

“හෙමිහිට ඇද හැළෙන පොද වැස්සේ සීතලත්, මහ වනන්තරේ ෆයිනස් ගස් අතරින් හමා එන සුළඟත්, වැහි වලාකුළින් වෙළාගත් අහසත්, ටිකෙන් ටික මීදුමෙන් වැසී ගෙන එන කබරගල කඳු පන්තියත් මවා ඇති චිත්‍රය ගුප්ත වුවත් අතිශය මනරම් ය. වසඟ වූ දෙනෙතින් මම ඒ දෙස බලා සිටියෙමි. අව් රශ්මියත් සමග දහවල තිබූ විඩාබර මනසට, හීනියට වැටෙන පොද වැස්ස මහත් මිහිරක් බව අමුතුවෙන් කිවයුතු නැත. එය සැබෑවටම දෑස මානයේ ඇඳුණ චිත්රයකි.

අසුපිනි ඇල්ල, කඩියැල්ලෙන, ගල්පොත්ත, සුදුගල ඇල්ල, ගලබොඩ ඇල්ල ආදී මනරම් දිය ඇලි අතුරින් බුලත්කොහුපිටිය, දේදුගල හරහා දොළොස්බාගේ කඳු වැටියේ උසම කන්ද වෙන මීදුමෙන් වැසීගිය කබරගල කන්ද සොයා ගිය ගමන ඉතා සුවිශේෂි චාරිකාවකි. මහ අනෝරා වැසි, කටුක අත්දැකීම් බාධා මැද වුවත් මේ රමණීය කඳු පන්තියේ අලංකාර භූමි දර්ශනය අපේ ගතට මනසට ගෙනදුන්නේ පුදුමාකාර සැනසුමකි.
දොළොස්බාගේ කඳු පන්තිය උස් කඳු රාජ්‍යයක් ලෙසින්ද හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය නගරයට යාබදව බුලත්කොහුපිටිය දේදුගල හරහා යන ගමනේදී හමුවෙන දොළොස්බාගේ කඳු වැටියේ උසම කන්ද වෙන, කබරගල කන්ද කබරගොයෙකුගේ හැඩය ගත් කඳු පන්තියකි. මේ කඳු පන්තිය නිතර මීදුමෙන් වැසී ඇති අතර වැසි වසින සමයන්හි දී මේ ප්‍රදේශයේ සංචාරය කරන්නේ නම්, මනරම් දසුන් කීපයක්ම දැකගැනීමට හැකියාව ඇත.
කබරගල කඳු වැටියේ කඳු මුදුන් (peaks) දෙකක් තිබෙන අතර එහි නිල පිවිසුමෙන් ඇතුළු වී කන්ද තරණය කරන විට හමුවෙන ෆයිනස් ගස් සහිත කොටස අතිශය අලංකාර පරිසරයකි. කබරයකුගේ හැඩයෙන් යුතු ගල පිහිටා තිබෙන්නේද ඒ අශ්‍රිතව වෙන අතර එම ස්ථානයේ සිට ඈත බලන විට කබරගල ඊ ළඟ කඳු පන්තිය ඉතා පැහැදිලිව දිස්වේ. එම කඳු පන්තියට ළඟා විය යුත්තේ මහ වනාන්තරයක් මැදිනි. දොළොස්බාගේ කඳු පන්තියේ උසම කන්ද ලෙස හඳුන්වන කබරගල, මුහුදු මට්ටමේ සිට උසින් මීටර 1506ක් පමණ වේ. මෙම කබරගල කඳු වැටිය බොහෝ දෙනා නොයන, විශේෂයෙන් කඳු නගින්නන් අතර ජනප්‍රිය අමුතු අත්දැකීම් ලබාදෙන කදිම පරාදීසයක් යැයි කිවහොත් නිවැරදිය.

