මිනිස් ශ්‍රමයෙන් නිර්මිත විශ්ව කර්ම ප්‍රාකාරය


 
චීන ජාතිය විශ්වකර්ම නිර්මාණ, ඉදිකිරීම් සිදුකිරීමට උපන් හපන් ජාතියකි. එම ගුණය ඔවුන්ගේ ඉතිහාසයේ ආරම්භයේ පටන්ම දක්නට ලැබුණකි. චීන ජනතාවගේ විශ්වකර්ම නිමැවුම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි නිදසුන් බොහෝ ය. ඒ අතරින් මුලින් ම අපේ සිහියට නැගෙන්නේ චීන මහා ප්‍රාකාරය (චැන්ග් චන්ග්-Chang Cheng) යි. 
 
චීන ඉතිහාසයේ මතු නොව ලෝක ඉතිහාසයේත් එතෙක් මෙතෙක් කාලය අතරතුර මිනිස් ශ්‍රමයෙන් නිර්මිත මහා නිමැවුම ද එයයි. ලෝක පුදුම හතෙන් එකක් වශයෙන් ද සැලකෙන චීන මහා ප්‍රාකාරය නැරඹීමටත්, ඒ මත ඇවිදීමටත්, මාහට දෙවැනි වරටත් අවස්ථාව උදා විය. ඒ මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශයේ මෙහෙයවීම හා මගපෙන්වීම යටතේ චීන ගුවන්විදුලි අන්තර්ජාතික ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා සමාගම (China Broadcasting International Economic and Technological Cooperation Co., Ltd.) විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය වැඩ සටහනකට සහභාගී වෙන අතරවාරයේ දී ය. ඒ අනුව ජූයොන්ග්ගුවන් ප්‍රාකාර කොටස නැරඹීමට අපි පසුගියදා ගියෙමු.
 
ඓතිහාසික මූලාශ්‍රවලට අනුව මෙම ජූයොන්ග් ගුවන් ප්‍රාකාර කොටස  චීන රාජධානි යුගයේ ආරම්භක කාලයේ (චින්සහුවන්ග් අධිරාජයාගේ කාලයේ දී) දී ඉදි කර ඇති අතර, එහි වර්තමාන ස්වරූපය ගොඩනංවා ඇත්තේ මින්ග් රාජධානී යුගයේ දී ය. අවසන් වරට ප්‍රතිසංස්කරණ සිදු කර ඇත්තේ 1992 දී ය. මෙම ප්‍රකාර කොටසෙහි ඇති විශේෂත්වය වන්නේ ප්‍රාකාර දෙපස අලංකාර කඳු පන්තිවලින් වට වී තිබීම ය.  
 
අප ජූයොන්ග් ගුවන් පිවිසුමෙන් ඇතුළු වන විටත් දේශීය හා විදේශීය සංචාරකයෝ විශාල පිරිසක් ප්‍රාකාරය මත්තේ ගමන් ගනිමින් සිටියහ. ඇතැම්හු ඡායාරූප ගනිමින් සිටියහ. ඉමක් කොනක් නොපෙනෙන දුරකට විහිදෙන ප්‍රාකාරය හා එය දෙපස පිහිටි කඳු වැටි, එහි අතීතය කෙසේ විය හැකි දැයි සිතා ගැනීමට මගේ සිත තරමක් උනන්දු කරවීය. අතීතයේ දී මිනිසුන් මේ භූමියේ සිට මහත් පරිශ්‍රමයකින් යුතුව වැඩ කරන්නට ඇත. අසල පිහිටි කඳු හාරා ගල් ගෙන එන්නට ඇත. අව් වැසි නොතකා එක දිගට වැඩ කරන්නට ඇත. අසා ඇති පරිද්දෙන්ම ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් පිරිසක් මේ මහා විශ්වකර්ම ඉදිකිරීමට ගොස් මියැදෙන්නට ඇත. අද අප මේ ගමන් කරමින් සිටින්නේ ශ්‍රමය ලේ කැප කළ ඒ මුතුන් මිත්තන්ගේ සාමූහික පරිශ්‍රමයේ උපරිම ඵලය මතය. 
 
