දියවන්නාවේ පාර්ලිමේන්තුව ගැන නැවත කතා බහක් ඇතිවී තිබේ. ‘නැවත’ කිව්වේ එය රෙපයාර් කිරීමට යන මුදල ගැන සංවාදයක් ඇති වී ඇති නිසාය.
අගනුවරත්, පාර්ලිමේන්තුවත් කෝට්ටේට ගෙනයාමට මුල් වූ පුද්ගලයකු නම් ආනන්ද තිස්ස ද අල්විස්ය. 1982 දී නව පාර්ලිමේන්තුව විවෘත වෙන විට කෝට්ටේ, යළිත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බවට පත් කරන ලද්දේ ජේ. ආර්. ජයවර්ධන විසිනි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පුරවරය ගොඩනඟන ලද්දේ 13 වෙනි සියවස අගභාගයේදී, ගිරි වංශික නිශ්ශංක අලකේෂ්වර සෙනෙවියන් විසිනි. එය උතුරුකරයේ ආර්ය චක්‍රවර්තීන්ගේ ආක්‍රමණ වැළැක්වීම සඳහා අතිශය ප්‍රයෝජනවත් වූ පංකදුර්ග පරික්ෂිප්ත බළකොටුවක් ලෙසින් හැඳින්වේ.
සවැනි පැරකුම්බා රජ සමය තුළ, ජයවර්ධනපුරය සකල සිරිලකට අගනගරයව බැබැළුණු අයුරු මෙසේය.
පොහොසද් දන ඇති
තුනුරුවන බැති පෙමා
මුළුවද් දන සුරපුර
පිරි සිරින් හැමා
ජයවද්දන කෙරුමෙන්
සුසැදි තම නමා
ජයවද්දන පුරවර
දනු මිතුරු තුමා
මෙසේ තොටගමුවේ සිරි රහල් කිවි හිමියන් සැළලිහිනි සංදේශයේදී උදම් ඇනූ මෙම පුරවරය, 1467න් පසු පිරිහී ගරා වැටී යන්නට පටන් ගෙන අන්තිමේ වන සතුනට වාසභූමි වූ බව ඉතිහාසයේ සඳහන් වේ.
ගාලුමුවදොර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව වරින්වර වැඩිවීමත් සමගම, ඉඩකඩ සහිත නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක අවශ්‍යතාව මතුවුණි. ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මන්ත්‍රී සංඛ්‍යාව 48ක් වූ අතර සෝල්බරි ව්‍යවස්ථාවෙන් පසු 1949 දී පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 101ක් දක්වා වැඩිවිය. 1959 දී සිදු කළ මැතිවරණ කොට්ඨාස නීර්ණය කිරීමේ කොමිෂන් සභාවේ නිර්දේශ අනුව, මන්ත්‍රී ආසන සංඛ්‍යාව 157 දක්වා වැඩි කෙරුණි. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මන්ත්‍රී ආසන සංඛ්‍යාව 168 දක්වා වැඩි වූ අතර 1978 නව ව්‍යවස්ථාවෙන් පසුව මන්ත්‍රී සංඛ්‍යාව 225 දක්වා ඉහළ යන ලදී.
1977 වසරේදී බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ නව පාර්ලමේන්තු ගොඩනැගිල්ල ඉදිකිරීමට තීරණය කරන ලදී. කොළඹ නගරය ජනාකීර්ණ වූ නිසා, එය තවදුරටත් පුළුල් කරනවා නම් කළ යුත්තේ නැගෙනහිර ප්‍රදේශයට වෙන්නට බවත් ඒ සඳහා ඓතිහාසික මෙන්ම ආර්ථික අතින්ද වඩාත් සුදුසු භූමිය පිහිටියේ ශ්‍රී ජයවර්ධනපුරයේදී බවත් රජය විසින් ප්‍රකාශ කරන ලදී. එවකට පළාත් පාලන හා ඉදිකිරීම් අමාත්‍යව සිටි ආර්. ප්‍රේමදාස විසින් නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිකිරීමට අවශ්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට මුල් විය.
1979 දී ජනපති ජේ. ආර්. ජයවර්ධනගෙන් ඇමතුමක් ලැබුණේ ජෙෆ්රි බාවාටය. ජේ. ආර්. විසින් බාවාට දිවා ආහාරයට ආරාධනා කරන ලද්දේ ගාලුමුවදොර පරණ පාර්ලිමේන්තුවටය.
