
මෙරට අසහාය ගීත කෝකිලාව යන අන්වර්ථ නාමය ලත් රුක්මණී දේවිය උපන්නේ සීතල නුවරඑළියේ රම්බොඩ ප්‍රදේශයේයි. ඇයගේ මතක අතීතයට එක් වෙද්දී ඇය උපන් වතු රෝහල ද මේ වනවිට කාලයාගේ ඇවෑමෙන් අභාවයට යමින් පවතී. රුක්මණී දේවිය උපන්නේ සුදු අධිරාජ්‍යවාදීන් මෙරට පාලනය කරන ලද සමයේ ඉදි කරන ලද වතු රෝහලකය. 1923 වසරේ ජනවාරි මස 15 දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පුරවරයේ රම්බොඩ, පුස්සැල්ලාව ප්‍රදේශයේ පිහිටි පෙරට්ටාසි හෙවත් ප්‍රොටොප්ට් වතු රෝහලේ දී රුක්මණී දේවිය උපත ලැබීය.
එම වතු රෝහලේ දී මෙලොව එළිය ලද ඇයගේ නම උප්පැන්න සහතිකයේ සටහන් කරන ලද්දේ ඩේසි රාසම්මා ඩැනියල්ස් ලෙසයි. ක්‍රිස්තියානු පවුලක උපත ලැබුව ඇයගේ පියා වූයේ ජෝන් ඩැනියල්ස් නම් වතු රැකියාවක නිරතව සිටි අයෙකි. ඇගේ මව වූයේ ගුරුවරියක ලෙස කටයුතු කළ එලන් රොස් ඥානසුන්දරම්ය. දරුවන් සය දෙනෙකුගේ පවුලේ දෙවන දරුවා ලෙස උපන්නේ රුක්මණී දේවියයි. පියා සංගීතය ප්‍රිය කරන අයෙකු වීම හා කුඩා කල සිටම ඇයට තිබූ උපන් ගායන හැකියාව හේතුවෙන් දුෂ්කර රම්බොඩ ප්‍රදේශය අතහැර පහසුකම්වලින් සමන්විත මොරටුවට පදිංචියට පැමිණීම සිදු විය. ඉන් අනතුරුව රුක්මණී දේවිය මොරටුව වේල්ස් කුමරි බාලිකා, වැල්ලවත්තේ සෙන්ට් ක්ලෙයාර්ස් සහ දෙමටගොඩ සෙන්ට් මැතිව් යන විදුහල්වලට පිවිස සිය අධ්‍යාපනය කටයුතුවල නිරත වූවාය.
![]() |
| යෝගේෂ්වරන් |
ප්‍රොටොප්ට් වතු රෝහල පිහිටියේ තේ වතුවලින් පිරිපුන් අතිශය සුන්දර ප්‍රදේශයක් මුල්කර ගනිමිනි. රාවණාගේ කරත්ත පාර හෙවත් චැරියට් පාත් නමින් හඳුන්වනු ලබන අතිශය සුන්දර පාරාදීසයට පිවිසෙන එක් මාර්ගයක් වන්නේ පෙරට්ටාසි වතුයාය මැදින් වැටී ඇති මාර්ගයයි. එමෙන්ම මෙරට සුන්දර දිය ඇල්ලක් ලෙස ප්‍රකට ගැරඬිඇල්ලේ ඉහළ ප්‍රදේශය පිහිටියේ මෙම ප්‍රදේශය ආශ්‍රිතවයි. එහෙත් මෙම ප්‍රදේශය සඳහා යාම බොහෝ දුෂ්කර කටයුත්තක් වන්නේ එම ප්‍රදේශයට යාමට ඇති මාර්ගය දැඩි ලෙස අබලන්ව පැවතීම හේතුවෙනි. එවක සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය රාජිත සේනාරත්න විසින් උඩරට වතුකරය ඇතුළු මෙරට පිහිටි වතු රෝහල් වතු සමාගම්වලින් ඉවත් කොට රජයට පවරාගෙන වැඩිදියුණු කිරීමට පියවර ගන්නා ලදි. එමගින් වතු ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම අරමුණ බවට පත්විය. එහෙත් එකල එසේ වතු රෝහල් රජයට පවරා ගැනීමේදී ප්‍රොටොප්ට් වතු රෝහල රජයට පවරා ගැනීමක් සිදු කොට නොමැත.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරය දැරූ නීතිඥ ලලිත් යූ. ගමගේ ප්‍රොටොප්ට් වතු රෝහල නිරීක්ෂණය කිරීමට පැමිණ වතු රෝහල කඩිනමින් ප්‍රතිසංස්කරණය කොට යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බව පැවසීය. එහෙත් මෙතෙක් එහි කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු කොට නොමැත. විශාල කාලයක් ප්‍රොටොප්ට් වතු රෝහල කිසිදු කටයුත්තකට භාවිත නොකිරීම හේතුවෙන් වර්තමානය වනවිට එහි ගොඩනැගිලි සියල්ල දැඩි ලෙස අබලන්ව ගරා වැටී විනාශ වී යමින් පවතී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ යෝගේෂ්වරන් අර්ජුන් මෙසේ කීය.
