මිනිස් සිරුරේ පිටසක්වළ ජාන


ඔබ මේ ලිපිය කියවද්දී පවා පිටසක්වළ අමුත්තකු අප සෞරග්‍රහ මණ්ඩලය වෙත ඇතුළු වී, පෘථිවිය දෙසට පැමිණෙමින් සිටී. මේ අමුත්තා තාරකා විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබ ඇත්තේ - 3අයි.ඇට්ලස් යන කේත නාමයෙනි. මේ අමුත්තා අප සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වූයේ සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඇති ඈත විශ්වයෙනි. මේ වනවිට මෙම අමුත්තා පැයට කිලෝමීටර 210,000 කටත් අධික වේගයකින් ගමන් කරයි. දැන් මෙය ඇත්තේ අප පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 363 ක් ඈතිනි. 3අයි.ඇට්ලස් පෘථිවිය අසලින් යනු ඇත්තේ දෙසැම්බර් 19 වැනිදා ය. විද්‍යාඥයන්ට අනුව, 3අයි.ඇට්ලස් ධූමකේතුවකි, නැතිනම් වල්ගාතරුවකි. එසේ වුවත්, සාමාන්‍යයෙන් වල්ගා තරුවක ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැත. පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන බොහෝ දෙනාගේ අදහස 3අයි. ඇට්ලස් ධූමකේතුවක් ලෙස වෙස්වළාගත් පිටසක්වළ ජීවීන්ගේ ගවේෂණ යානාවක් බවය. 3අයි.ඇට්ලස් පිටසක්වළ වස්තුව ගැන කාගේත් අවධානය යොමු වෙද්දී, කාලාන්තරයේ පැවැති හරි අපූරු අදහසක් යළිත් වරක් අලු‍ත් වී කරළියට පැමිණ ඇත. මේ අදහස ඉදිරිපත් කරන්නේ රුසියන් විද්‍යාඥයෙකි.

ආචාර්ය මැක්ස් මයකීෂෙව් රෙම්පල් රුසියන් ජාතික අණුක ජීව විද්‍යාඥයෙකි. ඔහු ඔහුගේ ආචාර්ය උපාධිය හිමි කරගෙන ඇත්තේ මොස්කව් අගනුවර, ජාන ජීව විද්‍යා ආයතනයෙනි. අණුක ජීව විද්‍යා සහ ජෛව භෞතික විද්‍යාව සම්බන්ධයෙන් රෙම්පල් හසල දැනුමක් ඇති විශේෂඥයෙකු බව පැහැදිලිය. පසුගිය දා රෙම්පල් ලොවට අනාවරණය කළේ අප මනුෂ්‍ය සිරුරු තුළ අපට අපේ පරම්පරාවෙන් උරුම නොවන, ආගන්තුක වූ, වෙනස්කම්වලට ලක් කළ, පිටසක්වළ ජාන ඇති බවය. මෙය විදෙස් පුවත් සේවා බොහොමයක ප්‍රමුඛ පුවත බවට ද පත් විය. 

මෙම පිටසක්වළ ජාන අපේ සිරුරුවලට බාහිරව ඇතුළත් කරන්නට ඇති බවත්, මිහි මත වෙසෙන මිලියන ගණනක් මනුෂ්‍යයන්ගේ සිරුරු තුළ මේ ආකාරයේ පිටසක්වළ ජාන තිබිය හැකි බවත් රෙම්පල් පැහැදිලි කරයි. රෙම්පල් ගේ මෙම ආන්දෝලනාත්මක අදහස විද්‍යාත්මකව තහවුරු කර ගැනීමට හැකි වුවහොත්, මානව පරිණාමය සම්බන්ධයෙන් මෙතෙක් අප දැන සිටි සියලු‍ දේ වෙනස් වනු නිසැකය. පිටසක්වළ ජීවීන් ගැන ද අපට දෙවරක් සිතීමට සිදුවනු ඇත. මානව වර්ගයාගේ අනාගතය සම්බන්ධයෙන් ද ප්‍රශ්නාර්ථ නැගෙනු ඇත. රුසියාවේ ඩී.එන්.ඒ. පර් යේෂණ පදනමේ පුරෝගාමියා මෙන්ම එහි වත්මන් විධායක නිලධාරියා ලෙස ද කටයුතු කරන ආචාර්ය රෙම්පල්, සිය ආන්දෝලනාත්මක අදහස ලොවට ඉදිරිපත් කර ඇත්තේ සාමාන්‍ය පුද්ගලයන් ගේ ඩී.එන්.ඒ. සහ පිටසක්වළ ජිවීන් විසින් පැහැරගෙන යනු ලැබුවේ යැයි චෝදනා නගන ඇතැම් පුද්ගලයන්ගේ ද ඩී.එන්.ඒ. සම්බන්ධයෙන් වසර ගණනක් තිස්සේ කළ පර් යේෂණවලින් අනතුරුවය.

