වෛර ක්‍රෝධ ගිනි දහමින් නිවෙන හැටි


තොරතුරු:
වල්පොළ ශ්‍රී රාහුල බෞද්ධ 
අධ්‍යාපන ආයතනයේ පූජ්‍ය 
ගල්කන්දේ ධම්මානන්ද හිමි

අද ලෝකේ පවතින තරගකාරී ජීවන රටාව සමග මිනිසා තුළ පැවති ආදරය, සතුට, සැනසීම වැනි චිත්තවේග වෙනුවට කෝපය, වෛරය සහ ඊර්ෂ්‍යාව වැනි හැඟීම් වඩ වඩාත් ව්‍යාප්ත වී ඇති බව සමාජයේ නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙන නොයෙක් ආකාරයේ පුවත් වලින් පැහැදිලිය. අන්තර් පුද්ගල ගැටුම්වල සිට ගෝලීය ආතතීන් දක්වා මෙම හැඟීම් පාලනය නොකළහොත් - අතිමහත් දුක් වේදනා ඇති විය හැකි බව මෙහිදී අමුතුවෙන් කිව යුතු නොවේ. 

කේන්තිය හෙවත් කෝපය යනු අපි කාටත් ඇති විය හැකි සාමාන්‍ය මනෝ භාවයකි. මිනිසා තුළ මෙවැනි හැඟීම් ඇතිවීම සාමාන්‍යය. නමුත් දුක, සැකය, කේන්තිය වැනි අහිතකර තත්ත්වයන් පමණ ඉක්මවා දිගින් දිගටම ඇතිවීම මෙන්ම, සිතේ තැන්පත්ව පැවතීම හේතුවෙන් කෙනෙකුට ඉතා හානිකර තත්ත්වයක් වුව ඇති විය හැකිය. කෝපය නිසා පුද්ගල මානසික මට්ටම බිඳවැටෙන අතර, නොරිස්සුමෙන් පටන් ගෙන වෛරයෙන් අවසන් වුණ ඛේදජනක පුවත් අද සෑම තැනකම ඇත. පාසල් ළමුන් ගෙන් පටන් ගෙන වයෝවෘද්ධ අයවලුන් දක්වාම - කේන්තිය, වෛරය සහ ඊර්ෂ්‍යාව වැනි මානසික තත්ත්වයන් දැකගත හැක්කේ, එවැනි චෛතසිකයන් සාමාන්‍යයෙන් ඕනෑම නිරෝගී අයකුට වුව ද ඇති විය හැකි මනෝභාව බැවිනි. එය ස්වායක්තව ජනිත වෙන චිත්ත වේගයකි. තරහ ගැනීම යනු - යම්  සිදුවීමකට, චර්යාවකට හෝ අවස්ථාවකට අකැමැති බව හෝ එය නො ඉවසන බව ප්‍රකාශ කරන ආකාරයකි. මෙය අප්‍රසන්න උත්තේජකයකට අප්‍රසන්න ප්‍රතිචාරයක් ලෙස මනෝ විද්‍යාඥයෝ හඳුන්වති. නමුත් මෙම කේන්තිය දැඩි වන්නට නොදී පාලනය කර නොගතහොත් එය වෛරයක්, ආඝාතයක් බවට පත්වීමට ඉඩ තිබේ. එය අපේ නිරෝගීකම නැති කර මානසික මෙන්ම කායික රෝග තත්ත්වයකට අප පත් කරයි. පාලනය කර නොගත් කේන්තිය ආපස්සට අපව පාලනය කරයි. එහි ප්‍රතිඵලය විනාශකාරි විය හැක. 

කෙසේ වෙතත් නා නා විධ සම්ප්‍රදායික දැනුම් පද්ධතීන් ගෙන් මෙන්ම නූතන විද්‍යාවෙන් ද - මෙම විනාශකාරී මානසික තත්ත්වයන් පිළිබඳව අවබෝධ කර ගැනීමටත්, ඒ තුළින් කෙනෙකුගේ පරිකල්පනය සංවර්ධනය කර ගැනීමටත්, අවකාශය සලසා දී තිබේ.

බුද්ධාගම එහි ගැඹුරු භාවනා සම්ප්‍රදායන් මගින් ද, මනෝ විද්‍යාව ආනුභවික පර්‌යේෂණ මත පදනම් වී චිත්තවේගීය සමතුලිතතාව සහ අභ්‍යන්තර සාමය පෝෂණය කිරීමේ ක්‍රමවේදයන් මගින් ද, චිත්තවේග පාලනය කරගැනීම සඳහා මාර්ගෝපදේශ සපයයි.