චීන මහා ප්‍රාකාරය යනුවෙන් අද අප දකින විශ්වකර්මය නිශ්චිත කාලයක දී ඉදි කරන ලද තනි ප්‍රාකාරයකින් සමන්විත ආරක්ෂිත ප්‍රාකාරයක් නොවන බව සඳහන් කළ යුතුය. ඓතිහාසික තොරතුරු වලට අනුව, මේ ප්‍රාකාරයේ ඉදිකිරීම් ආරම්භ වී ඇත්තේ ක්‍රි.පූ. 7 වැනි සියවසත් 4 වැනි සියවසත් අතර කාලයේය. කෙසේ වෙතත් එය ක්‍රි.ව. 14 වැනි සියවස දක්වාම ඉදිකිරීම් හා විවිධ ප්‍රතිසංස්කරණ ඔස්සේ කල් ඇදුණු විශ්වකර්ම නිර්මාණයකි. ජොවු අධිරාජ්‍යයේ (ක්‍රි:පූ: 1046-256) දෙවන භාගයේදී එරටේ පැනනැගුණු යුද රාජ්‍යය අවධියේදී (Warring Sates Period) චීනය අධිරාජ්‍ය හතකට බෙදී වෙන් ව පැවති අතර එම එක් එක් රාජධානි සිය දේශ සීමා ආරක්ෂා කර ගැනීම අරබයා ප්‍රාකාර ගොඩ නංවා ඇත. එම කාලය චීන ජාතිකයන් තාප්ප ඉදිකිරීමේ තාක්ෂණික ඥානය අතින් පෙරට පැමිණ සිටි කාලපරිච්ඡේදයකි. 
 
චින් (Qin ක්‍රි.පූ. 221-206) නමැති රාජවංශයේ නිර්මාතෘවරයා හා චීනය එක්සේසත් කළ පළමු අධිරාජයා වශයෙන් සැලකෙන චින් ෂ හුවන් ගේ පාලන කාලයේ දී එක්සේසත් චීනයක් ගොඩනැගීම සඳහා එම ප්‍රාකාර බාධාවක් වූ හෙයින් ඒ සියල්ල විනාශ කර උතුරු දේශ සීමාව දිගේ අලුතින් ප්‍රාකාර ඉදිකිරීමට අණ කර ඇති බවත් පසුව ඒවා සියල්ල එක්කර තනි ප්‍රාකාරයක් වශයෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති බවත් සඳහන් ය. විශේෂයෙන් ම එම කාලය වන විට, චීනයේ උතුරු දේශ සීමාවලට යුරේසියානු සංචාරක ගෝත්‍රිකයන් ගෙන් අඛණ්ඩව එල්ල වූ ආක්‍රමණ හමුවේ තනි ප්‍රාකාරයක් ඉදිකිරීමේ කටයුතු සිදු කර ඇත.
 
 
මේ මහා විශ්වකර්මය ගොඩනැගීමේ මූලික අභිප්‍රායය උතුරු චීනයේ දේශසීමා ෂියොන්ග්නු ගෝත්‍රිකයන්ගේ (xiongnu) ආක්‍රමණවලින් ආරක්ෂා කර ගැනීම වුව ද මෙමගින් අපේක්ෂා කළ තවත් අරමුණු කිහිපයක් තිබිණි. දේශ සීමා පාලනය, ඉපැරණි සේද මාවත හරහා භාණ්ඩ ප්‍රවාහනය සහ ආගමන විගමන කටයුතු පාලනය කිරීම යනු ඒ අතර කිහිපයකි.
 
චින් ප්‍රාකාර කොටස ඉදි කිරීමේ දී මිනිසුන් විශාල පිරිසක් මිය ගිය බව දැක්වෙන අතර එම සංඛ්‍යාව නිශ්චිතව කොතෙක් ද යන්න ගැන නිල වාර්තා නොමැත. ශ්‍රමිකයන්, සෙබළුන් සහ විවිධ වැරදිවලට වදරකරුවන් වූ අය මේ සඳහා යොදවා ඇති බවත් ඉදිකිරීම් කටයුතු සඳහා ගල් හා බොරළු පාෂාණ යොදා ගෙන ඇති බවත් සඳහන්ය.
 
චින් රාජවංශයෙන් පසු බලයට පත් හැන් රාජවංශයේ (ක්‍රි.පූ. 206-220) පාලකයන් ද මෙම ප්‍රාකාර වැඩි දියුණු කිරීමත් දිගු කිරීමත් සිදු කර ඇත. චින් හා හැන් රාජවංශ යුගවලින් පසු චීන මහා ප්‍රාකාරය දැවැන්ත නිර්මාණයක් බවට පත් කර ඇත්තේ 14 වන සියවසේ දී මින්ග් රාජවංශ යුගයේදී ය. චීන මහා ප්‍රාකාරයේ අද පවතින ස්වරූපය ගොඩ නංවා ඇත්තේ ද මෙම කාලයේදී ය. ගඩොල් හා ගල් යොදා ගනිමින් වඩාත් වේගවත්ව මෙහි ඉදිකිරීම් සිදු කිරීමට මින්ග් රාජවංශ පාලකයන් කටයුතු කර ඇති බවත් අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම දුෂ්කර වී ඇති නිසා ඒ අවට තිබූ කඳු හාරා ගල් ලබා ගෙන ඇති බවත් සඳහන් ය.  
 
කිලෝමීටර් විසි එක්දහසක් දිග අරුමු පුදුම ප්‍රාකාරය.... 
 