සරලව කිවොත්, ඩී.එන්.ඒ. යනු ශරීරයේ උපදෙස් අත්පොත‘ ය. ජාන‘ යනු උපදෙස් අත්පොතේ ඇති එක් එක් උපදෙස් ය. ශරීරයේ ඇති සෑම සෛලයක් තුළම (රුධිර සෛල හැර) මේ ඩී.එන්.ඒ. අඩංගු වෙයි. අප ශරීරය වැඩෙන්නේ කුමන ආකාරයට ද? අපේ ඇස්වල, හිසකෙස්වල, සමේ වර්ණය තීරණය වන්නේ කෙසේ ද? අපේ උස තීරණය වන්නේ කෙසේ ද? අත් පා ඇතුළු අවයව නිර්මාණය වන්නේ 

කෙසේ ද? ආදී වශයෙන් සිරුරේ සියලු‍ දේට ම අඩංගු උපදෙස් ලැබෙන්නේ කේත ජානවලින් යයි සරලව අර්ථකථනය කළ හැකිය. ඩී.එන්.ඒ. අණුවක් දිගට දිග හැර බැලු‍වොත්, එය ඇඹරී ගිය ඉණිමඟක් වැනිය. විද්‍යාඥයන් මෙය හඳුන්වන්නේ ‘ද්විත්ව හෙලික්සය’ යනුවෙනි. 

අපට අප මවගෙන් කොටසකුත්, පියාගෙන් කොටසකුත් (පරම්පරාවේ අයගෙන් පවා) ලෙස ඩී.එන්.ඒ. උරුම වෙයි. මවගේ පරම්පරාවේ සහ පියාගේ පරම්පරාවේ ලක්ෂණ ද දරුවන්ට ලැබෙන්නේ ඒ අනුවය. සිදු කළ පර්යේෂණ අනුව, ආචාර්ය මැක්ස් රෙම්පල් පෙන්වා දෙන්නේ පරම්පරාවෙන් උරුම ජානවලට අමතරව, වෙනත් සංස්කරණයට ලක් කළ ජාන බොහෝ දෙනකුගේ සිරුරුවලට ඇතුළත් කර ඇති බවය. මේ බව සොයාගෙන ඇත්තේ ජාන සම්බන්ධයෙන් 1,000ක් දෙනා යොදා ගෙන කළ පර් යේෂණයක් තුළිනි. මෙම පර් යේෂණයට එකිනෙකට වෙනස් පවුල් 581 ක් සම්බන්ධ කරගත් බවත්, ඔවුන් ගෙන් වැඩි දෙනකුගේ සිරුරුවල මෙම සංස්කරණය කරන ලද ජාන අඩංගු වන බවත් රෙම්පල් පවසයි. එවැනි සංස්කරණය කළ ආගන්තුක ජාන එසේත් නැති නම් පිටසක්වළ ජාන කොටස් 348 ක් හඳුනා ගැනීමට ද ආචාර්ය රෙම්පල් සහ ඔහුගේ පර් යේෂණ කණ්ඩායම සමත් වී ඇත.

