යුද්ධය අවසන් වී වසර 16 යි: ලංකාව ඉන්නේ කොතැන ද?


හෙට (19) දිනට යුද්ධය අවසන් කර වසර 16 ක් සම්පූර්ණ වේ. යුද්ධය නිම කර දසක එක හමාරකටත් වැඩි කාලයක් ඉක්ම ගිය ද ශ්‍රී ලංකාවට තවමත් පූර්ණ ප්‍රතිසන්ධානයක් සහ ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වී නැත. එහෙත් ලෝකයේ සිවිල් යුද්ධ සහ වාර්ගික ගැටුම් පැවති බොහොමයක් රටවල් ඒවා අවසන් වූ පසු ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගත්තේ ය. ඊට දැක්විය හැකි මනා නිදසුනක් නම් රුවන්ඩාවයි. හුටු සහ ටුට්සි වාර්ගික කණ්ඩායම් අතර පැවති දරුණු ගැටුම්වලින් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට දිවි අහිමි වූ අතර ඒ හේතුවෙන් අප්‍රිකාවේ අප්‍රියතම රටවල්වලින් එකක් බවට රුවන්ඩාව පත් විය. එහෙත් පෝල් කගාමේ එරටේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුගමනය කළ දූරදර්ශී ප්‍රතිපත්ති හේතුවෙන් රුවන්ඩාවේ ආර්ථිකයත් වාර්ගික සමගියත් වේගයෙන් දියුණු වූයේ ය.

එහෙත් ශ්‍රී ලංකාවේ පාලකයෝ ඒ සා දූර්දර්ශී අය නොවූහ. යුද්ධය නිම කිරීමෙන් පසු ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා අගනා අවස්ථාවක් ලැබුණ ද එය ඇහිරී ගියේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. නැතිනම් දසක එකහමාරක් යනු යුද්ධයෙන් වැටුණු රට ගොඩනැගීමට ප්‍රමාණවත් කාලයකි. යුද්ධය පැවති කාලයේ දී දරන ලද ආරක්ෂක වියදම් සහ පශ්චාත් යුද කාලයේ වැය කරමින් සිටින ආරක්ෂක වියදම් පිළිබඳ සන්සන්දනාත්මක විශ්ලේෂණයක් සමග යුද්ධයෙන් ඉක්බිති රටත් ආර්ථිකයත් දියුණු කිරීමට තිබූ අවස්ථාව මග හැර ගැනීම ගැන මේ විග්‍රහය ඉදිරිපත් කරන්නේ - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ ය.

ඒ ඒ රටවල හමුදා හා ආරක්ෂක වියදම් පිළිබඳ දත්ත ලෝක බැංකුව විසින් පවත්වා ගෙන යනු ලබයි. එම දත්ත විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන්නේ 1980 වනවිට ශ්‍රී ලංකාව යුද හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති මුදල දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 0.76 ක් බවය. එහි මුදල්මය වටිනාකම රුපියල් මිලියන 509 ක් පමණ විය. 1980 දසකයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය ශ්‍රී ලංකා රජයට විරුද්ධව යුද්ධය ආරම්භ කිරීම හේතුවෙන් යුද හා ආරක්ෂක වියදම් ක්‍රමයෙන් ඉහළ ගියේ ය. ඒ අනුව 1990 වනවිට එම වියදම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 2.33 දක්වා වැඩි විය. එහි රුපියල්මය වටිනාකම රුපියල් බිලියන 7.49 ක් විය. පසුව වසරක් පාසා මෙම වියදම් ඉහළ ගියේ ය. 1995 වසර වෙද්දී යුද හා ආරක්ෂක වියදම් වෙනුවෙන් වැය කරන ලද මුදල දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට සියයට 5.8 ක අගයක පැවතුණි. රුපියල් බිලියන 39 කි.