ඒ අනුව මෙම ලිපියෙන් කේන්තිය, වෛරය සහ ඊර්ෂ්‍යාවේ මූලයන් පාලනය කර ගැනීමට හැකි බෞද්ධ ඉගැන්වීම් සහ ප්‍රස්තුතයට අදාළ මනෝ විද්‍යාත්මක පදනම විමසා බලමු.

  • බෞද්ධ ඉගැන්වීම්

බුදු දහමේ - කේන්තිය, වෛරය සහ ඊර්ෂ්‍යාව  හුදෙක් චිත්තවේගීය කැලඹීම් ලෙසම නොව බොහෝවිට ප්‍රඥාව නිෂේධනය කරවා දුක අත්කර දීමට තුඩු දෙන බලවේග ලෙස සැලකේ. 

බෞද්ධ මනෝ විද්‍යාවේ කෝපය පැන නගින්නේ අකමැත්තෙන් අප්‍රසන්න දේ ප්‍රතික්ෂේප කිරීමෙනි. නමුත් බටහිර මනෝ විද්‍යාවේ දී කෝපය යනු ස්වාභාවික චිත්තවේගයකි. බොහෝ විට දැනගත් තර්ජන, අයුක්තිය හෝ කලකිරීමකි. නිදන්ගත හෝ දැඩි කෝපය මානසික හා ශාරීරික සෞඛ්‍යයට හානි කළ හැකි අතර – හෘදය ආශ්‍රිත රුධිර සංසරණ ගැටළු, කාංසාව සහ මානසික අවපීඩනය වැනි තත්ත්ව පවා අත්පත් කර දිය හැකිය.

වෛරය යනු කාලයත් සමග පවත්වා ගෙන යන සහ ගැඹුරු වන කෝපයයි. ඊර්ෂ්‍යාව යනු බුදු දහමට අනුව ඇලීම සහ නොදැනුවත්කම තුළ මුල් බැසගත් තවත් විනාශකාරී හැඟීමක් ලෙස සලකයි. එය පැන නගින්නේ අන් අය සතුව ඇති දේ හිමිකර ගැනීමට ඇති ආශාවෙන් හෝ තමා සතුව ඇති දේ අහිමි වීමේ බියෙන් ය. 

මනෝ විද්‍යාත්මකව ඊර්ෂ්‍යාව යනු සංකීර්ණ චිත්තවේගයක් ලෙස සලකනු ලැබේ. බොහෝ විට - බිය, අනාරක්ෂිත බව, අඩු ආත්ම අභිමානය සහ හිමිකාරිත්වය මීට ඇතුළත් වේ. කෝපය සහ වෛරය මෙන්, පාලනය නොකළ ඊර්ෂ්‍යාව ස්වයං වටිනාකමට සහ අන්තර් පුද්ගල බැඳීම්වලට හානි කළ හැකිය.

බුදු දහම බලහත්කාරයෙන් හැඟීම් යටපත් කිරීම නිර්දේශ නොකරමින්, සිහි කල්පනාව ප්‍රවර්ධනය සහ අවබෝධය තුළින් ඒවා සමහන් කිරීම ඉලක්ක කර මාර්ගෝපදේශ ලබා දෙයි.

“බෞද්ධ ආගමෙන් වගේම අනෙක් ආගම්වලිනුත් මනුෂ්‍යයා මීට වඩා උතුම් බවට පත් වෙන්න පුළුවන් කියන උපකල්පනයෙ ඉඳගෙන තමයි මඟපෙන්වීම කරන්නේ.

මෙහිදී බුදු දහමේ දි කතා කරන්නේ - මනුෂ්‍යාට පිටත ආධාරකයකින් තොරව ඒ කියන්නේ දිව්‍යමය බල නැතුව තමන්ටම වඩා උසස් උතුම් තත්ත්වෙකට එන්න පුළුවන් කියලා. උත්සාහයෙන් මිනිසාට වෙනස් අයෙක් වෙන්න පුළුවන් බව තමයි බුදු දහමෙන් විශ්වාස කරන්නේ. ඒ කියන්නේ ලෝකය දෙස තමන් බලන දෘෂ්ටියත් එක්ක මොනම හේතුවකටවත් වෛරයට, හිංසාවට නොයා - අවිහිංසාව පදනම් කරගෙන ජීවත් වෙන්න මිනිසා මෙහෙයවීමයි මග ලෙස සලකන්නේ. අපි වටා ඉන්න අය අවිහිංසාවාදී කිරීමෙන් සමස්ත සමාජයම අවිහිංසාවාදී කළ හැකිය යන්නයි බුදුදහමේ ඉගෙනුම් ක්‍රමවේදයේ පදනම.”