ආචාර්ය රෙම්පල් විසින් දරුවන් ගේ ඩී.එන්.ඒ. තුළ මවට හෝ පියාට අයත් නොවන ජාන කොටස් 348 ක් හඳුනාගෙන ඇත. මේ දරුවන් 1990 පෙර උපන් අය වෙයි. වර්තමානයේ ජාන විද්‍යාඥයන් ජාන වෙනස් කිරීමේ තාක්ෂණික ක්‍රම භාවිතයට ගනී. විද්‍යාවේ දියුණුවත් සමග ජාන වෙනස් කිරීමේ හැකියාව එසේත් නැතිනම් ජාන සංස්කරණය කිරීමේ ක්‍රියාවලිය කරළියට පැමිණියේ 2013 වසරේදී ය. එසේ නම්, 1990 වසරට පෙර උපන් අයගේ ඩී.එන්.ඒ. වෙනස් කිරීමක් සිදුවූයේ කෙසේද? එසේ කළේ පිටසක්වළ ජීවීන් නම්, පිටසක්වළ ජීවීන් යනු 

සැබෑවක් ද? විශ්වයේ අපට වඩා බුද්ධිමත් ජීවීන් සිටිනවා ද? ඔවුන් පිටසක්වළ යානාවලින් පැමිණ පෘථිවි වැසියන් පැහැර ගනිමින්, පර් යේෂණවලට යොමු කරමින්, ඩී.එන්.ඒ. වෙනස් කරනව ද?  ආචාර්ය රෙම්පල්ගේ අපූරු අදහසත් සමඟ කාගේත් සිතට නැඟෙන්නේ මෙවැනි ප්‍රශ්න බව අමුතුවෙන් කිවයුතු නොවෙයි.

කෙසේ නමුත්, පිටසක්වළයන් අප සිරුරුවල ජාන වෙනස්කම් කළා යැයි කියා හෝ කරනවා යැයි කියා හෝ ආචාර්ය රෙම්පල් කිසිම විටෙක පවසන්නේ නැත. ඔහු පවසන්නේ ආගන්තුක ජාන අප බොහෝ දෙනකුගේ සිරුරුවල ඇති බව පමණි. ඔහු ඔහුගේ සොයාගැනීම ලොවට ඉදිරිපත් කර ඇත්තේ විද්‍යාත්මක සාක්ෂි ද සමඟය. ආචාර්ය රෙම්පල් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ඔහුගේ පර් යේෂණ තවත් පුළුල් කිරීමට අවශ්‍ය බවත්, තව තවත් මේ ගැන සොයා බැලිය යුතු බවත්ය. ලොව ප්‍රධාන පෙළේ විද්‍යාඥයන්ගේ දායකත්වය මීට අවශ්‍ය බවත් රෙම්පල් කියයි. 

පුළුල් ලෙස මේ ගැන අධ්‍යයනයක් කිරීමට එක්වෙන්නැයි ලෝකයේ ප්‍රධාන පෙළේ විද්‍යාඥයන්ගෙන් මෙන්ම විද්‍යායතනවලින් ද ඊට සහාය වෙන්නැයි රෙම්පල් ඉල්ලීමක් ද කර ඇත. “මේ කිසිවක් නිශ්චිත නැහැ. කිසිවක් නිශ්චිතව පැහැදිලි කරන්න ප්‍රමාණවත් සාක්ෂි ඇත්තේත් නැහැ. අප තව පර් යේෂණ කළ යුතුයි. දත්ත රැස් කළ යුතුයි. ඒ සඳහා කාලයත්, ශ්‍රමයත් වැය වේවි. මනුෂ්‍ය අප ජානමය වශයෙන් වෙනස් වී තිබෙනවා නම්, එසේ වෙනස් වී පිටසක්වළ ඩී.එන්.ඒ ඇති දෙමුහුන් මනුෂ්‍යයන් කවුරුන්ද සහ දෙමුහුන් නොවන මනුෂ්‍යයන් කවුරුන්ද යන්න පැහැදිලිව හඳුනාගැනීමට හැකිවේවි. එය අපේ අනාගතය තීරණය කරවි” යැයි රෙම්පල් පැහැදිලි කර ඇත.

ලු‍සිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි