ලෝක ජනතාවගේන් මිලියන 2.7 ක්ම වීදි කෑමවලට ප්‍රිය ලෝලීන්


ලෝකෙම ආහාර ප්‍රිය ලොලීන් පිස්සු වැට්ට වූ තරු පහේ වීදි ආහාර සංස්කෘතිය

වීදි ආහාර තුළින් ජාතියක – සමාජයක - රටක සම්ප්‍රදාය, ඉතිහාසය, නිර්මාණශීලීත්වය පිළිබිඹු කරන අතරම අව්‍යාජ රුචි අරුචිකම් සහ අත්දැකීම් ලබාදීමට ද සමත් වේ.

විශේෂයෙන් ආසියාවේ දක්නට ලැබෙන වීදි ආහාර - මහාද්වීපයේ සංස්කෘතීන් මෙන් විවිධාකාර වේ. 2007 දී එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් පැවැත් වූ  පර්‌යේෂණයකට අනුව ලෝක ජනතාවගෙන් මිලියන 2.7 ක්ම වීදි කෑමවලට රුචි අයවලුන් බව සොයාගෙන ඇත. ඉන්දියාවේ මුම්බායිවල මිලියන බාගයකට වඩා වීදී කෑම විකුණන වෙළෙන්දන් සිටින අතර, තායිලන්තයේ බැංකොක්වල සියයට 40 කට වඩා ජනතාව වීදි ආහාර පරිභෝජනය කරති. 

ඇමෙරිකාවේ වඩාත් ජනප්‍රිය විදී කෑම විශේෂය වනුයේ හොට් ඩෝග්ස් ය. වීදි ආහාර සංස්කෘතිය ලෝකය පුරා ව්‍යාප්ත වූයේ ග්‍රීසියෙනි. ලංකාවේ අතිශය ජනප්‍රිය කොත්තු හා රයිස් යනු තායිලන්ත හා චීන සංස්කෘතියෙන් මෙරටට පැමිණි වීදි ආහාර විශේෂ වෙති. 

විදෙස් සංචාර වල යෙදෙන, එහිදී වීදි ආහාර පරිභෝජනයට රිසි අයවලුන්ගේ දැනගැනීම වෙනුවෙන් - ශ්‍රී ලාංකිකයින් බහුලව සංචාරය කෙරෙන රටවල් කීපයක ඇති ප්‍රධාන නගර සහ වීදි පිළිබඳ තොරතුරු  ගෙන එන්න සිතුවා.

 

ගැඹුරු ඉතිහාසයක් ඇති තායිලන්තයේ වීදි ආහාර

වීදි ආහාර සඳහා ජනප්‍රිය රටවල් අතර සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනාගත් රටක් ලෙසින් තායිලන්තය හඳුන්වා දිය හැකියි. බැංකොක් හි පිහිටා තිබෙන යඕවර්ත් (චයිනටවුන්), වික්ටරි ස්මාරකය සහ වැන්ග් ලැන්ග් වෙෙළඳපොළ වැනි ප්‍රදේශ මේ සඳහා සුප්‍රසිද්ධ ස්ථානයි. විශේෂත්වය බැංකොක් හී වීදි ආහාර දර්ශනය පුරාවෘතාන්තයක් වීමයි. එනම් තායි වීදි ආහාරවලට ගැඹුරු ඉතිහාසයක් පවතී. මුල් කාලීනව වෙළෙන්දන් බෝට්ටු හරහා ආහාර අලෙවි කරමින් පාවෙන වෙළෙඳසල් මගින් මෙම ආහාර සංස්කෘතිය ආරම්භ කර ඇති අතර,  1960 දී පමණ ඇතිවූ නාගරික ජනගහන වර්ධනය නිසාවෙන් එය ජල මාර්ග වලින් ඉවත් කොට ඒ වෙනුවට වීදි යොදාගැනීමට යොමු වී ඇත. එමෙන්ම තවත් විශේෂත්වයක් වන්නේ තායි වැසියන්ගේ විශ්වාසයන්ය. එනම් ඔවුන් දක්වන පරිදි වීදි ආහාර යනු තායි අනන්‍යතාවයේ සංකේතයක් වන අතර, ඉන් රටේ පොහොසත් සූපශාස්ත්‍ර සම්ප්‍රදායන් මූර්තිමත් කරන බවයි. ඒ අනුව සෑම රසයකටම ගැළපෙන රසවත් ආහාර විශාල ප්‍රමාණයක් මෙම වීදි තුළින් මිලදී ගත හැකි අතර, ඒ ආහාර තායි ආහාර තුළ පවතින පැණි රස, ඇඹුල් රස, ලුණු සහ කුළු බඩුවල සමතුලිතතාව මනාව පෙන්නුම් වන ලෙසින් රසවත් ලෙස පිළිසකර කොට ඇත. එම ආහාර අතරින් ජනප්‍රිය වීදි කිහිපයක් ලෙස ලෙමන් ග්‍රාස්වලින් පුරවා ලුණු දමා තළා සම්පූර්ණයෙන්ම ග්‍රීල් කරන ලද මාලු හෙවත් ජලා පාඕ, බෝට්ටු නූඩ්ල්ස්, ඊසානදිග තායිලන්තයේ පැසුණු ඊසාන් සොසේජස් සහ ඔම්ලට් ආදිය සංචාරකයන්ගේ විශේෂ කැමැත්ත දිනා ගත් වීදි ආහාර ලෙසින් නම් කළ හැකිය. ඒ වගේම ස්වභාවික පලතුරු සාරය යොදා ගත් බීම වර්ගවලටද ඇත්තේ ඉහළ ඉල්ලුමකි. 

