යුද ගිනි නිමාවේ ගමන් මග


දකුණට උතුර අහිමි වූ උතුරට දකුණ අහිමි වූ යුගයක් ද, උතුරේ කොට්ටකිලංගු දකුණේ මීකිරි සමඟ නොපෑහෙන යුගයක් ද, සුබ මොහොතකට රතිඤ්ඤා කරලක් පත්තු කරන හඬට මර බියකින් සැලු‍ණු යුගයක් ද, පවුල් පිටින් විනෝද ගමනක් හෝ නෑ ගමනක් නොගිය යුගයක් ද අපට තිබුණි. දශක තුනක් මුළුල්ලේ ලංකාදීපය වෙළාගත් කඨෝර යුද්ධය සමාජ, පුද්ගල විභේදනයට පාදක විය. 2009 මැයි 18 වැනි දින, දශක තුනක් මුළුල්ලේ ක්‍රියාත්මක වූ බෙදුම්වාදී යුද්ධයේ නිමාවත් සමඟ, යුදමය වාතාවරණය හමුවේ තැති ගැන්වුණු සමාජයට නව ප්‍රාණයක් ලැබුණි. මෙකී ජයග්‍රහණය ඉතා පහසුවෙන් ලබාගත් ජයග්‍රහණයක් නොව දහස් ගණනකගේ ඇස්, ඉස්,මස්,නහර දේශයේ නිදහස වෙනුවෙන් දායාද කිරීමේ ප්‍රතිඵලයකි.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 16ක් සපිරෙයි. 1975 ජූලි 27 වැනිදා නල්ලු‍ර් කෝවිල වෙත යමින් සිටිය දී එවක යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා, වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනයවීම මෙරට තිස් වසරක යුද්ධයේ පළමු අඳුරු මතකය වෙනු ඇතැයි එදා කිසිවකු හෝ නොසිතන්නට ඇත.

දෙමළ සටන්කාමීන් කියාගත් වේලු‍පිල්ලේ ප්‍රභාකරන්ගේ සහචරයන් විසින් යුද හමුදා සොල්දාදුවන් 13 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය මූලබීජ කරගනිමින්, 1979 වර්ෂයේ දී පළමු ඊළාම් යුද්ධය ආරම්භ විය. 1984 වර්ෂයේ සිට ප්‍රභාකරන් නම් වූ ම්ලේච්ඡයාගේ සහචරයන් විසින් උතුරු පළාතේ සිංහල ජනපදිකයන් සමූලඝාතනය කිරීම ආරම්භ කළ අතර එම ප්‍රහාර උතුරට පමණක් සීමා නොවී කොළඹ, අනුරාධපුර ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ත්‍රස්තවාදීහු ක්‍රියාත්මක වූහ.  

ඉන් අනතුරුව 1990 වසරේ දී දෙවැනි ඊළාම් යුද්ධය ආරම්භ වී 1994 අගෝස්තු දක්වා පැවැතිණි. දෙවැනි ඊළාම් යුද සමයේ දී, එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් නිදහස් කරන බවට වූ පොරොන්දුව මත යටත් වූ පොලිස් නිලධාරීන් 113 දෙනකු ඝාතනය කිරීම, නැඟෙනහිර සිංහල සහ මුස්ලිම් වැසියන් 166 දෙනකු අමානුෂික ලෙස ඝාතනය කිරීම යන අමානුෂික ත්‍රස්ත ක්‍රියා රැසක්ම දෙවැනි ඊළාම් යුද්ධයේ දී වාර්තා විය. ත්‍රස්තක්‍රියා වර්ධනය වෙත්ම 1995 ජනවාරි 08 යුද විරාමයක් ප්‍රකාශයට පත් කෙරිණි.

