1970 තරම් මෑතකදී ද වාර්තා වී ඇති තොරතුරකින්ද ප්‍රකාශ වී ඇත්තේ ලෝහිත කුලුනේදී දුටු අවතාරයක් පිළිබඳවයි. එම පුවතට අනුව කියැවෙනුයේ එසෙක්ස් ප්‍රාන්තයේ “ග්‍රේස්” නමැති ගමේ පදිංචිකරුවකු ලන්ඩන්හි පළවන සන්ධ්‍යා පුවත්පතකට ලියන ලද ලිපියකින් කියා තිබී ඇත්තේ තම පෙම්වතිය එක් දිවා කාලයක ලන්ඩන් කුලුන නැරඹීමට ගිය අවස්ථාවේ අවතාරයක් දැක ඇති බවකි. ඒ අනුව දිගටි, කළු විල්ලුද ඇඳුමකින් සැරසී සිටි, ඝන දිගු කෙස් කළඹක් ද සහිත ස්ත්‍රියක ලෝහිත කුලුනේ විවෘත කවුළුවක් තුළින් දිස්වූ බවයි. ඇය සිය ගෙල වටා විශාල රන් පැහැති පදක්කමක් පැළැඳ සිටි බවක් ද එම ස්ත්‍රිය පවසා තිබේ. ඇය සමග එහි ගොස් සිටි පිරිස අතරින් මෙම අද්භූත අවතාරය දැක ඇත්තේ ඇය පමණක්ම වූ අතර, පිරිස සමග එම අවස්ථාවේදීත්, ඉන් අනතුරුව වෙනත් අය සමගත් එහි ගිය විට තමාට හුස්ම ගැනීමේ අපහසුතාවක් දැනුණු බවද අදාළ තරුණිය විසින් පවසා ඇත. විශේෂඥයන්ගේ මත ප්‍රකාශවලට අනුව ජේන් ග්‍රේ ආර්යාවගේ අවතාරය දිවා කාලයේදී දැක ඇතැයි ප්‍රකාශ වන්නා වූ දුර්ලභ පිරිස අතර එම තරුණිය ද එක් තැනැත්තියක වන්නීය.
හොල්මන් සහ අවතාර විලාශයෙන් ලන්ඩන් කුලුන පරිශ්‍රයේ හමුවන්නවුන් අතර සාමාන්‍ය පුද්ගලයන් සහ කුඩා ළමෝ විරලයහ.
1890 වසරේ එක්තරා දිනෙක මුර භටයකු විසින් දැක ඇති අවතාරයක් හේතු කොටගෙන භීතියට පත්වූ ඔහු මරණාසන්න වීල. එදා ඔහු රාජකාරි කළේ කුලුන පරිශ්‍රයේ “බෝෂැම්ප්” කුලුනේය. හදිසියේම කිසිවකු විසින් නමින්ම ඔහු අමතා ඇත. සෙබළ ආපසු හැරී ඒ හඬ නික්මුණු දිශාව බැලීලු. පහත ගුවනේ පාවෙමින් එන්නාක් මෙන් පෙනුණු යෝධ මුහුණකි. ඉදිමුණු, පහළින් වූ මුඛයෙන් කෙළ බේරෙමින් තිබිණ. බිමට යොමුව පැවැති දෑස් මලානිකව තිබී ඇත. අවස්ථා කිහිපයකදීම එම මුහුණ තමා ඉතිහාස පොත්වලින් දැක තිබුණු බව සෙබළා විසින් පවසා ඇත්තේය. රකුසකුගේ වැනි ඒ මුහුණ අටවැනි හෙන්රි රජුගේ මුහුණ යැයි ද සෙබලා විසින් පවසා තිබේ.
අටවැනි හෙන්රි අවතාරයට බිය වූ සෙබළා මෙසේ ද පවසා ඇතැයි සඳහන්ය. “මං දිවීම නතර කළේ මගේ මිතුරන් දෙදෙනකුගේ ඇඟේ හැපී ඔවුන්ව බිම පෙරළාගෙන. ඔවුන් මා පැමිණි දිශාව සෝදිසි කිරීමට යොමුවූ පසුවත් හොල්මන මා දෙසට එන බව පෙනුණා. මේ කතාව ඇසූ කවුරුත් ‘ෂ්’, ‘ෂ්’ ගාමින් මා නිහඬ කරවූ අතර, අප සියලු දෙනාටම අවවාද කරනු ලැබුවේ කුලුනේ හොල්මන් ඇති බවට වචනයක් හෝ පිට නොකරන ලෙසටයි!”