රාජවංශයෙන් ආ කොරියානු වීදි ආහාර

කොරියානු වීදි ආහාර ජොසොන් රාජවංශය දක්වා වසර 600කට වඩා පැරණි වන අතර, ජපන් යටත් විජිත පාලනය සහ කොරියානු යුද්ධය හරහා එහි පරිණාමය සිදුවී ඇත. ඒ අනුව කොරියානු සංස්කෘතියේ ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය වීමේ හැකියාව ඉස්මතු කරමින් වීදි ආහාර අඛණ්ඩව පරිණාමය වී තිබේ. අද්විතීය රසයන් සහ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙමින් සිදුවී ඇති වෙනස්කම් නිසාවෙන් කොරියානු වීදි ආහාර තව තවත් ජනප්‍රිය වී ඇත. එමෙන්ම කොරියානු ආහාරවල පුළුල් ආකර්ෂණය ගෝලීය වශයෙන් කොරියාවේ සංස්කෘතික බලපෑම පෙන්නුම් කරයි. දකුණු කොරියාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති යොන්ග්ඩියොක්, විදී ආහාර සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශයක් වන අතර එහි ප්‍රසිද්ධම ආහාරය හිම කකුළුවන් ය. පොදුවේ ගත් කළ ටෙක්බොකි නොහොත් කොරියානු කුළුබඩු සහිත සහල් කේක්, ඩල්ගෝනා, ටොනාඩෝ අර්තාපල්, ගිම්බප් සහ හොට්ටෙක් වැනි ආහාරත් සෝජු සහ කෙසෙල් කිරි වැනි පානවර්ගත් කොරියාවේ ජනප්‍රිය වීදී ආහාර තුළ නම් දරා ඇත.

අග්නිදිග ආසියානු සංකලනයෙන් හැදුනු සිංගප්පූරුවේ වීදි ආහාර

සංචාරක ආකර්ෂණය නොඅඩුව දිනාගත් රටක් වන සිංගප්පූරුව තුළ වීදි ආහාර සඳහාද ඇත්තේ කැපී පෙනෙන ආකර්ෂණයකි. ඇත්තෙන්ම සිංගප්පූරුවේ ආහාර සංස්කෘතිය සකස්වී ඇත්තේ විවිධ අග්නිදිග ආසියානු සංස්කෘතීන්, සම්ප්‍රදායන් සහ ආහාර වර්ගවල සංකලනයකිනි. ඒ නිසාවෙන් සිංගප්පූරු වීදි ආහාර තුළ දේශීය ආහාර වර්ග මෙන්ම චීන, ඉන්දියානු, කොරියානු, පිලිපීන, ජපන්, වියට්නාම, ඉන්දුනීසියානු, මැලේසියානු වැනි රටවල ආහාරද දැකගත හැකියි. මැක්ස්වෙල් පාර හෝකර් මධ්‍යස්ථානය, චයිනා ටවුන් සංකීර්ණය සහ ලා පා සැට් වැනි කැපී පෙනෙන මධ්‍යස්ථාන විදි සූපශාස්ත්‍ර සඳහා ජනප්‍රිය ප්‍රදේශයි. මිචෙලින් මාර්ගෝපදේශයේ කිහිප වතාවක්ම තම වීදි ආහාර ඇතුළත් කර ඇති ලොව ස්වල්ප රටවල් අතරින් එකක් ලෙස සිංගප්පූරුව ද ප්‍රසිද්ධය. 

එබැවින් ලොව ලාභම මිචෙලින්-ස්ටාර්ඩ් කෑම වර්ග කිහිපයක් රස විඳීමට නගරය තුළ අවස්ථාව ඇත. දේශීය වීදි ආහාර තුළ වැඩි කොටසක් බත්, නූඩ්ල්ස්, මස් සහ මුහුදු ආහාර වේ. එම ආහාර අතරින් හයිනානිස් කුකුළු මස් සහල් හෙවත් සුවඳැති බත් සමග පිළිගන්වන මෘදු ලෙස බැදපු කුකුල් මස් සහ මිරිස් සෝස් සමඟ ඉඟුරු පේස්ට්, මිරිස් කකුළුවන්, ලක්සා, චාර් ක්වේ ටියෝ වැනි ආහාර සිංගප්පූරු සූපවේදයෙහි අනන්‍යතාවන් ප්‍රකාශ කෙරෙන විදී ආහාරයි. මෙම ආහර වර්ග සිංගප්පූරුවේ විවිධ සූපශාස්ත්‍ර භූ දර්ශන පිළිබිඹු කරන අතර ඒ හරහා සම්ප්‍රදායේ නවෝත්පාදනයන් ද සපුරාලයි.