යුද්ධය අවසන් වීමෙන් පසු රටට ලැබුණු සංවර්ධන ආධාර වලින් රට දියුණු කරන්න අවස්ථාව තිබුණා

වර්ෂ 2000 දී එම අගය වාර්තා වූයේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 5.03 ක් හැටියටය. එහි මූල්‍යමය අගය රුපියල් බිලියන 63.31 ක් විය. 2009 වසරේ දී යුද්ධය අවසන් වූ අතර එම වසරේ දී යුද හා ආරක්ෂක වියදම් වෙනුවෙන් දරන ලද වියදම් සටහන් වූයේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 3.16 ක් වශයෙනි. රුපියල් බිලියන 152.88 කි. යුද්ධය පැවති කාලයේ දී මෙසේ වෙන් කළ මුදල්වලින් අවි ආයුධ මිල දී ගැනීම ඇතුළු ආරක්ෂක කටයුතු වෙනුවෙන් දැරිය යුතු වූ වෙනත් වියදම් ආවරණය කරන ලදී. එහෙත් අප අමතක නොකළ යුතු කාරණය නම්, විශාල වශයෙන් ආධාර හිමි වූ බව ය. ඒවා පැති කිහිපයකින් ලැබිණි. යුද ආධාර එහිදී ප්‍රමුඛ විය. ඒ යටතේ නොයෙක් අවි ආයුධ ඇතුළු මිලිටරි උපකරණ ලැබිණි. දීර්ඝ කාලයක් තිස්සේ යුද්ධයක පැටලී සිටි රටක් හෙයින් එයින් වින්දිත භාවයට පත් වූ ජනයාගේ සුබසාධනය ඉහළ නැංවීම පිණිස නොයෙක් රටවලින් හා සංවිධානවලින් සංවර්ධන ආධාර ද හිමි විය.

එහෙත් මේ කිසිදු දෙයක් පිළිබඳ දත්ත පද්ධතියක් සකස් කිරීමට අපේ අවධානය යොමු නොවිණි. එවැනි දත්ත පද්ධතියක අවශ්‍යතාව අවධාරණය කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. මෙපරිදි ආරක්ෂක හා මිලිටරි වියදම් හා ලැබීම් පිළිබඳ දත්ත පද්ධතියක් ස්ථාපිත කර නොතිබුණෙන් අපට ඒ සම්බන්ධ දත්ත ලබා ගැනීමට සිදු වෙන්නේ ලෝක බැංකුව හෝ වෙනත් එවැනි ආයතනවලිනි. 2009 දී යුද්ධය අවසන් වුව ද ඉන් පසු වර්ෂවලදී ද ආරක්ෂක හා මිලිටරි වියදම් වැඩි වී ඇති බවක් දත්ත පිරික්සීමේ දී පැහැදිලි වේ. ඒ අනුව 2010 දී එම වියදම් සටහන් වූයේ රුපියල් බිලියන 173 ක් ලෙස ය. 2011 දී එය රුපියල් බිලියන 193 ක් වූ අතර 2020 වනවිට එය රුපියල් බිලියන 272 ක් විය. 2023 වනවිට එම අගය රුපියල් බිලියන 450 මට්ටමට ළඟා වී තිබිණි.

යුද්ධයේ ජයග්‍රහණය අතිශයෝක්තියෙන් භුක්ති වින්දා මිසක් එයින් පාඩම් ඉගෙන ගෙන රට සංවර්ධනය කිරීමට අවධානය යොමු කළේ නෑ

