වසර 28 ක් තිස්සේ මම මගේ දෙමාපියන් සොයනවා - නෙදර්ලන්තයට දරුකමට හදගන්න දුන් ඩෙනිස් කියයි


හදාගැනීමේ අරමුණින් පිටරටට ලබාදුන් බිළිඳු දරුවන් - උස්මහත් වී වැඩිහිටියන් වූ පසු ලාංකීය විද්‍යාත්මක බැඳීම සොයා ලංකාවට පැමිණෙන ප්‍රමාණය දිනෙන් දින ඉහළ ගොස් ඇත. එහෙත් ඔවුන් ගේ විද්‍යාත්මක මව්පියන් සොයා ගැනීම හිතන තරමට පහසු කාර්යයක් නොවන්නේය. එහෙත් ඇතැම්හු සිය උත්සාහය අත් නොහරිති. නෙදර්ලන්තයේ ජීවත් වන 40 හැවිරිදි දෙදරු පියෙකු වෙන ඩෙනිස් ඩොබල්ස්ටීන් (Dennis Dobbelsteen) වසර28 ක් තිස්සේ සිය විද්‍යාත්මක මව්පියන් සොයන එක් තැනැත්තෙකි.   

“මගේ නෙදර්ලන්ත නම ඩෙනිස් ඩොබල්ස්ටීන්.මගේ ශ්‍රී ලාංකික නම ශාන්ත. මගේ නෙදර්ලන්ත දෙමාපියන් පවසන්නේ මාව එරටට රැගෙන යද්දි වයස මාස 3ක් පමණ වූ බවයි. මට අවුරුදු 5 දි මාව හදාගන්න ගත්ත දරුවෙක් බවත්, මම ශ්‍රි ලාංකික බවත්, මගේ නෙදර්ලන්ත දෙමාපියන් පැවසුවා. නෙදර්ලන්තයේ මගේ දෙමාපියන් මාව හදාගන්න ලබා ගනිද්දි ලංකාවෙන් ලැබුණ විද්‍යාත්මක දෙමාපියන් ගේ තොරතුරු ඇතුලත් ලේඛණ මට දුන්නා.  ඒ ලේඛණ වල සඳහන් තොරතුරු අනුව මම ඉපදිලා තියෙන්නේ 1985 අගෝස්තු 6 වැනිදා, කොළඹ දකුණු කළුබෝවිල රෝහලේ දි. නමුත් තවත් ලේඛණයක සඳහන් වෙනවා මගේ උපත නිවසේ සිදුව ඇති බවටත්. මගේ ජීව විද්‍යාත්මක මවගේ නම  මහගෙදර ආරච්චිගේ කාන්ති ලෙස එම ලේඛන වල සඳහන්. ඒ වගේ ම  ඇයගේ උපන් දිනය 1961 මාර්තු 20 වන බවත්, ඇය උපත ලැබ ඇත්තේ වාරියපොල දී බවත් ඒවායේ සඳහන්.”  

“මෙම ලේඛනවල සඳහන් තොරතුරු අනුව, මා උපදින විට මගේ මවට වයස අවුරුදු 22ක් හෝ 24ක් විය හැකි බව පේනවා . ඒ අනුව දැන් ඇයගේ වයස අවුරුදු 64 ක් හෝ අවුරුදු 66 ක් විය යුතුයි . එම ලිපි ලේඛන වල ලිපින තුනක් සඳහන් වෙනවා. 223/4, ගල්ඒදණ්ඩ කැලණිය යන්න එකක්. 464 සැතපුම් කණුව, පිදුරුකඩේ, වාරියපොල සහ  කඩහපොල ,නාරම්මල යන්න අනෙක් ලිපින දෙක. මගේ ජීව විද්‍යාත්මක පියාගේ නම කේ  .ජී  ප්‍රේමදාස ලෙස සඳහන්.  මා ඉපදෙන විට ඔහුගේ වයස අවුරුදු 23 ක් බවත්, රැකියාව වගාකරුවෙකු බවත් සඳහන්.  මා ඉපදෙන විය දෙමාපියන් විවාහ වී සිට නොමැති බවත් සඳහන්  වෙනවා.” 

“ඇත්තටම  තොරතුරු සත්‍යම ඒවද කියන්න මම දන්නේ නැහැ. මම ලංකාවට පස් වතාවක් ආවත්, හරි තොරතුරක් සොයා ගන්න නොහැකි වුණා. මාව දරුකමට හදා ගැනීමේ ලියකිවිලි වල යම්කිසි වරදක් තිබෙන බව හැඟෙනවා. මොකද එම ලිපිලේඛන වල මම ඉපදුණා යැයි ස්ථාන දෙකක් සහ ලිපින තුනක් සඳහන්ව තියෙන නිසා. මම මුලින්ම මගේ දෙමාපියන් සොයා ලංකාවට ආවේ මට වයස 14 දි. නමුත්  ඔවුන් සොයා ගැනීමට අප ගත් උත්සාහය සාර්ථක වූයේ නැහැ. නැවත 2010 මම ඔවුන් සොයා ලංකාවට පැමිණියා. දැන් වසර 28ක් තිස්සේ මගේ උපන් දෙමව්පියෝ හොයන්න මම උත්සාහ ගනිමින් සිටිනවා.”  
ඩෙනිස් නෙදර්ලන්තයේ සිට අප අමතා ලාංකික දෙමාපියන්ගේ තොරතුරු අප වෙත ද ලබා දුන්නේ දෙමාපියන් සොයා ගැනීමේ දැඩි බලාපොරොතුවකිනි. 

“වසර ගනනාවක් තිස්සේ මම මගේ මව්පියන් සෙව්වත් මට සුභදායි ආරංචියක් ලැබුණේ නැහැ. පසුව අයිලන්තයේ වෙසෙන ලාංකික කාන්තාවක් වන මහාචාර්ය අවුරංගා හින්රික්සන් මහත්මිය මට හඳුනා ගන්න ලැබුණා. ඇය මං වගේ දහස් ගණන් දරුවන්ට ලොකු කැප කිරීම් කරමින් දෙමාපියන් සොයා දෙන්න මහන්සි වෙන ආදරණිය මවක්. ඇයට මම මගේ දුක කිව්වා. ඒ මොහොතේ සිට මගේ දෙමාපියන් සොයා  දෙන්න එතුමිය විශාල උත්සාහයක් ගන්නවා. මගේ ජීව විද්‍යාත්මක මව මහගෙදර ආරච්චිගේ කාන්ති, පියා කේ.ජී.ප්‍රේමදාස හෝ වෙනත් මගේ ඥාතීන් කිසිවෙකු පිළිබඳ තොරතුරක් දන්නා කෙනෙකු වේ නම් -  ලංකාවේ ජීවත් වන පේෂාන් රණසිංහ 077 5000547 හෝ සමන් හේරත් 071 5123572යන මහත්වරුන් දෙදෙනා ගෙන් අයෙකුට දැනුම් දෙන ලෙස ඉතාම කරුණාවෙන් මම ඉල්ලා සිටිනවා.” 

“මට දැන් ජීවිතේ එක බලාපොරොත්තුවයි තියෙන්නේ. ඒ මගේ මව්පියන් හොයා ගන්න එක. සපයා ඇති ඉහත තොරතුරු අනුව මට මගේ දෙමාපියන් සොයා ගන්න උදව් කළ හැකි නම් එය ලොකු පිනක්.”    
ඩෙනිස් හැඟුම්බරව “ඉරිදා ලංකාදීප”යට පැවසීය.

නදීශා අතුකෝරළ