ලොවම මවිතකළ පිටසක්වළයන්ගේ සිරුරු


ජේමී මුසන්, දශක ගණනක් තිස්සේ පිටසක්වළ ජීවින් සහ පියාඹන පීරිසි ගැන රහස් අනාවරණය කරගැනීමට නිරන්තර වෙහෙසක් ගන්නා මෙක්සිකෝ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි. මීට වසර කිහිපයකට පෙර මෙක්සිකෝ කොංග්‍රසය (පාර්ලිමේන්තුව) හමුවේ පෙනී සිටිමින්, පිටසක්වළ ජීවින් සහ පියාඹන පීරිසි සම්බන්ධයෙන් කරුණු රැසක් හෙතෙම අනාවරණය කළේය. තමන්ට අවශ්‍ය, “පිටසක්වළයන් ගැන ඇත්ත නැත්ත ලොවට හෙළි කිරීම” යැයි පළමුව සඳහන් කළ මුසන්, ඉනික්බිති එම තොරතුරු අනාවරණය සිදු කරන්නට යෙදුණි. එදිනෙහි මුසන් සමග මෙක්සිකෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පිරිසක් ද කොංග්‍රස් මණ්ඩලය හමුවේ ප්‍රස්තුතයට අදාළව වැඩිදුර කරුණු දැක්වීමක් සිදු කළහ.

විශේෂ වීදුරු පෙට්ටි දෙකක තැන්පත් කළ කුඩා ප්‍රමාණයේ අස්වාභාවික සිරුරු දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කණ්ඩායම පියවර ගත්තේය. එම වීදුරු පෙට්ටිවල තැන්පත් කර තිබුණේ පොසිලකරණයට ලක් වුණු සිරුරු දෙකකි. ඒවා මෙක්සිකෝ කොංග්‍රස් සභිකයන් පමණක් නොව, ලොව සියලු‍ දෙනා මවිත කිරීමට සමත් විය. රූපාකාරයෙන් බොහෝ දුරට මනුෂ්‍ය රූපි වුවත්, මනුෂ්‍ය සිරුරුවලට වඩා ප්‍රමාණයෙන් කුඩා “මනුෂ්‍ය නොවන” එම සිරුරු පිටසක්වළ ජීවින්ගේ බවත්, පිටසක්වළ ජීවින් පිළිබඳ සත්‍යය ලොවට හෙළි කිරීමේ අරමුණින්, තමන් මෙසේ මෙක්සිකෝ පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරන බවත් ජේමී මුසන් පැහැදිලි කළේය.

සම්මත කාබන් කාලනිර්ණ වාර්තා අනුව, අසාමාන්‍ය එම සිරුරු වසර 1,000ක් පැරැණිය. පොසිලකරණය වූ නිසා සිරුරුවල පැහැය කුමක්දැයි නිශ්චිතව පැහැදිලි නොවිණි. සිරුරුවල හිස විශාලය. ඇස් අසාමාන්‍යය. අත්වල ඇඟිලි 3කි. සිරුරුවල ජාන පරීක්ෂාවක් සිදු කළ බවත්, එම සිරුරුවල ජානවලින් සියයට 30ක් හඳුනා ගැනීමට මෙක්සිකෝ විශ්වවිද්‍යාලයට සම්බන්ධ විද්‍යාඥයන් අපොහොසත් වූ බවත්, මුසන් පාර්ලිමේන්තුවට පැහැදිලි කළේ, ඡායාරූප සහ වාර්තා ද ඉදිරිපත් කරමිනි. සිරුරු සොයා ගැනුණේ පිටසක්වළ යානයකින් නොවන බව ද ජේමී මුසන් පැහැදිලි කළේය. ගවේෂණයක යෙදුණු විද්‍යාඥයන් පිරිසකට පොසිලකරණය වුණු සිරුරු හමු වී ඇත්තේ පේරු රටේ නස්කා කාන්තාරයේ වෙරළාශ්‍රිතව පිහිටා ඇති ඇල්ගී ලෙනකිනි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මනුෂ්‍ය නොවන එම සිරුරු තුළ බිත්තර වැනි ද්‍රව්‍යමය යමක් අඩංගු වන බව ද පැවැසිණි. ඒ බව එක්ස් කිරණ පරීක්ෂණවලින් තහවුරු විය. ඉතා කැඩ්මියම් හා ඔස්මියම් වැනි දුර්ලභ ලෝහ කොටස් සිරුරුවලට බද්ධ කර තිබී හමු වුණු බැව් මූසන් වැඩිදුරටත් කියා සිටියේය. “ඔස්මියම්” යනු මිහිපිට ඇති දුර්ලභම මූලද්‍රව්‍යයකි.

මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අසාමාන්‍ය සිරුරු පිටසක්වළයන්ගේ යැයි ඍජුව පැවැසීමට මෙම සාක්ෂි ප්‍රමාණවත් නොවන බව, මේ සියලු‍ දේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසු වූ ඇමෙරිකාවේ චිකාගෝ නුවර මහාචාර්ය ජෝඩන් බ්‍රීම් පැවැසීය. ජෝඩන් බ්‍රීම් යනු, පිටසක්වළ ජීවින් සිටිනවා දැයි සොයන, විශ්වය සම්බන්ධයෙන් පර්‌යේෂණ කරන ලොව කීර්තිමත් විද්වතුන්ගෙන් කෙනෙකි.