ලෝක ප්‍රකට දක්ෂ වාස්තු විද්‍යාඥයෝ මෙය ඉදි කිරීමට සිය ශිල්පඥානය ලබා දුන්හ. අති මහත් කාර්යක්ෂම සේවක පිරිසක් සිය ශ්‍රමය සපයා දුන්හ. ඇල්.ටී.පී.මංජු ශ්‍රී, සේනක සේනානායක, ඇස්. ඇස්. ඇල්. සුරේන්ද්‍ර, සෝමබන්දු විද්‍යාපති, ලකී සේනානායක, මහින්ද අබේසේකර, ඊනා ද සිල්වා සහ අනිල් ගාමණී ජයසූරිය වැනි හෙළ කලාකරුවෝ සිතුවමින්, කැටයමින් හා මූර්තියෙන් මන්දිරය ඔප්නැංවූහ.
ඒ වෙන විට, බාවා, ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද අති චිත්තාකර්ෂණීය වාස්තු විද්‍යාත්මක නිර්මාණයන් නිසා ප්‍රසිද්ධියට පත්ව සිටියේය. එකී දුරකථන ඇමතුම හදිසි තීරණ්‍යක් නොවන්නට ඇත. පෞද්ගලික මට්ටමෙන් යම් යම් මූලික අදහස් හුවමාරු කිරීම් කලින් සිදුව තිබෙන්නට ඇති අතර ඊළඟට සිදුවෙන්නට යන්නේ කුමක්දැයි බාවා දැන සිටියේය. කෝට්ටේ වෙත පාර්ලිමේන්තුව ගෙන යෑමේ තීරණය ගත්තේ ජයවර්ධනයන් විසින් වුවද, මන්දිරය ඉදිවෙන ස්ථානය තෝරා ගැනීමේ ගෞරවය හිමිවිය යුත්තේ බාවාටය. පොළොවෙහි සිට ද, අහසෙහි සිට ද භූමිය පරීක්ෂා කිරීමෙන් පසු, පෙනෙන්නට ඇති ප්‍රභවයක් නොමැති වූ, උතුරා යන ජල කඳක් සහිතව කෝට්ටේ ඓතිහාසික ඇතුළු නුවර වටා විලක් ලෙස පැතිරී තිබුණු දියවන්නාව මධ්‍යයේ එය ස්ථානගත කිරීමේ තීරණය ගන්නා ලද්දේ ඔහු විසිනි.
පාර්ලිමේන්තුව පමණක් නොව, රටේ පාලන මධ්‍යස්ථානයද කොළඹින් ඉවත් කළ යුතුය යන තීරණයට එළඹ, පාර්ලිමේන්තු සංකීර්ණය කොළඹින් සැතපුම් හයකට නොවැඩි දුරකින් පිහිටි ශ්‍රී ජයවර්ධන පුරයෙහි පිහිටුවිය යුතු යැයි 1979 ජුලි 4 වෙනි දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සර්ව පාක්ෂිකව පිළිගන්නා ලදී.
ජයවර්ධනපුර කෝට්ටේ නව පුරවරයට ඒ සඳහා කෝටටේ අක්කර 25,000 ක් පමණ බිම් ප්‍රමාණයක් තෝරා ගන්නා ලදී. එහි මැද වගුරු යායකින් වට වූ දූවක් විය. ඒ දූව නව පාර්ලිමේන්තු සංකීරණය සඳහා වෙන් කරන ලද්දේ ජෙෆ්රි බාවාගේ අභිමතය පරිදි ජේ. ආර්. ජයවර්ධන විසිනි.
එවකට විධායක ජනාධිපති ධුරයක් නොවීය.
අග්‍රාමාත්‍ය ජේ. ආර්. ජයවර්ධන විසින් නව පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකිරිම සඳහා රටවල් කිහිපයකම සහයෝගය ලබාගැනීමට තීරණය කරන ලදී. ඒ අනුව ඇමෙරිකාව, ජර්මනිය, එංගලන්තය සහ ප්‍රංශය යන රටවලින් නව පාර්ලිමේන්තුව ඉදිකිරීමට අදාළව සමීක්ෂණ කටයුතු ජේ. ආර්. ජයවර්ධන නිර්දේශ කරන ලදී. මේ අනුව ෆ්‍රෙන්ච් සෙන්ට්‍රල් ගෲප් නෝච් නිව්ටන් නම් වූ ප්‍රංශ සමාගමක් ශ්‍රී ලංකාවට පැමිණ කරන ලද සමීක්ෂණවලින් පසුව, එම සමාගමේ යෝජනාව අනුව දියවන්නාවේ අක්කර 16කින් යුත් කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකිරීම් කටයුතු ජපානයේ මිට්සුයි කොන්සෝටියම් ආයතනයට පැවරුණු අතර එකි වැඩ ඇරඹුණේ 1979 නොවැම්බර් මාසයේය.
