වළකුළු උඩින් පුංචි ලෝකාන්තයට


“ලෝකාන්තය” යැයි කියූ සැණින් බොහෝ දෙනකු ගේ සිහියට නැඟෙන්නේ නුවරඑළිය හෝර්ටන්තැන්නේ පිහිටි ලෝකාන්තය යි. කිලෝමීටර් ගණනක දීර්ඝ ගමනකින් පසුව ලෝකාන්තයට පැමිණෙන බොහෝ දෙනෙකුට එහි සැබෑ අසිරිය දැකගන්නට ලැබෙන්නේ නම් ඒ බොහෝ කලාතුරකිනි. ඊට හේතු වන්නේ නිතැතින්ම එය වසා ගෙන පවතින මිහිඳුම් පටලය නිසාය.

එහෙත් අද අප ඔබව රැගෙන යන්නේ වසරේ ඕනෑම කාලයක ඉතා පැහැදිලිව නැරඹිය හැකි එවැනිම සුන්දර වටපිටාවකින් මෙන්ම - අනන්තය තෙක් විහිදුණු දර්ශනතලයකින් සමන්විත “මඩොල්සිම පිටමාරුව පුංචි ලෝකාන්තය” වෙතය.

සුදු අධිරාජ්‍යවාදීන් මෙරට තේ වගාව ප්‍රචලිත කළ සමයේ ඔවුන් විසින් ‘පුංචි නුවරඑළිය’ ලෙස හඳුන්වනු ලැබූ රෝබේරිය ප්‍රදේශයට කිලෝමීටර් කීපයක් මඩොල්සිම දෙසට වන්නට පිහිටි මෙම පුංචි ලෝකාන්තය නැරඹීමට මෙන්ම කූඩාරම් අටවාගෙන එහි රැය ගත කිරීමට තරුණ පිරිස් නිතැතින්ම මෙහි පැමිණෙති. ඒ නිසාම මේ වන විට මෙයට ඇත්තේ ද හෝර්ටන්තැන්නේ පිහිටි ලෝකාන්තයට නොදෙවෙනි ප්‍රසිද්ධියකි. ඉල්ලු‍මකි. ආකර්ෂණයකි.

පිහිටීම

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරයේ සිට කිලෝමීටර් 60ක් පමණ දුරින් පිටමාරුව එළිවත්ත ප්‍රදේශයේ රෝබේරි වතුයායේ කෙළවරකට වන්නට මෙම අපූරු භූ විෂමතාවන්ගෙන් නිර්මිත පුංචි ලෝකාන්තය පිහිටා ඇත. බොහෝ දෙනකු මෙය ‘මඩොල්සිම කුඩා ලෝකාන්තය’ ලෙස හැඳින්වූවත්, එහි සත්‍ය නාමය “පිටමාරුව එළිවත්ත කුඩා ලෝකාන්තය” බව ගම්වාසීහු පවසති.

ගමන් මාර්ගය

මාර්ග කිහිපයක් ඔස්සේ මඩොල්සිම වෙත පැමිණිය හැකිය. බොහෝ දෙනකු පැමිණෙන ප්‍රසිද්ධ මාර්ගය වන්නේ බදුල්ල - පස්සර - මඩොල්සිම හරහා ලෝකාන්තය තෙක් වැටී ඇති මාර්ගයයි. බදුල්ල නගරයේ සිට පස්සර හරහා ලෝකාන්තය දක්වා මාර්ගයේ දුර කිලෝමීටර හැටකට ආසන්නය. 

බදුල්ල නගරයෙන් හෝ පස්සර නගරයෙන් පිටමාරුව බලා පිටත්වන බස් රථයකට ගොඩවී පැය දෙකක පමණ ගමනකින් මෙම පුංචි ලෝකාන්තය වෙත පැමිණිය හැක. පස්සර සිට මඩොල්සිම නගරය හරහා    ලෝකාන්තය දක්වා වැටී ඇති මාර්ගය ඉතා පටු වුවත් - බොහෝ සුන්දරය. සුදු අධිරාජ්‍යවාදීන් විසින් ඉදිකරන ලද තේ වතු කීපයක්  අතරින් වැටී ඇති මාර්ගය තරමක් දුෂ්කර වුවත් - ගත දැවටෙන මඳනළත්, නෙතට සොඳුරු දසුන් පෙළත්, මලින් පිරීගිය තුරුලතාවන් හා කුඩා දිය ඇලි හා දොළ පහරවල් නිසාත්, දලු නෙළන ලඳුන් ගේ අව්‍යාජ සිනහවත්    හේතුවෙන් කිසිදු විඩාවක් නොමැතිවම ඔබට ගමනාන්තය වෙත ළඟා විය හැකිය.

