මහ සමන් දෙවි අඩවියේ අද්භූත සිදුවීම්


හාස්කම්, අනුහස් අතින් ඉහළින් ඇති පූජනීය තැනක් ලෙස සබරගමු මහ සමන් දේවාලය සබරගමුවේ ජනතාව අතර ප්‍රකටය. ඒ නිසාම සමන් දෙවියන්ගේ අඩවියේ කුමන හෝ සුබ කටයුත්තක් ආරම්භ කිරීමට පෙර බුදුන් පිදීමෙන් පසු ඊළඟට සුමන සමන් දෙවියන් වෙනුවෙන් භාරයක් වීම සිරිතය.

සමහර අවස්ථාවල කිසියම් වූ සුබ වැඩක දී මහ වැස්සෙන් බාධා එල්ල වූ අවස්ථාවල බොහෝ දෙනෙක් අසන්නේ සමන් දෙවියන්ට භාරයක් වුණේ නැද්ද? යනුවෙනි. ඒ තරමටම සමන් දෙවි අඩවියේ සමන් දෙවියන්ගේ ඇල්ම බැල්ම ගැන ජනතා විශ්වාසයක් පවතී.

සුමන සමන් දෙවියන් අනුන්ට දඬුවම් දෙන දෙවි කෙනෙක් නොව සෝවාන් ඵලයට පත් දෙවි කෙනෙක් යැයි ජනප්‍රවාදයයි. ඒ නිසා කිසිදු අවස්ථාවකට සමන් දෙවියන් දඬුවම් නොදුන්නාට කට වරද්දා ගැනීමෙන් සමන් දෙවියන්ගේ ආශීර්වාද අහිමි වනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතී. ඒ නිසා සිරිපා කරුණා කරන අවස්ථාවල නඩේගුරාලාගේ ප්‍රධානම අවවාදය කට වරද්දා නොගන්න යන්නයි.

සමන් දෙවි අඩවියේ පමණක් නොව රත්නපුර නගරය ආසන්නයේ නගර සභා සීමාවේ, පානදුරා පාරේ පිහිටි සුමන සමන් දේවාල පරිශ්‍ර භූමියද ඇදහිය නොහැකි සිදුවීම් සිදුවූ ස්ථාන ලෙස ප්‍රකටය. සමන් දෙවිඳුන්ට අනුන් ගේ දුක කියන්නේ දේවාලයේ කපු මහත්වරුය. විජය නාරායන කපුරාලලාගේ පරම්පරාව දේවාලයේ ප්‍රධාන කපු ධුරය කලක පටන් උසුලයි. දැනට ප්‍රධාන කපු ධුරය දරන්නේ ගයාන් විජය නාරායන කපු මහතා ය. ඔහුගේ පියා විජය නාරායන කපුරාලලාගේ විජයවර්ධන ය. ඔහුගේ පියා විජය නාරායන කපුරාලලාගේ හීන් නිලමේ ය. ඔහුගේ තාත්තා විජය නාරායන කපුරාලලාගේ මුදියන්සේ ය. මේ දේවාලයේ රාජකාරි කළ අවස්ථාවල  දේවාල පරිශ්‍රය තුළ සිදුවූ ඇදහිය නොහැකි සිදුවීම් ගැන හොයා බලන්නට විජය නාරායන කපුරාලලාගේ විජයවර්ධන කපු මහතා හමුවීමට රත්නපුරේ වෙරලු‍පේ ඔහු ගේ නිවසට ගියෙමි.

