ලක්දිව ප්‍රථම සිංහල භික්ෂුව මත්තාභයද ?


හෙළ දෙරණ 

ඉතිහාසයේ පිටු අතරින් සැඟවුණු අපූරු සිදුවීම් පෙළක් 

 

පණ්ඬුකාභය රජතුමා විශිෂ්ටයකු වන්නේ එක්සත් රාජ්‍ය සම්ප්‍රදාය බිහි කළ ප්‍රථමයා නිසාය. එමෙන්ම ග්‍රීක රාජ්‍ය තුළ ප්ලේටෝගේ චින්තනය පැතිර යන විට එයට අදාළව සිංහලය තුළින් ප්‍රජාතන්ත්‍රවාදී ග්‍රාම රාජ්‍යය හෙවත් යහපාලනය ලොවට හඳුන්වා දුන් ප්‍රයෝගික දේශපාලඥයා වන්නේ ඔහුය. සැබැවින්ම ග්‍රීක ජන සම්මත මතවාදය පණ්ඬුකාභය කුමරු සමග අතිනත බැඳ ගත් සැටි විමසිය යුතු තරම් ගැඹුරු කතාවකි. ඒත් සිංහල ඉතිහාසය යූරෝපිය ග්‍රීක ඉතිහාසයත් සමඟ විමසීමට තරම් දිගු දුර හැඟීමක් සිංහලයන්ට නොවීම අපගේම අභාග්‍යයකි. කෙසේ නමුත් පණ්ඬුකාභය සිංහලයා ජාති භේද හා ගෝත්‍ර වාදයෙන් බේරාගත් වීරයා වන විට ඔහු පුත් මුටසීව සිංහල රාජ්‍යයෙහි අගපත් වී ඇත්තේ සුවිශේෂී පුතුන් සය දෙනෙකු නිසාය. මුටසීව රජතුමාට පුතුන් දස දෙනෙක් ද, දුවණියෝ දෙදෙනෙක් සිටියහ. තම පුත්‍රයන් දස දෙනාගෙන් පස් දෙනෙකු රාජ්‍ය පදවියට පත් වීමෙන් තම ලෙයින් තැනූ පූතුන් වැඩිම පිරිසක් සිංහල රාජ්‍යයත්වයට පත් කළ රජතුමා ලෙස ඔහු ප්‍රකටව ඇත්තේය. 

 
මුටසීව රාජ පූත්‍රයන් අතර දෙවනපෑතිස් රජු සිංහලත්වය සහ බෞද්ධත්වය එක මුසු කළ රජ ලෙස ශ්‍රී ලාංකික ජාතියේ අසහාය රාජ දාර්ශනිකයා වන්නේය. එමෙන්ම මුටසීව පුතුන් අතරින් උත්තිය, මහසිව සහ සූරතිස්ස රජ විය. මුටසීව රජුගේ පූත්‍රයන් අතරින් රජ වූ පස් වැන්නා වන්නේ අසේලය. මේ අසේල රජු ජාතියට වැදගත්ම රජකු වන්නේ පර සතුරන් නසාලන ජාතික යුද්ධයට පළමු පාඩම කියා දුන් යුද වික්‍රමාන්විතයා ලෙසය. ඒත් ඔහු එතරම් විශිෂ්ටව විසුවද රණශූර වර්ණනාවේ සිංහල ඉතිහාස පුවත් අතරින් ඔහු සැඟවී ගොස් ඇත්තේය. ඒ පසු කලෙක නැගී සිටි දුටුගැමුණු වීර කාව්‍යයෙහි බල මහිමයට යටත් වීමෙන් විය හැකිය.   