ඉන් නොනැවතුණ ත්‍රස්තවාදීන් 1995 අප්‍රේල් 19 දින  ත්‍රිකුණාමලය වරායේ නැංගුරම් ලා තිබූ, නාවික හමුදාවට අයත් නෞකා දෙකක් විනාශ කිරීමත් සමඟ තුන්වැනි ඊළාම් යුද්ධය ආරම්භ විය. ඒත් සමඟම ත්‍රස්තවාදීන්ට එරෙහිව රිවිරැස, රණගොස, නොනවතින රැල්ල ආදී ක්‍රියාන්විත රජයේ හමුදාවන් විසින් දියත් කළ අතර 2001 වර්ෂයේ දී යළි සටන් විරාමයක් ඇතිවිය. 

මෙම කාල සීමාවේ බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හා එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය අතර 2002 පෙබරිවාරි මස අත්සන් කළ සටන් විරාම ගිවිසුම වරින් වර කඩ කළ අතර, සටන් විරාම සම්පුර්ණයෙන්ම උල්ලංඝනය කරමින් 2006 ජූලි 21 වැනි දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මාවිල්ආරු ජල සොරොව්ව වසා දමමින් හතරවැනි ඊළාම් යුද්ධය සඳහා මාර්ගය සකස් කෙරිණ. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ, සේනාධිනායකයා වශයෙන් යුද්ධය අවසන් කිරීමේ තිර අදිටනින් යුතුව 2006 ජූලි 26 දින සිවු වැනි ඊළාම් යුද්ධය ආරම්භ කෙරිණ .

හුදෙක්ම මානුෂීය මෙහෙයුමක් පමණක්ම වූ මෙම මෙහෙයුම, නැඟෙනහිර මානුෂීය මෙහෙයුම නමින් හැඳින්විය. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් 2006 ජූලි 21දා මාවිල්ආරු සොරොව්ව වසා දමමින් අහිංසක සිවිල් වැසියන් 30,000ක පමණ පිරිසගේ ජල සැපැයුම අත්හිටු වූ අතර, මාවිල්ආරු මුදාගනිමින් ජනතාවගේ ජල අවශ්‍යතාවන් සැපිරීම සිවුවැනි ඊළාම් සටනට පාදක විය. මාවිල්ආරු සටනේ දී කොටි ත්‍රස්තයන්ට අන්ත පරාජයක් ලබාදෙමින් ආරක්ෂක හමුදාව විසින් 2006 අගෝස්තු 15 වැනි දින වෙන විට එහි සම්පුර්ණ බලය නතු කරගනිමින් ජනතාව වෙනුවෙන් දියවර මුදාහැරිණ. 

එහිදී මාවිල්ආරු මෙහෙයුම ආරම්භ වීමත් සමගම, කොටි සංවිධානය ත්‍රිකුණාමලය නාවික කඳවුරටත්, මුතූර් නගරයටත් පහරදී සමස්ත නැගෙනහිර පළාතම අස්‌ථාවර කරන්නට උත්සාහ කෙරිණ. මාවිල්ආරු සටන අවසන්වීමත් සමඟම කොටි සංවිධානය මූතූර්වලින් මුස්‌ලිම් ජනයා පන්නා දමා හමුදාව වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කෙරිණ. එහෙත් එම ප්‍රහාර මැඩපවත්වමින්, 2006 අගෝස්තු මාසයේ දී ත්‍රස්තවාදී ග්‍රහණයේ තිබූ සාම්පූර් නගරය අල්ලා ගැනීමට ආරක්ෂක හමුදාව සමත් විය. ත්‍රිකුණාමලය වරාය සඳහා කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමේ අංගණයක් ලෙස සාම්පූර් නගරය ත්‍රස්තයන් භාවිත කර තිබිණ. සාම්පූර් අල්ලා ගැනීමෙන් මාසයකට පසු, දරුණු සටනකින් අනතුරුව සැප්තැම්බර් 4 වැනි දා සාම්පූර් ආසන්නයේ ඇති මුතූර් නගරය ආරක්ෂක අංශ විසින් අත්පත් කර ගැනිණ. 