ප්‍රථම ලෝක සංග්‍රාම අවධියේ (1914-19) තවත් ස්ථානීය මුර භටයකු විසින් ‘ස්පර් ටවර්’ කුලුනේදී හොල්මන් පෙරහරක් දැක ඇත. එය මෙසේයි. ගිලන් මැස්සක් මත තබාගත් හිස සුන් සිරුරක් ඔසවාගත් මිනිසුන් පිරිසක් පැමිණ ඇත. වෙන් කරන ලද හිස කවන්ධ සිරුරේ බාහුවක් අතර රඳවා තිබී ඇත. ඉතිහාසඥයන් විසින් පෙන්වා දී ඇත්තේ අතීත සියවස්වලදී හිස ගසා දමනු ලැබූ ශරීර, සිරිත් පරිදි “ටවර් හිල්” නමින් හැඳින්වුණු සුසාන භූමියේ මිහිදන් කිරීම පිණිස එසේ රැගෙන යනු ලැබූ බවකි.
නොදම්බර්ලන්ඩ් ප්‍රදේශයේ සුප්‍රකට ඈපාවරයකුගේ අවතාරය ‘මාර්ටින්’ සහ ‘කොන්ස්ටබල්’ කුලුනු අතර ගමන් පථයේදී නිරන්තරයෙන් දර්ශනය වීම නිසාම මුර භටයන් විසින් එම ප්‍රදේශය “නොදම්බර්ලන්ඩ් සක්මන් මළුව” වශයෙන් හඳුන්වා දී ඇත්තේය.
බොහෝ දෙනකු අසා පුරුදු පළමුවැනි එළිසබෙත් රාජිනියගේ අනුබලය සහ පැසසුම් ලැබී යැයි කියනු ලබන දේශගවේෂකයකු වශයෙන් ප්‍රසිද්ධියට පත් ශ්‍රීමත් වෝල්ටර් රැලේ සාමිවරයා පළමුවැනි ජේම්ස් රජුගේ උදහසට ලක්වීම හේතුවෙන් ලන්ඩන් කුලුනේ සිරකොට තබන ලදුව පසුව ඝාතනයට පත් කළ බව ද ඓතිහාසික සත්‍යයකි. එසේම නව ලෝකය නමින් යුරෝපා ජාතික දේශාටනයෙහි යෙදුණවුන් විසින් සොයාගත් අමෙරිකා මහාද්වීපයේ පිහිටි වර්ජිනියා ප්‍රදේශයට එම නාමය ආරූඪ කරවීමට මුල් වූ පුද්ගලයා ද සර් වෝල්ටර් රැලේම වන්නේ යැයි කියනු ලැබේ.
අටවැනි හෙන්රි රජතුමාගේ දෙවැනි බිසව ලෙසට පත් වූ ඈන් බොලීන් රැජන රජුගේ අණ පරිදි ඝාතනය කරනු ලබන විට එළිසබෙත් ළදරු කුමරිය වසර දෙකක කුඩා ළදැරියකි. ඇත්ත වශයෙන්ම ළදරු සිරකාරියක මෙන් ඇතිදැඩි වූ එළිසබෙත් කුමරිය පසුව 1558 සිට 1603 දක්වා වසර හතළිස් පහක් එංගලන්ත රාජිනිය වශයෙන් එරට පාලනය කළ ද ඇගේ ජීවිත කාලයම විවාහයෙන් හෝ සැනසීමක් නොලද අමිහිරි එකක් වූ බව ඓතිහාසික වශයෙන් සත්‍ය කරුණකි. එහෙත් දේශාටන අංශයෙන් සේම ඉංග්‍රීසි සාහිත්‍යයේ වර්ධනය අතින් ද පළමුවැනි එළිසබෙත් රාජිනියගේ පාලන සමය ස්වර්ණමය යුගයක් වශයෙන් පිළිගැනෙයි.