“බුදු දහමේ මූලික සිද්ධාන්ත තුළ සඳහන් වෙනවා පටිච්ච සමූපාදය කියන කරුණ. එමගින් අනාවරණය කෙරෙන්නේ සියල්ල සිදු වන්නේ හේතුඵල සහසම්බන්ධතා සහිතව නිතර වෙනස් වීමෙන් බව. 

ගොඩක් වෙලාවට පෘථග්ජන මිනිසුන්ට කේන්ති යන්නේ, වෛර සිතුවිලි එන්නේ අපිට කාගෙන් හෝ නපුරක් වූ විට. එවැනි අවස්ථාවල ඒ නපුර කළ කෙනා දිහා බලන්න ඕනෙ විදිහක් බුදුදහමෙ පෙන්වනවා. ඒ තමයි ඔහු හෝ ඇය නපුරකු වීම හේතුඵල සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක්. ජීවිතේ යම්  විටකදී ලැබුණු අවස්ථා නිසා තමයි එයා වෙනස් වෙලා තියෙන්නේ. ඇතැම් විට ඔහු හෝ ඇය දුප්පත්ව පීඩා විඳින්න ඇති, ගුරුවරු අනිත් ළමයි ඉදිරියේ හිනාවට ලක් කරලා ඇති, එක්කෝ ලබා ගත් අධ්‍යාපනය හොඳ එකක් නොවෙන්න පුළුවන්, නපුරු පවුල් පසුබිමක් වෙන්න පුළුවන්. මේ තත්ත්ව නිසා තමයි පුද්ගලයෙක් තුළ නපුරු ඊර්ෂ්‍යා කරන අයෙක් බිහි වෙන්නේ. ඒ අනුව ඔහු උපතේ සිට නපුරු කෙනෙක් නෙවෙයි. හේතුඵල ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ඒ අනුව අපි තේරුම් ගන්නවා අපි ඉස්සරහ ඉන්නෙත් වින්දිතයෙක් බව. මොකද ඊට වඩා හොඳ වටපිටාවක් ලැබුණා නම් ඔහුට එහෙම වෙන්නෙ නැති බව. එතැන සිට තමයි වෛරයෙන් මිදෙන්නේ. එනම් මේ ක්‍රියාවලිය තේරුම් ගත්තට පස්සේ තමයි දැන් මම කාටද වෛර කරන්නේ කියලා අපිට හිතෙනවා. අවෛර වීම යන්නෙන් බුදුදහම අවබෝධ කරන්නේ ඒක.”

“ඊළඟ දේ තමයි අපි දැඩිව මගේ කියලා ඊර්ෂ්‍යාවෙන් අල්ල ගන්න හදන දේවලුත් වෙනස් වෙන්න බලනවා. මම කොච්චර කැමති වුණත් වෙනස්වීම කියන දේ මට නවත්තන්න බැහැ. ඒ වෙනස්වීම ඇතුළේ මම කැමති තැන තමයි මම මේ අල්ලගෙන තියෙන්නේ. එහෙම නම් ඊර්ෂ්‍යා කිරීමත් තේරුමක් නැහැ. ඔය කියන අවබෝධයත් එක්ක අපි යම් වෛරයක්, ඊර්ෂ්‍යාවක් කළොත් එයත් ඊළඟ වෙනසට බලපානවා. ඒ නිසා මම කේන්ති ගත්තොත්, වෛර කළොත්, ඊර්ෂ්‍යා කළොත් මම ‍තව නපුරු දෙයකට ආරම්භයක් වෙනවා. මොකද අපේ ක්‍රියාව අපි පසුපස එනවා කොයියම් විදිහකට හරි. මේක තමයි මෙහි බෞද්ධ ආගමික දාර්ශනික පදනම වෙන්නේ.” 

