
විශ්වයේ ඈත සිට පෘථිවිය දෙස බලද්දී එය දක්නට ලැබෙන්නේ, නිල් පැහැති ගෝලාකාර වස්තුවක් ලෙසය. එය ගෝලාකාර බැව් සනාථ කිරීමට අභ්‍යවකාශයේ සිට ගත් ඡායාරූප ප්රමාණවත්ය. පෘථිවියේ පමණක් නොව පෘථිවිය අයත් සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකවල ඡායාරූප ද පවතී. එම ග්‍රහලෝක සියල්ල ද ගෝලාකාරය; අන් ලෙසකින් කියන්නේ නම් රවුම්ය.
ක්‍රි.පූ. 4 වන සියවසේ දී ඇරිස්ටෝටල් වැනි ග්‍රීක දාර්ශනිකයන් පෘථිවිය ගෝලාකාර බවට මත පළකළ අතර, එය සත්‍යයක් බව අද වනවිට විද්‍යාත්මකව තහවුරු වී අවසන්ය. පැරැන්නන්ගේ විශ්වාසය වූයේ පෘථිවිය පැතලි, තැටියක් බඳු එකක් බවය. විද්‍යාත්මක සාක්ෂි කෙතරම් ඉදිරිපත් කෙරී ඇතත්, එම පැරණි විශ්වාසය අදටත් බොහෝ දෙනා තුළ ඇත.
විද්‍යාත්මක චින්තනය පැතිරී ගොස් ඇති මෙබඳු සමයක දීත් පෘථිවිය ගෝලාකාර නොවන බවත්, එය පැතලි තැටියක් බඳු එකක් බවත් විශ්වාස කිරීම, ප්‍රකාශ කිරීම ඇත්තටම පුදුම සහගතය.
පෘථිවිය පැතලි යැයි විශ්වාස කරන පිරිස ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ “ෆ්ලැට් අර්තර්ස්” යනුවෙනි. පෘථිවිය ගෝලාකාර බව මේ අය කිසිසේත්ම පිළිගන්නේ නැත. ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ දකුණුදිග ප්‍රාන්තවල මෙවැනි ෆ්ලැට් අර්තර්ස් කණ්ඩායම් බහුලව දකින්න ලැබෙන අතර, ඊට එක් වන සාමාජිකයන් ගණන දිනෙන් දින වැඩි වෙමින් පවතී. මෑතකදී කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ - ඇමෙරිකානුවන් ගෙන් සියයට දෙකකට වැඩි පිරිසක් විශ්වාස කරන්නේ පෘථිවිය පැතළි බවය. ඇමෙරිකන් ජනගහනයෙන් සියයට දෙකක් යනු මිලියන 6.5 කි. ඇතැම් අතිශය ජනප්‍රිය නළු නිළියන්, ගායක ගායිකාවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවා පෘථිවිය පැතලි බව විශ්වාස කරන අතර, පෘථිවිය පැතලියි යන මතය ජනගත කිරීමට ද පියවර ගෙන ඇත. කැලිෆෝනියා ජනපදයේ ෆ්ලැට් අර්තර්ස් සමාජයට නායකත්වය දෙන්නේ මාර්ක් සාජන්ට් නැමැත්තාය. ඔහු වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරුවෙකු ලෙස රැකියාව කළ අයෙකි. මෘදුකාංග සම්බන්ධයෙන් පාඨමාලා පැවැත්වූ ගුරුවරයෙකි. දැන් ඔහු ඔහුගේ සම්පූර්ණ ජීවිතයම කැපකර ඇත්තේ පෘථිවිය පැතලි බව ඔප්පු කරමින් එය අන් අයට ඒත්තු ගැන්වීමටය.
“අප හැමෝම ඉන්නේ එකම මතයක. ලෝකය (පෘථිවිය) ගෝලාකාර කියලයි අප හිතන්නේ. ඒ සිතුවිල්ල වෙනස් කිරීම තමයි අපේ අරමුණ. ඒත් ඇත්තටම පෘථිවිය රවුම් නොවෙයි. එය මායාවක් නැතිනම් රැවටිල්ලක් වෙන්න පුළුවන්. මම විශ්වාස කරන්නේ එයයි. සැබැවින්ම පෘථිවිය පැතලි තැටියක් බඳු එකක්.”