ඔබ නුවර සිට පැමිණෙන්නේ නම් නුවර සිට රන්දෙණිගල මාර්ගය ඔස්සේ මීගහකිවුල නගරයට පැමිණ මීගහකිවුල නගරයේ සිට කාපට් ඇතිරූ මාර්ගය ඔස්සේ කිලෝමීටර විස්සක් පමණ ගමන් කොට පිටමාරුවට පැමිණ එතැන් සිට තවත් කිලෝමීටර් දහයක් පමණ මඩොල්සිම දෙසට ගමන් කිරීමෙන් මෙම පුංචි ලෝකාන්තය වෙත පිවිසිය හැක. මාර්ගයේ කිලෝමීටර් තුන හතරක් හැරුණු විට සෙසු මාර්ගය කඳු හා පටු මාර්ගයක් වුවද කාපට් ඇතිරූ මාර්ගයක් නිසා ඉතා පහසුවෙන් ගමන් කළ හැක.  

එසේම අම්පාර බිබිල ප්‍රදේශවල සිට පැමිණෙන්නන්ට ලු‍ණුගල නගරයට පැමිණ එතැන් සිට ලු‍ණුගල පොලිස් ස්ථානයෙන් දකුණු පසට විහිද ගිය කාපට් මාර්ගය ඔස්සේ කිලෝමීටර අටක් පමණ ගෙවාගෙන මඩොල්සිම අම්බලම හන්දිය හරහා පුංචි ලෝකාන්තය වෙත ප්‍රවිශ්ට විය හැක. 

මේ සැම මාර්ගයකින්ම බස් රථ සේවාවන් සපයා ගත හැකි වූවත් - නිරන්තර බස් සේවාවක් නොමැතිවීම නිසා ඔබේ ගමන සඳහා යතුරුපැදියක්, ත්‍රීවිලරයක් හෝ වෙනත් පෞද්ගලික වාහනයක් යොදා  ගැනීම නුවණට හුරුය.

සුන්දර ලෝකාන්තය

ලෝකාන්තය සොයාගත් කෙනෙක් ගැන අසන්නට නොලැබුණත්   රෝබේරිය හා මඩොල්සිම ප්‍රදේශවල පැවති සෞම්‍ය දේශගුණයෙන්   වශීකෘත වූ සුදු ජාතිකයින් විවේක ගැනීම සඳහා මෙම ප්‍රදේශයට පැමිණෙන්නට වූයේ එය පුංචි එංගලන්තය යනුවෙන් හඳුන්වමිනි.

වතු පාලකයන් විසින් ඉදිකර තිබූ බංගලා හේතුවෙන් ඔවුන්ට නවාතැන් ගැනීම ද ගැටලු‍වක් වූයේ නැත. එසේ පැමිණි තරුණ  කණ්ඩායම් මෙන්ම සංචාරයේ නිරතවූවන් ඇවිද යද්දි මෙම ලෝකාන්තය හමුවී ඉන් පසුව එය ප්‍රසිද්ධ වූ බව කියැවේ. මෙකී ලෝකාන්තය පිහිටි  ස්ථානය මුහුදු මට්ටමේ සිට ආසන්න වශයෙන් මීටර 1400 ක් පමණ උසකින් යුක්තය. 

මෑත වසර දහයක පමණ කාලයේ දී මෙය දැඩි ලෙස කතාබහට ලක්වී සංචාරක ආකර්ෂණය ඉහළ යෑම හේතුවෙන් අද වන විට විශාල පිරිසක් මෙය නැරඹීමට පැමිණෙන අතර,  මීගහකිවුල ප්‍රාදේශීය සභාව මෙහි  පාලනය භාරව කටයුතු කරයි. පානීය ජලය, වැසිකිළි කැසිකිළි පහසුකම්, ආරක්ෂිත වැටවල් හා නැරඹුම් මැදිරියක් ද සභාව විසින් ස්ථාපිත කොට තිබේ.

නොවැම්බර් - ජනවාරි අතර කාලයේ  පවත්නා වර්ෂාව හේතුවෙන් මෙහි ගමන තරමක් දුෂ්කර ය. හිටිහැටියේ ගලා යන මිහිදුම්  තත්ත්ව හේතුවෙන් මඩොල්සිම තරණයේ දී ඉතා ප්‍රවේශම්කාරී විය යුතුය. 

මෙහි  බෑවුම අඩි 1250 ක් පමණ වන අතර, දර්ශන පථය සැතපුම් සිය ගණනක් දක්වා විහිද යයි. මෙම ස්ථානයේ සිට බැලූ විට බිබිල මහියංගණ මාර්ගය ඇතුළු මාර්ග ගණනාවක් මෙන්ම - වැව් හා ජලාශ රැසක් ද නිරීක්ෂණය කළ හැකිය.