වසර පහක් තිස්සේ කරන ලද පුරා විද්‍යාත්මක සමීක්ෂණයකින් පසුව චීන රාජ්‍ය පරිපාලන හා සංස්කෘතික උරුම දෙපාර්තමේන්තුව 2012 වසරේදී නිකුත් කර ඇති දත්තවලට අනුව, මේ දැවැන්ත ප්‍රාකාරයේ මුළු දිග ප්‍රමාණය කිලෝමීටර් 21,196.18 ක් වන අතර මින්ග් රාජධානි සමයේ ඉදිකළ මහා ප්‍රාකාරයේ දිග කිලෝමීටර් 8,851.8 කි. එයින් කිලෝමීටර් 526 ක ප්‍රමාණයක් බෙයිජින් ආවරණය කරයි. 
ප්‍රාකාරයේ මුළු දිග (21,196.18 km) ප්‍රමාණයෙන් හතරෙන් එකක් පමණ ස්වාභාවික කඳු හා ගංගාවලින් ආවරණය වී ඇති නිසා මිනිස් ශ්‍රමයෙන් නිර්මිත ප්‍රමාණය සියයට 70 ක් පමණ වන බවට ගණනය කර ඇත. ඊසාන දිග වෙරළබඩ ප්‍රාන්තයක් වන ලියාඔනින්ග් සිට වයඹ දිග ගන්සු පළාත දක්වා මෙම මින්ග් රාජවංශ යුගයේ ඉදි කළ මහා ප්‍රාකාරය විහිදෙයි. බෙයිජින්හි ඇති ප්‍රාකාර කොටස ඉදිකර ඇත්තේ ද මින්ග් රාජවංශ යුගයේදී ය. 1987 දී මෙය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
 
මේ දැවැන්ත විශ්වකර්මය ප්‍රාන්ත හා කලාප 15 ක් පුරා විහිද තිබීම ද විශේෂත්වයකි. ඒ අනුව බෙයිජින් හා ටියන්ජින් යන මධ්‍යම ආණ්ඩුවේ ඍජු අධීක්ෂණය යටතේ පවතින නගර සභා හබෙයි, ෂන්සි, ඇතුළු මොංගෝලියාව, ලියාඔනින්ග්, ජීලින්ග්, හෙයිලොන්ග්ජියන්, ෂැන්ඩොන්ග්, හනාන්, ෂාන්සි, ගන්සු සහ චින්හයි යන ප්‍රාන්ත තෙක් එය විහිද තිබේ. මෙහි ඇති කෞතුක වස්තු ප්‍රමාණය 43,721 ක් වන අතර තාප්ප, අගල්, බළකොටු සහ කුලුනු ආදියද ඊට ඇතුළත් ය.
 
 
යැන්ග් ලිවෙයි සඳේදී නොදුටු මහා ප්‍රාකාරය.... 
 
මේ විස්මිත නිර්මාණය සම්බන්ධයෙන් ඇති ජනප්‍රවාද මෙන්ම විද්‍යාත්මක කථන බොහෝය. ඒ අතර ළගන්නාසුලු කතාවක් නම්, සඳෙහි සිට චීන මහා ප්‍රාකාරය දැකිය හැකි බවට වන ප්‍රවාදයයි. අැමෙරිකානු කාටුන් ශිල්පියකු වූ රොබට් රිප්ලි Robert Ripley (1890-1940) එම අදහස මුලින්ම ඉදිරිපත් කළේ ය. කෙසේ වෙතත් ඔහු එය කීවේ කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැතිවය. චීනය ප්‍රථම වතාවට 2003 වසරේ දී අභ්‍යාවකාශ තරණයට යොමු වූ අතර, පළමු චීන ජාතික ගගනගාමියා වූ යැන්ග් ලිවෙයි ප්‍රකාශ කළේ - අභ්‍යාවකාශයේදී තමන්ට චීන මහා ප්‍රාකාරයේ කිසිවක් දැකිය නොහැකි වූ බවය.
 
චීන මහා ප්‍රාකාරය මත්තේ ඇවිදින අතර වාරයේ මාහට මතක් වූයේ ශ්‍රී පාදය යි. ශ්‍රී පාද පූජනීය භූමිය මත්තේ ගමන් ගැනීමත් මහත් දුෂ්කර කටයුත්තක් බව නොකිවමනා ය. එහෙත් ශ්‍රී පාදයෙහි නිශ්චිත අවසානය අපි දනිමු. වෙනකක් තබා ශ්‍රී පාද කන්දේ මුඳුන අපට බොහෝ ඈත සිට වුව දැකගත හැකි ය. එහෙත් චීන මහා ප්‍රාකාරය යනු එසේ අවසන් වෙන හෝ අවසානයක් පියවි ඇසින් එක එල්ලේ දැකිය නොහැකි අරුම පුදුම නිර්මාණයකි. එබැවින් ම එය ලෝක උරුමයක් ද වෙයි.
 
උපුල් වික්‍රමසිංහ
චීනයේ බෙයිජින් නුවර සිට....