ඉන්පසු 1980 සැප්තැම්බර් 22 වනි සඳු දින නව ගොඩනැගිල්ලේ සභා ප්‍රතිහාරය අබියස නිදන් වස්තු තැන්පත් කිරිමේ උළෙල පැවැත්වුණි. ජනාධිපතිතුමා මඟුල් බෙර සක් හඬ මධ්‍යයේ නවරත්න සංඛ්‍යාත ශුද්ධ වස්තු මංජුසාව තැන්පත් කෙළේය.
හෙළදිව පුරාණයේ වෙනත් විවිධ සමරු සංකේතද එදින තැන්පත් කෙරිණි. ඒ අතර 1933 පටන් ලක් රජය කරවූ සියලු මැති ඇමැතිවරුන්ගේ නාම ලේඛයනක් ද, නිදහසින් පසු පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනෙහිම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පිටපත් ද ඒ අතර විය.
නව පාර්ලිමේන්තු ගොඩනැගීමේ එතැන් සිට මුළු වැඩ බිම කඩි ගුලක් මෙන් විය. ජපන්, බුරුම, පිලිපීන, මලයානු, දෙමළ සහ සිංහල කාර්මිකයෝ උරෙනුර ගැටෙමින් කඩිසර ලෙස පාර්ලිමේන්තුව ගොඩනඟන්නට විය. රජයේ මෙන්ම පෞද්ගලික අංශයේද විවිධ ආයතන සේවයෙහි නිරත වූයේ අසාමාන්‍ය උනන්දුවකින් බව කිව යුතුමය.
නව පාර්ලිමේන්තුව ගොඩනඟන අයුරු ජෙෆ්රි බාවා නිරීක්ෂණය කරන ලද්දේ ගුවනේ සිට ය. එහි පද්ම සංකල්පය ගැන බාවා සටහනක් තබා ඇත්තේ මෙසේය.
පාර්ලිමේන්තුව ඉදිකළ භූමිය එදා
‘‘ගුවනෙහි සිට බලන කල්හි දිස්වෙනුයේ අඛණ්ඩව විහිදී පවතින තද කොළ පැහැති ගහකොළින් සුසැදි ඉවුරකින් යුතුව පුළුල්ව පැතිරී පවතින ජල තටාකයක් සහ එය මැද මූල ධාතුන් එකට බැඳ තබන ආකර්ෂණ කේන්ද්‍රයක් ලෙස පිහිටා ඇති මාලිගාවකි. මේ සැලැස්ම විස්මය අර්ථයකින් හෙබි තුලනයක් පවත්වා ගන්නා සෙයකි. එය විශ්වයෙහි සමාරම්භයෙහි දී ම කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් විසින් සංවිධිත වූ හඳහන් සැලැස්මක් වැන්න. මෙහිදී තවත් අකාලික සංඛේතයක් සිහියට නැගේ. එනම්, පද්ම සංකල්පයයි. බෞද්ධ චින්තනය හා එහි සංස්කෘතිය තුළ පද්මයට කේන්ද්‍රීය ස්ථානයක් හිමි වේ. ඒ වනාහි නික්ලේශීභාවය සහ කේන්ද්‍රීය අගය නියෝජනය කරන්නා වූ ද ලෞකිකත්වයෙන් ඉහළ නැගි උත්තුංග වූ ආධ්‍යාත්මික පාරිශුද්ධිය වෙත ළගා වීම ද, තණ්හා ආශාවන්හි බන්ධනයෙන් විමුක්ත වී සපැමිණෙන පරම සුවය ද සංකේතවත් කරන්නා වූ ද වස්තුවකි.
සජීවී සියලු දෑ මෙන් පද්මය ද ජලයෙන් හා මඩ කළලින් උපත ලබයි. එසේම, ජන්මයෙහි කුණු කසළ මතින් ඉහළට නැගි නොකිලිටි සුපිරිසුදු බවින් යුතුව අහස් කුස වෙත සිය මුව මඬල යොමු කරගෙන සිටී.
ජල තටාකය මධ්‍යයේ පිහිටා ඇති මන්දිරය මේ දේශයේ ජනතාවගේ චිත්තාභිලාෂයන්හි නිවාසස්ථානය වෙති. එම පිහිටිම සිහිගන්වන්නේ සකල විධ කිලිටි සිතිවිල්ලෙන් හා ක්‍රියාවෙන් මිලින නොවන පරිදි ආරක්ෂිතව ද, සියලු අගති විනිශ්චයන්ගෙන් විනිර්මුක්තව ද ලෞකික බලපැම්වලට හසු නොවී පවත්නා ලෙස දරාගත විධිනියම අනුව සකල දිශාවන්ගෙන් ම ජලයෙන් වට වී සිටින පරිදි නිර්මිත බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සීමාමාලකයකි.’’
