
කොත්මලේ යනු - ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් කීපයකටම නිජබිම වූ මනරම් වූ ඵෙතිහාසික පුරවරයකි. මෙම පුරවරය මනරම් කඳුගැට කීපයකින් වට වී පිහිටා තිබීම හේතුවෙන්, ස්වාභාවිකවම ආරක්ෂාව සාක්ෂාත් කර ගැනුණු - සුන්දර භූමි භාගයකින් සමන්විත පුරවරයක් ය යන්න අතිශයෝක්තියක් නොවේ.
දුරාතීතයේ කොත්මලේ රාජ්‍යයක් ලෙස පැවැති සමයේ - ඊට පිවිසීම සඳහා ප්‍රධාන පිවිසුම් දොරටු හතරක් නිර්මාණය කොට තිබූ බැව් වාර්තා වී තිබේ. කඩදොර හෙවත් දෙහදුකඩුල්ල, වටදොර, නියම්ගම්දොර සහ ගල්දොර එකී ප්‍රධාන දොරටු සතර වේ. මෙරට රාජාණ්ඩු පැවති යුගයේ එබඳු විශේෂිත දොරටු සහිත පරිපාලන ඒකක ගණනාවක් අප රටෙහි පැවතී ඇතැයි කියන අතර , මේ වන විටත් ශේෂව පවතින එකම දොරටුව වන්නේ “කොත්මලේ - කඩදොර හෙවත් දෙහදුකඩුල්ල” පමණි.
කඩදොර හෙවත් දෙහදුකඩුල්ල විශේෂිත ගල්කුට්ටි සහ සක්කගල් භාවිත කොට නිර්මාණය කර ඇති පිවිසුමකි. 2007 වර්ෂයේ දී දෙහදුකඩුල්ල සහ පියගැට පෙළ සංරක්ෂණය කොට පුරාවිද්‍යා ස්මාරක ස්ථානයක් ලෙස 2008.06.06 දාතමැති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නම් කොට තිබේ.
මෙම ස්ථානයෙන් ඔබ්බට ගමන් කිරීම සඳහා ගල්පඩි සහිත විශේෂ මාර්ගයක් ඉදිකොට තිබී, එහි නටබුන් අදටත්‍් ශේෂව පවතී. එකී මාර්ගය“කොටගෙපිටිය”නම් වූ ග්‍රාමයට පිවිසීම උදෙසා භාවිත කොට ඇති අතර, ගැමුණු කුමාරයා සැඟව සිට ඇතැයි කියනුයේ එහිය.