මාර්ක් සාජන්ට් මෙසේ පවසන්නේ - ඔහු විසින් තැටියක ස්වරූපයෙන් නිර්මාණය කළ පෘථිවියේ සිතියමක් ද පෙන්වමිනි. මාර්ක් සාජන්ට් පැහැදිලි කරන ආකාරයට - “තැටියක් වැනි පෘථිවියේ, හරි මැද ඇත්තේ උත්තර ධ්‍රැවයයි. මහද්වීප සියල්ල එක් පැත්තකට බරව පිහිටා ඇත. පැතලි තැටිය වටා කෙළවරින් දිගට විහිදී ඇත්තේ ඇන්ටාක්ටිකාවය. එය අයිස් වලින් නිර්මාණය කළ අයිස් බිත්තියක් වැනිය. ඉර සහ හඳ ඉතා කුඩාවට පිහිටා ඇත. තරු යනු අහසෙන් දෘශ්‍ය වෙන අලෝකයන්ය. “පෘථිවිය තැටියක් විදියට මේ ආකාරයට නිර්මාණය කළ දෙයක්. බිහිවුණු දෙයක් නොවෙයි. මේ නිර්මාණය කළේ මනුෂ්‍ය අපට වඩා ඉහළ කෙනෙක්. දියුණු කෙනෙක්. ඒ කෙනා දෙවියන් ද නැද්ද යන්න කියන්න මම යන්නේ නැහැ.” මාර්ක් සාජන්ට් තවදුරටත් අදහස් දක්වමින් පවසයි.

අවුරුදු සිය ගණනක් තිස්සේ පෘථිවිය පැතලි නොවන බවත්, එය ගෝලාකාර බවත්, විද්‍යාත්මක සාක්ෂි සහිතව ප්‍රකාශ වී ඇති කරුණකි. අභ්‍යවකාශයේ රඳවා ඇති චන්ද්‍රිකා වලින් ලබාගත් පෘථිවියේ ඡායාරූප අපට ඇති තරම් දකින්න ලැබී ඇත. එසේ වුවත් මාර්ක් සාජන්ට් හෝ ඔහුගේ ෆ්ලැට් අර්තර්ස් සමාජයේ සාමාජික සාමාජිකාවන්ට ඒ කිසිවක් වැඩක් නැත. ඔවුන් පෘථිවිය රවුම් බව විශ්වාස කරන්නේ නැත. “ගගනගාමීන් අභ්‍යවකාශයට ගියා සහ යනවා කියන කාරණාව මම විශ්වාස කරන්නේ නැහැ. නාසා ආයතනය 1985 වසරේ දී තමයි පිහිටුවීම කළේ. පෘථිවිය පැතලි බව නාසා ආයතනය දන්නවා. ඒත් ඔවුන් එය හංගනවා. එසේ කරන්න ඔවුන් බොරු කියනවා. පෘථිවිය රවුම් යැයි අප රවටා තියෙනවා. ඒක මහ ලොකු කුමන්ත්රණයක කොටසක්.” මාර්ක් සාජන්ට් සහ සෙසු ෆ්ලැට් අර්තර්ස් සාමාජිකයන් ගේ විශ්වාසය මෙයයි. මෙය සමාජිය වශයෙන් විශාල බලපෑමක් එල්ල කිරීමකි.