දැන් ඔහු විවේක සුවයෙන් පසුවෙයි. හැත්තෑ එක්වන වියේ පසුවන ඔහු සමන් දේවාලයේ කටයුතුවලට සහභාගි වන්නේ 1972 සිටිය. සිය පියා වූ හීන් නිලමේ ප්‍රධාන කපු මහතාගේ උදව්කරුවෙකු හැටියට ඔහු දේවාලයේ ඇතුල් කට්ටලේ කටයුතුවලට සහභාගි වීමට පටන් ගත්තේ ය. ඒ හැරල්ඩ් වේරගම බස්නායක නිලමෙවරයාගේ කාලයේ ය. ඔහුට සමන් දේවාල පරිශ්‍රය සම්බන්ධයෙන් ඇත්තේ මනා අවබෝධයකි. දැනුදු ඔහු ඉඳහිට දේවාලයේ ඇතුල් කට්ටලේ රාජකාරිවලට සම්බන්ධ වෙයි. ඒ අනුව බලද්දී වත්මන් බස්නායක නිලමේ හිෂාන් සංඛ මාපිටිගමගේ නිල කාලයත් සමග ඔහු බස්නායක නිලමෙවරුන් හත් දෙනෙකුගේ නිල කාලවල දේවාලයේ ඇතුළු‍ කට්ටලේ රාජකාරිවල නිරත වන බව කිව හැකිය.

දේවාල රාජකාරි ජීවිතයේ සිදුවූ අහඹු සහ ඇදහිය නොහැකි සිදුවීම් ගැන ඔහුගේ හඬ අවදි කළෙමි.

“සුමන සමන් දෙවියන් වෙනුවෙන් බාරහාර වෙන්න එන උදවිය විවිධයි. ආදායම් තත්ත්වයනුත් විෂමයි. එයාලා භාර වෙන්නේ මොකටද කියලා කිව්වාම අපි දෙවියන්ට කන්නලව් කරනවා මේ ගැත්තාගේ කටයුතු සාර්ථක කරගන්න දෙවියන්ගේ පිහිටාරක්ෂාව දෙන්න කියලා. වුණ බාරය හිතේ තබා ගෙන පඬුර ගෙදර හෝ තමන්ට පෙනෙන තැනක ගැට ගැසීමයි බාරවුණ තැනැත්තා කරන්නේ. බාර වූ කාර්යය හරිගියාට පස්සේ ඇවිත් පූජා වට්ටියක් තියලා බාරය ඔප්පු කරනවා.”

“මැණික් පතල් කැපීමට පෙර බාරහාර වීම රත්නපුරේ සාමාන්‍ය දෙයක්. අතුරු ආන්තරාවක් නැතිව මැණික් ඉල්ලම් ටික ගොඩදාගෙන ලොකු වටිනාකම් ඇති මැණිකක් හමුවුණාම ඒ භාරය ඔප්පු කරනවා. සමහරු දේවාල භූමියේ අවශ්‍ය ගොඩනැගිලි පවා එහෙම බාරහාරවලට ඔප්පු කරන්න හදලා දීලා තියනවා. තමන්ට පුළු‍වන් අන්දමට වුණ භාරයක් ඔප්පු කරලා ඒ භාරයෙන් නිදහස් වෙන්න ඕනෑ කියන අදහස ජනතාව තුළ තියනවා.”

දෙවියන්ට කළ නොහැකි දේවල්වලටත් බාර වෙන්න එනවා ද? මම ඇසීමි.

“ඇයි නැත්තේ... ඔය නඩු හබ තියන අයත් නඩු දිනේ ළං වෙලා දෙවියන්ගේ ආශීර්වාද ගන්න එනවා.... තරග විභාග ආදියට පෙනී සිටින අයත් එනවා...”

සමහර අවුරුදුවල පෙරහර කාලෙට තදින් පායනවා. දිය කපන පෙරහරට ඔරු, අඟුල් යන්නවත් වතුර නෑ. එහෙම වෙලාවට මොකද කරන්නේ...?

“මෙහෙමයි... ඇත්තටම බොහෝ වෙලාවට එහෙම වෙන්නේ නැකැත් වැරදුණාම. නැකැත් වැරදුණ බව දැන ගන්නේ එහෙම දෙයක් වුණාමයි. සමහර වෙලාවට කප් සිටුවීමේ නැකතේ වැරැද්දක් වෙන්නත් පුළු‍වන්. නැකැත් වැරදුණාම පෙරහරේ අලි කුලප්පු වෙන අවස්ථාත් තියනවා.”