2006 ඔක්තෝබර් 30 වැනිදා සිට මාස තුනකට අසන්න කාලයක් ත්‍රස්තයන් හා සටන් කිරීමෙන් අනතුරුව, මඩකළපු දිස්ත්‍රික්කයට අයත් වාකරේ ප්‍රදේශය 2007 වසරේ ජනවාරි 15 වැනි දා අල්ලා ගැනීමට ආරක්ෂක හමුදාවට හැකි වෙන අතර, 2007 ජනවාරි 19 වැනි දා එය සම්පූර්ණයෙන් රජයෙන් පාලනය වෙන භූමි ප්‍රදේශයක් බවට රජය විසින් ප්‍රකාශ කරනු ලැබීය. ත්‍රස්තයන් විසින් වාකරේ ජනතාව මිනිස් පළිහක් ලෙස යොඳාගත් අතර වාකරේ රෝහල් භූමියේ ද දරුණු ගැටුම් ඇතිවිය. ත්‍රස්තයන් වාකරේ රෝහල කාලතුවක්කු ප්‍රහාරක අංගණයක් ලෙස භාවිතයට ගෙන තිබේ.

ඉන් නොනැවතී 2007 ජනවාරි පළමු සතියේ අම්පාර දිස්ත්‍රික්කයේ ආරම්භ වූ මෙම සටනේ පෙරමුණ ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කාර්ය බළකාය ඉසිලී ය. ජනක් බේස්, ජීවන් බේස් ඇතුළු ත්‍රස්තයන්ගේ ප්‍රධාන කඳවුරු 20ක් පමණ මෙම ප්‍රදේශයේ පිහිටා තිබුණු අතර මෙම මෙහෙයුමේ  දී ඨඡී උපකරණ, විදුලි ජෙනරේටර්, මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා රැස් කර තිබූ ලොරි රථ, හා මෝටර් සයිකල් විශාල ප්‍රමාණයක් ද “ී්vැ එයැ ක්‍යiකාරුබ” ලෙස සටහන් කර තිබූ විදේශීය භඨධ සංවිධානයකට අයත් බෝට්ටු ගණනාවක් ද, “ඔයiකැැච්බ ඵැපදරi්ක ්‍යදිචiඒක” නම් කොටි රෝහලක් සොයා ගැනිණ.

1994 සිට තොප්පිගල ප්‍රදේශයේ තම සන්නද්ධ බලය වර්ධනය කරගනිමින් සිටි ත්‍රස්තයන්, කරුණාගේ නායකත්වය යටතේ තෝරාබෝරා, මීනගම් හා තේනගම් වැනි ප්‍රබල කොටි කඳවුරු ඉදිකර තිබුණේ 1994 සිට යි. නැගෙනහිර කලාපයේ ප්‍රධානතම එල්ටීටීඊ පුහුණු කඳවුර වූයේ තෝරාබෝරා කඳවුර යි. 2007 අප්‍රේල් මස 25 වැනි දා ආරම්භ කරන ලද නැගෙනහිර මුදාගැනීමේ සටනේ දෙවැනි අදියරේ අවසාන සටන වූ තොප්පිගල මෙහෙයුමට ටැම්පිටිය, මාදුරු ඔය, හා කොහොඹ ගස් තලාව වැනි ප්‍රදේශ තුළින් ඉදිරියට ඇදුණු ආරක්ෂක අංශවලට තොප්පිගල මුදාගැනීමට ගත වෙන්නේ ඉතා කෙටි කාලයකි. ඉන් අනතුරුව එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ බළකොටුවක් වූ තොප්පිගල මුදාගැනීමෙන් අනතුරුව නැඟෙනහිර පළාතේ එල්ටීටීඊ බලය සහමුලින්ම ඉවත් කර නැඟෙනහිර පළාත මුදාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවන් හැකිවිය. 