‘‘මෙම පාර්ලිමේන්තු මුල් ගොඩනැගිල්ල සිව් මහල් පායකි. සිව් කොන් විසින් ගිමන් හල් සතරෙකි. ප්‍රධාන ප්‍රතිභාරයට නැගෙන පියගැට පෙළකි. පිය ගැට දෙපසින් සිහිල් දිය කඳ දෙකක් විසිතුරු පොකුණකට ගලා බසී. දෙපස දද කුඹු දෙකකි.
නව පාර්ලිමේන්තුවේ ආලින්දයෙන් පාර්ලිමේන්තු සභා ගර්භයට මග පෙන්වන ප්‍රවේශ ශාලාවය. ශාලා දෑලෙහි සතු වරම් දෙවිවරුය, පන්හිඳ අතින් ගත් සිරි රහල් හිමියෝය. සැළලිහිණි අස්නේ කර්තෘ ප්‍රවෘත්තියය.
නව සභා ගර්භයට ඇතුළු වෙන ප්‍රධාන දොරටුව කොටස් තුනකින් යුක්තය. පළමුවැන්න, පීලි මත දිවෙන යෝධ දොර පළු දෙකකි. දෙවැන්න, ලෝහමය රිටි වැටකි. තුන්වැන්න, සියුම් කැටයමින් යුත් තඹ දොරකි. මෙහි මුහුණත පුරාණ ශිලාලේඛනාක්ෂර යොදා ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව සිංහල, දෙමළ, ඉංග්‍රීසි තුන් බසින් රිදියෙන් කැටයම්කොට ඇත. ඇතුළු පැත්තෙහි ලියවැල් කැටයමක් ද දක්නට හැකිය.
නව වැනි ගර්භය සභා ගර්භය රකින ප්‍රශස්ත නිර්මිතයකි. මල් සියඹලා ජනෙල් ලෑලි අල්ලා, මදටිය පාට නයිලෝන් පලසක් අතුරා, පච්චනිල් සම් රෙද්දෙන් ආසන පොරාදු කර, පුරාණ ලාංකීය දිශා විසි එකක ධජ ආකෘති නංවා, මළ නොබැඳෙන කුඩා ඇලුමිනියම් තහඩු ඇමිණූ උඩු වියනක් ඇද, සබා ගර්භයේ ප්‍රතාපවත් බව තවත් වැඩි කරන්නාහ.
එමෙන්ම ශාලාව මැද යෝධ පොකුරු පහන, තල් හීයක ආකෘතියක් දක්නට ලැබේ’’.
‘‘ගුවනෙහි සිට බලන කල්හි දිස්වෙනුයේ අඛණ්ඩව විහිදී පවතින තද කොළ පැහැති ගහකොළින් සුසැදි ඉවුරකින් යුතුව පුළුල්ව පැතිරි පවතින ජල තටාකයක් සහ එය මැද මූල ධාතුන් එකට බැඳ තබන ආකර්ෂණ කේන්ද්‍රයක් ලෙස පිහිටා ඇති මාලිගාවකි. මේ සැලැස්ම විස්මය අර්ථයකින් හෙබි තුලනයක් පවත්වා ගන්නා සෙයකි. එය විශ්වයෙහි සමාරම්භයෙහි දී ම කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් විසින් සංවිදිත වූ හඳහන් සැලැස්මක් වැන්න.
දියවන්නාවේ මේ අලුත් පාර්ලිමේන්තුව ගැන එය විවෘත කරන අවස්ථාවේ එවකට ක්ෂණික කතා පරිවර්තක වූ නීල් ශ්‍රී විජේසිංහ සටහනක් තබා ඇත්තේ මෙසේය.
‘‘වර්ග අඩි 48,000ක් විශාල මුළු පාර්ලිමේන්තු මන්දිරය තුළ කාරක සභා ශාලා 8කි. මහජන නැරඹුම් ආසන සහිත අලංකාර උත්සව ශාලාවකි. අංගසම්පූර්ණ පුස්තකාලයකි. මන්ත්‍රීන්, සේවකයන් සහ මහජනයා සඳහා භෝජනාගාර හයකි. ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, කතානායකතුමා, සභානායකතුමා සහ විරුද්ධ පක්ෂ නායකතුමා සඳහා වෙන වෙනම විශේෂ කාමර සහ කාර්යාල ය, අමාත්‍යවරුන්ගේ ප්‍රයෝජනය සඳහා කාමර 25කි. සේවක මණ්ඩලය සඳහා වෙන්වූ කාර්යාල ගණනාවකි. තැපැල් කාර්යාලයකි, බැංකුවකි, පොලිස් මධ්‍යස්ථානයකි, මෝටර් රථ 200ක් සඳහා ආවරණය කළ විශේෂ රථ ගාලකි.