“ඒ වගේමයි මට හරියට අවුරුද්ද මතක නෑ. අපි පෙරහර අවසන් කරලා ගඟෙන් දිය කපන්න ගියා. ගඟේ වතුර හොඳටම අඩු වෙලා තිබුණේ. ඔරුපාරු සමහර තැන්වලදී තල්ලු‍ කරගෙන උඩහට ගියේ. සිරිපා අඩවිය කලු‍ කරලා තිබුණට අපිට වැස්සක ලකුණක් වත් තිබුණේ නෑ. දිය කපලා ඉවර වෙන කොට ගඟේ වතුර මට්ටම ටික ටික වැඩි වෙන්න පටන් ගත්තා. අපිට හරිම පුදුමයි. අපි හැමෝම විශ්වාස කළේ ඒක දේව හාස්කමක් කියලා.” විජයවර්ධන කපු මහතා අතීත සිදුවීමක් සිහි කළේය.

ලංකාවේ ජනාධිපතිවරු, අගමැතිවරු වැනි ඉහළම ප්‍රභූන් දේවාලයට එනවා. ඒ අය යම් යම් ගැටලු‍සහගත අවස්ථාවලට මුහුණ දීලා නැද්ද?

“ඇයි නැත්තේ මම මුලින්ම දේවාලෙ රාජකාරිවලට එන කාලේ මේ දේවාල භූමියේ පුද්ගලික ගෙවල් තිබුණා. පිළිවෙලක් තිබුණේ නෑ. ඇන්ටන් ලින්ටන් විජයවර්ධන තෙන්නකෝන් බස්නායක නිලමේතුමාගේ කාලයේ තමයි මේ භූමිය පූජාභූමියක් බවට නම් කළේ. 1981 - 1999 කාලයේ තමයි එතුමා බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කළේ. රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා, අගමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේ තමයි පූජා නගරයක් බවට නම් කළේ.”

“පූජා නගරයට මුල්ගල් තියන දවසට පෙර දවසේ ප්‍රේමදාස අගමැතිතුමා දේවාලයට ඇවිත් බලලා ගියා. පහුවදා මුල්ගල් තියන්න එතුමාට එන්න වුණේ දණක් ගංවතුරේ. ගංවතුරක් එන ලකුණු තිබුණේ නෑ. නමුත් නැකැත් වෙලාවට පෙර ගඟ ගැලු‍වා. අගමැතිතුමා වතුරේ බැහැලා  ඇවිත් ඒ කටයුතු කළා. ඇත්තටම මේක පුදුම සිදුවීමක්...”

ලොව ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ රත්වත්තේ මැතිනියයි. එතුමිය රත්නපුරේට එන හැම දවසකම වහිනවා කියලා බොහෝ දෙනෙකුගේ මතයක් තිබුණා... එතුමියත් දේවාලයට ආවා ද?

“ඔව්..ඔව්.. මැතිනියත් ආවා. ඇන්ටන් ලින්ටන් විජයවර්ධන තෙන්නකෝන් බස්නායක නිලමේතුමාගේ කාලයේ සිදුවීමක් මට මතකයි. මැතිවරණයක් ආසන්නයේ මැතිනිය දේවාලයට ඇවිත් මැතිවරණය ජයග්‍රහණය සඳහා භාරයක් වුණා. පූජා කටයුතු ඉවර වෙලා එතුමිය පයින් පහළට ගිහිං වාහල් කඩෙන් එළියට යන්න ගියා. කිසි කෙනෙක් නොසිතූ ලෙස කළු පූසෙක් වාහල්කඩ මුඳුනේ ඉඳලා මැතිනිය ඉස්සහට පැන්නා. පැනලා දිව්වා. ඒක අසුබ ලකුණක්. මැතිවරණයෙන් මැතිනිය ගේ පක්ෂය පරාජයට පත් වුණා. ප්‍රතිඵලවලින් පස්සේ අපිට හිතුණා අර පූසා පැන්නේ ඒ බව සලකුණු කරන්න ද කියලා” 

විජයවර්ධන කපු මහතා තවත් මතකයක් සිහි කළේය.

“ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමාටත් දේවාල භූමියේ දී අකරතැබ්බයක් වුණා. ඒක වුණෙත් ඇන්ටන් ලින්ටන් විජයවර්ධන තෙන්නකෝන් බස්නායක නිලමේතුමා ගේ කාලයේදීමයි. රත්නපුරේ විවෘත කිරීම් කිහිපයකටම සහභාගි වෙන්න ජේ.ආර්. ජනාධිපතිතුමා රත්නපුරේට ආවා. මගේ මතකයේ හැටියට කජුගස්වත්ත පන්සලේ බුදු පිළිමය විවෘත කරන්න ආපු දවස වෙන්න ඕනෑ. එතුමා රත්නපුරේට ඇවිත් බුදුපිළිමය නිරාවරණය කරලා, තැපැල් කාර්යාල භූමියෙත් යම් විවෘත කිරීමක් කරලා දේවාලයට ආවා. අපි පූජාවක් ලෑස්ති කළා. එතුමා බස්නායක නිලමේ වලව්වේ නිල වාහනය නවත්වලා, පයින් දේවාලයට එන්න ආවා. වාහල්කඩෙනුත් ඇතුළු වෙලා දේවාලට ගොඩවෙන පියගැට පෙළ ළඟ හඳගල ළඟට ආවා. එතනට ඇවිත් එතුමා පඩිපෙළ ඉහළ බලලා මට නගින්න බෑ කිව්වා. එතුමා සමග ආපු වෛද්‍යවරු එතුමා පරීක්ෂා කරලා කිව්වා බැරිනම් පඩිපෙළ ගොඩවීම හොඳ නෑ කියලා කිව්වා. එතැන පහනක් පත්තු කරලා එතුමා ආපහු ගියා.”

සමන් දෙවියන් දෙවැනි කොට සැලකීම නිසා එසේ වූ බවට එකල ජනතාව අතර කතා බහක් පැතිර ගිය බව ද විජයවර්ධන කපු මහතා පැසුවේය. නමුත් ඔහු අවධාරණය කළේ සමන් දෙවියන් කිසිවෙකුට දඬුවම් නොදෙන දෙවි කෙනෙක් බවයි. 

“2023 හොඳටම පෑවිල්ල. ඇළදොළ හිඳිලා ගිහිං. දේවාලේ වැහි පිරිතක් කියන්න සහ විශේෂ දේව කන්නලව්වක් කරන්න සූදානම් කළා. ඒක කරලා ඉවර වෙන්න වුණේ නෑ පළාතටම මහ වැස්සක් ඇද හැළු‍ණා. හැමෝම පුදුම වුණා. අපිටත් හිතා ගන්න බැරිවුණා. දෙගොඩතළා වැස්සා.”

සමන් දෙවියන් හාස්කම් සහිත දෙවි කෙනෙක් බවට විවාදයක් නැත. සමහර විට දෙවියන්ට රාජකාරි කරන්නට කැපවූවන් වුවත්, දැන වැරැද්දක් කළොත් විපාක විඳින්නට සිදුවන බව විජයවර්ධන කපු මහතා පැවසුවේය.

“උඩ මළු‍වේ චෛත්‍යයක් හදන්න ඕනෑ කියලා ඇන්ටන් ලින්ටන් විජයවර්ධන තෙන්නකෝන් බස්නායක නිලමේතුමා අදහසක් පළ කළා. ඒ වෙලාවේ ඇතුල් කට්ටලේ අපිත් පිට කට්ටලේ රාජකාරි මණ්ඩලයත් ඒක සුදුසු වැඩක් නොවන බව පෙන්නලා දුන්නා. මොකද උඩමලු‍වේ දෙමහල් දේව මාලිගයට පහළින් තමයි යෝජිත චෛත්‍යයේ කොත සැලසුම් වෙලා තිබුණේ. ඒක සුබ නෑ කියලයි අපි පෙන්වා දුන්නේ. නමුත් කාගේවත් විරෝධතා පිළිනොගෙන චෛත්‍යය හදන්න පටන් ගත්තා. වැඩ ඉවර කරන්න බැරි වුණා.. නිලමේතුමාටත් නොයෙකුත් කරදර වුණා. නඩු හබ පැටලු‍ණා. අකාලයේ ජීවිතයෙන් සමුගත්තා.” 

