ලංකාවේ දේශපාලන උණුසුම එතෙර ජනමාධ්‍යයේ ඇසින්


 

නාසි ජර්මනිය පරාජය කරමින්, 1945 දී දෙවැනි ලෝක යුද්ධය අවසන් වූයේ මැයි 9 වැනිදාකය. රුසියාව ද ඇතුළු යුරෝපීය රටවල් සෑම මැයි 9 වැනිදාම ‘විජයග්‍රහණයේ දිනය‘ සමරන්නේ එබැවිනි.

 

මෙවර ද යුරෝපා බටහිර රටවල් විජයග්‍රහණයේ සැමරුම් පවත්වද්දී, ශ්‍රී ලංකාවේ ද උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තේය. අරලියගහ මන්දිරයට රැස්වුණු, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාගේ ආධාරකරුවෝ පළමුවෙන් අරලියගහ මන්දිරය ඉදිරිපිට ‘මයිනා ගෝ ගම‘ටත් දෙවනුව, ගාලු‍මුවදොර ‘ගෝටා ගෝ ගම‘ටත් කඩා වැදී පහර දුන්හ. ඉන්පසු ඊට ලැබුණු ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිචාරය සහ ප්‍රකෝපකාරී ගිනිදැල් මැද මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීම සහ ශ්‍රී ලංකාවේ අවනීතිය රජ කිරීම සහ අර්බුදයට විසඳුම් සොයමින්, රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය බාර ගැනීම පසුගිය දින කීපය පුරාම ලොව සෑම ප්‍රධාන පෙළේ විදෙස් මාධ්‍ය ආයතනයකම ප්‍රධාන පුවත බවට පත් විය. 

 


පසුගිය මැයි 9 වැනිදා උදෑසන අරලියගහ මන්දිරයෙන් ආරම්භ වුණු සිදුවීම් පෙළ එසැණින් වාර්තා කරන්න වූයේ ඉන්දීය මාධ්‍යය. ඒ අතරින් කැපී පෙණුනේ ‘එන්.ඩී.ටීවී.’ පුවත් නාළිකාවය. ඉන්පසු ‘ද හින්දු‘ සහ ‘හින්දුස්ථාන් ටයිම්ස්‘ වැනි පුවත්පත්වලට අදාළ වෙබ් අඩවි ශ්‍රී ලංකාවේ තත්ත්වය වාර්තා කරන්න වූ අතර, පසුදින එනම් 10 වැනිදා ‘ද හින්දු‘ සහ ‘හින්දුස්ථාන් ටයිම්ස්‘ ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන පෙළේ පුවත්පත්වල ප්‍රධාන පුවත වූයේ ශ්‍රී ලංකාවේ අර්බුදයයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ‘රාජපක්ෂ රෙජීමය’ නිරන්තරයෙන් විවේචනයට ලක් කරන ඉන්දියාවේ ‘වියොන්’ වෙබ් පුවත් නාලිකාව පුවත් ගෙන එන්නට විය. බ්‍රිතාන්‍යයේ බීබීසී, ඇමෙරිකාවේ සී.එන්.එන්. වාර්තා කළේ ඩොලර් නොමැති වීමෙන් ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ ආර්ථික අර්බුදය හමුවේ, ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ නොමැතිව පීඩාවට පත් වූ නිර්පාක්ෂීය ජනතාව සාමකාමී ලෙස සිය විරෝධතාව රජයට එල්ල කරද්දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහාය පළ කරන පිරිස් අරලියගහ මන්දිරයට පැමිණ එම නිර්පාක්ෂීය අරගලකරුවන්ට අමානුෂික ලෙස පහර දුන් බවය. කටාර් රාජ්‍යය කේන්ද්‍රකොටගත් ලොව ප්‍රකට විදෙස් පුවත් සේවයක් වන ‘අල් ජසීරා’ මෙන්ම, ඕස්ට්‍රේලියාවේ පුවත් නාළිකා ද ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩකාරී තත්ත්වය වාර්තා කළේය. ගාලු‍මුවදොර විරෝධතාකරුවන්ට අමානුෂික ලෙස පහර දෙන ආකාරය විදෙස් නාලිකා හරහා ප්‍රසිද්ධියට පත් කෙරුණි. 


