ලෝක පූජිත තෙන්ඩුල්කාර්ගේ ලංකාගමනේ අත්දැකීම්


ළමුන් යනු ඕනෑම රටක අනාගතය බවත් අද අප ළමුන්ට සහාය ලබාදුනහොත් හෙට ඔවුන් අපිව ආඩම්බර කරනු ඇති බවත් යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියානු කලාපීය තානාපතිවරයා වන ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් මහතා පසුගිය 8 වැනිදා කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.


ළදරුවකු මෙලොව එළිය දැකීමෙන් අනතුරුව එළඹෙන පළමු දින 1000 ක කාලයේදී මොළය සියයට 80 ක් වර්ධනය වන බවත් එය ළමයෙකුගේ ජීවිතයට බලපාන වැදගත්ම කරුණක් බවත් සචින් තෙන්ඩුල්කාර් මහතා එහිදී පෙන්වා දුන්නේය.


නමුත් ළමයෙකුගේ මොළය සියයට 80 ක් වර්ධනය වන පළමු දින 1000 ක කාලය තුළ නොදැනුවත්කම හේතුවෙන් පවුලේ සාමාජිකයන්ට ළමයා සමඟ කාලය ගත කිරීමට අමතක වන බව තෙන්ඩුල්කාර් මහතා ප්‍රකාශ කළේය.


එසේම දරුවන්ට ඔවුන්ගේ පූර්ණ හැකියාවන් කරා ළඟා වීම සඳහා පෝෂණ ගුණයෙන් පිරි ආහාරයක් සහ ගුණාත්මක අධ්‍යාපනයක් අවශ්‍ය වන බව පෙන්වා දුන් තෙන්ඩුල්කාර් මහතා කොවිඩ් වසංගතය හේතුවෙන් අප සැවොමගේ ජීවිත මන්දගාමී වූ බවත් ඒ හේතුවෙන් ළමුන් අභියෝග රැසකට මුහුණ දුන් බවත් පැවසුවේය.
තමන් ක්‍රිකට් තරග ක්‍රීඩා කරන විට දිවා ආහාරය කාලයේ දී සිසිල් බීම පමණක් පානය කර ක්‍රීඩා කළ කාලයක් තිබූ බවත් දිවා ආහාරය ලබා නොගත් තරගවලදී දැවීගිය විට පළමුවෙන්ම අවශ්‍ය වූයේ ආහාරයට යමක් ලබාගැනීම බවත් තෙන්ඩුල්කාර් මහතා පෙන්වා දුන්නේය.


ඒ හේතුවෙන් නිසි පෝෂණයක් නොමැතිවීම දක්ෂතාවලට බලපෑම් එල්ල කරන බව තමන් හොඳින් දන්නා කරුණක් බව ඔහු පැවසුවේය.
බොහෝ පවුල්වලට අද වන විට ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර වේලක් ළමුන්ට ලබාදීමේ හැකියාව අඩු වී තිබෙන බවත් එම නිසා  පාසල් ආහාර වේල ඉතාමත් වැදගත් වන බවත් තෙන්ඩුල්කාර් මහතා ප්‍රකාශ කළේය.


රුවන්වැල්ලේ පෙර පාසලකට ගිය අවස්ථාවේ දී තමන් ගොඩක් දේ ඉගෙන ගත් බව තෙන්ඩුල්කාර් මහතා පැවැසුවේය. එම අවස්ථාවේදී ළමුන් ආහාර ගන්නා විට ගුරුතුමිය පිඟානක් රැගෙන පන්තියේ ළමුන් වෙත ගිය බවත් එහිදී සෑම ළමයෙකුම තමන්ගේ ආහාර වේලෙන් ටිකක් එම පිඟානට දැමූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
එම අවස්ථාවේ එසේ ආහාර පිඟානට දැමීමට හේතුව විමසා සිටි බවත් එවිට මෙම වේලාව කුරුල්ලන්ගේද ආහාර වේලාව බැවින් පිඟානේ එකතු කරනු ලැබූ ආහාර කුරුල්ලන් වෙනුවෙන් බව ගුරුතුමිය ප්‍රකාශ කළ බවත් තෙන්ඩුල්කාර් මහතා ප්‍රකාශ කළේය.


පවුලකට ආදායමක් නොමැතිවීම සහ එම පවුලේ සිටින දරුවන්ට අධ්‍යාපනය ලබාගැනීමට නොහැකිවීම භයානක සංයෝගයක් බවත් ඒ හේතුවෙන් රජය සහ රාජ්‍ය නොවන සංවිධාන සාධාරණ අවස්ථාවක් නොමැති දරුවන්ට සාධාරණ අවස්ථාවක් ලබාදීම සඳහා ක්‍රියා කළ යුතු බවත් තෙන්ඩුල්කාර් මහතා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වූ සචින් තෙන්ඩුල්කාර් මහතා සබරගමුව පළාතේ ක්‍රියාත්මක යුනිසෙෆ් වැඩසටහන් පිළිබඳ සොයා බැලූ අතර, කොවිඩ් වසංගත කාලය තුළදී සහ 2022 වසරේ පැවති ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් පිළිබඳව සොයා බලමින් ඔවුන් හමුවීමට ද ඔහු කටයුතු කළේය.
යුනිසෙෆ් සංවිධානය මගින් ක්‍රියාත්මක කර ඇති පාසල් සඳහා දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන හරහා දරුවන්ට පෝෂ්‍යදායී ආහාර ලබා දීම සඳහා ටෙන්ඩුල්කාර් මහතා ඔහුගේ ක්ෂේත්‍ර චාරිකාව අතරතුර දී සහාය වූ බවත් වතුකරයේ ජනයාගේ ජීවන තත්ත්වයන් පිළිබඳව සොයා බැලීම සඳහා වතුකර ප්‍රදේශ වෙතද ගමන් කළ බවත් යුනිසෙෆ් සංවිධානය පැවසුවේය.


එසේම වයස අවුරුදු දෙක දක්වා දරුවන් සිටින පවුල් 110000 කට වැඩි සංඛ්‍යාවකට ඔවුන්ගේ දරුවන්ට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් ප්‍රදානය කිරීමක් ද තෙන්ඩුල්කාර් මහතාගේ ප්‍රධානත්වය ඇතිව සිදුකෙරුණු බව යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කළේය.


දරුවන් සමඟ සුහද පිළිසඳරක යෙදීමට ද අමතක නොකළ තෙන්ඩුල්කාර් මහතා ක්‍රිකට් ජීවිතයේ අත්දැකීම දරුවන් සමඟ බෙදාගත් අතර බාධක ජයග්‍රහණය කිරීම, ඔරොත්තු දීමේ හැකියාව සහ තම ඉලක්කය පසු පස හඹා යාම යන කරුණු පිළිබඳව එහිදී දරුවන්ගේ අවධානය යොමු කළේය. 


සංචාරය අවසානයේ සචින් තෙන්ඩුල්කාර් මහතා දරුවන් සමඟ සුහද ක්‍රිකට් තරගයකට සහභාගීවීමට ද අමතක නොකළේය.

 

 

■ විමුක්ති එස් රුද්‍රිගු