“මෙක්සිකෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඒ අසාමාන්‍ය සිරුරු පිටසක්වළ ජීවින්ගේ යැයි ඍජුව කීමට බැහැ. ඒවා ඉදිරිපත් කළේ විද්‍යාඥයකු හෝ විද්වතකු නොවෙයි.

“මෙක්සිකෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඒ අසාමාන්‍ය සිරුරු පිටසක්වළ ජීවින්ගේ යැයි ඍජුව කීමට බැහැ. ඒවා ඉදිරිපත් කළේ විද්‍යාඥයකු හෝ විද්වතකු නොවෙයි. මූසාන් කියන්නේ පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවින් ගැන සොයන විද්වතකු නොවෙයි. පියාඹන පීරිසි ගැන හෝ පිටසක්වළ ජීවින් ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න ඔහුට විද්‍යාත්මක දැනුමක් නෑ. ඔහු මාධ්‍යවේදියෙක්. ඔහු මීට පෙර ද මේ අයුරින් ඉදිරිපත් කළ සාක්ෂි බොරු වී තිබෙනවා.” යැයි මහාචාර්ය ජෝඩන් බ්‍රීම් වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

පිටසක්වළයන්ගේ යැයි පැවැසුණු එම සිරුරු සම්බන්ධයෙන් ඇමෙරිකාවේ පරීක්ෂණ සිදු කළ යුතු යැයි ඒ අනුව යෝජනා කෙරුණු අතර, සිරුරු ඇමෙරිකා යැවීමට මූසන් කැමැති විය. ඒ අනුව, පේරු රටෙන් හමු වී මෙක්සිකෝ පාර්ලිමේන්තුවේ ආන්දෝලනයක් ඇති කළ මමීකරණයට ලක්වුණු එම කුඩා සිරුරු වැඩිදුර පරීක්ෂණ සඳහා යැවුණේ ඇමෙරිකාවටය. ඉකුත් මාස කිහිපය තිස්සේ එම සිරුරු අධ්‍යයනය කිරීමෙන් පසු ඇමෙරිකානු විද්‍යාඥයන් ඒ ගැන ඔවුන්ගේ අදහස් පළ කිරීමක් මේ වන විට සිදු කර හමාරය. පුදුමය නම් ඔවුන්ගේ ද අදහස වී ඇත්තේ එම සිරුරු සැබෑවක් කියාය.

කුඩා පිටසක්වළ සියයට 100ක් සැබෑ සිරුරු යැයි, පොසිලකරණයට ලක්ව තිබුණත්, ඒවා අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇත. නව තාක්ෂණය මේ සඳහා භාවිතයට ගැනීමට ද ඇමෙරිකානු විද්‍යාඥයෝ කටයුතු කළහ. මෙම පිටසක්වළයන්ගේ සිරුරුවලින් එක් සිරුරක් “අන්තෝනියෝ” යනුවෙන් නම් කර ඇති අතර, අන්තෝනියෝගේ සිරුරේ ඇතුළත කුඩා කැමරා යොදා ගනිමින් පරීක්ෂා කිරීමට විද්‍යාඥයෝ කටයුතු කළහ. එහිදී අන්තෝනියෝගේ ශේෂ වූ කුඩා දත් එහිදී මනා ලෙස අධ්‍යයනය කෙරුණි. එම දත් කිරි දත් නොවන බවත්, වැඩිහිටියකුගේ දත් බවත් අනාවරණය විය. ඒ අනුව අන්තෝනියෝගේ සිරුර ප්‍රමාණයෙන් කුඩා වුවත්, මනුෂ්‍ය සිරුරකට සමාන බව පැහැදිලි වන බව විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති. අන්තෝනියෝගේ සිරුර සැබෑ සිරුරක් බව විද්‍යාඥයෝ වැඩිදුරටත් පෙන්වා දුන්හ. අන්තෝනියෝගේ සිරුර අඩි 5.5 සිට 5.7 උසය. ප්‍රමාණයෙන් කුඩා වුවත් අන්තෝනියෝ වසර 1,500ක් පැරැණි, වැඩිහිටි සිරුරක් බව ඇමෙරිකානු විද්‍යාඥයන් ඔවුන්ගේ වාර්තාවේ සඳහන් කර ඇත. 

අන්තෝනියෝගේ සිරුර ප්‍රමාණයෙන් කුඩා වුවත්, මනුෂ්‍ය සිරුරකට සමාන බව පැහැදිලි වන බව විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති

එපමණක් නොව අන්තෝනියෝගේ සිරුරේ දත්වල ක්ෂය වීම, දත්වල පැහැය වෙනස් වීම ද විද්‍යාඥයන්ට සොයාගත හැකිව ඇත. විද්‍යාඥයන්ට අනුව, අන්තෝනියෝට දත් 28ත් 32ත් තිබෙන්න ඇතැයි ද පැවැසෙයි. එපමණක් නොව, නරක් වූ දත් කිහිපයක් පුරවා ඇති බවක් ද දකින්න ලැබෙන බව විද්‍යාඥයන් පැහැදිලි කර ඇත්තේ එක්ස් කිරණ සටහන් ද ඉදිරිපත් කරමිනි. එම දත් පුරවා ඇත්තේ, රසදිය, රිදී, තඹ සහ ටින් ඇතුළු ලෝහ මිශ්‍රණයකින් යැයි ද සිදු කළ පරීක්ෂණවලන් තහවුරු වී ඇත. මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කළ යුතු යැයි ද ඇමෙරිකානු විද්‍යාඥ කණ්ඩායම අවධාරණය කර ඇත.
ලු‍සිත ජයමාන්න

ඩේලිමේල් ඇසුරිනි