එමෙන්ම පරිසරයේ විවිධත්වය මනාව පිළිබිඹු කරන මෙම කඳුකරය තෘණ භූමියක් මෙන්ම වලාකුළු වනාන්තරයක් ලෙසත් හැඳින්විය හැකිය. පරිසර ආර්ද්‍රතාව ඉහළ මෙම භූමියේ ඉලුක්, මාන පඳුරු වැනි විවිධ තෘණ වර්ග පවතින අතර විවිධ වූ කෘමි විශේෂයන්ද මෙම වනයට ආවේණික වේ. ඒ වගේ මේ වනයට විශේෂිත සමනලුන්ගෙන්ද කඳු පන්තියට ගෙන දෙන්නේ පුදුමාකාර අලංකාරයකි. සුලබ සෙරුලියා, ඉන්දු මලවියා, සිරිති මුදුවා වැනි සමනල විශේෂ ගණනාවක්ද මේ සංචාරයේදී හමුවු අතර ඉන් බොහෝ සමනලුන් මධ්‍යම කඳුකරයේ දී පතන ආශ්‍රිතව පමණක් හමුවන දුර්ලභ සමනල විශේෂයන් බව ගැමියෝ පවසති.
කබරගල කන්ද තරණයට ළඟා විය හැකි මාර්ග
කොළඹ සිට පැමිණෙන විට බුලත්කොහුපිටිය දේදුගල හරහා දොළොස්බාගෙ පසුකර පැමිණ නාවලපිටිය මාර්ගයේ මෙරිවිල හන්දියේ ගණදෙවි කෝවිල ළඟින් වැටී ඇති තේ වත්ත මාර්ගයේ කබරගල කන්ද තරණයට පිවිසිය හැකිය.
අනෙක් මාවත වන්නේ පේරාදෙණිය හරහා ගම්පොළ නගරයට පැමිණ කුරැඳුවත්ත නව නගරය ඔස්සේ ද මෙරිවිලට පැමිණ කන්ද තරණය කළ හැකිය. තවද ගිනිගත්හේන නාවලපිටිය දොළොස්බාගේ මාර්ගයෙන්ද, කබරගල තරණය කළ හැකිය. කබරගල තරණය කිරීමට කොළඹ සිට පැමිණෙන්නේ නම් පහසුම මාර්ගය වෙන්නේ බදුල්ල දුම්රිය මාර්ගයේ නාවලපිටියට පැමිණ දොළොස්බාගේ බස් රථයේ පැමිණ මෙරිවිල හන්දියෙන් බැස යාමය.
කබරගල කන්ද ප්‍රදේශය කූඩැල්ලන්ගේ රාජධානියකි
මෙහි සංචාරය කිරීමේදී කූඩැල්ලන්ගෙන් ප්‍රවේසම් වීමට වග බලාගත යුතුය. තවද මෙහි සැණෙකින් වෙනස් වෙන කාලගුණයක් ඇති බැවින් නිතරම මෙම ප්‍රදේශය මීදුමෙන් බරව පවතී. කන්ද තරණය කිරීමේදී ආරම්භක පැය 3-4 ඇතුළත කබරගල පළමු View Point එකට ළඟා විය හැකිය. දොළොස්බාගේ උසම ස්ථානය පිහිටා ඇත්තේ තවත් පැය හතර පහක දුරකිනි. එම ස්ථානයට ළඟා වීම යම් තරමක දුෂ්කර කාර්යයක් වෙන නමුත්, කන්ද මුදුනට ගිය විට දැනෙන සැහැල්ලුව සුන්දරත්වය වචනයෙන් කිව නොහැකි තරම් ආස්වාදජනකය.
කබරගල කඳු මුදුනේ උසම ස්ථානය ගිය විට කොත්මලේ ජලාශය, ශ්‍රී පාදය, නෙල්ලිගල, මොනරකන්ද, අම්බුළුවාව, ගැරඬි ඇල්ල, සප්ත කන්‍යා කඳුවැටිය සහ කිණිහිර රාක්ෂගල කඳුවැටිය ඉතා පැහැදිලි ලෙස දිස්වේ. කබරගල කඳු මුදුනේ Camping කරන්නේ නම් අනිවාර්යයෙන් වතුර රැගෙන යා යුතුය.

කබරගල කඳු රාජිනිය ගැන පුරාවෘත්ත රැසක්
ගෞතම බුදුන් වහන්සේ සමනල කන්දට වැඩම කිරීමට පෙර මෙම කඳු වැටියට වැඩම කළ බවත්, මෙම වනයේ බහුලව කබරයන් ජීවත් වූ හෙයින් බුදුන්ගේ ශ්‍රී පාදය මෙම භූමියේ තබන්නට නුසුදුසු යැයි කී සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ සමනල කන්දට වැඩම කළ බවත් පුරාවෘත්තවල සඳහන් වේ. ගඟ ඉහළ කෝරලේ පිහිටා ඇති මෙම රමණීය කඳු වැටියේ අවසාන කොටස රාක්ෂගල හෙවත් කිණිහිරයි. මෙම කඳු වැටිය රාවණා ඉතිහාසයට දිවයන බවද ගම්මු විශ්වාස කරති. කෙම්මුර දිනයන්හිදී කබරගල කන්දේ සිදුවන අද්භූත සිදුවීම් අතර කබරගල කන්දේ සිට රාක්ෂගල හෙවත් කිණිහිර දක්වා තැනින් තැන විශාල පන්දම් 7 ක් දැල්වී එක් ස්ථානයකදී නිවී යන බව ගම්මු පවසති. එම සිදුවීම දුටු මහලු ගම්වැසියෝ තවමත් ජීවත් වෙති.
උදෑසන කාලයේ දැනුන දැඩි අව්රශ්මියත්, දහවල පසුවූ විගස මහ කැලයට පතිත වූ අනෝරා වැස්සත්, එ් එක්කම කූඩැල්ලන්ගේ ප්‍රහාරත් දරාගනිමින් රාත්‍රිය ගතකිරීම සඳහා කඳවුරු බැඳීමට කබරගල කඳු මුදුනට ළඟාවීමට ඉලුක් ගාල හරහා වැටී තිබුණු ගමන් මාර්ගය අති දුෂ්කර විය. එහෙත් කඳු මුදුනේ දැඩි සුළඟ සහ සිසිලස, ඒ දුෂ්කරතා සහ විඩාව මුළුමනින්ම අමතක කරලීය.
වැහි අඳුරින් වැසී ගිය අහස යට මීදුමෙන් වැසුණු කබරගල රාජිනියත් ගන අඳුරෙන් වෙළාගත් මහ වනයටත් කූඩාරමේ එල්ලා තිබූ ලන්තෑරුම එළිය දුන්නේ සඳක් පායා ආ සේය. රාත්‍රිය පුරා ගෙනදුන් පොද වැස්සත් සුළඟත් අපේ කඳවුරැ රාත්‍රියට එක් කළේ අමුතුම මිහිරියාවකි.

නදීශා අතුකෝරළ