ශ්‍රීමත් වෝල්ටර් රැලේගේ ඝාතනය 1603-1625 කාලසීමාවේ බ්‍රිතාන්‍යයේ පළමුවැනි ජේම්ස් රජුගේ රාජ උදහස නිසාවෙන් සිදුවූවක් බවට ඓතිහාසික තොරතුරු ඇත්තේමය. ලෝහිත කුලුනේ සැරිසරා ඇති වෝල්ටර් රැලේගේ අවතාරය ද මුර භටයන් විසින් දැක තිබේ. ලෝහිත කුලුනේ අභ්‍යන්තරයෙහිදී අතිනත් අල්ලාගෙන ගමන් කළැයි වාර්තා වී ඇති ළමා වියෙහි වූ අවතාර යුගලයක් පිළිබඳව ද වාර්තා වී තිබේ.
ක්‍රි.ව. 1483 දී බ්‍රිතාන්‍ය කිරීටය පැහැරගත් තුන්වැනි රිචර්ඩ් රජතුමා විසින් අබිරහස් ලෙස පැහැරගෙන ගොස් ලෝහිත කුලුනේ සිරකොට තබා පසුව සූක්ෂම ලෙස ඝාතනය කොට, කුලුනේම ඝන බිත්තියක් තුළ එම මෘත දේහ සඟවා තබනු ලැබීමට ලක්වූ එඩ්වර්ඩ් සහ රිචර්ඩ් නමැති කුඩා කුමාරවරු එම අවතාර බවට පත්ව ඇතැයි විශ්වාස කෙරේ. රාජ උරුමය අසාධාරණ අයුරින් අහිමි කරවනු ලැබූ කුඩාවුන් වුවද අවතාර ලෙසට පැමිණීම අරුමයක් නොවේ.
පුද්ගලයන් ලෙසට නිශ්චිතවම හඳුනාගෙන නැති අවතාර පිළිබඳව ද ලන්ඩන් කුලුන ආශ්‍රිතව ඇතැයි කියනු ලබන තොරතුරු ද සුවිශේෂය. බ්‍රිතාන්‍යයේ රාජ්‍ය ස්වර්ණාභාරණ භාරකාරත්වය සඳහා ද වෙනම කාර්යය අංශයක් පවත්වාගෙන ගොස් ඇත. පෙර’පර දෙදිග අතීතයේ පැවැති යටත්විජිත රාශියෙන් ගෙන ආ ස්වර්ණාභරණ මේ අංශයේ රැස්කොට තිබුණේ විය හැකිය. එහි ප්‍රධාන ගබඩාව ශාන්ත තෝමස් කුලුන ආශ්‍රිතව පිහිටුවා තිබිණ. එච්.ඩී.ඩබ්ලිව්. සිට්වෙල් නමැති මේජර්වරයා මෙහි භාරකරු වශයෙන් සිටි සමයේ එක් දිනෙක උදෑසන ඔහු අවදි වී ඇත්තේ දුඹුරු පැහැති ලෝගුවකින් සැරසීගත් පූජකවරයකු විසින් ඔහුගේ නිදන කාමරයේ දොර හදිසියෙන් විවෘත කළ සිද්ධියෙන් තිගැස්සීගෙනය. සිද්ධිය පිළිබඳව කිසිදු වැදගත් කරුණක් මේජර් සිට්වෙල්ගෙන් ප්‍රකාශ වී නැති සෙයකි.