මෙලෙස පුතුන් පස් දෙනෙකු රාජ්‍යත්වයට පත් කිරීම නිසාම මුටසීව රජතුමා සිංහල ඉතිහාසයේ මහා චරිතයක් වන්නේය. එය තවත් ඔප වැටෙන්නේ එම පුතුන් පස් දෙනාම දැහැමි පිරිපුන් රාජ්‍ය පාලකයන්සේ තම පියමග ගුණ වඩ වඩා ඔප් නැංවූ චරිත වන නිසාය. අන් අතකින් මුටසීව රජු පිළිබඳ පුදුම උපදවන්නේ තම දරුවන් අනුක්‍රමයෙන් රජ දරුවන් බවට පත් විය හැකි අයුරින් බිහි කළ සැටිය. දරුවන් බිහිවීම අතර, රජු තබාගත් පරතරය විමසිය යුතු වන්නේය. මුටසීව රජුගේ ප්‍රථම පුතු අභය රජ පදවිය අත් හලේය. දෙවැනි පුතු දෙවැනි පෑතිස් බුදු වදනින් ජාතිය පෝෂණය කළේය. මුටසීව රජුගේ තෙවැනි පුත් මහානාග රුහුණු රජ පෙලපතට උපත දුන් දරුවාය. සිවුවැනි පුතු උත්තිය දෙවැනි පෑතිස් රජුට පසු රජ පදවි දරමින් බුදු සිරිතින් ඇරඹි නව සිංහල සිරිත පෙරට ගෙන ගියේය.   


මුටසීව රජුගේ සත්වැනි පුත්‍රයා වන්නේ සූරතිස්ස ය. උත්තිය රජු මියයෑමෙන් ඉක්බිතිව ඔහු සොයුරු සූරතිස්ස රජ වන්නේය. සූරතිස්ස සිංහල රාජ ඉතිහාසයේ නිබඳව කියවෙන නමක් වන්නේ පරසතුරු උවදුරට ගොදුරු වූ ප්‍රථම සිංහල රජු වන බැවිණි. ලෞකික රාජ පරපුරෙහි බොහෝ පිරිසක් මිහිඳු මහ රහත් තෙරිඳුගේ මග පෙන්වීමෙන් ලොව්තුරා නිවනින් සැනසුණු පසු පර සතුරන්ට රට අත්පත් කර ගැනීම පහසු ද විය.   
ඒ අනුව සේන සහ ගුත්තික දෙපල විත් රට අත්පත් කරගන්නේ මුටසීව රජුගේ සත්වැනි පුත්‍රයා වූ සූරතිස්ස රජු මරා දැමීමෙන්ය. කෙලෙස් සතුරාට එරෙහිව යුද වදින මාවතට වැටී උන් සිංහල රජු පවුල සේන-ගුත්තිකගේ බල යුද්ධවලට ගොදුරු වන්නේය. නමුත් මුටසීව රජුගේ නව වැනි පුත්‍රයා වූ අසේල, සේන සහ ගුත්තික පරදවා විසි දෙවසරක් සිංහලයන්ට අහිමිව තිබූ ජය කිරුළ යළි උරුම කර ගත්තද එළාර රජු පැමිණ ඔහු ඝාතනය කළේය. ඒ සමඟ සිංහල රාජ පරපුරෙහි පළමු උභය පිවිතුරු රාජවංශය අවසන්ව ගියේය.   
මෙම ඓතිහාසික රාජ පරපුර අසේල රජු මරා දැමීමෙන් නිමා වුවද මුටසීව රජුගේ අනෙක් දරුවන් අතරින් ඉතිහාස ගත වූ තවත් දරුවෙකි. ඒ “මත්තාභය” කුමරුය. ඔහු ප්‍රථම සිංහල භික්‍ෂුව බවට නිරවුල් ඉතිහාස සාක්‍ෂි වේ. ඒත් ප්‍රකට මතයකි. එනම්, ප්‍රථම සිංහල භික්‍ෂුව දෙවනපෑතිස් රජු සොයුරු මත්තාභය නොව දෙවනපෑතිස් රජුගේ සොයුරියගේ පුත්‍ර අරිට්ඨ කුමරුය. මෙලෙස ඉතිහාසය පැටලී ඇත්තේ සිංහල භික්‍ෂු සසුන බිහි වීමේ ප්‍රථම පුවත සමඟය. ප්‍රථම සිංහල භික්‍ෂුව සරබු මහ රහතන් වහන්සේ බවට ද මහාවංශය තුළින් හමුවන තතු විත්ති තුළින් තහවුරු වේ. එත් සරබු තෙරිඳු ශ්‍රමණ දිවි සිරිතට පත් වන්නේ භාරතයේදී බැවින් උන්වහන්සේ ප්‍රථම සිංහල භික්‍ෂු නාමයට ගොනු කර නැත. මහ මිහිඳු මහ තෙරිඳු සිරි ලක්දිවට වැඩම කර සසුන බිහි කිරීම සිංහල යති සසුනෙහි ඇරඹුම බව පිළිගනී. එවිට ප්‍රථම සිංහල භික්‍ෂුව වන්නේ මත්තාභය කුමරුද? අරිට්ඨ කුමරුද? එකම රජ පවුලෙහි කුමරුන් දෙදෙනෙක් ලක් සසුනෙහි ප්‍රථම පුවත මත ගැටලුවක් වී ඇත්තේ මෙලෙසය.   