“2013 - 2017 කාලේ කමල්නීල සිදන්ත රත්වත්ත බස්නායක නිලමෙතුමා තමයි පාලනය කළේ. එතුමා අනික් බස්නායක නිලමෙවරුන්ට වඩා වෙනස්. ඇතුල් කට්ටලේ, පිට කට්ටලේ රාජකාරිකරුවන්ගේ අදහස්වලට සවන්දීම අඩුයි. එයාට ඕනෑ දේ එයා කළා. එතුමා සිරිමාවෝ මැතිනිගේ අක්කගේ පුතා. නමුත් දේවාලේ කටයුතු කරගෙන යද්දී දේවාලයේ සම්ප්‍රදායන් කඩකරන්න හොඳ නෑ. එතුමාත් විවිධ පීඩාවන්ට පත්වුණා. අකාලයේ ජීවිතයෙන් සමුගත්තා.”

සමන් දෙවියන්ගේ අඩවියට එන යන කොට දේවාලෙට  ගොඩ වෙලා යාම දෙවියන් අදහන බොහෝ දෙනාගේ සිරිතක්. අසූව, අනූව දශකවල එක්සත් ජාතික පක්ෂ පාලනයට විරුද්ධව කිසිම විරෝධතාවක් කරන්න බැරි කාලයක් තිබුණි. එවැන්නක් කරන්න හැදුවොත් රාජ්‍ය බලය යොදා එය කඩාකප්පල් කිරීම එකළ සාමාන්‍ය දෙයක් විය. මේ කාලේ විපක්ෂ නායක ලෙස කටයුතු කළේ අනුර බණ්ඩාරනායක ය. ඔහුගේත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ හිටපු ජනතාධිපති මහින්ද රාජපක්ෂගේත් සංවිධානයෙන් එජාප ආණ්ඩුවේ මර්දනයන්ට එරෙහිව ජයඝෝෂා නමින් විරෝධතා පාගමනක් කොළඹ සිට කතරගමට ගියේය.

“ඔව් ඒක අපිට හොඳට මතකයි. කුස්සියේ වළං මුට්ටිවලට එකම වෙලාවක තට්ටු කරමින් ඒ ගමන ගියේ. රත්නපුර හරහා යද්දී සමන් දේවාලයට ගොඩවෙලා පූජාවක් තියලා දෙවියන්ගේ ආශීර්වාද අරගෙන තමයි සමන් දෙවියන්ගේ අඩවිය හරහා ගියේ. ඒ විරෝධතාවට කිසිම බාධාවක් නැතිව යන්න පුළු‍වන් වුණා.”

සමන් දෙවියන් රවටන හෝ තම හෘද සාක්ෂිය අනුව දෙවියන්ට බොරු කරන කිසිවෙකුටත් යහපතක් නොවන බව දේව අඩවියේ වැසියන් ගේ විශ්වාසයයි. අවස්ථා කිහිපයක දී සමන් දේවාලයේ හොරකම් කිහිපයක් සිදු විණි. ඒ අවස්ථාවල තමන් සතු දේ රැකගන්න බැරුව සමන් දෙවියන් අනුන්ට පිහිට වන්නේ කෙසේ දැයි මතයක් සමාජයේ ගොඩ නැගීමට පිරිසක් ක්‍රියා කළහ. නමුත් එවැනි ක්‍රියාවල සත්‍ය ටික කලකට පසු හෙළි වන්නට විය. එනිසා සමන් දෙවියන්ට යමෙක් වංචා කරන්නේ ද, හේ තමාටම වංචා කරගැනීමක් වනු ඇත. එහි විපාක නොසිතන දවසක විඳින්නට සිදුවනු ඇත යන්න විශ්වාසයයි. එය හරියට “වළඳකට කකුළු‍වන් දමා ළිපේ තබා දිය රත්වන තුරු කකුළු‍වා දිය කෙළින්නා සේ” යැයි කියන්නාක් මෙනි.

අජිත්ලාල් ශාන්තඋදය