“එහෙනම් මේ චිත්තවේග පාලනය කර ගන්නේ කොහොමද? මේ දැනුම පුළුල් කරලා චර්‍යා වෙනසකට ගෙනියන්න පුහුණු කරද්දි තමයි මේ වෛරය, කේන්තිය , ඊර්ෂ්‍යාව වැනි දේවල් පාලනය කරගන්න කියා දෙන්නේ. ඒ අනුව පළවෙනි දේ  සම්මා වාචා, වචනය යහපත් කර ගන්නවා, වචනයක් කියන්න කළින් එහි විපාක පිළිබඳ හොඳින් හිතලා බලනවා, පුහුණු කරනවා. මම මේක කියන එක හොඳද? මේක ඇත්තද?, මේක අහලා කවුරුහරි භේද වෙයි ද වැනි දෙයක්. ඒ අනුව කතා කිරීම අවදි සිහියෙන් පුහුණු කිරීම කළ යුතුයි. ඊළඟට කායික මැදිහත්වීම. මෙහිදී තමාව උපමා කොට ගෙන අන් අයට හිංසා නොකරයි. එනම් මම වද වේදනා විඳින්න කැමති නැහැ - ඒවගේම අන් අයත් ඊට කැමති නැහැ කියලා හිතලා ඒ දෙය නොකිරීම.” 

“ඊළඟට භාවනාව කියන්නේ හිත පුහුණු කරනවා මේ මොහොතේ අවදියෙන් ඉන්න. මොකද මේ මොහොතෙ අවදියෙන් හිටියෙ නැත්නම් අපිට වචන වැරදෙන්න පුළුවන්. ඉතින් හැමවිටම අවදි සිහිය පුහුණු කළොත් තමයි වාචිකව වගේම කායිකවත් හානිකර නොවෙන විදිහට ඉන්න පුළුවන් වෙන්නෙ. භාවනාව යනු සිත පුහුණු කරන අභ්‍යාසයක්. ඒ තුළින් අපි හිතට පුහුණු කරන්නෙ අවදියෙන් සිටීම සහ පටිච්ච සමුප්පාදය කියන දැක්මෙ ඉන්නයි. මේ ඉගැන්වීම් පුද පූජා විදිහක් නෙවෙයි. කාලෙත් එක්ක සංස්කෘතිකව හැදුණු දෙයක්. අපි වෛර නොකර මෛත්‍රී කරන්නේ ඒක හොඳ නිසා නෙවෙයි ඒ හැර වෙන පිළිතුරක් අපිට නැති නිසයි. මොකද මේ ජීවිතය ඇතුළේ සියල්ල එකට එක සම්බන්ධ වෙන ජාලයක්.

මේ ගැඹුරු වෙනස පරිවර්තනය කර නොගෙන  කේන්තිය, වෛරය සහ ඊර්ෂ්‍යාව වැනි චිත්තවේග පාලනය කර ගැනීමට ක්ෂණික පිළියම් සෙවීම සාර්ථක නැහැ. නමුත් එවැනි ක්ෂණික පිළිතුරුත් තියෙනවා. එකක් තමයි හුස්ම තුනකට පිළිතුර කල් දැමීම. මොකක් වුණත් මම හුස්ම තුනක් අරගෙනයි කතා කරන්නෙ කියලා හිතුවොත්, ඒ හුස්ම තුන හොඳටම ප්‍රමාණවත් ඒ වෙලාවෙ තියෙන මනෝ භාවයෙන් මිදෙන්න. වෙනස් වෙන්න.  ගොඩක් අය කේන්තියක් ආපු වෙලාවට එකේ සිට දහයට ගණන් කරන්න කියනවා. හැබැයි ක්ෂණික කෝපයක දී අපි ගණන් කර කර ඉන්නෙ නැහැ. කේන්තිය පෙන්නුවට පස්සෙ තමයි ගණන් කරන්නේ. ඒ නිසයි මේ ක්ෂණික පිළිතුරු තාවකාලික වෙන්නේ. නමුත් මුලින් සියල්ල හේතු ඵල දහමත් සමග හොඳට අවබෝධ කරගෙන එවැනි ක්ෂණික පිළියමකට යාම වඩා සාර්ථකයි. මොකද එතකොට සිහියෙන් තමයි ඒ ක්‍රියාව අපි කරන්නේ. හුස්මට අවධානය දීලා ප්‍රතිචාරය කල් දැමීම වගේ දේවල් එවිට අපට පුරුදු වෙන්න පුළුවන්. අඩු ගාණේ කේන්තියක්, ඊර්ෂ්‍යාවක් ඇති වූ විට එක හුස්මක් අරන් ප්‍රතිචාරය දැක්වීමෙන් ඔබේ මනෝභාවය පාලනය වීමක් සිදු වෙනවා”

කෞශල්‍යා ලක්ෂානි