කමාන්ඩෝ බළසේනාධිපති බ්‍රිගේඩියර් චාගි ගාල්ලගේගේ මෙහෙයවීමෙන් දෙවැනි කමාන්ඩෝ බළකාය, පළවැනි සිංහ රෙජිමේන්තුව, ගජබා රෙජිමේන්තුව, හා ගැමුණු හේවා බළ ඇණියේ සොල්දාදුවන් හා නිලධාරීන් සටනට පණ පෙවූ අතර 2007 අගෝස්තු මාසය වෙන විට සම්පූර්ණයෙන්ම නැගෙනහිර පළාත මුදාගැනීමට ආරක්ෂක හමුදාව සමත් විය. 1977 පසුව නැගෙනහිර පළාතේ සෑම බිම් කඩකම අයිතිය ශ්‍රී ලංකා රජය සතු වෙන්නේ මෙම මෙහෙයුමෙන් පසුවය.

නැඟෙනහිර ජයග්‍රහණයෙන් පසුව එල්ටීටීඊ ත්‍රස්තවාදීන් උතුරු පළාතට පමණක් සීමා වූ අතර ආරක්ෂක හමුදාව ත්‍රස්තයන්ගේ හදවත බඳු වූ උතුරු පළාත ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීම සඳහා වූ උතුරු මානුෂීය මෙහෙයුම ඇරඹුණේ ඉන් අනතුරුවය. සාම්ප්‍රදායික යුද උපක්‍රම පසෙකට දා මෙරටටම ආවේණික වූ යුද උපක්‍රමයන් ඔස්සේ ඇරඹුණු උතුරු මානුෂීය මෙහෙයුම එල්ටීටීඊ සංවිධානය අතුගා දැමීට සමත් විය. 

කොටි සංවිධානය සිය වයඹ දිග සැපැයුම් කේන්ද්‍රස්‌ථානය ලෙස මන්නාරමට නුදුරු සිලාවතුර මුහුදු කොටි කඳවුර පවත්වාගෙන ගියේය. උතුරු මානුෂීය මෙහෙයුමේ සුවිශේෂීම සන්ධිස්ථානයක් වෙනුයේ නාවික හමුදාවේ ද සහාය ඇතිව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිලාවතුර මුහුදු කොටි කඳවුර අල්ලා ගැනීමයි. හමුදාවේ ප්‍රහාරක බලයට මුහුණපෑමට නොහැකි වූ මුහුදු කොටි, සිය කඳවුර හැර දමා පලා ගිය අතර 2007 සැප්තැම්බර් 2දා සිලාවතුර පාලනය හමුදාවන් සතුවිය.

2007 සැප්තැම්බර් අවසන් සතියේ දී මන්නාරමේ ‘‘සහල්නැළිය’’ නමින් හැඳින්වූ ප්‍රදේශය මුදාගැනීමේ මෙහෙයුම පළමු වැනි කාර්ය සාධක බළකාය මඟින් දියත් කරන ලද අතර අයහපත් කාලගුණ තත්ත්වයකට මුහුණ පෑ මෙම බළකායේ සෙබළු 2007 දෙසැම්බර් 22දා උලියන්කුලම් නගරය අල්ලා ගත්හ. එම සටනින් මාස කිහිපයකට පසු, 2008 ජුනි 22දා මන්නාරමේ සහල්නැළිය ප්‍රදේශය මුළුමනින්ම මුදාගනු ලැබීය.

ත්‍රස්තයන් නතුකරගෙන සිටි භූමිය ක්‍රමක්‍රමයෙන් සංකෝචනය වූ අතර 57 වැනි සේනාංකයේ මෙහෙයවීමෙන් කිතුනු ජනතාවගේ මුදුන්මල්කඩ වූ මඩු සිද්ධස්‌ථාන ප්‍රදේශය මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ වී තිබිණි. 2007 දෙසැම්බර් 22දා තම්පනායි ගම්මානය ද සින්න පන්ඩිවිරිච්චාන් සහ පෙරිය පන්ඩිවිරිච්චාන් නගර ද හමුදාව තමන් සතු කරගත් අතර 2008 අප්‍රේල් 25දා සුප්‍රසිද්ධ මඩු දේවස්‌ථානය අවට ප්‍රදේශය ද 2008 මැයි 17දා පාලම්පිඩ්ඩි හා 2008 ජුනි 26දා පෙරියමඩු ගම්මානය ද මුදවා ගැනීමට හමුදාව සමත්විය. 