මෙහි එක් පසෙක දර්ශන පථය අම්පාර මඩකලපුව නැගෙනහිර වෙරළ තීරය දක්වා විහිද යන අතර, අනෙක් පස මහියංගණ පොලොන්නරුව තෙක් විහිද යයි. එමෙන්ම මෙහි ඇති සෞම්‍යය දේශගුණය සැබැවින්ම ආශ්වාදජනකය.

පුංචි ලෝකාන්තයේ තුන් පසෙකින්ම ඇත්තේ බැලූ තෙක් මානයේ විහිද යන සුන්දර තේ වගාවන්ය. ඉහළට වැඩී ගිය ගස් සහිත බිම්තීරුව ද, නෙල්ලි, කහට, ඇඹුල්පේර ආදී වූ ගස් සහිත පතන බිම් ද - මෙම බිම්තීරුවට ගෙන එන්නේ මනා සුන්දරත්වයකි.

එසේම මෙහි ඇති ගහ කොළ මත නිදහසේ සැරිසරන කුරුල්ලන් විශේෂ රැසක්ද නැරඹීමට ඔබ වාසනාවන්තය. එසේම විවිධ වර්ගයේ ශාක, ඔසු පැළෑටි ආදිය පිළිබද හදාරන්නන්ට ද මෙය කදිම තෝතැන්නකි.

උදෑසන හිරු පායා එන විට මේ අවට ඇත්තේ සිත් බැඳගන්නාසුළු දර්ශනයකි. පරිසරය තුළ මීදුම සහිත සීතලක් තිබුණ ද, හිරු උදාවෙද්දී සීතල කෙමෙන් පහව යයි. කඳු මුදුන්වලට පහළ කඳු පන්තිවල ඇති   මිහිදුම් සහ වලාකුළු තැන තැන වැසී යන දර්ශනය අපූරු එකකි .බොහෝ විට එම දර්ශනයත් සමග අපට හඟන්නේ අප වලාකුළුවලට ඉහළින් සිටින සෙයියාවකි.

රක්ත වර්ණ වූ හිරු බැස යද්දී සවස් කාලයේ ඇත්තේ ද ඊට නොදෙවෙනි චමත්කාරයකි. 

කෑම්පින් කරන්නන් ප්‍රවේසමෙන් 

මෙහි  පැමිණෙන බොහෝ සංචාරකයෝ මෙහි රැය පහන් කිරීමට දැඩි ඇල්මක් දක්වති. එහෙත් පසුගිය කාලයේ මෙම ස්ථානයෙන් ඇද වැටීමෙන් මාධ්‍යවේදියෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමත් සමගම මේ ස්ථානය අසල කූඩාරම් ඉදිකරමින් රැය පහන් කිරීමට ලබාදී තිබූ අවසරය තාවකාලිකව අවලංගු කර ඇත.

එහෙත් මෙයට තරමක් මෑතින් පිහිටි මඩොල්සිම පතන කොටසේ කූඩාරම් ඉදිකර ගෙන රැය පහන් කිරීමට සංචාරකයන්ට තවමත් අවස්ථාව පවතින හෙයින් විනෝදකාමී පිරිස් එම අත්දැකීම ලබාගැනීමට පැමිණෙනු ඇත. කෑම්පින් කිරීමේ දී රාත්‍රී කාලයේ වැඩිදුරක් ඇවිද යෑම ඉතා අනාරක්ෂිත ය. මන්ද ඇතැම් අවස්ථාවන්හිදී පවත්නා මිහිඳුම් තත්ත්වය හේතුවෙන් තමන්ට  අඩි කීපයක් නුදුරින් සිටින පුද්ගලයන් පවා නෙතට දර්ශනය නොවන බැවින්, අනතුරු බහුලව සිදුවිය හැකි නිසා මඩොල්සිම කෑම්පින් කරන්නේ නම් දැඩි අවධානයෙන් සිටිය යුතු බව මතක තබා ගත යුතුය. 

එසේම රැය පහන් කිරීමට පැමිණෙන්නේ නම් ඒ සඳහා අවශ්‍ය   උදුන්, ආහාර පාන, වියළි ආහාර ද්‍රව්‍ය ආදිය රැගෙන යා යුතුය.  

ආරක්ෂාව 

මෙහි පැමිණෙන බොහෝ දෙනකු සැලකිය යුතු ප්‍රධාන කරුණක් වන්නේ ආරක්ෂාවයි. අධික ලෙස බෑවුම් සහිත වීමත් කුඩා මාර්ග ලිස්සනසුලු වීමත් හේතුවෙන් ඇතැම් විට මෙම ගමනේ දී සිදුවන සුළු සිද්ධීන් පවා මාරාන්තික විය හැකිය. එම නිසා ගමන් කරන සෑම අවස්ථාවකදී ම බෑවුම්වලට ආසන්නයෙන් ගමන් කිරීම ඉතාම අනතුරුදායකය. 