ලක් ඉතිහාස වතද ලක් සසුන් කතා වතද විමසීමට ඉතිහාස ග්‍රන්ථ ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා මෙරට ධර්ම අට්ඨ කථාව විමසිය යුතුය. ඒ අනුව මහාවංශය අමතක කර ඇති තතු නිමිත්තක් “සමන්තපාසාදිකාව” ලියා තබා ඇත. ඒ අනුව මහ මිහිඳු මහ රහත් තෙරිඳු විසින් ගෞතම බුදුන් වහන්සේගේ ධාතු තැන්පත් කර ථූපාරාමය ගොඩ නංවන අසිරිමත් මොහොතේ “මත්තාභය කුමරු” මහණව ඇත. දැන් ගැටලුව දෙවනපෑතිස් රජුගේ සහෝදරයා වූ මත්තාභය තෙරිඳු අභිබවමින් දෙවනපෑතිස් රජුගේද මත්තාභය තෙරිඳුන්ගේ ද සහෝදරියගේ පුත්‍ර අරිට්ඨ තෙරිඳු මතු වී ඇති බැවිණි. වර්තමානයේ මෙන්ම අතීත බොහෝ තතු අතර, අරිට්ඨ තෙරිඳු ගැන ලියවෙන නමුත් මත්තාභය කුමරු හෝ තෙරිඳු ගැන ඉතිහාස ලියවිලි හෝ ශාසනික ලියවිලි අතර සටහනක් නැති තරම්ය. අනෙක “සමන්තපාසාදිකාව” රචනා කරන්නේ සිංහල ථෙරවාදී සසුනේ අග්‍ර මතවාදී භික්‍ෂුන් වහන්සේ වූ බුද්ධඝෝෂ මහ තෙරිඳුය. උන්වහන්සේගේ සසුන් වාර්තා වඩා විශ්වාසනීය ලෙස මෙරට සසුන විසින් පිළිගෙනද ඇත. ඒත් මේ පුවත යටපත්ව ඇත්තේ මන්ද?   


මුටසීව රජුගේ පුත්‍රයා ලෙසද දෙවැනි පෑතිස් රජුගේ සොයුරු ලෙසද ලක් රාජ කිරුලෙහි උරුම සිරිත හිමි වූ මත්තාභය කුමරු යටපත් වන්න හේතුවක් ද නොවේ. ඒත් මුටසීව රජුගේ පුත් කුමරුන් අතර, බල අරගලයක් දියත් වූ බවට අනුමාන වන නිරවුල් තතු විත්ති ද වේ. ඒ මහානාග කුමරු රුහුණට පලා යන පුවතය. එමෙන්ම මුටසීව රජුගේ අභය, මිත්ත, සහ කීර යන අනෙක් පුත් කුමරුන් පිළිබඳව කිසිදු තොරතුරක් ඉතිහාස පුවත් තුළ නොවේ. ඒ කෙසේ නමුත් මත්තාභය කුමරු සිංහල සඟ සිරිතෙහි ආරම්භය සටහන් කිරීමෙන් එක් වැදගත් සිදුවීමක් මතුවේ. ඒ එවකට භාරත ඔටුන්න හිමි කුමරු ලෙස මිහිඳු කුමරු පැවිදි වූ ලෙසම සිරිලක ඔටුන්න හිමි කුමරෙකු මහණව ලක් සසුන ආරම්භ වූ අපූරු සමානතාවයය. දෙවනුව කුමන මොහොතක හෝ අරිට්ඨ කුමරුට ද ලක් කිරුළ උරුම කර ගැනීමට උරුමයක් විය. මෙලෙස මෙම කුමරුන් පැවිදි වීම වත්මන දක්වා රාජ විභූශිතව පවතින සිංහල සසුනෙහි පදනමවේ.   