මේ අතර මන්නාරම සහල්නැළිය මුදාගැනීමෙන් පසු, පළමු වැනි කාර්ය සාධක බළකාය, ත්‍රස්‌තයන් වන්නියට අවි ආයුධ ගෙන ඒමට භාවිත කළ මන්නාරමේ පුනරින් මාර්ගයේ පිහිටි සුප්‍රසිද්ධ මුහුදු කොටි කඳවුරක්‌ වූ වෙඩිතල්තිව් කඳවුර අල්ලා ගැනීමට සැලසුම් දියත් කෙරිණ. කමාන්ඩෝ බළකාය සහ ගජබා රෙජිමේන්තුවේ සහයෙන් 2008 ජූලි 16දා වෙඩිතල්තිව් මුහුදු කොටි කඳවුර අල්ලා ගැනීමට හැකි විය.

හමුදා මෙහෙයුම් හමුවේ කොටි ත්‍රස්තවාදීන් මල්ලාවි සහ තුනුක්කායි නගර වෙත පසුබසිමින් සිටියහ. 57 වැනි සේනාංකය මෙහෙය වූ මේජර් ජෙනරාල් ජගත් ඩයස්‌, කොටි ත්‍රස්‌තයන් බලාපොරොත්තු රහිත අවස්‌ථාවකදී සිය සේනාංක මෙහෙයවා එම නගර ප්‍රදේශ හමුදා පාලනයට නතු කරගනු ලැබීය.  කොටි සංවිධානයේ දෙවැනි දේශපාලන මූලස්ථානය වූයේ මල්ලාවි නගරයයි. 2008 සැප්තැම්බර් 2දා හමුදාව මල්ලාවි පාලනයට නතු කරගැනීමත් සමඟ ත්‍රස්තයන් දැවැන්ත පසුබෑමකට ලක්විය. මේ වෙනවිට මන්නාරම-පුනරින් ප්‍රදේශයේ නගර රැසක කොටි බලය ඇදවැටී තිබිණි. 2008 නොවැම්බර් 15දා මන්නාරම් පුනරින් මාර්ගය යාපනය තෙක්‌ විවෘත කිරීමට ආරක්‍ෂක හමුදාවන්ට හැකිවිය.

මේ අතර ඒ - 9 මාර්ගය පියවරෙන් පියවර මුදාගැනීම හමුදා බළ සේනාවලට හැකිවිය. වන්නි මෙහෙයුම දියත් වී වසර 2කට පසු 2008 නොවැම්බර් 11 උතුරු මාන්කුලම් නගරය මුදාගෙන තිබිණි. ඉන්පසු පුලියන්කුලම්, කනගරායන්කුලම් යන නගර 2008 දෙසැම්බර් 4 සහ 5 මුදාගෙන තිබිණි. ආරක්‍ෂක හමුදාවේ ඊළඟ මෙහෙයුම වූයේ එල්ටීටීඊ සංවිධානයේ හදවත මෙන්ම එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ බළකොටුව වූ කිලිනොච්චිය මුදාගැනීමයි. ඒ වෙනවිටත් පළමු වැනි කාර්ය සේනාංකය ත්‍රස්තවාදීන්ගේ ප්‍රබල බළකොටු වූ මන්නාරම, මාන්තෙයි, යෝධවැව, අඩම්පන්, ආනන්දකුලම්, නාච්චිකුඩා, පුනරින්, පරන්තන්හි බලය තහවුරු කරගනිමින් එල්ටීටීඊ බලය සුනුවිසුනු කරදමා තිබිණි. 