දුටුගැමුණු රජතුමා
එවන් අසිරිමත් පුරවරයක පිහිටි “රණමුනේ පීල්ල” යනු - කොත්මලේ, මාවෙල නගරය ආසන්නයේ පිහිටි තවත් සුවිශේෂ ස්ථානයකි. අපේ සංස්කෘතික උරුමයේ තවත් එක් අගනා දායාදයක් ලෙස රණමුනේ පීල්ල දැක්විය හැක. මෙම ඉපැරණි පීල්ල දුටුගැමුණු රාජ්‍ය පාලන සමය හෙවත් ක්‍රි.පූ.137-161 අතර කාල සීමාවටත් පෙර සිට පැවත එන ඵෙතිහාසික ජල පීල්ලක් ලෙස හැඳින්වේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2008.06.06 දාතමැති අංක 1553 දරන ගැසට් පත්‍රය මගින් මෙම ඵෙතිහාසික රණමුනේ පීල්ල සහ ඊට නුදුරින් ඇති අම්බලම පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කොට ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.
වසරේ සෑම දිනකම නොනවත්වා අඛණ්ඩව දැඩි ශීතලකින් යුතු අතිශය පිරිසිදු නැවුම් ජලය මුදාහරින මෙම පීල්ල - ස්වාභාවික ජල උල්පතක් මගින් සම්භවය ලැබ ඇත. කවර අන්දමේ තද නියඟයක දී වුව, මෙහි ජලය සිඳීයාමක් කොහෙත්ම සිදු නොවන බව - මාවෙල වැසියෝ කියති. ස්නානය හා රෙදි සේදීම සඳහා මාවෙල අවට ගම් රැසක ගම් වැසියෝ මෙම පීල්ල භාවිත කරති. ස්නානය සඳහා ස්ත්‍රී - පුරුෂ දෙපාර්ශ්වයට වෙන වෙනම වතුර පීලි දෙකක් පැවතීම විශේෂයකි.
වසරේ සෑම දිනකම නොනවත්වා අඛණ්ඩව දැඩි ශීතලකින් යුතු අතිශය පිරිසිදු නැවුම් ජලය මුදාහරින මෙම පීල්ල - ස්වාභාවික ජල උල්පතක් මගින් සම්භවය ලැබ ඇත. කවර අන්දමේ තද නියඟයක දී වුව, මෙහි ජලය සිඳීයාමක් කොහෙත්ම සිදු නොවන බව - මාවෙල වැසියෝ කියති.
රණමුනේ ස්වාභාවික ජල උල්පත සහිත වතුර පීලි විශාල කළුගල් කුට්ටි වලින් ඉදි කොට තිබේ. පැරණි ලාංකේය වාස්තු විද්‍යා ශිල්පයත්, එම ශිල්පීන් ගේ ඉංජිනේරු ශිල්පී හැකියාවත්, මූර්තිමත් කෙරෙන තවත් එක් අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකිවේ.
වතුර පීලි ආසන්නයේ පැරණි අම්බලමක් පවතී. කුලුනු හතරක් ඉදිකොට, මැටි උළු සෙවෙලි කරන ලද වහලයක් යොදා එය ඉදිකර තිබේ. ස්නානයට පැමිණෙන පුද්ගලයන්ට ඇඳුම් මාරු කරගැනීමට, රෙදි තබා ගැනීමට, මෙන්ම විවේක ගැනීම උදෙසා - මෙම අම්බලම ඉදි කරන්නට ඇතැයි සිතිය හැකිය. අතීතයේ දී ස්නානයේ දී භාවිත කරන ලද්දේ වත්මනෙහි මෙන් සබන් නොව, විවිධ ඖෂධ ශාක කොටස් වලින් සකස් කරන ලද නානු වර්ග වේ. අම්බලම අසල ඇති තරමක් විශාල කළුගලක වංගෙඩියක් පරිද්දෙන් උපයෝගීකර ගැනීමට හැකි වනසේ සාමාන්‍ය ප්‍රමාණයේ වළවල් දෙකක් කොටා ව්‍යුහ දෙකක් සාදා තිබෙනු දැක ගත හැකිය. ඒ ස්නානය සඳහා ඇඟ ගැල්වීමට ශාක ඖෂධ වර්ග කොටා නානු සකසා ගැනීමට යොදා ගෙන තිබේ.

රණමුනේ පීල්ල හා අම්බලම
කොත්මලේ මාවෙල ගම්මානය පඬුවස්දෙව් රජුගේ කාල සීමාව දක්වා දිවෙන ඉපැරණි ගම්මානයකි. රණමුනේ පීල්ල පිහිටා ඇත්තේ වෙල් යායක ඉහළ ප්‍රදේශය ආශ්‍රිතවය. එම කුඹුරුයාය ගැමුණු කුමාරයා කොත්මලේ සැඟව සිටිය දී අස්වද්දන ලද කුඹුරු යායයි. රණමුනේ පීල්ල පිහිටි කුඹුරුයාය අස්වද්දා ඇත්තේ පීල්ලට ජලය සැපයෙන කුඩා ජල මාර්ග උපයෝගී කර ගනිමිනි. මාවෙල ගම්මානය හරහා ප්‍රධාන වාරි ඇළ මාර්ග ත්‍රිත්වයක් සකස් කොට තිබේ. උඩ මාඇළ, මැද මාඇළ සහ බානගල ඇළ ලෙස ඒවා හඳුන්වයි. රණමුනේ පිහිල්ලේ ජලය උඩ මාඇළ හරහා ගලා ගෙන ගොස් තම්මිටිය, මාස්වෙල දක්වා ගමන් කරයි.
ඌරුපැලැස්ස ගම්මහගේ නමැති ගොවි ගෙදර ගැමුණු කුමරු වසර 24ක පමණ කාලයක් ජීවත්ව සිට ඇති බව කියවේ. ගැමුණු කුමාරයා විසුවේ සිංහල පේළිගෙදර බවට තව මතයක් නිර්මාණය වී පවතී.
කෙසේ නමුත්, වර්තමානය වන විට මෙම ගම්මාන නායයෑමේ අවදානමක් මතුව ඇති ප්‍රදේශයක් ලෙස, ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය විසින් හඳුනා ගෙන තිබේ. ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචිකරුවන් හට ඉන් ඉවත් වීමේ නිවේදනයන් පවා නිකුත් කොට තිබේ.
තලවකැලේ ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ

දෙහදු කඩුල්ල නොහොත් කඩදොර

දෙහදුකඩුල්ලේ නාම පුවරුව

පීල්ල පාමුල පිහිටි දුටුගැමුණු කුමාරයා අස්සද්දන ලද බව පැවසෙන වෙල් යාය