ථූපාරාමය ගොඩනැගෙන මොහොතේ මත්තාභය කුමරු මහණව මෙරට උපසම්පදා විනය කර්මය සිදුවන තුරු වැඩ වාසය කළේ උපසම්පදාවෙන් තොරවය. සිරිලක ප්‍රථම උපසම්පදා විනය කර්මය වනතුරු සිදුවන වැදගත් ජාතික සිදුවීම් දෙකක් වේ. ඒ අරිට්ඨ කුමරු භාරතයට පිවිස සංඝමිත්තා මහ රහත් උත්තමාවිය වැඩමවාගෙන ඒමද ජය ශ්‍රී මහා බෝධිය වැඩමවීම ද වේ. ඉන්පසු සිදුවන උපසම්පදා මහණ පූණ්‍යෝත්සවයේදී අරිට්ඨ කුමරු මහණව උපසම්පදාලාභී ප්‍රථම භික්‍ෂුන් වහන්සේ වන්නේ එයට ප්‍රථමව මහණව සිටි ‘මත්තාභය’ තෙරිඳු අභිබවමිනි. සමන්තපාසාදිකාව අනුව එවිට මත්තාභය හිමි මහ රහත් පදවිය ලැබූ භික්‍ෂුන් වහන්සේ නමකි. තවත් පුදුමය පසුව එම මොහොතේ මහණ උපසම්පදා ලැබූ අරිට්ඨ තෙරිඳු වෙතින් මත්තාභය තෙරිඳු උපසම්පදාව ලබා ගැනීමය. මේ පුවත දෙස බලන විට පෙනී යන්නේ ඉතිහාස වාර්තා දෙකක් අතර, නොගැලපීම්ද, නොවේ නම් රාජ පවුල අතර ඇතිවූ අරගලයක් සාසන සම්ප්‍රදාය විසින් විසඳුන ආකාරයදැයි සොයා බලන්න සිත් දුන්නේය.   


නමුත් ඉතිහාස වාර්තා දෙකක් අතර නොගැලපීම විය නොහැකිය. සමන්තපාසාදිකාව මෙම සිදුවීම් දෙකම දක්වා ඇත. ඒ අනුව විනය මූලික කොටගෙන පත-පොත ලියා තැබූ බුද්ධඝෝෂ මහ තෙරිඳු අතින් ද වරදක් සිදු විය නොහැකිය. එසේ නම් “මත්තාභය” කුමරුට මෙලෙස අරිට්ඨ කුමරු පසු පසට යන්නට සිදුවූයේය. මන්ද සිදුවූ දේ අනුමාන කිරීමට හැර ඉතිහාස පුවත් හෝ ශාසනික වාර්තා අතර වෙනත් කරුණු ලියවී නැත.   
ඒ අනුව මත්තාභය කුමරු අරිට්ඨ කුමරුට පෙර මහණ වුවද උන් වහන්සේ අරිට්ඨ කුමරුට වඩා වයසින් බාල වන්නට ඇත. විසි විය එළැඹි විට උපසම්පදාව ලබාදෙනු ලැබේ. ඒ අනුව මිහිදු මහ රහත් හිමි සිංහල යති සසුන අරඹමින් උපසම්පදාව ඇති කරන විට අරිට්ඨ කුමරුගේ වයස ජ්‍යෙෂ්ඨත්වයට මූලික කර ගන්නට ඇත. එබැවින් මත්තාභය කුමරු කිරුළ අතහැර මහණ වුවද ආරම්භක උපසම්පදා පැවිදි චරිතය නොවූ බැවින් උන් වහන්සේ අභිබවා අරිට්ඨ තෙරුන් පෙරට විත් ඇත.   