මේ කාලසීමාව්දීම පළමු වැනි කාර්ය සේනාංකය 58 වැනි සේනාංකය ලෙස නාමකරණය වූ අතර එවකට බ්‍රිගේඩියර්වරයකු වූ ශවේන්ද්‍ර සිල්වා 58 වැනි සේනාංකය මෙහෙයවමින් සිදුකළ මෙහෙයුමෙන් 2009 ජනවාරි 02දා කිලිනොච්චිය ආරක්‍ෂක හමුදා පාලනයට නතු කරගැනීමට සමත් විය. මේ අතර 53 වැනි සේනාංකය මෙහෙයවූ, එවකට බ්‍රිගේඩියර් කමල් ගුණරත්න සහ 55 වැනි සේනාංකය මෙහෙය වූ එවකට බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වා එක්‌ව 2009 ජනවාරි 7දා මුහමලෙයි කොටි ආරක්‍ෂක පවුරු මුළුමනින්ම බිඳ දැමූහ. 2009 ජනවාරි 14 වෙනවිට ඉදිරියට ගිය බළසේනා චුන්ඩිකුලම්, පලෙයි, සොරන්පත්තු හා අයියක්‌කච්චි හරහා අලිමංකඩ ප්‍රදේශ එල්ටීටීඊ ග්‍රහණයෙන් මුදා ගත්හ.

2009 ජනවාරි 9දා අලිමංකඩ මුදා ගැනිණ. ප්‍රභාකරන්ගේ කේන්ද්‍රස්‌ථානය වූ මුලතිව් අල්ලා ගැනීමේ මෙහෙයුම 59 වැනි සේනාංකය භාරව සිටි බ්‍රිගේඩියර් නන්දන උඩවත්තගේ සැලසුම මත ආරම්භ විය. ඝන වනාන්තරය ඔස්‌සේ ඉදිරියට යමින්, මුලතිව් දකුණේ පිහිටි කොටින්ගේ ‘‘වන් ෆෝ බේස්‌’’ කඳවුර බළසේනා යටතට ගැනිණ. 2009 ජනවාරි 25දා මුලතිව් කොටි කේන්ද්‍රස්‌ථානය හමුදාවට නතුවීමත් සමඟ කොටි නායකත්වය මුලතිව් කුඩා ප්‍රදේශයකට කොටු වූහ.

ඒ වෙනවිට 58 වැනි සේනාංකය ධර්මපුරම්, මුරුසමොඩෙයි එල්ටීටීඊ බළකොටු සුනුවිසුනු කරමින් සිය බලය තහවුරු කරගෙන සිටි අතර ඔවුන් තවත් එල්ටීටීඊ කේන්ද්‍රස්‌ථානයක් ‌වූ විශ්වමඩු අල්ලා ගැනීම සඳහා දියත් කළ මෙහෙයුම ව්‍යර්ථ කිරීම සඳහා කල්මඩුකුලම් ජලාශයේ බැම්ම පුපුරුවා හැරීමට ත්‍රස්තවාදීහු ක්‍රියා කළහ. එසේ කිරීමෙන් ත්‍රස්තයන්ගේ අරමුණ වූයේ විශ්වමඩු අල්ලා ගැනීමට එන යුද්ධ ටැංකි ඒකකය කල්මඩුකුලම් ජලාශයේ ජල ධාරා මඟින් බාධා කිරීමයි. නමුත් එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ ඒ උත්සාහයන් ව්‍යර්ථ කරමින් එවකට බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුතු 58 වැනි සේනාංකය ඉදිරියටම ගියේය.

ඉන් අනතුරුව 58 වැනි සේනාංකය සුගන්ධිපුරම්, පුදුකුඩිඉරිප්පු මංසන්ධිය, ඉරනපලායි සහ පුදුමාතලන් ප්‍රදේශවල දී එල්ටීටීඊ සංවිධානය සලිත වෙන ආකාරයේ ප්‍රහාර එල්ල කරමින් එම ප්‍රදේශවල බලය තහවුරු කරගත්හ. ඉන් නොනැවතුණු 58 වැනි සේනාංකය වෙල්ලමුල්ලිවයික්කාල් දක්වා ද ගමන් ඇරැඹූයේ එල්ටීටීඊ සංවිධානය මෙරටින් තුරන් කර රට එක්සේසත් කිරීමේ තිර අදිටනනි. ඒ වෙනවිටත් එල්ටීටීඊ සංවිධානය අහිංසක සිවිල් වැසියන් ලක්ෂ ගණනක් මිනිස් පළිහක් ලෙස යොද‌ාගනිමින් සිටි අතර එම අහිංසක දමිළ ජනතාව නිරුපද්‍රිතව බේරා ගනු ලැබුවේ ද 58 වැනි සේනාංකයයි. එම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම ලොව මෙතෙක් දියත් කළ විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම ලෙසද ඉතිහාසයට එක්වෙයි.