එසේම මිහිදුම් පවත්නා අවස්ථාවන්හි දී පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන ඔබ බොහෝ ප්‍රවේශමින් මාර්ගවල වාහන හැසිරවිය යුතුය. මිහිදුම මෙන්ම බෑවුම් සහිත මාර්ගවල රිය පැදවීමේ දී ඉදිරියෙන් එන වාහනවලට ඉඩදීමට යාමේ දී දැඩි අවධානයක් යොමු කිරීම අනිවාර්යය කරුණකි.

මෙම ස්ථානය පෙරට වඩා බෙහෙවින් ආරක්ෂිත තත්ත්වයට පත් කර තිබීම සම්බන්ධයෙන් මීගහකිවුල ප්‍රාදේශීය සභාවට ස්තුතිවන්ත විය යුතුය. 

එසේම මෙම සංචාරක කලාපයේ ආරක්ෂාව ද මෙහි පැමිණෙන ඔබ ගේ  අවධානයට ලක් කළ යුතු කරුණකි. සුළු ගිනි පුපුරකින් පවා    ඇතැම් විට මෙම පතන ගිනිගෙන දැවී යා හැකි නිසා ගින්දර භාවිතයේ දී ඔබ බෙහෙවින්ම සැලකිලිමත් විය යුතුය.
මෙම ගමනේ දී හමුවන ස්වභාව ධර්මයාගේ අපූර්වතම දායාදයක් බඳු වූ තවත් දසුනක් ඇත. ඒ කොකාගල කඳුවැටිය මත පිහිටි අපූරු හැඩයක් ගත් “ඩී.එස්. ගල” හෙවත් “කොකා ගල” යි. 

දශක ගණනාවකට පෙර මෙරට තේ වගාව ආරම්භ කළ මුල් අවධියේ එහි පැමිණි පිරිස් මෙම ගල මුලින්ම දැක ඇති අතර, එය මෙරට පළමු අගමැතිවරයා වූ ඩී.එස්. සේනානායකයන් ගේ මුහුණට සමාන හැඩ හුරුකමකින් යුතු වීම නිසා එයට ‘ඩී.එස්. ගල’ යනුවෙන් නම් පටබැඳි බව අදටත් මෙහි වෙසෙමින් සිය ජීවිකාව කර ගන්නා වතුකම්කරුවෝ පවසති.

මෙම සුවිසල් ගල් පර්වතය,  ස්වභාවික  සංසිද්ධීන් ගේ ප්‍රතිඵලයක් ලෙස මේ ආකාරයෙන් හැඩ වැඩ වී ඇතත්, ඒ දකින බොහෝ දෙනා හිතන්නේ එය කිසියම් නිර්මාණකරුවෙකු විසින් කරවන ලද නිර්මාණයක්  වශයෙනි. ඒ තරමටම එය තාත්වික නිර්මාණයකි.
ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 7-8 ක් ඈතින් වූ ගිරිශිඛරයක් මත පිහිටි මෙම ගල අසලට යාම ඉතා දුෂ්කර කටයුත්තකි. එහෙත් ප්‍රධාන මාර්ගයේ සිට එය දැක බලා ආස්වාදයක් ලබාගැනීමට කිසිදු බාධාවක් නොමැතිවීම සංචාරක වශයෙන් අතිශය වැදගත් බව සංචාරකයෝ  පවසති.

මෙය ඈත සිට බලා විඳගන්නට හැකියාව ඇති මනරම් ස්ථානයක් වුවද, ප්‍රදේශයේ ඇති උසම ස්ථානය සේ සැලකෙන මේ අවට නිරතුරුවම   පවත්නා මිහිදුම, එහි සිරි විඳ ගන්නට එන සංචාරකයන්ට විශාල බාධාවකි. ඇතැම් විට මෙම ගලෙහි සැබෑ ස්වරූපය විඳගන්නට පැය කීපයක්ම බලා හිඳ හිස් අතින්ම ආපසු යන පිරිස ද එමටය.

0නිහඬව පරිසරයේ චමත්කාරයත්, සෞම්‍ය දේශගුණයත්, නෙක තුරුලතාවනුත් රස විඳින්නට කැමැති දෙස් විදෙස් සංචාරකයන්ට පුංචි ලෝකාන්තය, කොකාගල  කුඩා ලෝකාන්තය වෙත දිවෙන අපූරු කඳුකර මාර්ගයත් එහි තැන තැන පිහිටි ස්වභාවධර්මයා ගේ අනේක විධ නිර්මාණත් නෙතට රසඳුනකි.

වියලු‍ව නිශාන්ත කුමාර

..