩායම කඩා වැටිණ. මේ නිසා දිගින් දිගටම ක්‍රීඩා කරන්නට කැමති ක්‍රීඩකයන් විවේක ගැන්වීම අවදානමක් බව මතක් කළ යුතුය. ඇතැම් ක්‍රීඩකයන් විවේකයකට කැමතිය. එය වෙනම කතාවකි. එහෙත් රිද්මය පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කටයුත්තකි. ඇතැම් විට මේ තරගාවලියේ සිටින රිද්මය අනෙක් තරගාවලියට ඉතිරි කර ගැනීම ගැන ද කියවෙයි. විවේක ගැන්වීමේ එක් අදහසක් වන්නේ එයයි. එහෙත් ඇතැම් ක්‍රීඩකයෝ මේ විවේකය නිසා රිද්මය අහිමි කර ගනිති. 

ශ්‍රී ලංකාව පළමු තරගය ජයග්‍රහණය කිරීමට පැතුම්ගේ දායකත්වය අතිශය වැදගත් විය. මේ නිසා දෙවැනි තරගය ද ඔහු ක්‍රීඩා කර තෙවැනි තරගයේ දී කමිල් මිෂාර යොදා ගැනීම නුවණට හුරුය. පළමු තරගයේ හොඳ ආරම්භයකින් පසුව පෙරේරා, නුවනිඳු, අසලංක යන තිදෙනාම අසාර්ථක වූහ. මෙහිදී මතක් කළ යුත්තේ තරග අවසන් කරන්නා යන ලේබලය කමිඳු මෙන්ඩිස්ට අලවන්නේ නැතිව ඔහු අංක හතරට ගෙන ආ යුතු බවයි. එය දීර්ඝකාලීන ආයෝජනයකි. තරග අවසන් කරන්නා යන ලේබලය වැදීම ක්‍රීඩකයෙකු ගේ විනාසයට මුලය.  අනෙක් අතින් කමිඳු ඕනෑම අංකයකට හොඳින් ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයාය. දකුණත් වමත් වෙනස ගැන සිතමින් සැලසුම් අඳින්නේ නැතිව හොඳ ක්‍රීඩකයන් නිසි ස්ථානවලට යොමු කිරීම වැදගත් වෙයි. අංක03, 04 සහ 05 වමත් පිතිකරුවන් වූවා කියා සිදුවන විශේෂ වාසියක් හෝ හානියක් නැත. මෙහිදී වැඩිම වගකීම ඇත්තේ දසුන් ශානකටය. දැන් ඔහුගෙන් නිරන්තර ලකුණු අවශ්‍යය. එය පරාජය තහවුරු වූ විට ලැබෙන නිදහසින් ලැබෙන ලකුණු නොව ජයග්‍රහණය වෙනුවෙන්ම ලැබෙන ලකුණු විය යුතුය. ඔහුට මෙය ඉතාම පහසුවෙන් කළ හැකිය. තවත් කාරණයක් තිබේ. පසුගිය සමයේ අප හොඳින් දුටු දෙය නම් දසුන් තැන්පත්වීමට පන්දු කිහිපයක් වැය කරන බවයි. මේ නිසා කමිඳු මෙන්ඩිස් අංක 04ට නොගෙනේ නම් සහ  අංක 04 අර්බුදයක් තිබේ නම් එයට ගැළපෙන අනෙක් පිතිකරුවා දසුන් ශානකයි. යළිත් මතක් කරන්නේ තරග අවසන් කරන්නන් විස්සයි20 දී නැත. ඒ ආකෘතියේ සිටින්නේ පටන්ගත් වේලාවේ සිට පහරදෙන්නෝය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම මතකයේ තබා ගත යුතු තත්ත්වයයි. එය පළමු තරගයේ දී සිම්බාබේ කණ්ඩායම පැහැදිලිව පෙන්නුම් කර දුන්නේය. 

සිම්බාබ්වේහි පැවැත්වෙන ඉතිරි තරග දෙකෙන් පසුව එන්නේ ආසියානු කුසලාන තරගාවලියයි. 