මෙම යුද වියදම්වල රටේ සමස්ත ආරක්ෂක වියදම් අන්තර්ගත නොවන බව සඳහන් කළ යුතු ය. නිදසුනක් ලෙස 2024 අයවැය ලේඛනය අනුව ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ වියදම් වෙනමත් මහජන ආරක්ෂාවට අදාළ වියදම් වෙනමත් දැක්වේ. එම අංශ දෙකටම වෙන් කරන මුදල්වල එකතුව ගත හොත් අගය මීට වඩා වැඩි වීමට පිළිවන. යුද කාලයේ දී ආරක්ෂක හා මිලිටරි කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට සිදු වීම යථාර්ථවා දී ය. එමෙන් ම එකී කාලයේ දී රටේ බෝම්බ පිපිරවීම් හා වෙනත් ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් දෛනිකව විශාල හානියක් ද සිදු විණි. යුද්ධය අවසන් වීමත් සමග ඒවා නතර විය. එසේම සංවර්ධන ආධාර ද වැඩි වශයෙන් රටට ලැබිණි. යුද්ධයෙන් වැඩිමනත් බලපෑමට ලක් වූ උතුර සහ නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමට සංවර්ධන ආධාර බොහෝමයක් ලැබිණි. එහෙත් එම ආධාර යොදා ගෙන විධිමත් සංවර්ධනයක් ඇති කිරීමට අපි අපොහොසත් වූයෙමු.

යුද්ධයේ  ජයග්‍රහණය අතිශයෝක්තියෙන් භුක්ති විඳිනු ලැබුව ද යුද්ධයෙන් පාඩම් ඉගෙන ගෙන රට ගොඩනැගීමට පාලකයෝ කටයුතු නොකළහ. ජනතාවටත් එවැනි අවශ්‍යතාවක් තිබූ බවක් නොපෙනුණි. යුද්ධය අවසන් වූ හෙයින් දැන් ඕනෑ දෙයක් කළ හැකිය යන මානසිකත්වයෙන් පාලකයෝ ක්‍රියා කළහ. යුද්ධයෙන් ඉක්බිතිව රටේ තිරසාර සංවර්ධනයක් ඇති නොවීමට පාලකයෝත් ජනතාවත් වග කිව යුත්තෝ ය. රාජ්‍ය සහ පෞද්ගලික අංශ ආර්ථික සංවර්ධනය අරබයා ඵලදායීව යොදවනවා වෙනුවට ඒවා මුදල් ඉපැයීමට යොදා ගන්නා පරිසරයක් නිර්මාණය විය. පෙර සඳහන් කළාක් මෙන් යුද්ධය අවසන් වීමෙන් පසු රටට ලැබුණු සංවර්ධන ආධාර උපයෝගී කරගෙන රට ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීමට අදාළ සැලසුම් සකස් කර ඒවා ක්‍රියාත්මක කරන අතරවාරයේ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථාතත්ත්වයට පත් කර ශ්‍රී ලංකාව වඩාත් හොඳ රාජ්‍යයක් බවට පත් කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබිණි. එහෙත් අපි එම අවස්ථාව මග හැර ගත්තෙමු.

සිවිල් යුද්ධවලින් සහ වාර්ගික ගැටුම්වලින් පීඩා විඳි බොහෝ රටවල් ඒවා අවසන් වූ පසු සංවර්ධනයේ මාවත කරා වේගයෙන් ප්‍රවිෂ්ට විය. එවැනි රටවල් ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගද්දී ශ්‍රී ලංකාව තවමත් පසුපසින් සිටින්නේ නිවැරදි ප්‍රතිසංස්කරණ නොකළ නිසා ය. 

ශ්‍රම බළකායට සාපේක්ෂව බලන විට වැඩිම ආරක්ෂක අංශයක් පවත්වා ගෙන යන රටවල් අතර ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවෙයි. එනම්, රටක ශ්‍රම බළකායට සාපේක්ෂව එරටේ සිටින හමුදාවේ ප්‍රමාණයයි. ඒ අනුව ලංකාවේ ශ්‍රම බළකායෙන් සියයට 3.47 කට සමාන ආරක්ෂක හමුදාවක්  සිටියි. මේ අගය ඇමෙරිකාවේ සටහන් වන්නේත් ඊට වඩා අඩු මට්ටමකිනි. ඒ අනුව එරටේ ආරක්ෂක අංශය ශ්‍රම බළකායට සාපේක්ෂව සියයට 0.84 කි. චීනයේ එම අගය සියයට 0.33 කි. ඉන්දියාවේ එය 0.58 කි. ඉන්දුනීසියාවේ එම අගය සටහන් වන්නේ සියයට 0.49 ක් වශයෙනි. ඕස්ට්‍රේලියාවේ සියයට 0.44 කි. දකුණු ආසියානු කලාපයේ පාකිස්තානයේ එය දැක්වෙන්නේ සියයට 1.25 ක් ලෙස ය. මෙපරිදි ශ්‍රම බළකායට සාපේක්ෂව ඉහළ ආරක්ෂක අංශයක් පවත්වා ගෙන ගිය ද ඔවුන් නඩත්තු කිරීමට සිදු වන්නේ ද වැඩ කරන ජනතාවටය.