ඓතිහාසික සබඳතා සහිත ශ්‍රී ලංකාවේ සමීප අසල්වැසියකු වශයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවරත්වය සහ ආර්ථිකය ගොඩනැංවීම උදෙසා සම්පූර්ණ සහයෝගය ලබා දෙමින් සිටින බව ද ඉන්දියාව යළිත් අවධාරණය කළේය.‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තිය අනුව ඉන්දියාව ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය සෑමවිටම ලබා දුන්නා. ඉදිරියටත් ලබා දෙනවා. වර්තමාන දුෂ්කරතා ජයගැනීම සඳහා ශ්‍රී ලාංකික ජනතාවට මෙම වසරේදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 3.5 කට අධික සහයෝගයක් ලබා දීමට අප කටයුතු කළා. මෙයට අමතරව ඉන්දීය ජනතාව ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය අවම කිරීම සඳහා ද සහයෝගය ලබා දෙමින් සිටිනවා”‍ යැයි ඉන්දීය රජය පැවැසූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය. ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉන්දියාවට පලා ගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ කටකතා පැතිරීමත් සමඟ ඉන්දියාවෙන් ඊට පිළිතුරු ලැබුණි. ඒ, එම කටකතා අසත්‍යය බවටය. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවරත්වය සහ ආර්ථිකය යථාතත්ත්වයට පත් කිරීම සඳහා පූර්ණ සහයෝගය දක්වන බව ඉන්දියාව පැවැසීය. මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රට හැර පලා නොයන බව ඔහුගේ පුත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රංශ පුවත් සේවය හෙවත් ඒ.එෆ්.පී. පුවත් සේවයට පවසා තිබුණි. ‘අප යනවා කියලා කටකතා ගොඩක් පැතිරෙනවා. අපි රටෙන් යන්නේ නෑ. මගේ තාත්තා ආරක්ෂිතව ඉන්නවා. ඔහු ආරක්ෂිත තැනක ඉන්නවා. ඔහු පවුලේ අයත් එක්ක කතාබහ කරනවා.’ යනුවෙන් ඒ.එෆ්.පී. පුවත් සේවය හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රකාශය උපුටා දක්වා තිබුණි. ‘අපි සෑම විටම අපේ ජනතාව සමඟ ඉන්නවා’ යැයි ද හිටපු අමාත්‍යවරයා ප්‍රංශ පුවත් සේවයට තවදුරටත් පවසා තිබුණි. 


සාමකාමී විරෝධතාවලට පසුගිය 9 වැනිදා එල්ල වූ ප්‍රහාරය දැඩිව හෙළා දකින බව පවසමින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් ට්විටර් පණිවුඩයක් නිකුත් කළාය‍. සාමකාමී ලෙස විරෝධතාවල නිතර වන පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම බලධාරීන්ගේ වගකීමක් යැයි සඳහන් කළ ඇය ප්‍රචණ්ඩත්වය ඇති කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි ද අවධාරණය කළාය. සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල කරන ලද ප්‍රචණ්ඩකාරී ප්‍රහාරය දැඩිව හෙළා දකින බව ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවැසුවේය. ප්‍රචණ්ඩත්වය ඇති කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද හෙතෙම අවධාරණය කළේය. සාමකාමීව කටයුතු කරන්නැයි ද සියලු‍ දෙනාගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ද අර්බුදය විසඳා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රචණ්ඩකාරී නොවන ක්‍රියා පිළිවෙත අනුගමනය කරන්නැයි ඉල්ලා සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල කළ ප්‍රහාරය දැඩිව හෙළා දකින බව ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති ට්‍රීනා යුරන්ලි එස්කෙඩල් ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවැසුවාය. පසුගිය 9 වැනිදා ශ්‍රී ලංකාවේ සිදු වූ සිදුවීම් දැකීමෙන් තමන් දැඩි ලෙස කම්පනයට පත් වුණු බව ද ඇය පැවැසුවාය. මෙය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් භුක්ති විඳීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් යැයි ද ඇය චෝදනා නැගීමට ද අමතක නොකළාය. සංයමයෙන් කටයුතු කරන්නැයි ද සියලු‍ දෙනාගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ද තමා ආණ්ඩුවට බල කර සිටින බව ට්‍රීනා යුරන්ලි එස්කෙඩල්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන් විය. 
සාමකාමී විරෝධතාකරුවන්ට පසුගිය 9 වැනිදා එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බවත් ප්‍රචණ්ඩත්වය ඇති කළ සියලු‍ දෙනාට එරෙහිව සම්පූර්ණ විමර්ශනයක් සිදු කර ඔවුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් නිවේදනයක් නිකුත් කරමින්  පැවැසුවාය. 9 වැනිදා සිදුවීම්වලින් තුවාල ලැබූ සියලු‍ දෙනාට ඇමෙරිකානු රජයේ කනගාටුව පළ කරන බවත් සාමකාමීව සහ සංයමයෙන් කටයුතු කරන ලෙස සියලු‍ දෙනාගෙන් ඉල්ලා සිටින බවත් ජුලි චන්ග්ගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්විණි. 