“ප්‍රොටොප්ට් වතු රෝහල ඵෙතිහාසික එකක්. මෙම රෝහල යළි සකස් කිරීමට පසුගිය රජය සමයේ කතාබහක් ඇති වුණා. නමුත් එය දුරදිග ගියේ නැහැ. මෙය සංවර්ධනය කොට ජනතාවට ප්‍රයෝජනවත් කටයුත්තකට රජය යොදවන ලෙස මෙහි වෙසෙන දුප්පත් ජනතාව රජයෙන් ඉල්ලා සිටිනවා. මෙම වතු රෝහල ආසන්නයේ ග්‍රාමීය රෝහලක් ආරම්භ කළා. එය ආරම්භ කොට වසර ගණනාවක් ගියද එය තවමත් පවතින්නේ බෙහෙත් ශාලාවක් ලෙසයි. මෙම ප්‍රදේශයේ වතු හයක පුද්ගලයන් 5000ක් පමණ ජීවත්වෙනවා. ඔවුන් හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට හා මව්වරුන් දරු ප්‍රසූතිය සඳහා කිලෝමීටර් 25ක් දුරක පිහිටි වහුගපිටිය රෝහලට යා යුතුයි. භාණ්ඩ හා අනෙකුත් සේවා අවශ්‍යතා වෙනුවෙන් මෙහි ජනතාවට පුස්සැල්ලාව නගරයට යාමට ඒමට සිදුව තිබෙනවා.”
එහෙත් අපේ වත්තට එන මාර්ගය දැඩිලෙස අබලන්. රස්බෲක් වත්තේ සිට ප්‍රොටොප්ට් වත්ත දක්වා වැටී ඇති කිලෝමීටර් 15ක පමණ දුරක් දැඩි ලෙස අබලන්ව තියෙන්නේ. මේ හේතුවෙන් මෙම මාර්ග කොටසේ බස් රථ අනතුරු හයක් සිදුව පුද්ගලයන් 14දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. මෙම මාර්ගය භාවිත කරමින් සංචාරක පාරාදීසයක් වන රාවණාගේ කරත්ත පාර හෙවත් චැරියට් පාත් ප්‍රදේශයට සහ ගැරඬිඇල්ලේ ඉහළ කොටසට යා හැකියි. එමෙන් ලබුකැලේ වත්තට ඉතාමත් පහසුවෙන් කෙටි දුරකින් යා හැකියි.”
වෙනත් රෝහලකට යා යුතු දුර කි.මී. 25ක්
5000ක පිරිසකට දුෂ්කරතා
“මාර්ග පහසුකම් නිසි ලෙස නොමැතිවීම හේතුවෙන් පාසල් හතරක ළමුන් සහ ගුරුවරුන් මෙන්ම ප්‍රදේශයේ රජයේ හා පෞද්ගලික සේවාවල යෙදී සිටින පිරිස් දැඩි දුෂ්කරතාවට ලක්ව සිටිනවා. මෙහි ගමන් ගන්නා පුද්ගලික බස් රථ මාර්ගයේ පවතින අබලන් තත්ත්වය හේතුවෙන් විශාල මුදලක් මගීන්ගෙන් අය කරනවා. ත්‍රිරෝද රථ ගාස්තුව ද ඉතාමත් ඉහළයි. මෙහි බොහෝ දෙනකු උඩරට එළවළු වගාවේ නිරත වෙනවා. ඔවුන්ගේ එම අස්වැන්න වෙළෙඳපොළට රැගෙන යාමේ ගැටලු මතුව තිබෙනවා. පසුගිය මැතිවරණයේ දී බොහෝ දේශපාලනඥයන් මෙම මාර්ග කොටස සකස් කරන බවට පොරොන්දු වුණා. එහෙත් තවමත් කිසිදු වැඩපිළිවෙළක් සිදුව නැහැ. නව රජයෙන් අප ඉල්ලා සිටින්නේ මෙහි ජීවත්වන පිරිස් විඳින වද වේදනා දෙස බලා හෝ කඩිනමින් කච්චමලේ සිට රස්බෲක් දක්වා මාර්ග කොටස සකස් කර දෙන ලෙසයි.”
රුක්මණී දේවිය උපන් ප්‍රොටොප්ට් වතු රෝහල සහ ඒ අවට ප්‍රදේශවල ජීවත්වන උඩරට මලයගම් ජනතාව ඇතුළු සෙසු ජනතාවගේ සැබෑ ජීවන තත්ත්වය බොහෝ දුක්බර ය. රුක්මණී දේවිය ඉපිද අද වනවිට වසර 102කි. එමෙන්ම ඇය මියගොස් මේ වනවිට වසර 47කි. එසේ දීර්ඝ කාලයක් ඉක්ම ගොස් ඇතත් අදටත් බොහෝ දෙනා රුක්මණී දේවියට ආදරය කරති. රුක්මණී දේවිය හෙවත් ඩේසි රාසම්මා ඩැනියල්ස්ගේ මතක සුවඳ තැවරුණු ශල්‍යාගාර, නේවාසික පහසුකම් ආදී සියලු රෝහල් කටයුතු පැවැති ප්‍රොටොප්ට් වතු රෝහල් පරිශ්‍රය සහ එහි දෙමහල් ගොඩනැගිල්ල සිය අතීත ශ්‍රී විභූතියෙන් ඔත්පළ වී ඉතාමත් අසරණ ලෙස විනාශය කරා පිය නගමින් තිබේ. ප්‍රොටොප්ට් හා ඒ අවට වතුවල ඉතාමත් දුක්බර ජීවිතයන්ට උරුමකම් කියන පිරිස් තවමත් ආදරයෙන් රුක්මණී දේවියගේ මතකයන් පිරි ප්‍රොටොප්ට් වතු රෝහලේ ගරා වැටුණු ගොඩනැගිලි එදෙස බලා සිටිති.
තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ

රෝහල් නාම පුවරුව

සීමිත වෛද්‍ය උපකරණ