ඒ අනුව මහාවංශය වඩාත් කෙටිව අවශ්‍ය කරුණු පමණක් ගෙන හැර දැක්වූ කෘතියය. එම නිසා එම කෘතිය රචනයේදී මත්තාභය තෙරිඳු පුවත අතහැර දමන්නට ඇත. ඒත් සමන්තපාසාදිකා කර්තෘ වූ බුද්ධඝෝෂ හිමි මත්තාභය කුමරුට යුක්තිය ඉටු කර ඇත. එනමුත් මෙවන් රාජකුමරෙකු මහණ වී ආරම්භ කළ පැවිදි පරපුර සටහන් නොවීම මහාවිහාර සඟ පරපුර අතින් සිදුවූ මහා අඩුපාඩුවක් සේ පෙනේ. එසේ සටහන් නොවීමෙන් බොහෝ වටිනා ඉතිහාස තොරතුරු ගණනාවක් නූතන අපට අහිමිව තිබේ.   


මත්තාභය නමින් රාජකුමරුන් පැවිදි වූ දින තවත් තරුණයන් තිස්දහසක්ද මහණ වූ බවට සමන්තපාසාදිකාව දක්වයි. ඒ අනුව මේ සියලු පිරිසට වඩා සිංහල යති සසුනේ ආරම්භකයා බවට අරිට්ඨ කුමරු පත් කිරීමට මහ මිහිඳු හිමියන්ට බලපෑ කරුණ විනය කර්මය දැයි සිතා බැලිය යුතුය. එදා සිට අද දක්වා යති සසුනෙහි ගුරු ශිෂ්‍ය සම්ප්‍රදාය තීරණය වීමේදී මෙවන් සිදුවීම් අපමණය. එක සමාන වයස් ගණනාවක සිසුන් අතරින් ගුරු හිමිගේ මනාපය ජ්‍යෙෂ්ඨත්වය සඳහා මූලික වේ. ඒ අනුව ඊට පෙර කෙතරම් කල් සාමණේර ජීවිතයක් ගත කළද ඉන් ඵලක් නොවේ.   


මේ අතීත සිදුවීමේ වැදගත් කරුණු කිහිපයක් වේ. එනම් අරිට්ඨ හිමිගේ භික්ෂු නායකත්වය සිංහල සංඝයා එකාවන්ව පිළිගැනීමය. එමෙන්ම මත්තාභය කුමරු සමග පැවිදිවූ සියලු සිංහල තරුණයන් විසි විය එළැඹ නොසිටි බවය. එයින් සනාථ වන්නේ නව ගැටවර යොවුන් සිත් තුළ ධර්මානන්දය ජනිත කළ මහමිහිඳු හිමිගේ ධර්ම අසිරියය. අන් අතකින් මත්තාභය පුවත දෙමළ ජාතික භික්ෂුවක් වූ බුද්ධඝෝෂ හිමියන් අතින් ඉතිහාසයට එක්වූවකි. ඒ අනුව සිංහලයේ ප්‍රථම රාජ පරපුරේ අද්විතීය ආධ්‍යාත්මික කුමරු පිළිබඳ තතු විත්ති නොනැසී රැක ගැනීම පිළිබඳ අප උන්වහන්සේට ණයගැති විය යුතු වෙමු.   


මුටසීව මහරජතුමා පුතුන් දස දෙනකු බිහි කිරීම නිසාද ඉන් සය දෙනෙකු රාජ්‍යත්වයට පත් කිරීම නිසා ද විශිෂ්ඨයෙකු වූයේය. ඒත් මුටසීව රජු වඩා විශිෂ්ට වන්නේ එතුමාගේ පස්වැනි පුත්‍රයා මහරහත් පදවිය ලැබීම නිසාය. ඒ අනුව රජුන් සය දෙනෙක්ද මහරහත් නමක්ද බිහිකළ ලොවේ එකම රාජකීය පියාණන් මුටසීව රජතුමන් විය හැකිය. එමෙන්ම මහණකම වෙනුවෙන් රජ කිරුල අත්හල ප්‍රථමයා මත්තාභය කුමරුය. ඒත් ඒ මත්තාභය තෙරුන් නූතන සසුනට අමතකව යෑම පුදුමයකි.

 

 

සටහන
සුජිත් අක්කරවත්ත