වාර්තා වී ඇතැයි කියැවෙන ඇතැම් අවතාර මිනිස් ස්වරූපයේ ඒවා නොවන්නේය. 1817 ඔක්තෝබර් මාසය වන විට රාජ්‍ය ස්වර්ණාභරණ ගබඩාවේ භාරකරුව සිටි එඩ්මන්ඩ් ස්විෆ්ට් මහතා සිය බිරිඳ, පුත්‍රයා සහ නෑනා ද සමගින් රාත්‍රි ආහාරය ගනිමින් සිට ඇත. ඒත් මාර්ටින් කුලුනේ සිද්ධියකි. ස්වකීය බිරින්දෑට වයින් වීදුරුවක් පිළිගන්වමින් සිටි ස්විෆ්ට් මහතා වෙත විස්මයෙන් පිරී ගිය දසුනක් යොමුකළ එම මහත්මිය, “දෙයියනේ ඒ මොකක්ද?”යි හඬ නඟා විමසා ඇත. සිය බිරිඳ භීතියෙන් නෙත් යොමා සිටි ඉසව්ව දෙසම බලා සිටි ස්වාමියා විසින් දැක ඇත්තේ වැඩුණු පිරිමියකුගේ බාහුවක් තරමට මහත වීදුරු නළයක් තුළ වූ කිසියම් ද්‍රවයක් සුදු සහ නිල් පැහැයෙන් යුක්තව කැකෑරෙමින් පැවැති බවකි. එකී වීදුරු නළය කාමරයේ කෑම මේසයත් සිවිලිමත් අතර ඉහළ පහළ යමින් මේසයට වාඩි වී සිටියවුන් එකිනෙකා පසුකර පාවී ගොස් ස්විෆ්ට් මහත්මියගේ දකුණු උරහිස මත නතර වී ඇත. වහා බිම දණගසාගත් ස්විෆ්ට් මහත්මිය සිය උරහිස වමතින් ස්පර්ශ කරමින් කෑගසා ඇත්තේ, “අනේ සමිඳාණෙනි, ඒකා මාව පැහැර ගත්තා”යැයි කියමිනි. මේ මොහොතේ ක්‍රියාත්මක වූ එඩ්මන්ඩ් ස්විෆ්ට් මහතා අසල වූ පුටුවකින් වීදුරු නළය වෙත දමා ගසා ඇත. අනතුරුව ඔහු නිවසේ උඩුමහල වෙත දිවගොස් ඇත්තේ එහි සිටි සිය කුඩා දරුවනට අනතුරක් සිදුවී ඇත්තේදැයි බැලීම පිණිසය. ස්විෆ්ට් මහතා ආපසු බිම් මහලට පැමිණෙද්දී අවතාරය අතුරුදන්ව තිබුණේලු.
මෙම සිද්ධියෙන් දින කිහිපයකට පසුව මාර්ටින් කුලුනේ මුර සෙබළකු විසින් දැක ඇත්තේ වසා තිබූ දොරක පියන්පතත් එළිපත්තත් අතරින් වූ සිහින් ඉඩක් තුළින් එක්තරා දුමාරයක් පිටතට ගලා අවුත් විශාල වලසකුගේ රූපය නිර්මාණය වූ බවකි! භටයාගේ අවියේ බයිනේත්තු තුඩ එකී රූපය පසාරු වන සේ ක්‍රියාත්මක වෙද්දී බයිනේත්තු තුඩ දැවමය දොර පළුවේ ඇනී නතර වී ඇත. මෙහිදී ඇතිවූ කම්පනය හේතු කොටගෙන සිහිමුර්ජාවට පත් මුර සෙබලා බරපතළ ලෙස රෝගී තත්ත්වයට පත් වූ අතර, පසු දිනයේම එම සෙබළාගේ සුවදුක් බැලීමට ස්විෆ්ට් මහතා ගිය අවස්ථාවේ සෙබළාගේ ස්වරූපය හඳුනාගත නොහැකි තරමට විකෘතව පැවැතී ඇත. ඊට දින කිහිපයකට පසුව එම සෙබළා මියගිය බව ද වාර්තා වී ඇත්තේය.
හිතුවක්කාර භූතයන්ද ලන්ඩන් කුලුනේ අවතාර අතර වාර්තා වී තිබේ.