වෙල්ලමුල්ලිවයික්කාල්හිදී අවසන් එල්ටීටීඊ  බිම්කඩද අත්පත් කරගත් බව එවකට හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වෙත නිල වශයෙන් දැනුම්දුන්නේ උතුරු මානුෂීය මෙහෙයුමේ දී ත්‍රස්ත ග්‍රහණයේ තිබූ වැඩිම භූමි ප්‍රමාණයක් අත්පත් කරගත් 58 වැනි සේනාංකයේ එවකට සේනාංකාධිපති ශවේන්ද්‍ර සිල්වා විසිනි. 2009 මැයි 17 වැනිදා වෙන විට නන්දිකඩාල් කළපුව තුළ කණ්ඩායම් තුනක් ලෙසට එල්.ටී.ටී.ඊ නායකයෝ ස්ථානගත වී සිටියහ. 

බාබු සහ සුසෙයි එක් කණ්ඩායමක් ලෙසත් ප්‍රභාකරන් ඇතුළු පිරිස තවත් කණ්ඩායමක් ලෙසත් කළපුව අවට ස්ථානගත වී සිටියහ. නමුත් ප්‍රභාකරන්ගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර 2009 මැයි 19 වැනි දින පෙරවරුවේ නන්දිකඩාල් කළපුව අසල වැටී තිබිය දී සොයා ගැනීමත් සමඟ තිස්වසරක යුද ගිනි නිමා කරමින් සාමයේ අරුණලු සමස්ත රටවැසියන් වෙනුවෙන් දායාද කෙරිණ.

දෙමළ ජනයා මිනිස් පළිහක් ලෙස භාවිත කරමින් තම ජීවිතය ආරක්ෂා කරගැනීමට කොටි නායක වේලු‍පිල්ලේ ප්‍රභාකරන් දැරූ නින්දිත උත්සාහය පරාජය කරමින් මෙරට හමුදාව ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ අභියෝගය ද එහිදී සාර්ථකව ජයගනු ලැබුවේය. 

1976 මැයි 05වන දින නිල වශයෙන් ආරම්භ වූ කොටි සංවිධානය යාපන දිස්ත්‍රික්කයේ එක්තරා රහසිගත ස්ථානයක රැස්වූ 40ක් 50ක් පමණ තරුණ පිරිසක් එක්ව බිහිකරන ලද්දකි. සන්නද්ධ නායකයා වූ වේලු‍පිල්ලේ ප්‍රභාකරන්ගේ මෙහෙයවීමෙන් ඇරඹුණු බෙදුම්වාදී සටන කිසිදා පරාජය කළ නොහැකි යැයි ඇතැම් දේශීය හා විදේශීය බලවේග විසින් ප්‍රකාශ කළද, බෙදුම්වාදී සටන ආරම්භ කර දශක තුනකට පසුව එළඹුණු මැයි මාසයේ දිනයකදීම ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂ අංශයන්ගේ ලේ, දහඩිය වගුරු මතින් නැවත දලු නොදමන ලෙස මුලින් උදුරා දමන්නට සමත් විය. තිස් වසරක සාපලත් යුද්ධයකින් පීඩා විඳි අප, එම ව්‍යසනයෙන් මුදවාගත් ශ්‍රී ලාංකේය රණවිරුවන්ට කෘතඥ විය යුතු වෙනවා සේම , නැවතත් මෙවන් ව්‍යසනකාරී ත්‍රස්තවාදයක් නිර්මාණය නොවීමට එක් මවකගේ දරුවන් ලෙසින් පෙළගැසීම ලංකාවාසී සියලු‍ දෙනාගේ පරම වගකීමකි.

මනීෂා වීරසිංහ