විදේශයන්හි කිසිදා අනුකරණය කළ නොහැකි ඉන්දියාවේ වීදි ආහාර

මුම්බායි හි කෞ ගැලීස්, ඉන්දෝර්හි සරෆා බසාර්, දිල්ලිහි ගොල්ගප්පා වීදිය, චෙන්නායි හි පොන්ඩි බසාර් ආදී ප්‍රදේශ වීදි ආහාර ලෝලීන් සඳහා පාරාදීසයන් වන අතර, සියලු රසයන්ට ගැළපෙන විවිධ කෙටි ආහාර එහි දැකගත හැකියි. ඉන්දෝර්හි සරෆා බසාර් වැනි ස්ථාන දිවා කාලයේදී ආභරණ වෙළෙඳපළක්වන අතර, රාත්‍රිය උදාවන විටම එය කාර්ය බහුල ආහාර වෙළෙඳසලක් වේ. මේ ආකාරයට ඉන්දියාවේ වීදි ආහාර විවිධාකාරයේ රසයන්ගෙන් යුක්ත වන අතරම ඒවා අයවැය හිතකාමී වන බවත් කලාපීය විශේෂතා සහ ගෝලීය වශයෙන් පිළිගත් කෑම වර්ග වීම නිසාත් ජනප්‍රියත්වය තවත් වැඩි වී තිබේ.  විදේශයන්හි කිසිදා අනුකරණය කළ නොහැකි ආහාර - පාන මෙම අවන්හලක් තුළ භුක්ති විඳිය හැකි අතර ඒ තුළින් ඉන්දියානු ආහාරවල මායාව ලොවට පෙන්වයි. ඉන්දියාව තුළ වීදි ආහාර වෙනුවෙන් තිබෙන මේ ඉල්ලුම නිසාම දිල්ලිය තුළ වසරක් පාසා වීදි ආහාර උළෙලක් ද පවත්වනු ලබයි. ඒ අනුව මේ රසවත් වීදි ආහාර අතරින් මුම්බායි බර්ගර් ලෙස හඳුන්වන වඩා පාව්, පානි පූරි, පව් බාජි, බෙල් පූරි, තෝසේ වඩේ වැනි ආහාර ඉන්දියානු වීදි ආහාරවලට ප්‍රියකරන ඔබ රසවිඳිය යුතුම කෑම ලැයිස්තු අතර ඇත. ඇත්තෙන්ම මෙම කෑම වර්ග මුම්බායි හි විචිත්‍රවත් සහ විවිධාකාර සූපශාස්ත්‍ර සංස්කෘතිය ඉස්මතු කරයි.

මුහුදු ආහාරවලට ප්‍රධාන තැනක් හිමිවන ජපානයේ වීදි ආහාර

ජපන් ආහාරවල ඇති වර්ණවත් බව, අලංකාරත්වය, වෙනස් බව සහ භුක්ති විඳීමේ වෙනස නිසාවෙන් ජපානයේ ආහාර සංස්කෘතිය පිළිබඳ බොහෝ දෙනෙකුට ඇත්තේ කුතුහලය පිරි ආකර්ෂණයකි. මේ හේතු කාරණා මත ජපන් වීදි ආහාරවලට ඇති ඉල්ලුමත් ඉතා ඉහළ මට්ටමක පවතී. මෙහි ඉතිහාසය ගැන කතාකළහොත් වීදි ආහාර මුල් කාලයේ සකස් වී ඇත්තේ ආගමික වන්දනාකරුවන්ට සේවය කිරීම වෙනුවෙනි. එලෙස සකස් වූ ආහාර පසු කාලීනව පරිණාමය වී නවෝත්පාදනයන් සිදුවී වර්තමාන වීදි ආහාර සංස්කෘතිය දක්වා ගොඩනැගී තිබේ. ඒ අනුව මෙම ආහාර තුළ ටකෝයානි සහ ඔකොමියා වැනි රසවත් රස කැවිලිවල සිට ටයියානි සහා ඩැල්ෆෝ වැනි පැණිරස සංග්‍රහ දක්වා විචිත්‍රවත් සහ විවිධාකාරයේ කෑම වර්ග රාශියක් ජපන් වීදි ආහාර තුළ දැකගත හැකි ය. ඒ අතරින් සුෂි, ටෙම්පුරා, සොබෝ, යකිටෝරි වැනි ආහාර විදී ආහාර ලෝලීන්ගේ රුචිකත්වයන්හි ඉහළින්ම පවතී. එමෙන්ම ජපානයේ භූගෝලීය පිහිටීම හේතුවෙන් එනම් දූපත් පිහිටීමෙන් මුහුදු ආහාරවලට ප්‍රධාන තැනක් හිමිවන අතර, ටෝෆු සහ සෝයා සෝස් වැනි සෝයා පදනම් කරගත් නිෂ්පාදන ද ප්‍රධාන අංග වේ.

දුලක්ෂි ලියනගේ