 


කලහකාරී පිරිස් පාලනයට හමුදාව යෙදවීමට ගත් තීරණය සම්බන්ධයෙන් පසුගිය 10 වැනිදා ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේදී, ඇමෙරිකන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන්නේ, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් ය. ඔහුගේ එම පිළිතුරු දීම ඇමෙරිකන් මාධ්‍ය හරහාත් ලොව සෙසු ප්‍රධාන මාධ්‍ය හරහාත් ප්‍රසිද්ධියට පත් විය. ‘ශ්‍රී ලංකාවේ නිර්මාණය වුණු අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් මෙන්ම හමුදාව යෙදවීම සම්බන්ධයෙන් ද ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධානය යොමු කර තිබෙනවා. අප ඒ ගැන විමසිල්ලෙන් සිටිනවා. තැති ගැන්වීම් හෝ බිය ගැන්වීම්වලින් සාමකාමී විරෝධතාකරුවන් කිසිසේත් පීඩාවට පත් නොවිය යුතු බව අප අවධාරණය කරනවා.’ යැයි නෙඩ් ප්‍රයිස් එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය. පසුගිය 9 වැනිදා ශ්‍රී ලංකාවේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් ද දැඩි විමසිල්ලෙන් පසුවන බවත් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඒවාට සම්බන්ධ සියලු‍ දෙනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කර වැරැදිකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට දඬුවම් පැමිණ විය යුතු බවත් නෙඩ් ප්‍රයිස් එම අවස්ථාවේ දී වැඩිදුරටත් පැහැදිලි කළේය. හමුදාව යෙදවීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවත්, අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ද විමසිල්ලෙන් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් පියවර ගනිමින් ශ්‍රී ලංකාව තුළ දිගුකාලීන දේශපාලන සහ ආර්ථික නිදහස ඇති කිරීමට ක්‍රියා කරන ලෙසත් හටගත් අර්බුද හඳුනාගනිමින් ඒවාට කඩිනමින් විසඳුම් සොයා ගන්නා ලෙසත් ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයා වැඩි දුරටත් කරුණු දැක්වූයේය. 


වගකීම්සහගත පුද්ගලයන් ජනතාවගේ අභිලාෂයන්ට සවන් දිය යුතු බවත් මානව හිමිකම්වලට සහ සිවිල් අයිතිවාසිකම්වලට ගරු කිරීම තහවුරු කළ යුතු බවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අතිඋතුම් ශුද්ධෝත්තම පාප්තුමෝ විශේෂ ප්‍රකාශයක් කළේ පසුගිය 10 වැනි බදාදා වතිකානයේ දේව මෙහෙයක් අතරතුරේය. රටේ ආර්ථික සහ සමාජයීය අභියෝග සහ ගැටලු‍ මධ්‍යයේ හඬ නැගූ ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවට සිය ආශීර්වාදය එක් කරන බව ද පාප්තුමා එම අවස්ථාවේදී පැවැසූහ. පාප්තුමා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැක් වූ අදහස්වල මෙසේ ද සඳහන් විය. “ආගමික නායක ප්‍රජාව සමඟ එක්වෙමින්, ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී ආකල්ප පවත්වා ගන්නැයි මම සියලු‍ දෙනාට අවධාරණය කරනවා. මහජනතාවගේ අභිලාෂයන්ට සවන් දෙන්නැයි ද මානව හිමිකම් සහ සිවිල් අයිතිවාසිකම්වලට ඇති පූර්ණ ගෞරවය සුරක්ෂිත කරන්නැයි ද මා වගකිවයුතු පාර්ශ්වවලින් ඉල්ලා සිටිනවා.” ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ මෙම ප්‍රකාශය ඉතාලි රූපවාහිනී නාලිකාවල පමණක් නොව, ලොව ප්‍රධාන පුවත් නාලිකා හරහා ද විකාශය විය. 


විදෙස් මාධ්‍ය ඇසුරිනි.

 

 

ලු‍සිත ජයමාන්න