යුද්ධය අවසන් වූ පසු මෙරට ආරක්ෂක අංශ සාමාජිකයන් වැඩිවශයෙන් ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවනු ලැබීය. ඇතැම් දේශපාලනඥයන් ඔවුන්ගේ නිවෙස්වල වැඩ කටයුතු කර ගැනීම සඳහා ද ආරක්ෂක අංශ සාමාජිකයන් යොදා ගත් පුවත් පසුගිය කාලයේ දී නිතර වාර්තා විය. මේ අනුව ඉකුත් කාලයේ දී බොහෝ ආරක්ෂක අංශ සාමාජිකයන් දේශපාලනඥයන්ගේ ආරක්ෂාව සඳහා යොදා ගත්තා මිසක් රටේ ආරක්ෂාව වෙනුවෙන් යොදා ගත්තේ නැත. මේ අතර ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයන් දූෂණයට, අල්ලසට පවා යොමු විණි. හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත ආරක්ෂක අංශ සාමාජිකයන් ගැන ප්‍රවෘත්ති අසන්නට ලැබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. පාතාල කල්ලිවල සාමාජිකයන් වී සිටින හිටපු ආරක්ෂක අංශ සාමාජිකයන් පිළිබඳ තොරතුරු නිතර අසන්නට ලැබෙන්නේත් ඒ නිසා ය.

ලංකාවේ ශ්‍රම බළකායෙන් සියයට 3.47 ක් ඉන්නෙ ආරක්ෂක අංශයෙ අය. මෙය ඉතාමත් ඉහළ අගයක්

 

ලෝකයේ බොහෝ රටවල ආරක්ෂක අංශ නවීන තාක්ෂණය භාවිත කරන අතර හමුදා සාමාජිකයන්ගේ ප්‍රමාණය ද අඩු මට්ටමක පවතී. ආරක්ෂක කටයුතු හසුරුවනු ලබන්නේ ඉහළ තාක්ෂණය යොදා ගනිමිනි. එහෙත් ලංකාවේ ආරක්ෂක අංශ සතු තාක්ෂණය අවම මට්ටමක පවතින අතර ඉහළ සාමාජිකයෝ ප්‍රමාණයක් සිටිති. එම තත්ත්වය වෙනස් විය යුතු ය. එවිට ආරක්ෂක වියදම් අඩු කර ගැනීමට හැකියාව ලැබේ. මෙරට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 1,300 කට ආසන්න මුදලක් වැය කරනු ලැබේ. එයින් රුපියල් බිලියන 600 ක පමණ මුදලක් වැය කරන්නේ ත්‍රිවිධ හමුදා, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ වැටුප් ගෙවීමටය. එම මුදල රුපියල් බිලියන 200 දක්වා අඩු කර ගත හැකි නම් ඉතිරි කර ගත හැකි රුපියල් බිලියන 400 ක මුදල ආයෝජන කටයුතු වෙනුවෙන් යෙදවිය හැකි ය. ඒ අරබයා නව තාක්ෂණය භාවිත කරමින් ආරක්ෂක අංශ පරිවර්තනයකට බඳුන් කළ යුතු ය.

උපුල් වික්‍රමසිංහ