“වෙල් කුලුනේ” ලැගුම්ගත් කුඩා ඉඩම් හිමි සේවක පිරිසක් රාත්‍රිය ගත කරමින් නිදා සිටි යහන්වලින් බිමට පෙරළා දමා ඇති පුවතක්ද වාර්තා වී ඇත. 1972 තරම් මෑත අවස්ථාවක හේමන්ත ඍතුවේදී එක්තරා ඡායාරූප ශිල්පියෙක් “බෝෂැම්ප්” කුලුනේ බිත්ති මත තිබූ බිතු සිතුවම් විශේෂයක් රූගත කිරීම පිණිස ස්වකීය කැමරා ස්ථානගත කිරීමේ නිරතව සිට ඇත. එම සිතුවම් සමූහයෙන් නිරූපණය වී ඇත්තේ, ලන්ඩන් කුලුනු පරිශ්‍රයේ වාර්තාගත සිරකරුවන් අතරින් අවසන් වරට ජීවිතය අහිමිවූ “ලොවැට්” නම් සාමිවරයා පිළිබඳවය. ඡායාරූප ශිල්පියාගේ උත්සාහය ව්‍යර්ථ වී ඇත. ඉනිමගෙන් පහළට ඔහු පෙරළා දමා ඇත්තේ කවුරුන් විසින් ද යන්න අදටත් අබිරහසකි!
ලන්ඩන් කුලුනේ කිසිදු අවතාරයක් හෝ හොල්මනක් “ශ්වේත කුලුන” (White Tower) ආශ්‍රිතව සිදුවී නොමැත. එහෙත් ලන්ඩන් ටවර්හි විවිධ කුලුනු අතුරෙන් විශාලතම හා අති පෞරාණික වූත් කුලුන වනුයේද “වයිට් ටවර්”මය. කුලුනු සමූහයේ කේන්ද්‍රගත කුලුන වන්නේද මෙම කුලුනයි.
එංගලන්ත ඉතිහාසයේ පළමුවැනි ජේම්ස් රාජ සමයෙහිදී එළැඹි 1605 වසරේදී එරට පාර්ලිමේන්තුව පුපුරුවා හැරීමේ මහා කුමන්ත්‍රණය, “වෙඩි බෙහෙත් කුමන්ත්‍රණය” (Gun Power Conspiracy) නමින් හැඳින්වේ. වෙඩි බෙහෙත් කුමන්ත්‍රණයේ මහ මොළකරුවා වූයේ “ගයි ෆෝර්ක්ස්” නමැති මිනිසෙකි. අසාර්ථක වූ වෙඩි බෙහෙත් කුමන්ත්‍රණය නිසාවෙන් එදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නිරුපද්‍රිතව ආරක්ෂා වුණේය. එහෙත් කුමන්ත්‍රණයේ සැලසුම්කරු වූ ගයි ෆෝක්ස් බරපතළ සිරදඬුවම් විඳිමින් සිට කෲරතර අයුරින් ඝාතනය කරනු ලැබ ඇත්තේද “ලන්ඩන් ටවර්” බළකොටුව තුළදීම වීම එක්තරා දෛවෝපගත සිද්ධියක් ලෙසට ඉතිහාසඥයෝ සලකති. එහෙත් අරුමය නම් “රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකාරී” ගයි ෆෝර්ක්ස්ගේ හෝ ඔහුට ආධාර අනුබල දුන් අන් කිසිවකුගේ අවතාරයක් ලෙසට හඳුනාගත් කිසිදු අවතාරයක් හෝ හොල්මනක් ‘ලන්ඩන් කුලුන’ පරිශ්‍රයේදී මෙතෙක් හමු නොවීමයි.
1850 දී “වයිට් ටවර්” කුලුන අලුත්වැඩියා කිරීමේ නිරත වූ පෙදරේරු පිරිසක් විසින් ඊට හේතු ද සොයාගෙන ඇතැයි යන මතයක් පවතී.
11 වැනි සියවසේදී ‘ශ්වේත කුලුන’ ඉදිකෙරෙමින් තිබියදී පැවැති විශ්වාසයක් වී ඇත්තේ දැවැන්ත ගෘහ නිර්මාණ කටයුතුවලදී අහිතකර භූත බලපෑම්වලින් ආරක්ෂා වීම පිණිස කිසියම් සතකු බිලිදීම ඵලදායී වන බවකි. ඊට සියවස් අටකට පසුව පෙදරේරුවන් කිසියම් අලුත්වැඩියා කටයුත්තක් සඳහා ශ්වේත කුලුනේ පුළුල්තම බිත්තියක් බිඳ හෙළීමේදී හමුවී ඇත්තේ අති පැරණි බළලකුගේ ඇට සැකිල්ලකි!
අධ්‍යාපනවේදී, ශාස්ත්‍රවේදී
සෝමපාල මල්ලවආරච්චි