ගොඩනැගිලි ආකෘතිය නුතන හා පුරාතන ගෘහ නිර්මාණ ශෛලීන්ගේ භාවිත සංකලනයකි. නවීනතම තාක්ෂණික උපකරණ අසල ඉපැරණි කාලා කෘතීන්ය. වානේ ලිපිගොනු, කැබිනෙට්ටු අසල පුරාණ සිංහල පෙට්ටගම්ය.
ලෝක ප්‍රකට දක්ෂ වාස්තු විද්‍යාඥයෝ මෙය ඉදි කිරීමට සිය ශිල්පඥානය ලබා දුන්හ. අති මහත් කාර්යක්ෂම සේවක පිරිසක් සිය ශ්‍රමය සපයා දුන්හ. ඇල්.ටී.පී.මංජු ශ්‍රී, සේනක සේනානායක, ඇස්. ඇස්. ඇල්. සුරේන්ද්‍ර, සෝමබන්දු විද්‍යාපති, ලකී සේනානායක, මහින්ද අබේසේකර, ඊනා ද සිල්වා සහ අනිල් ගාමණී ජයසූර්ය වැනි හෙළ කලාකරුවෝ සිතුවමින්, කැටයමින් හා මූර්තයෙන් මන්දිරය ඔප් ගැන්වූහ’’.
වසර දෙක හමාරකටත් අඩු කාලයකදී රුපියල් සිය කෝටියකට ආසන්න වියදමකින් ජනතා සේවය සඳහා ජනතා නියෝජිතයන් වෙනුවෙන් ඉදි කර දි ඇති මෙම මන්දිරය ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය කෙරෙහි පොදු ජනතාව දක්වන විශ්වාසය ප්‍රතිමූර්තිමත් කරන්නකි.
මේ නව පාර්ලිමේන්තුව විවාත කොට ඇත්තේ 1982 අප්‍රේල් 29 වැනි දාවකය. 1947 සිට පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටි විපක්ෂයේ මෛත්‍රිපාල සේනානායක, විපක්ෂයේ සිට එදා මෙැවනි ප්‍රකාශයක් කොට ඇත.
“මේ ගොඩනැගිල්ල නරඹා, එහි ගෘහ නිර්මාණ ශිල්පය පිටත සිට මහත් සේ අගය කොට ඉන්පසු ඇතුළට පැමිණ එහි අසහාය ශ්‍රී විභූතිමත් භාවය ගැන විස්මයට පත් වී ඉන්පසු මම මගෙන් ම අසා සිටියේ මෙයින් අපේ ජනතාවට වෙන යහපත කුමක්ද? කියාය. සැබැවින්ම එය මහානුභාව සම්පන්න ස්මාරකයකි. එහෙත් ඒ කුමක් සඳහා වූ ස්මාරකයක් ද? එය අපේ ජාතික උරුමය සඳහා ද? අපේ ආගම් සඳහා ද? ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපේ ඇති විශ්වාසය සඳහා ද? පොදු මහජනතාවගේ සුභසාධනය සඳහා අපේ ඇති කැපවීම සඳහාද?” යි මෛත්‍රීපාල සේනානායක ප්‍රශ්නකොට ඇත.
එක්දහස් නවසිය අසූදෙකේ අප්‍රේල් 29 වැනි දින උදෑසන 10.15 කනිසමට රැස්වෙන ලෙස කැඳවීම් කර තිබූ නව පාර්ලිමේන්තුව ඇමතුවේ ලංකාවේ පළමු විධායක ජනාධිපති ලෙසය. එතුමා තම කතාව අවසන් කොට ඇති තැනින් ලිපිය අවසන් කරමි.
“ප්‍රජාතන්ත්‍රවාදයේ පූජනීය ස්ථානය වෙන මෙහිදී, අපි බහුජන ශුභසිද්ධිය පිණිස අපගේ කාර්යයන් මෙහෙයවමින්, මේ සභාගර්භය තුළ අපගේ වචනයන්හි හා ක්‍රියාවන්හි අප ජිවිතවල උසස්තම අවස්ථා නිරූපණය වූයේ යැයි, තව ම ඉපද නැති පරම්පරාවන් මුවින් කියැවෙන පරිදි කටයුතු කරමු.”
මහින්ද රණවීර