ආසියානු කුසලානය මෙවර යළි පැවැත්වෙන්නේ විස්සයි20 තරගාවලියක් ලෙසය. ඒ ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙසය. මීට පෙර ආසියානු කුසලානය විස්සයි20 ආකෘතියෙන් පැවැත්වී ඇත්තේ 2016 සහ 2022 වසරේය. මේ අවස්ථා දෙකේ දී පිළිවෙළින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ජයග්‍රහණ ලබාගත්හ. 2022 ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය බොහෝ දෙනා විමතියට පත්කළ අතර එයින් පසු ශ්‍රී ලංකාවේ විස්සයි20 ක්‍රිකට් නව මානයකට ගමන් කරනු ඇතැයි විශ්වාස කළද සිදුවූයේ තිබූ තැනින්ද පහළට වැටීමයි. එයට එක් හේතුවක් වූයේ නොතිබූ ජයක් ලැබීමයි. එයින් කණ්ඩායමට ක්‍රිකට් අමතක වී රූපවාහිනී වැඩසටහන්වල සින්දු කියන්නට කාලය වැය කරන්නට සිදුවිය. මේ නිසා මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයට යන්නේ තමන්ගේ නැතිවී ගිය අභිමානය සොයමිනි. 

මෙවර ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකාව සිටින්නේ බී කාණ්ඩයේය. ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ හොංකොං එම කාණ්ඩයේ අනෙකුත් කණ්ඩායම් වේ. මේ කණ්ඩායම් තුනටම වඩා ශ්‍රී ලංකාව සිටින්නේ ඉහළ ශ්‍රේණිගත අගයකය. දැනට විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. මේ නිසා යම් ආකාරයකින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී. එහෙත් මේ ශ්‍රී ලංකා කණ්ඩයාම බංග්ලාදේශය හමුවේ 2-1 ක පරාජයක් ලැබුවේ මාස කිහිපයකට පෙරය. එම පරාජය ඔවුන්ට මේ තරගාවලියේ දී මතකයට නැගෙනවා නිසැකය. එහෙත් මීට වසර 3 කට පෙර ශ්‍රී ලංකාව ඩුබායිහි දී ලැබූ උත්තේජනය සිහියට ගන්නේ නම් චරිත් අසලංකගේ විස්සයි20 කණ්ඩායමට යමක් කළ හැකිව තිබේ. 

විශේෂයෙන්ම අවසන් පූර්ව වටයට පැන ගැනීමට පළමු වටයේ තරග දෙකක් ජයගැනීම සෑහෙනු ඇත. එහෙත් තරග 3ම ජයගෙන සුපිරි 4 දෙනාගේ වටය කරා යෑම කණ්ඩායමකට වැදගත්වෙයි. එය කණ්ඩායමේ මානසිකත්වය ඉහළ දැමීමට හේතුවකි. වෙනත් තරගාවලිවලදී මෙන් පළමු වටයේ සිට දෙවැනි වටයට එක්වන ප්‍රතිවාදියා සමග තරග නොකර මුල්වටයේ ප්‍රතිඵලය ගණනය කිරීමක් මෙවර නැත.  ඒ අනුව පළමු වටයේ දී තරගයක් පරාජය වුවද එය දෙවැනි වටයට බලපෑම් නොකරයි. සුපිරි හතර දෙනාගේ වටයේ දී අලුතින් තරගාවලියක් ඇරඹුණා සේ මුහුණ දෙන සෑම තරගයක්ම ජය ගැනීමට උත්සාහ කළ යුතුව තිබේ. 

මේ තරගාවලියේ දී යළිත් හසරංග කණ්ඩායමට එක්වෙයි. ඔහු මේ තරගාවලියේ දී අතිශය වැදගත් බව අමතක නොකළ යුතුය. ඒ ඔහු ඉලක්ක කර ප්‍රහාරය දියත් වීම පසුගිය තරගවලදී වැඩි වී තිබීම නිසාය.  එහෙයින් හසරංග මේ තරගාවලියේ දී නැවත පැමිණීමක් සනිටුහන් කළ යුතු ක්‍රීඩකයාය. එසේම මේ තරගාවලියේ දී ප්‍රතිවාදීන් විස්මයට පත්කරන අවියක් ලෙස මතීෂ පතිරණ යොදාගත හැකිය. එය ප්‍රතිවාදිය මත තීරණය වන්නකි. අනෙක් අතින් ආසියානු කුසලානයේ දී මතීෂට අවස්ථාවක් ලැබෙන්නේ නම් ඔහු අනිවාර්යයෙන්ම සිය උපරිමය දෙනු ඇත. 

මේ තරගාවලිය ඇරඹෙන්නේ ඉන්දියාව මුල්තැනේ තබාය. ශ්‍රී ලංකාව සිටින්නේ තුන්වැනි තැනය. එහෙත් රිද්මය අනුව බංග්ලාදේශයට පහළිනි. මේ නිසා සුපිරි හය දෙනාගේ වටයට යෑම ශ්‍රී ලංකාවට එතරම් ගැටලුවක් විය නොහැකිය. එතැනින් පසු අවශ්‍ය වන්නේ හොඳ තරග තුනක් ක්‍රීඩා කිරීම පමණි. 

- කාංචන දසනායක