ග්‍රීක දාර්ශනිකයන් පෘථිවිය ගෝලාකාර බැව් ප්‍රකාශ කිරීමට පෙර, විවිධ රටවල විවිධ සංස්කෘතීන්වල එය පැතලිය යන අදහස මුල් බැස ගෙන තිබුණි. මෙසපොතේමියානු සහ පුරාණ ඊජිප්තු (මිසර) ශිෂ්ටාචාර වැසියන්ගේ විශ්වාසය වූයේ - ලෝකය සාගරය මත පාවෙන තැටියක් බඳු එකක් වශයෙනි. දෙව්ලොව මේ තැටියට ඉහළින් ආරුක්කුවක් මෙන් විහිදී ස්ථාපිතව ඇති ව්‍යුහයකි. පෘථිවිය ජලය මත පාවෙන තැටියක් ලෙසත්, අහස ඝන ගෝලාකාර දෙයක් ලෙසත්, එකී ගෝලයේ හිරු, සඳු සහ තරු තැන්පත් කර ඇති බවත් විශ්වාස කෙරිණි. නෝර්ස් දේවකතා වලට අනුව, පෘථිවිය හෙවත් මිඩ්ගාර්ඩ් යනු සාගරයකින් වට වූ පැතලි තලයක් බවත්, එම සාගරය වටා යෝධ සර්පයකු සිටින බවත් පැවසෙයි. ලෝකය වෘක්ෂයක් හෝ කණුවක් මධ්‍යයේ ඇති බව ද විශ්වාස කෙරේ. පුරාණ චීන විශ්වාස අනුව, පෘථිවිය (ලෝකය) පැතලි මෙන්ම හතරැස් බවත්, දෙව්ලොව ගෝලාකාර බවත් පැවැසෙයි. මෙම අදහස ක්‍රි.ව. 17 වන සියවස දක්වාම වෙනස් නොවී පැවතුණි.
වර්තමානයේ පෘථිවිය පැතලි බව විශ්වාස කරන පුද්ගලයන් ඊට හේතු වශයෙන් දක්වන්නේ - කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති ඔවුන්ගේ ම විශ්වාසයන් මත පදනම් වූ නිරීක්ෂණ හා කල්පිතයන් ය. ඔවුන් ගේ තර්ක බොහොමයක් විද්‍යාත්මක ක්‍රමවේදයට පටහැණිය.
ඒ කෙසේ නමුත් ෆ්ලැට් අර්තර්ස් සාමාජිකයන්ට අනුව අපට එදිනෙදා ජීවිතයේ දී පෘථිවිය දකින්න ලැබෙන්නේ පැතලි දෙයක් ලෙසය. ක්ෂිතිජය සෑම විටම ඇස් මට්ටමේ පවතින බවත්, විශාල දුරක් දක්වා පෘථිවිය වක්‍ර වී ඇති බවක් නොපෙනෙන බවත්, ඔවුහු තර්ක කරති. එය ද සැබෑවකි. නමුත් මුහුදේ ඈතට ඈතට යන නෞකාවක් හෝ බෝට්ටුවක් ඈතට නොපෙනී යෑම සිදුවන්නේ සෙමින් සෙමිනි. ඒ, පෘථිවිය ගෝලාකාර බැවිනි. එසේ නොවුණා නම් - නැව හෝ බෝට්ටුව දිගින් දිගටම යාත්‍රා කරන අයුරු දක්නට ලැබෙනු ඇත. ෆ්ලැට් අර්තර්ස් විශ්වාසය වන්නේ - සාගර, වැව් සහ ගංගා සෑම විටම පැතලි මට්ටමක පවතින බවය. ගෝලාකාර පෘථිවියක ජලය වක්‍ර වී තිබිය යුතු බවට ඔවුහු තර්ක කරති. සමතලා මතුපිටක විශාල දුරක් තබා ඇති වස්තුවක් දුරේක්ෂ භාවිතයෙන් දැකගත හැකි බව ඔවුහු පෙන්වා දෙති. පෘථිවිය වක්‍ර වී ඇත්නම් එවැනි දෙයක් දැකගත නොහැකි බව ද ඔවුහු තර්ක කරති. මෙම පිරිස නාසා ආයතනයට චෝදනා නගන්නේ නාසා ආයතනය අපට දකින්න සලස්වන්නේ පරිගණක ඇසුරින් වෙනස් කළ පෘථිවියේ චන්ද්‍රිකා ඡායාරූප සහ අභ්‍යවකාශයෙන් ලබාගත් වීඩියෝ දර්ශන පෙන්වන බවටය.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි

